කතරගම දෙවි අඩවියේදී පාපතරයන් කළ අපරාධයක්


අනාදිමත් කාලයක් තිස්සේ අප රැකගෙන ආ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ගුණ ධර්මද දිනෙන් දින පිරිහීමට ලක් වෙමින් පවතියි. ළමා වයසේ පසුවන්නන්ගේ පටන් වැඩිහිටියා දක්වා සැවොම පරාර්ථකාමීත්වය වෙනුවට ආත්මාර්ථකාමීත්වය රජකරවමින් සිටිති. නොදියුණු යුගයේ පැවති සිරිත් විරිත් හා ආචාර ධර්ම, දියුණු යුගය එළඹීමත් සමග විනාශයට ගොසින්දැයි සිතෙයි. තාක්ෂණයේ දියුණුවත් සමග දිනෙන් දින මිනිසා පරිහානිය කරා ගොසින්ය.


එකල පාසල් තුළින් එළියට ආ සියලු දරුවන්ට උපාධි නොතිබුණද ඔවුන් තුළ විනයක් හා ආචාරශීලිත්වයක් තිබුණි. මෙකල එය එහෙම් පිටින්ම වෙනස් වී ඇති බවක් පෙනේ. පාසල තුළ මෙන්ම ඉන් පිටතට පැමිණෙන දරුවන් තුළද විනයක් තියා විනය කියන්නේ කුමක්ද කියාවත් දන්නේ නැති තරම්ය. පවතින ආර්ථික රටාවත් සමගින් දිනෙන් දින බිහිවෙමින් යන්නේ රොබෝවරුන් වැනි මිනිසුන්ය. ත​ෙවකෙකු පිළිබඳව අල්පමාත්‍රයකවත් සංවේදිභාවයක් ඇති නොවන තවෙකෙකුට ගරු නොකර සිත්පිත් නැති රොබෝ මිනිසුන් තැනීමෙන් රටකට ඇතිවෙන ඵලය කුමක්ද යන්න අපටද නොවැටහේ. එදා සහ අද අතර මිනිසුන් තුළ ඇති වී ඇති මේ වෙනසට වගකිවයුත්තේ කවුරුන්ද යන්න අප සැවොම එක් වී සෙවිය යුතුව ඇත.   


පාඨක ඔබට අද අප ලියන්නට යන කතාවට පෙර මේ වදන් ටික අකුරු කළේ ඇයිදැයි ඇතමෙකුට ගැටලුවක් වෙනු ඇත. මෙය සත්‍ය කතාවකි. ඔබත් මෙය කියවා අවසන්වෙන විට ඉහත අප ලියූ දෑ සමග ඔබත් එකඟ වනු නොඅනුමානය. අනේ හපොයි! කියනු ඇත. මේ අනුවේදනීය වූ පුවත පසුගිය දින අපට වාර්තා වූයේ කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියෙන්ය.   


අංක 35, රජ මාවත, සෙල්ලකතරගම පදිංචි 34 හැවිරිදි මුදුන්කොටුවගේ අරුණ ප්‍රියන්තත්, කොකුහැන්නදිගේ තරංග ප්‍රියදර්ශනත් දෙදෙනා කලක සිටම ගජ මිතුරෝය. තරංග ප්‍රියදර්ශන පරණ බුත්තල පාර, සෙල්ලකතරගම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම ගජ මිතුරන් දෙදෙනා සමග තවත් මිතුරන් කිහිප දෙනෙකුමද වූහ. කොහේ හෝ කුමක් හෝ අපරාධයක් සිදු කිරීම, මංකොල්ලයක් සිදු කිරීම, මොවුන්ගේ දින චරියාවේ එක් අංගයක් බවට පත්ව තිබුණි. නිසි ස්ථිර රැකියාවන්වලද නිරත නොවූ මොවුන් කීයක් හරි හොයාගෙන දවස ගෙවා ගන්නට කුමක් හෝ නිතී විරෝධී ක්‍රියාවක නිරත විය.   


2019 මාර්තු මස 03 වැනි දින මුදුන්කොටුවගේ අරුණ ප්‍රියන්ත නොහොත් වී.ඕ.සී. සුද්දත්, කොකුහැන්නදිගේ තරංග ප්‍රියදර්ශණත් ඇතුළු සිව් දෙනෙකු ඇඹිළිපිටිය ප්‍රදේශයෙන් කුලියට ලබාගත් මෝටර් රථයකින් මහනුවර බලා යාමට පිටත් වුයේ කුමක් හෝ කර කීයක් හරි හොයා ගැනීමටය. මේ අයගේ ගමන් මාර්ගය වූයේ කතරගම බුත්තල පාරේ පැමිණ බුත්තල නගරයෙන් හුලංදාව, මැදගම, බිබිල හරහා මහනුවර බලා යාමය.   


