කලින් ආණ්ඩුව කාලේ බැඳුම්කර ගනුදෙනු සෙවීමට කොමිසමක්


වර්ෂ 2015 පෙබරවාරි මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවත් ඒ සම්බන්ධව පළවන දේශපාලන හා ආර්ථික විග්‍රහත් මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන ආකාරයක් දැකිය හැකිය.   
 
 මේ ආකාරයට බැඳුම්කර වාර්තාවත් එමගින් අනාවරණය කර ඇති තොරතුරුත් ගැන විශාල කතාබහක් රටේ ගොඩ නැගෙන විට 2008-2014 කාලයේ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු ගැනත් විමර්ශනය කළ යුතු බවට වන මතයක් වේගයෙන් ඉදිරිපත් වෙමින් තිබෙන අයුරුද හඳුනාගත හැකිය.   
 
 විශේෂයෙන්ම මෙම බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ ද එ් පිළිබඳ සඳහන් කර ඇති අතර ඒ අනුව එම වාර්තාව කියන්නේ 2008-2014 කාලයේදී සෘජු නිකුත් ක්‍රමය යටතේ සිදුකර ඇති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්න ගැන සොයා බැලිය යුතු බවය.   
 
 එක්සත් ජාතික පක්ෂය ද මේ ආකාරයේ විමර්ශනයක් කළ යුතු බවට නිරන්තරයෙන් කරුණු දක්වන ආකාරයක් දැකිය හැකි අතර ඔවුන් කියන්නේ එම කාල​ෙය් සිදුකළ බැඳුම්කර ගනුදෙනුවලින් රුපියල් බිලියන හාරදහසක (4000) පමණ මූල්‍ය වංචා සිදුකර ඇති බවත් ඒ ගැන සොයා වැරැදිකරුවන්ට දඬුවම් කළ බවත්ය.   
 
 1949 අංක 58 දරk මුදල් නීති පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ ප්‍රමුඛ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති අතර මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ආණ්ඩුව වෙනුවෙන් ණය අරමුදල් රැස්කිරීම සිදුකරයි. ඒ අනුව ආණ්ඩුවට අවශ්‍ය ණය අරමුදල් රැස්කිරීම සඳහා ණය උපකරණ නිකුත් කිරීම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර එවැනි ණය උපකරණ වන්නේ භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් ආදියයි.   
 
 මෙයින් භාණ්ඩාගාර බිල්පත් කෙටි කාලීන ණය උපකරණයක් හැටියට සැලකෙන අතර මට්ටමක් සහිතව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් දින 91, 182, 364 වැනි පරිණත කාලයන්ගෙන් සමන්විත වෙයි. භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වෙන්දේසි ක්‍රමයට වේවා නිකුත් කිරීම සිදුවෙයි.   
 
 ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත මගින් පැහැදිලි කර තිබෙන විධිවිධාන වලට අනුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සිදුවන අතර මතභේදයට තුඩු දී ඇති 2008-2014 කාලයේදී බැඳුම්කර නිකුත් කිරීම මගින් ණය රැස් කළේ සෘජු නිකුත් ක්‍රමය උපයෝගී කොටගෙනය.   
 
එහිදී බොහෝ විට සිදුවූයේ සේවක අර්ථසාධක අරමුදල (EPF) වැනි රජයේ අරමුදල් හා ආයතනවලින් වැඩි වශයෙන් මුදල් ණයට ලබා ගැනීමය. කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු සෘජු නිකුත් ක්‍රමය වෙනුවට වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම සිදුවිය. භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන ණය උපකරණයක් වන අතර ඒවායෙහි පරිණත කාලය වසර විස්ස දක්වා දිවෙයි.   
 
මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු වන අතර සෑම වර්ෂයක් සඳහාම ගත හැකි ණය සීමාව අනුමත කිරීම අයවැයෙන් සිදුවෙයි. ඒ අනුව 2008 වසර සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ණය සීමාව රුපියල් බිලියන 708 ක් වූ අතර එම වස​ෙර්දී දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 689 කි. එයින් රුපියල් බිලියන 559 ක් රැස්කර තිබුණේ දේශීය මූලාශ්‍ර වලින් වූ අතර ඉතිරි රුපියල් බිලියන 130 විදේශ මූලාශ්‍රවලින් සම්පාදනය කර තිබිණි.   
 
 එම වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් දශලක්ෂ 335 ක වටිනාකමින් යුත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර දෙකක් ද නැවත නිකුත් කර තිබිණි.   
 
