කැලණි දුරුතු පෙරහර එදා බක් මාසේ පැවැත්වීමට සැලසුම් කළ හැටි


සැහැලි කාව්‍යයන් අතර ප්‍රසිද්ධ පොතක් වූ කැලණි හෑල්ල කවි හැටපහකින් යුක්තය. මෙහි එන කවියක අග පදය කවුරුත් දන්නා එකකි. කැලණි විහාරේ මතක් වනවිටම මේ අග පදය නිරතුරුව සිහියට නැගේ. 
 
පසන් ගෞතම මුනිඳු බුදුවී සාසනේ ලොව පැවැති යේ 
එසන් පත් ඇති අයත් මැරුවා කැටුව යනවා උරුදි යේ
වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි යේ 
 
මහනුවර යුගයේ දී කව් 62කින් ලියන ලද කර්තෘ අඥාත කැලණි හෑල්ල පොතේ මේ කවිය එයි. 
 
කැලණියේ පුරාවෘත්ත ගැන ලියූ පොතපත ද කිහිපයක්ම වෙයි. ඩී.සී. විජයවර්ධන (ඩී.ආර්. විජයවර්ධන මහතාගේ සහෝදරයා) ‘‘මෙන්න කැලණිය’’ පොත ලියූ අතර ඊට අමතරව තිරාණගම රතනසාර හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි ආදි පඬි හිමිවරු කැලණිය හා කැලණි විහාරය ගැන පර්​ෙ‌ය්ෂණාත්මක ලිපි ලියා තිබූහ. දේශීය ලක්ෂණ සහිත නාටක රීතියක් සොයා ගිය සිංහල නාට්‍යකරුවා ලෙස හඳුන්වා ඇති දයානන්ද ගුණවර්ධන තම මධුර ජවනිකා නාට්‍ය මුද්‍රිත පෙළේ උපග්‍රන්ථයේ කැලණිය හා කැලණි විහාරය ගැන තොරතුරු දක්වා ඇත. එහි කැලණිය ගැන මෙසේ සඳහන් වෙයි. 
 
ලංකාවේ ආදිතම වෙළෙඳ නගරයක් බවට කැලණිය සඳහන් කළ හැකිය. ලංකාවේ නාගයන් බටහිර සහ උතුරේ විසූ බවද, යක්ෂයන් නැගෙනහිරත් දේව ජනයා කඳුකරයේත් වාසය කළ බවද පවතින මතයකි. මේ අනුව කැලණිය නාගයන්ගේ මධ්‍යස්ථානයක් වන්නට ඇත. රාවණගේ අවසානයෙන් පසු ලංකා රාජ්‍යයේ අගනුවර ලංකාපුරයෙන් කැලණියට වෙනස් විය. ඒ විභීෂණට රාම විසින් බලය පැවැරීමෙන් පසුව සිදුවූවකි. 
 
කල්‍යාණ වෙළෙඳ තොටමුණේ සිටි අය ලංකාවට සංක්‍රමණය වී ගොඩනැඟූ නව වෙළෙඳ තොටමුණු කල්‍යාණිය වී යැයි ද තවත් මතයකි. කැලණිය මායා රටේ ප්‍රධාන නගරය වශයෙන් සලකන ලද බවත් දුටුගැමුණු රජතුමාගේ මව විහාර මහාදේවිය කැලණියට සම්බන්ධ වීමත් මෙහිදී විශේෂයෙන් සැලකිය යුතුය. 
 
නාට්‍යකරණයට පිවිසීමට පෙර දයානන්ද ගුණවර්ධන දක්ෂ ගුරුවරයෙකි. ලංකා විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. එබැවින් ඔහුගේ ඒ දැනුම ද නිර්මාණවලට ඉවහල් වන්නට ඇති. ඔහු පවසන්නේ කල්‍යාණි යන්නෙහි අර්ථය වන්නේ ප්‍රියංකර යන්නයි. කල්‍යාණි යනුවෙන් හඳුන්වනු ප්‍රදේශ ඉන්දියාව හා සියම ආදියෙහි ද ලංකාවේ ද ප්‍රදේශ වී යැයි කියන ගුණවර්ධනයෝ තිස්සමහාරාම අසල තවත් කැලණියක් වී යැයි මහාචාර්ය පරණවිතාන පෙන්වා දී ඇතැයි කියා ඇති බව ද සඳහන් කර ඇත. 
බුද්ධත්වයෙන් පසු අට වැනි වසරේ වෙසක් පොහෝ දින බුදුරදුන් රහත් භික්ෂූන් පන්සියයක් සමග කැලණියට වැඩම කළේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනය පරිදි බවත් උන්වහන්සේ දම් දෙසූ මැණික් මණ්ඩපය නිදන් කොට තනන ලද කැලණි ස්තූපය ධාන්‍යාගාර හෙවත් වී ගොඩක හැඩය දරා ඇති බවත් පෙනේ. කැලණි ස්තූපය දෙවන පෑතිස් රජුගේ සොහොයුරු උත්තිය කුමරු හා ඔහුගේ ඥාති පුත්‍ර යටාලතිස්ස රජවරුන් සැලසුම් කළ අතර කැලණි විහාරය අවසාන වශයෙන් දියුණු කිරීමේ කටයුතු කළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බව ද විජයවර්ධන ලියූ මෙන්න කැලණිය හා තිරණගම හිමියන්ගේ බෞද්ධ ස්තූප කෘතිවල සඳහන් වී ඇත. 
 