මාර්තු මස 03 වැනි දින වේලාව පස්වරු 01ට පමණය. ගොඩකුඹුර වත්ත, උඩුබුබුල, බිබිල ලිපිනයේ පදිංචි සිව් දරු මවක වූ 59 හැවිරිදි ජයලංස මුදියන්සේලාගේ ශ්‍රියානි ප්‍රේමලතා මහත්මියද සිය දියණියගේ නිවසේ සිට බිබිල මොණරාගල ප්‍රධාන පාරට ආවේ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ සිටින සිය වැඩිමහලු සහෝදරිය හා ඥාතීන් බලන්නට යන්නටය. පෙර දින සිටම සිය දෙබරවැව සිටින අක්කාට හා ඥාතීන්ට ලබා දීමට ඇය සකස් කරගත් එළවළු හා පලතුරු ටිකක්ද සහිතව පාරට ආවේ සිය දියණියගේ දරු දෙදෙනාගේද සහාය ඇතිවය. සිය මිත්තණිය පාරට ඇරලවූ මිනිබිරියන් දෙදෙනා ආච්චි අම්මාට පාරේදීම වැඳ පරිස්සමට ගිහින් ඉක්මනින් එන්නැයි පවසා නැවතත් නිවසට ගියෝය. ප්‍රේමලතා මහත්මිය කතරගම යන්නට බසයක් එනතෙක් මාර්ගය අයිනේ රැඳී සිටියාය. සිය මිනිබිරියන් දෙදෙනා “අනේ ආච්චි අම්මේ අද නොගිහින් ඉන්නකෝ“ කියද්දිත් ප්‍රේමලතා මහත්මිය මේ ගමනට සුදානම් වූයේ ඇය මේ යන්නේ අවසන් ගමන බව නොදැනය.   


මහනුවර බලා යාමට පැමිණි වී.ඕ.සී. සුද්දා ඇතුළු පිරිසට මෙම කාන්තාව නෙත ගැටෙන්නේ බිබිල නගරයට කිලෝ මීටරයක් පමණ පෙර තියාය. මහනුවර යන්නට ආ මෙම පිරිස මෙම කාන්තාව පසු කර මීටර් කිහිපයක් ගොස් නැවත සිය මෝටර් රථය හරවා විත් ප්‍රේමලතා සිටි තැනට ආසන්නයෙන් නැවැත්වීය. බිබිල නගරය හා ඒ අවට පිළිබඳව යම් අවබෝධයක් තිබුණු තරංග ප්‍රියදර්ශනත්, වී.ඕ.සී. සුද්දත් මෝටර් රථයෙන් බැස මෙම කාන්තාව සිටි තැනට ගියේ කිසිදු සැකයක් නොසිතෙන විදියටය. දුර තියාම මෙම කාත්තාවගේ ගෙල බැඳි රන් මාලය දුටු වී.ඕ.සී. සුද්දා කරන්නේ කුමක්දැයි සියල්ල තීරණය කර හමාරය. ප්‍රේමලතා මහත්මිය අසලට කිට්ටු වූ වී.ඕ.සී. සුද්දා “අම්මා කොහේට යන්නද ඉන්නේ” යැයි විමසීය. 59 හැවිරිදි වූ ඇය “පුතේ මන් කතරගම යන්න ඉන්නේ යැයි පිළිතුරු දුන්නාය“ “ආහ්.... අපිත් යන්නේ කතරගම තමා. අම්මා කැමති නම් එන්න අපිත් එක්ක යන්න පුළුවන්” යැයි පැවසුවේ මෙම කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය දෙස බලමිනි.   


සිය දරුවන්ගේ වයසටත් වඩා අඩු වයසේ පසු වූ මෙම තරුණයන් පිළිබඳව කිසිදු සැකයක් සංකාවක් නොසිතූ ප්‍රේමලතාද “අනේ කොච්චර දෙයක්දැයි පුතේ” කියමින් මෝටර් රථයට ගොඩ වූයේ සිය අක්කා ඇතුළු ඥාතීන් බලන්නට ඉක්මනින් යාහැකි බව සිතමින් වෙන්නට ඇත. බිබිල සිට නැවතත් ගමන් ඇරඹූ මේ පිරිසගේ ගමන් මාර්ගය වූයේ බුත්තල නගරයෙන් යාල කැලය මැදින් වැටී ඇති බුත්තල කතරගම මාර්ගයයි.   