 මෙම වසරේදී භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් බිලියන 406.5 ක මුදලක් රැස්කර ඇති අතර භාණ්ඩාගාර බිල්පත් වලින් ලබාගෙන ඇති ණය මුදල බිලියන 61.9 කි. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ලබාගෙන ඇති මුදල බිලියන 44.5 කි. ශ්‍රී ලංකා මහබැංකු අත්තිකාරම් මගින් බිලියන 15.6 ක්ද වෙනත් (දේශීය) මූලාශ්‍ර වලින් බිලියන 30.9 ක්ද රැස්කර තිබේ.   
 
 මේ අනුව ණය උපකරණ අනුව දේශීය මූලාශ්‍ර වලින් ණය සම්පාදනය කර ගැනීමේ දී වැඩිම මුදලක් එනම් රුපියල් බිලියන 406.5 ක් මුදලක් ආණ්ඩුවට ණයට ගෙන ඇත්​ෙත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගිනි. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සමස්ත දේශීය ණය සම්පාදනයෙන් සියයට හැටක (60%) ප්‍රමාණයකි.   
 
2008 වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2009 වසර සඳහා අනුමත කළ ණය සීමාව රුපියල් බිලියන 840 ක් වුවත් පසුව එම අගය බිලියන 1050 දක්වා ඉහළ නැංවිණි. කෙසේ වෙතත් මෙම වසරේදී ද 2008 වසරේ මෙන් පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ණය සීමාවට වඩා අඩුවෙන් ණය ගෙන ඇති අතර ලබාගෙන ඇති මුලු ණය ප්‍රමාණය රුපියල් බිලියන 999.1කි. එයින් දේශීය මූලාශ්‍රවලින් ලබාගෙන ඇති එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 643.3 ක් වන අතර විදේශ මූලාශ්‍රවලින් ගෙන ඇති ණය මුදල බිලියන 355.8 කි.   
 
 දේශීය මූලාශ්‍රවලින් ලබාගත් බිලියන 643.3 ක එම මුදලින් බිලියන 19 ක මුදලක් ලබා ගෙන ඇත්තේ රුපියල් ණයවලිනි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගෙන ඇති එම ණය මුදල බිලියන 509.9 කි. භාණ්ඩාගාර බිල්පත්වලින් බිලියන 49 කි. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් බිලියන 73.5 කි.   
 
2009 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2010 වසර සඳහා පාර්ලිමේන්තුව අනුමත කර ඇති ණය සීමාව රුපියල් බිලියන 980 කි. නමුත් එම වසරේදී ලබාගත් මුළු ණය මුදල රුපියල් බිලියන 922.1 කි. එයින් බිලියන 594.2 ක මුදලක් දේශීය මූලාශ්‍රවලින් ද බිලියන 327.9 ක් විදේශීය මූලාශ්‍රවලින් ද ලබාගෙන තිබේ. දේශීය මූලාශ්‍ර යටතේ ලබා ගත් බිලියන 594.2 ක ණය මුදලින් බිලියන 433.6 ක මුදලක් ලබාගෙන ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර මගිනි.   
 
 එම වසරේදී භාණ්ඩාගාර බිල්පත් වලින් ගෙන ඇති ණය මුදල බිලියන 82.8 කි. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් බිලියන 71.2 ක්ද ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම්වලින් බිලියන 4 ක්ද වෙනත් මූලාශ්‍රවලින් 2.6 ක්ද ණයට ගෙන ඇත.   
 
2010 වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත අනුව 2011 වසර සඳහා පාර්ලිමේන්තුව අනුමත කළ ණය සීමාව රුපියල් බිලියන 997.0 ක් වූ අතර එම වසරේදී ලබාගෙන ඇති සමස්ත ණය මුදල රුපියල් බිලියන 994.1 කි. එයින් දේශීය මූලාශ්‍රවලින් ගෙන ඇති එම ණය මුදල බිලියන 671.3 කි.   
 
බිලියන 322.8 ක මුදලක් විදේශීය මූලාශ්‍රවලින් ණයට ගෙන ඇත. දේශීය මූලාශ්‍ර වලින් එම වසරේදී ණය උපකරණ අනුව ණය රැස්කර ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් බිලියන 514.6 ක්ද භාණ්ඩාගාර බිල්පත් වලින් බිලියන 79.6 ක්ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් බිලියන 60.2 ක්ද ශ්‍රී ලංකා මහබැංකු අත්තිකාරම් මගින් 16.9 ක්ද වශයෙනි.   
 
 දේශීය මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමේදී වැඩිම මුදලක් බැඳුම්කර අලෙවි කිරීම මගින් ලබාගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස ගත් විට එහි අගය සියයට 51.77 කි.   
 
