ක්ලාක් සහ සෝලා රථය


පොසිල ඉන්ධන සොයාගත් මුල් කාලයේ දී ඒ සඳහා වෙනත් විකල්පයක් නොවූවාක් මෙන්ම ඒ සඳහා උවමනාවක් ද නොවීය. 19 වන සියවස අවසානයේ වූ කාර්මික විප්ලවයත් සමඟ සිදු වූ නව යන්ත්‍ර සූත්‍ර නිෂ්‍පාදනය සඳහා පොසිල ඉන්ධන මහත් පිටිවහලක් විය.   


පොසිල ඉන්ධන සඳහා වූ වෙනත් විකල්පයක් කරා ලෝක අවධානය වඩාත්ම යොමුවන්නේ පසුගිය දශක දෙකක කාලය තුළ පරිසර දූෂණය සම්බන්ධයෙන් වූ මතවාදමය කරුණු නිසාය.   


මෙම මතවාදයන් වඩාත් හුරු බුහුටි කිරීම සඳහා නව පරිසර විද්‍යාත්මක සොයා ගැනීම් ද ආධාර විය. මේ නිසා බලශක්තිය සඳහා සූර්ය බලය උපයෝගී කර ගැනීමට වඩාත් අවධානය යොමු විය.   


සූර්ය බලයෙන් බල ශක්තිය නිපදවා ගැනීම අද වනවිට සාමාන්‍ය කාරණයක් බවට පත්ව තිබේ. නමුත් අනූව දශකය මුලදී එසේ නොවීය.   


මේ ලිපි​ෙය් අරමුණ සූර්ය බලශක්තිය නිපදවා ගැනීම ගැනම නොවේ. ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති නිපදවීමේ මුල් යුගයේ වූ සිද්ධි කිහිපයක් යළි පිළිවෙළකට අමුණා එකලස් කිරීමය.   


ආචාර්ය ආතර් සී. ක්ලාක් විසින් කොළඹ බාන්ස් පෙදෙසේ ඔහුගේ නිවසේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මට ද සහභාගිවීමට අවස්ථාවක් ලැබිණ. ඒ අනූව දශකයේ මුල් කාලය විය. පුවත්පත් සාකච්ඡාව පවත්වනු ලැබූවේ සූර්ය බලයෙන් ක්‍රියා කරනු ලබන සූර්ය කෝෂ රථයක් පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමටය.   


මෙම රථය ආචාර්ය ක්ලාක්ට අයිතිව තිබූවක් වූ අතර එය ඔහුගේ නිවසේ පෝටිකෝව යට නවතා තිබිණ.   


පුවත්පත් සාකච්ඡාව සඳහා ආචාර්ය ක්ලාක්ට අමතරව ප්‍රදීප් ජයවර්ධන සහ හෙක්ටර් ඒකනායක ද වූහ. ප්‍රදීප් ජයවර්ධන එවකට ශ්‍රී ලංකාවේ තිබූ සූර්යබල ශක්ති කෝෂ නිෂ්‍පාදනය කළ එකම සමාගම් අධ්‍යක්ෂකවරයකු විය. එසේම ඔහු හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ මුනුපුරකු ද විය.   


හෙක්ටර් ඒකනායක ආචාර්ය ක්ලාක් සමඟ දීර්ඝ කාලයක් සමුද්‍ර ගවේෂණයේ යෙදී සිට පළපුරුදු කිමිදුම්කරුවෙකු මෙන්ම ඔහුගේ පැරණි මිතුරෙකු ද විය. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය වූ “රන්මුතු දූව” හී ගාමිණී ෆොන්සේකාගේ ප්‍රතිවීර චරිතය රඟපෑවේද හෙක්ටර් ඒකනායක විසිනි. අනූව දශකය මුලදී ඔහුගේ ස්වරූපය රන්මුතු දූව චිත්‍රපටියේ රඟපෑ කාලයේ මෙන්ම වූ බව මතකය.   


මාධ්‍ය සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් සමඟ සුහද කතා බහක යෙදුන ආචාර්ය ක්ලාක් හිටි හැටියේ සිය සූර්යකෝෂ රියට ගොඩවී පැවසුවේ තමා පොඩි රවුමක් ගොස් එනතෙක් අපට සිටින ලෙසය. කිසිදු ශබ්දයකින් තොරව රිය පණගන්වා ගත් ඔහු එය බාන්ස් පෙදෙසේ ඔහුගේ නිවසින් මාර්ගයට දමා ඉදිරියට ධාවනය කරනු අප බලා සිටියෙමු.  
ඉන් අනතුරුව මඳ වේලාවකින් සිය නිවසින් දුරකථන ඇමතුමක් ලැබීම නිසා අපෙන් සමුගත් ප්‍රදීප් ජයවර්ධන පිටව ගියේය. ජංගම දුරකථන ඒ අවධියේ නොතිබූ නිසා ඒ ඇමතුම ක්ලාක් මහතාගේ නිවසේ දුරකථනයට ලැබුණ බව මතකය.  