මේ අතර කැලණි දුරුතු පෙරහර බක් මාසේ නමින් මුල් පිටුවේ මුල් පුවතක් 1953 ක් වූ පෙබරවාරි 8 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයෙන් අනාවරණය කර තිබුණි. විහාරය තෙක් අඩි 80ක් පළල පාරක් කැපීමට තීරණය කළ බවත් පත්‍රයේ එම පුවතින් අනාවරණය වී ඇත. 
 
“විහාරාසන්න ප්‍රදේශය අවුරුදු පතා රැස්වන මහ ජනකායගේ ගමන් බිමන් ඉඳුම් හිටුම් ආදියට යෝග්‍ය පරිදි සකස් කිරීමේ කටයුත්ත සඳහා රජය නගර නිර්මාණ ශිල්පී ඔලිවර් වීරසිංහ මහතාගේ සේවය කැලණි විහාරයට ලබාදී ඇත්තේය. 
 
රුපියල් 30,000ක වියදමෙන් කරන ප්‍රදේශයේ මැනීම් ආදී මූලික සැලැස්ම අනුව කැලණි විහාරය ඉදිරිපිටින් වැටී ඇති මහා මාර්ගය වෙනස් වන්නේය. දැන් විහාරය ඉදිරියෙන් වැටී ඇති මේ පාර විහාරයට පිටු පසින් වැටෙනා සේ තැනෙනවා ඇත. ඒ සමගම නුවර පාරේ හයේ කණුව අසළ සිට අඩි 80ක් පළල අලුත් පාරක් ද කැලණි විහාරය තෙක් කැපීමට ද අදහස් කොට ඇත්තේය.”
 
ඉරිදා ලංකාදීපයේ වාර්තා කර තිබුණේ එසේය. 
 
විහාර ආසන්න ප්‍රදේශයේ ඇති අවහිරකම් අවුරුදු පතා රැස්වන මහජනයාට කරදරයක් නොවන පරිදි ඔවුන් හැසිරවීම ඉතාමත් දුෂ්කර වී ඇතැයි පොලිසියට ද දිගින් දිගට පෙන්නා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව මේ ගැන සැලකිල්ල යොමුකර ඇති බව ද පුවත්පතේ වාර්තා වී තිබුණි. වාර්තාව අවසන් වී තිබුණේ මෙසේය. 
 
“දැන් පුරාවිදු අධිකාරී ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාත්, ඔලිවර් වීරසිංහ මහතාත් විහාරයේ අධිපති මාපිටිගම බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේත් ප්‍රධාන දායකයකු වන ඩී.සී. විජයවර්ධන මහතාත් කැලණි විහාර ප්‍රදේශයේ කරන්නට යන මේ ප්‍රතිසංවිධාන ගැන රජයත් සමග සාකච්ඡා කරති.”
 
කැලණි විහාරයේ අභිනව මන්දිරයේ මුල්ගල තබා ඇත්තේ හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. එම මාසයේම කැලණි පෙරහර ද ආරම්භ වී ඇත. හෙලේනා විජයවර්ධන මාතාව කැලණි විහාරයේ දියුණුවට විශාල ධනයක් පරිත්‍යාග කළ බෞද්ධ මහා උපාසිකාවය. එතුමිය ඩී.ආර්. විජයවර්ධන මහතා ප්‍රමුඛ දරුවන්ගේ මෑණියන් වූවාය. පියා වූයේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්තුමාය. 
 
දුරුතු මහා පුණ්‍යෝත්සවයේ අංගයක් ලෙස පෙරහර කලක් තිස්සේ පවත්වාගෙන විත් 1953 වසරට අවුරුදු කිහිපයකට පෙර සිට නතර කර ඇති අතර එය බක් මාසයේ පැවැත්වීමට සාකච්ඡා කර තිබුණි. දුරුතු පූජෝත්සවයේ අංග වශයෙන් පවත්වන පිරිත් හා බණ පින්කම්වලට සහභාගිවීම සඳහා ද වෙනත් පුණ්‍යකර්ම සඳහා දුරුත්තට කැලණි රජමහා විහාරයට රොක්වන සැදැහැවතුන්ට පෙරහර නැරඹීම පිණිස පැමිණෙන ලක්ෂ ගණන් ජනකාය නිසා ඇතිවන බාධාව වැළැක්වීම ද කැලණි පෙරහර පවත්වන කාලය වෙනස් කිරීමේ ප්‍රධාන හේතුවක් යයි විහාරාධිපති බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ සඳහන් කර තිබූහ. 
 