දහවල් 1.30ට පමණ බිබිලෙන් ගමන් අරම්භ කෙරුණු මේ පිරිස එන අතර මගදී ප්‍රේමලතා මහත්මියගෙන් ආගිය තොරතුර විමසීමටද අමතක නොකළේය. ඊට පිළිතුරු දුන් ප්‍රේමලතාද මහත් ආඩම්බරයෙන් සිය දරුවන් පිළිබඳව විස්තර කළේය.“මගේ එක පුතෙක් ලිදුළ පොලිසියේ වැඩ කරන්නේ. එක බෑනා කෙනෙක් ආමි එකේ කැප්ටන් කෙනෙක්. මන් බිබිලේ ඉන්න දුවගේ ගෙදර තමයි පුතේ ඉන්නේ. මගේ ලොකු අක්කා ඉන්නේ දෙබරවැවේ. අද මන් මේ එහේ යන්න තමයි පාරට ආවේ” යනුවෙන් පැවසුවේ මේ තරුණයන් සිව් දෙනා පිළිබඳව වූ දාරක ස්නේහයද ඇතිවය.   

 


ආ ගිය තොරතුරු කතා කරමින් පැමිණි මේ පිරිස බුත්තල කතරගම මාර්ගය දිගේ පැමිණියේ සිය අරමුණු ඉටු කරගන්නට සුදුසු ස්ථානයක් හමුවෙන තුරුය. එලෙස පැමිණි පිරිස බුත්තල කතරගම පාරේ 31 හා 32 කිලෝ මිටර් කණු දෙක අතර ස්ථානයක මෝටර් රථය නතර කරන්නේ ශරීරකෘත්‍ය කිරීමට බව පවසමිණි. පළමුවෙන්ම කාර් රථයෙන් බැසගත් තරංග හා වී.ඕ.සී. සුද්දා අනෙක් දෙදෙනාටද සිග්නල් එකක් දෙන්නේ වාහනයෙන් බසින්නටය. එලෙස බැසගත් මේ සිව් දෙනා මාර්ගයෙන් ටිකක් කැලය දෙසට වන්නට ගොස් මුත්‍රා කරන මුවාවෙන් සිදුකරන්නේ කුමක්දැයි කතිකාකරගන්නේය. ඒ අනුව අවසන් තීරණයකට පැමිණෙන මෙම පිරිස මෝටර් රථයට ගොස් මෙම කාන්තාව එකවරම කැළයට ඇදගෙන යන්නේ ඇයටද සිදු වූයේ කුමක්දැයි සිතාගන්නටවත් අවස්ථාව නොදෙමිණි. “අනේ ඇයි පුතේ මාව කැලයට අරගෙන යන්නේ. මගේ ළඟ තියෙන ඔක්කොම දේවල් දෙන්නම්. මන් මරන්න නම් එපා පුතේ” යැයි මෙම කාන්තාව හඬා වැලපෙද්දී මෙම තරුණයින් තිදෙනා මෙම කාන්තාව කැලය තුළට ඇදගෙන ගොස් ඇය උඩු කය වැසෙන්නට ඇඳ සිටි රෙදි ගලවා දමා ඉන් එකක ආධාරයෙන් ඇය එහි වූ කුඩා දිරා ගොස් ඉතිරිව තිබු ගසක කොටසක බඳින අතර අනෙක් උඩ ඇඳුමකින් අයගේ මුව ගැට ගසන්නේ කෑ ගසන්නට බැරි වෙන්නටය.   