 2011 වසරේදී ඉදිරිපත් කළ විසර්ජන පනතට අනුව 2012 වර්ෂය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ මුළු ණය සීමාව රුපියල් බිලියන 1139 කි. එම ප්‍රමාණය ලබාගෙන තිබේ. එයින් දේශීය මූලාශ්‍රවලින් ලබාගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 656.7 කි. රුපියල් බිලියන 482.3 ක් විදේශීය මූලාශ්‍රවලින් ලබාගෙන ඇත.   
 
 දේශීය මූලාශ්‍රවලින් ණය රැස්කිරීමේදී භාණ්ඩාගාර බැඳුම්කර වලින් බිලියන 513.1 ක්ද භාණ්ඩාගාර බිල්පත්වලින් බිලියන 16.8 ක්ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් බිලියන 60.4 ක්ද ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් මගින් බිලියන 16.5 ක්ද ලබාගෙන ඇති අතර භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගත් ණය මුදල ප්‍රතිශතයක් හැටියට සියයට 45.05 කි.   
 
 2012 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත අනුව 2013 වර්ෂය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ ණය සීමාව රුපියල් බිලියන 1302.5 ක් වූ අතර එම සීමාව පවත්වා ගනිමින් ණය රැස් කිරීමට මෙම වසරේදී ද කටයුතු කර තිබේ. 2013 වසර අවසානයේදී දේශීය මූලාශ්‍රවලින් ලබාගත් මුළු ණය ප්‍රමාණය බිලියන 952.5 ක් වූ අතර බිලියන 348.7 ක් ගෙන ඇත්තේ විදේශීය මූලාශ්‍රවලිනි.   
 
 දේශීය මූලාශ්‍රවලින් ණය රැස් කිරීමේදී රුපියල් බිලියන 634.4 ක මුදලක් බැඳුම්කර නිකුත් කිරීම මගින්ද බිලියන 46.8 ක් භාණ්ඩාගාර බිල්පත් මගින්ද බිලියන 238 ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින්ද ලබාගෙන ඇත. බැඳුම්කර නිකුත් කිරීම් මගින් ලබා ගෙන ඇති මුළු මුදල ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 48.75 කි.   
 
 2013 වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනතට අනුව 2014 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමත වූ ණය සීමාව රුපියල් බිලියන 1478 ක් විය. එම සීමාව පවත්වා ගනිමින් ණය රැස් කිරීමට එම වසරේදීද හැකිවී ඇත. එයින් රුපියල් බිලියන 1006.3 ක් රැස්කර ඇත්තේ දේශීය මූලාශ්‍රවලිනි. බිලියන 447 ක් රැස්කර ඇත්තේ විදේශීය මූලාශ්‍රවලිනි. දේශීය මූලාශ්‍රවලින් ණයරැස් කිරීමේදී බිලියන 822.4 ක මුදලක් බැඳුම්කර මගින්ද බිලියන 26.3 ක මුදලක් බිල්පත් මගින් බිලියන 95.5 ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ද ලබාගෙන ඇත.   
 
 බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබාගත් මුළු ණය ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට සියයට 59.59 කි.   
 
 ඉහත ගෙනහැර දැක්වූ 2008-2014 කාල පරිච්ජේදයේ මහ බැංකුවේ ණය එක් රැස්කිරීමේ තොරතුරුවලට අනුව එම එක් එක් වර්ෂයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය එහි ප්‍රතිශතය හා එකතුව මෙසේ දැක්විය හැකිය.   
 
 අවුරුද්ද නිකුත්කර ඇති ප්‍රතිශතාත්මක
 
බැඳුම්කර ප්‍රමාණය අගය (%)   
 
(රුපියල් බිලියන)
 
2008 406.5 60%   
2009 509.9 51.03%   
2010 433.6 64%   
2011 514.6 51.77%   
2012 513.1 45.05%   
2013 634.4 48.75%   
2014 822.4 56.59%   
එකතුව 3834.5   
 
 2008-2014 කාලයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින රැස්කර ඇති එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 3834.5 කි. භාණ්ඩාගාර බිල්පත් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යන මේවා එකතු කළ විට මේ අගය මීට වඩා වැඩිය.   
 
මේ කාලයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සෘජු නිකුතු ක්‍රමය යටතේ සිදුවූ අතර බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි මේ කාලයේදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්න ගැන සොයා බැලිය යුතු බවය.   
 එජාපය කියන්නේ මේ කාලයේදී සිදුකර ඇති බැඳුම්කර ගනුදෙනුවලින රුපියල් බිලියන හාරදහසක පමණ මූල්‍ය වංචා සිදුකර ඇති බවය. එම කාලයේ සිදුකළ බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධ වූ රාජ්‍ය අරමුදල් හා ආයතනවලට මේ කියනාකාරයේ අලභයක් සිදුවී ඇත් ද? යන්න ගැන නිශ්චිතව දැනගැනීමට ඒ සඳහා වෙනම පරීක්ෂණයක් සිදුකිරීම ඉතා වැදගත්ය.   
 