ක්ලාක් මහතා සිය සූර්ය කෝෂ රථයෙන් පිටත්ව ගොස් සෑහෙන වේලාවක් ඉක්ම ගියද යළි නොපැමිණීම නිසා හෙක්ටර් ඒකනායක ඇතුළු ඔහුගේ මිතුරන් ද, මාධ්‍යවේදීන් කිහිප දෙනා ද මඳ කලබලයට පත් වූහ.  


ක්ලාක් මහතා කුමන ඉසව්වකට එය පදවාගෙන ගියේද කියා දැන ගැනීමට නොහැකි වූයේ ද එවකට ජංගම දුරකතන කියා දෙයක් නොවූ නිසාය.  


ක්ලාක් මහතාගේ පමාව පිළිබඳව කලබලයට පත් පිරිස ඒ සඳහා විවිධ අර්ථකථනයන් හා අනුමානයන් ඉදිරිපත් කළ අතර, අතර මගදී රිය අනතුරකට මුහුණ දුන්නේ ද යන්න ද අවධානයට යොමු විය.  


මේ පිළිබඳව පොලිසිය දැනුම්වත් කළ යුතු බව හෙක්ටර් ඒකනායක පවසා සිටි නමුත් ඊට සුළු වේලාවකට පසු ක්ලාක් මහතා සිය සූර්ය කෝෂ රිය පදවාගෙන සිනහමුසු මුහුණින් පැමිණියේය.  


කෙසේ වෙතත් ඔහු නිරුපද්‍රිතව යළි පැමිණීම කාගෙත් සතුටට හේතු විය.  


මෙතරම් වේලාවක් ගත වූයේ මන්දැයි මාධ්‍යවේදීන් ක්ලාක් මහතාගෙන් ඇසූවිට ඔහු පැවසූ සිද්ධිය මෙසේය.  


බාන්ස් පෙදෙසින් විහාර මහාදේවි උද්‍යානය අසල ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී රාජකීය විදුහල දෙසට ධාවනය කරමින් සිටියදී රථ වාහන පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් රිය නවතනු ලැබිණ.  


ජීවිතයේ කිසි දිනෙක නොදුටු කිසිදු ශබ්දයක් නැති කුඩා මෝටර් රිය මෙන්ම එය පදවමින් සිටි සුදු මිනිසා ද ඔවුන් දැඩි විමතියට මෙන්ම බියට ද පත්කර ඇත.  


මෙය කුමන වර්ගයේ රථයක්ද, මෙන්ම ඒ සඳහා රක්ෂණ මෙන් මාර්ග බලපත්‍ර තිබේද යන්න විමසා ඇතත් රක්ෂණ සහ මාර්ග බලපත්‍ර නැති බව ක්ලාක් මහතා පවසා තිබේ.  
මෙය සූර්යබල ශක්තියෙන් ක්‍රියාත්මක පර් යේෂණ රථයක් බවද තමාගේ නම ආතර් සී. ක්ලාක් බවද ඔහු පවසා තිබේ.  


සුද්දා විසින් ඉංග්‍රීසියෙන් කියූ කිසිවක් කොස්තාපල්වරුන් දෙදෙනාට ග්‍රහණය කර ගැනීමට නොහැකි වී තිබේ. මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වඩාත් බියට පත්වී ඇත්තේ කිසිදු ශබ්දයකින් තොරව රථය පැමිණීමත් තට්ට හිසක් සහිත සුද්දෙකු එය පැදවීමත් විය යුතුය.  
පැය භාගයක් පමණ විවිධ ප්‍රශ්න අසමින් සිය විමතිය දුරුකර ගැනීමට උත්සාහ කළද එසේ බැරිවීම නිසා මේ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමට කොස්තාපල්වරුන් තීරණය කර ඇත. මෙහි වඩාත්ම ගැටලුව වී ඇත්තේ ක්ලාක් මහතාගේ ඉංග්‍රීසි කොස්තාපල්වරුන්ටත් ඔවුන් විසින් සිංහලෙන් ඇසූ අප්‍රබ්‍රංස ප්‍රශ්න ක්ලාක් මහතාටත් තේරුම් නොයාම විය යුතුය.  


අනතුරුව පොලිස් නිල රියකින් එහි පැමිණි ඉහළ පොලිස් නිලධාරියකු විසින් ආතර් සී ක්ලාක් මහතා හඳුනාගැනීම නිසා ප්‍රශ්නය විසඳිණ. පැයක් පමණ ගතවීමෙන් පසු ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වූ බව ක්ලාක් මහතා සිනහසෙමින් කීවේය.  


“එහෙනම් පැය දෙකක් ගියේ ඇයි” පැය දෙකක් පමණ වේලා ඔහු එන තෙක් බලා සිටි මාධ්‍ය​වේදීන් අමනාපයෙන් මෙන් ප්‍රශ්න කළවිට ක්ලාක් මහතා පැවසුවේ “ඇයි මම යන්න ගිය ගමන මේ පොලිසිය නිසා යන්න බැරි වුණානේ. මට කාරෙක ටෙස්ට් කරන්නත් බැරි වුණා ඉතින් මම කොළඹ පැත්තේ රවුමක් ගියා” යනුවෙනි.  

 

 

 

රන්ජන් අමරසිංහ