ඉන්පසු මෙම පාපතරයෝ සිව් දෙනා ඇයගේ ගෙල බැඳි රන්මාලය හා පෙන්ඩනය හා කරාබු දෙකද ගලවා ගත්හ. ඉන් පසු මවක් වැනි මෙම කාන්තාවට ඔවුන් කරන්නේ අහස පොළොව නුහුලන අපරාධයකි. ඒ වන විටත් මෙම කාන්තාව මරණ බයේ වෙව්ලමින් හඬා වැටෙමින් ජීවිතය අයැදිමින් සිටියේ ඇයට ඉන් එහා කරන්නට දෙයක් නොතිබුණ නිසාය. ඇය ඝාතනය නොකර පාරට ගෙනහින් දමන්ට දෙදෙනෙකු යෝජනා කළත් එහි සිටි එක් අයෙකු යෝජනා කළේ මැය මෙහි මරා දමා යායුතු බවය. මන්ද එක පුතෙක් පොලීසියේ. එක බෑනා කෙනෙක් ආමි එකේ. මේ කාන්තාව අතහැරියොත් වැඩේ අවුල් වෙනවා. ඒ නිසා මැය මරා දමමු යැයි තරංග ගෙනා යෝජනාවට සියළු දෙනා කැමති වූහ. ඒ අනුව ඇගේ ඉරණම විසඳා පිරිස පලා ගියහ.   

 

පසුදින උදේ නැවතත් එම ස්ථානයට තරංග හා වී.ඕ.සී. සුද්දා පැමිණෙන්නේ භූමි තෙල් බෝතලයක්ද රැගෙනය.දෙදෙනා පෙර දින මරා දැමු කාන්තාවගේ සිරුර අසලට ගොස් සිරුරට භූමි තෙල් දමා ගිනි තියන්නේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකිරීමේ අදහසිනි.   


සියල්ල අවසානයේ මෙම කාන්තාව සතුව තිබූ රන් ආබරණ වලින් කොටසක් තිස්සමහාරාමයේ උකස් මධ්‍යස්ථානයකටත්, තවත් ආභරණ කොටසක් බිබිල ප්‍රදේශයේ උකස් ආයතනයකටත් උකස් කරන මෙම තරුණයින් ඉන් රුපියල් 48000/= මුදලක් ගෙන එය සිව් දෙනා අතරේ බෙදා ගත්තෝය.   


සිය මවගේ ගමන සඳහා ගතවන්නේ පැය 04ක් පමණ බව දන්නා බිබිලේ සිටි දියණිය මවට දුරකතන ඇමතුමක් ගත්තේ කරදරයක් නැතිව ගියාද යන්න පිළිබඳව දැනගැනීමටය. කොතරම් දුරකථන ඇමතුම් ගත්තත් මව සිය දුරකථනයට පිළිතුරු නොදීම හේතුවෙන් දෙබරවැව සිටි ඥාතීන්ටද දුරකථන ඇමතුමක් අරගත්තේය. ඉන් කියවුණේ ප්‍රේමලතා දෙබරවැව නොපැමිණි බවයි. කලබලයට පත් ඥාතීහුද ඇය සොයන්නට වූහ. මවට කිසියම් හෝ කරදරයක් වී ඇතැයි සිතූ බිබිල පදිංචි දියණිය 04 වැනි දින පෙරවරුවේ බිබිල පොලිසියට ගොස් මවගේ අතුරුදහන් වීම පිළිබඳව පැමිණිල්ලක් කළාය. පොලිසියට ලද මෙම පැමිණිල්ලට අනුව බිබිල පොලිසියද අවට පොලිස් ස්ථාන වලටද දැනුම් දීමෙන් පසු මේ පිළිබඳව වූ පරීක්ෂණ ආරම්භ කළත් ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.   


ශ්‍රියානි ප්‍රේමලතා මහත්මියගේ අතුරුදහන් විම සිදුව මාස තුනකට ආසන්න කාලයක් ගත වෙද්දී දිනක් තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට දුරකථන ඇමතුමක් ලැබුණේ සිය ඔත්තු කරුවෙකුගෙනි. ඉන් කියවුණේ මිනී මැරුමක් සිදුකළ අයෙකු කතරගම ප්‍රදේශයේ නිදැල්ලේ සිටින බවය. ඒ අනුව මේ පිළිබදව වූ විමර්ශන කටයුතු පැවරුණේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයානන්ද හා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඬලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ ඇතුළු නිලධාරීන් පිරිසකටය.   

 

කාන්තාවට පහරදී ඝාතනය කළ පොල්ල

 


ලද දුරකථන ඇමතුම අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් විවිධ වූ පුද්ගලයන් ලෙස වෙස් ගෙන කතරගම අවට පීරන්නට වූයේ සැකකරු සොයාය. කම්කරුවන්, රස්තියාදු කාරයින්, ව්‍යාපාරිකයින් මෙන් වෙස් ගත් පොලිස් නලධාරීන් සතියකට ආසන්න කාලයක් තිස්සේ කතරගම හා ඒ අවට ඒ මේ අත ඇවිද යමින් අපරාධ කරු පිළිබඳව වූ විස්තර සොයා බැලීම සිදු කෙරුනි. මේ අතරතුරදී පසුගිය 11 වැනි දින කතරගම නගරයට ආසන්න ස්ථානයකදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. මෙලෙස අත්අඩංගුවට පත් වූයේ අංක 35, රජ මාවත, සෙල්ලකතරගම පදිංචි 34 හැවිරිදි මුදුන්කොටුවගේ අරුණ ප්‍රියන්ත නොහොත් වී.ඕ.සී. සුද්දා නැමති අයයි.   


අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රේමලතාගේ ඝාතනයේ අගමුල සියල්ලම හෙළි කරගැනීමට පොලීසියට හැකි විය. මීට අමතරව කතරගම ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් හා තවත් ගෙවල් බිඳීම් හා මංකොල්ල කෑම් රැසක් සම්බන්ධයෙන්ද මෙම සැකකරුට චෝදනා එල්ලවී තිබේ. මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට අනුව මෙම ඝාතනය සඳහා ගිය පරණ බුත්තල පාර, සෙල්ලකතරගම පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකු වූ කොකුහැන්නදිගේ තරංග ප්‍රියදර්ශනද කතරගම ප්‍රදේශයේදීම පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.   


අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කතරගම පොලීසියට බාර කෙරුනු අතර සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව ප්‍රේමලතාගේ ඝාතන සිදු කළ ස්ථානය සැකකරුවන් විසින් පෙන්වාදීමද සිදු කෙරුනි. එම ස්ථානයට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් තල්පාවිල මහතා ගොස් ස්ථානීය පරික්ෂණය සිදු කෙරුණු අතර එම ස්ථානයේ තිබී මියගිය කාන්තාවගේ බවට සැක කෙරෙන හිස් කබල හා තවස් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි විය. මිට අමතරව එම කාන්තාව ඇඳ සිටි ඇඳුම් කිහිපයක්ද එහි තිබී සොයා ගැනීමට හැකි විය. මේ ස්ථානයට තංගල්ල අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් (SOCO) හා හම්බන්තොට අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ගොස් පරීක්ෂණ කටයුතු සිදු කෙරුනි. අනතුරුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා 11 දින සවස තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුනි. අනෙකුත් සැකකරුවන් දෙදෙනා හා අපරාධය සඳහා යොදා ගත් බව කියන මෝටර් රථයද මේ වෙනවිට හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.   

 

 


තමන්ගේ මව වැනි මෙවැනි අයෙකු පැහැරගෙන ගොස් ඇය සතුව තිබූ දෑ මංකොල්ල කාගෙන ඉන්ද නොනැවති සිය කාමුක ආශාවන්ද ඉටු කර ගැනීමට තරම් මොවුන් සාහසික වීම අහස පොළොව නුහුළනා දෙයකි. තමන්ගේ දරු මුනුබුරන් හා මවු දෙමා පියන්ට කන්න දෙන්නට කියා තවත් මවක ඝාතනය කිරීම කොතරම් නම් තිරිසන් ක්‍රියාවක්ද යන්න අප ලිවිය යුතුම නැත. තව දුරටත් මෙ දහම් දීපය තුළ මෙවැනි අපරාධ සිදු නොවන්නට වග බලා ගත යුතුව තිබේ. දරුවන් කුඩා කල සිටම ගුණ ධර්ම වලින් පෝෂණය නොකරන්නට තව තවත් මෙවැනි අපරාධ සිදු වෙනු නොඅනුමානය.   


හම්බන්තොට මාතර දෙදිසාව බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, තංගල්ල සහකාර පොලිස් අධිකාරී 01 අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයානන්ද, තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඬලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ, පොලිස් සැරයන්වරුන් වන (10580) මුණසිංහ, (10436) චන්දනාත්, පොලිස් කොස්තාපල්වරුන් වන (44974) මංජුල, (35599) නාමල්, (48327) ගුණසේකර, (62427) සිරිවර්ධන, (40694) චමින්ද, (68664) දේශාන්, (68435) චමින්ද, (79437) ප්‍රතාපසිංහ හා (22898) ප්‍රදීප් යන නිලධාරීන් එක්ව වැටලීම සිදු කර සැකකරුවන් අත්ඩංගුවට ගෙන තිබේ.

 

 

සටහන හා සේයා රූ - සූරියවැව
දිලීප් ජයසේකර