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල:   
 
 ජනාධිපතිතුමන් අගමැතිතුමන් පුන පුනා ප්‍රකාශ කරන දෙයක් තමයි 2008-2014 කාලයේ සිදුකළ බැඳුම්කර නිකුත්වලින් රුපියල් බිලියන හාරදාහක වංචාවක් වෙලා තියෙනවා කියලා බැඳුම්කර වාර්තාවේ සඳහන් වෙනවා කියන එක.   
 
 මම මේ වාර්තාවේ පිටු 945 ම කියෙව්වා. නමුත් එහෙම සඳහනක් මේ වාර්තාවේ තියෙනවා මම දැක්කේ නෑ. ඒ නිසා මම ආණ්ඩුවේ නායකයන්ට අභියෝග කරනවා ඔය සඳහන් ඇතුළත් වාර්තාවේ පිටු අංකය රටට ප්‍රකාශ කරන්න කියලා.  
 
 එහෙම නැත්නම් මේ කියන සඳහන මේ වාර්තාවේ අතුරුදන් වී තියෙන පිටු එකසිය ගණන ඇතුළෙ තියෙනවා වෙන්නත් පුළුවන්. මීට සමාන දෙයක් මේ වාර්තවේ 915 වන පිටුවෙ තියෙන එකොළොස් වන නිර්දේශයේ තියෙනවා. ඒකෙන් කියන්නේ 2008-2014 කාලයෙදී සෘජු තැන්පත් ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙන නිසා ඒ කාලයේදීත් යම් වංචාවක් වෙලා තියෙනවද කියන එක ගැන පරීක්ෂණයක් කර බලන්න කියලා.  
 
 එහෙම නිර්දේශයක් කරන්න හේතුවෙලා තියෙන්නෙ මහ බැංකුවේ සමහර නිලධාරින් අල්ලස් ලබාගෙන මහ බැංකුවේ සංවේදී තොරතුරු පර්පෙචු​ෙවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දුන් බවට කොමිසම ඉදිරියේ හෙළිවී තියෙන නිසා. ඒ නිසා කොමිසමේ කතා වී තියෙන්නේ නිලධාරින් කරපු වැරැද්දක් ගැන මිසක් දේශපාලනඥයො කරපු වැරැද්දක් ගැන නෙවෙයිනෙ.   
 
එ් නිසා අපි අවධාරණයෙන් කියනවා 2008-2014 කලෙයෙදිීකරපු බැඳුම්කර ගනුදෙනුවලින් රුපියල් බිලියන හාරදාහක වංචාවක් කරපු බවට මේ වාර්තාවෙ කිසිම තැනක සඳහනක් නෑ කියලා. තමන් අතින් සිද්ධ වුණු මේ මහා වංචාව වසා ගැනීමටත් කලින් ආණ්ඩුවක් තමන් වගේම හොරු බව පෙන්වීමටත් ආණ්ඩුව දරන අසාර්ථක උත්සාහයක් හැටියටයි මම මේක දකින්නෙ.  
 
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන:  
 
 කොච්චර කාලයක් පිටිපස්සට වුණත් 2008-2014 කාලේ නිකුත් කරපු භාණ්ඩාගාර බැඳුම්කර ගැන හොයන්න කියනවා නම් ඒක කළ යුතුයි. ඒ කාලේ කවුරුහරි වංචා කරලා තියෙනවා නම් ඒ පරික්ෂණයෙන් ඒවා ඔප්පු වෙයි. මහජනතාවට දැනගන්න ඒක කරන එක හොඳයි. එහෙම වංචාවක් කවුරුවත් කරලා නැත්නම් ඒකත් හෙළිවෙනවනේ.  
 
ඒ නිසා 2008-2014 කාලේ වෙච්ච බැඳුම්කර ගනුදෙනු ගැන හොයන එකට අපි කැමැතියි. කවුරු මොනවා කිව්වත් බැඳුම්කර වාර්තාවෙන් එළියට එන දේ තමයි නිවැරැදිම දේ. ඒ වගේම තමයි 2008-2014 කාලේ කරපු බැඳුම්කර ගනුදෙනු ගැන සොයා බැලීමක් නොකර මෙච්චර අලාභයක් වුණා කියලා කියන්න අමාරුයි.  
 
 ඒක දේශපාලන කතාවක්. ඒක ඇත්ත වහන්න කරන කතාවක්. ඒ කාලේ දේවල් ගැන හොයන්න අපේ ආණ්ඩුව කටයුතු කරනවා.  
 
 
 
 
 
 
 
 
 
 
 
 සටහන 
උපුල් වික්‍රමසිංහ