ඉතාම දිගු නිවාඩු කාලය ආණ්ඩුවේ අලුත් නිවාඩු දින ක්‍රමය අනුව සිංහල අවුරුද්දට යෙදී ඇති බැවින් ඒ කාලය තුළ පෙරහර පැවැත්වීමෙන් කාටත් කරදරයක් නැතිව එය නැරඹීමට අවස්ථාව සලසාදීම තව හේතුවක් බව විහාරාධිපති හිමියෝ පවසා තිබූහ. 
 
ලංකාවේ නොයෙක් පළාත්වල දුරුතු මාසයේ පෙරහර පවත්වන හෙයින් කැලණි පෙරහර ද ඒ මාසයේම පැවැත්වීමෙන් බොහෝදෙනකුට එය නැරඹීමට අවස්ථාව නොලැබීම වැළැක්වීම ද තවත් හේතුවක් ලෙස ද දක්වා තිබුණි. අප්‍රේල් 13 වැනිදා සිට 18 දක්වා ඇති සිංහල අවුරුදු නිවාඩුව තුළ දින කිහිපයක්ම පවත්වන කැලණි මහා පෙරහර ජාතික උළෙලක් වශයෙන් සිදු කිරීමට යෝජනා කර තිබුණි. මේ ගැන ඉරිදා ලංකාදීප වාර්තාවේ මෙසේ ද සඳහන් වී ඇත. 
 
“දෑවුරුදු වැඳීමට සිංහල අවුරුදු දා සැදැහැවත්තු විහාරයට රොක් වෙති. සංක්‍රාන්තිය හා සිරිත් විරිත් පැවැත්වීම විහාරයේ ගණ්ඨා නාදයෙන් ප්‍රකාශ කරනු ලැබේ. අවට ගම්බද බොහෝ අය නියම සුබ මොහොත දැනගන්නේ මේ ගණ්ඨා නාදයෙනි. මේ දුරුතු උත්සවයට කැලණි මහා පෙරහර ද එක් කිරීම සිංහල අවුරුදු උත්සවයේ වැදගත්කම දෙගුණ තෙගුණ කරලීමක් වනු ඇතැයි ද විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කළහ. 
 
මේ අතර මෙවැනි මහා ජාතික උළෙලකට කැලණි ප්‍රදේශය සුදුසු වන අන්දමට සකස් කිරීමේ කටයුත්තක් ද දැන් ආණ්ඩුවේත්, කැලණි විහාරාධිපතින් වහන්සේගේත්, දායකත්වයෙන් සැලකිල්ල යොමුව ඇත්තේය. විහාරාසන්න ප්‍රදේශය අවුරුදු පතා රැස්වන මහජනයාගේ ගමන් බිමන්, ඉඳුම් හිටුම් ආදියට යෝග්‍ය පරිදි සකස් කිරීමේ කටයුත්ත සඳහා රජය නගර නිර්මාණ ශිල්පි ඔලිවර් වීරසිංහ මහතාගේ සේවය කැලණි විහාරයට ලබාදී ඇත්තේය.”
 
මේ අනුව පෙනී යන්නේ කැලණි විහාරය අපේ ජන ජීවිතයට ඍජුවම සම්බන්ධ මහා පින්කෙතක් බවය. 
 
මෙන්න කැලණිය නමින් අගනා ග්‍රන්ථයක් ලියූ ඩී.සී. විජයවර්ධන (දොන් චාර්ල්ස් විජයවර්ධන) ධර්මවිජය යන ග්‍රන්ථයේ කතුවරයාය. ඔහුගේ ජීවිතයේ අවසාන කාලය වෙසෙසින්ම ගත වූයේ කැලණි රජමහා විහාරයේ වැඩ කටයුතු සඳහා බවත් ලංකාවේ ඇමැතිවරියක වූ පළමුවන කාන්තාව (විමලා විජයවර්ධන මහත්මිය) ඔහුගේ බිරිඳ බවත් ඩී.ආර්. විජයවර්ධන චරිතය ලියූ එච්.ඒ.ජේ. හුළුගල්ල සහ පියසේන නිශ්ශංකයෝ සඳහන් කර තිබුණහ.
 
 
 
ඒ.ඩී. රන්ජිත් කුමාර