ඔබේ දරුවා රවටන අලුත් මත්පෙති ඇවිත්


නීතියේ රැහැනට අසුනොවී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, බෙදාහැරීම පහසු නොවේ. එනිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ නීතියේ ඇසට වැලි ගසා මත්ද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි දේවල් සොයායාමට උනන්දුවක් දක්වති. ඇතැම් ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන්නට හැකි බව සොයාගන්නේ එහි ප්‍රතිඵල හැටියටය. එනිසා විටෙක ඖෂධයක් ලෙසත්  යොදා ගන්නා ද්‍රව්‍යයක් එහි මාත්‍රා වෙනස් කිරීමෙන් තවත් විටෙක මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්නටත් ජාවාරම්කරුවෝ ලොව පුරා තරුණ ප්‍රජාව යොමු කරමින් සිටිති.
මේ උවදුරට වඩාත් පහසුවෙන් ඇබ්බැහි වන්නේ පාසල් සිසුන් හා තරුණ ප්‍රජාවය. දරුවන් හා තරුණ පරපුර යනු රටක අනාගත පැවැත්මය. එහි ජීවනාලියය. රටේ සමෘද්ධියය. ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම යනු ඒ රටේ අනාගත පැවැත්ම අයාලේ ගෙනයාම වනු ඇත. සමෘද්ධිමත් දේශයක් වෙනුවට අපරාධ අපචාරවලින් පිරි දේශයක් හිමිකර දෙනු ඇත. 


මත්ද්‍රව්‍යවල ඉතිහාසය යනු මිනිසා බිහිවීමේ ඉතිහාසයයි. මුල්ම සමාජයත් විවිධ දේවල් මත්වීම සඳහා භාවිත කර තිබෙන බවට ඉතිහාස කතා ඇතුළත් පොත පතවලින් හෙළි වේ. එහෙත් අදටත් භාවිත වන මත්ද්‍රව්‍යයක් වන අබිංවල සිට අපි කතාව ආරම්භ කරන්නේ නම් දහනව වන සියවසේ ඉංග්‍රීසිහු තමන් අත්පත් කරගත් රාජ්‍යවල අබිං වගාකරන්නට පටන් ගත්හ. එම රටවල ජනතාවට අබිං භාවිතය පුරුදු කළහ. ඒ ඔවුන්ගෙන් වැඩිපුර වැඩ ගැනීම සඳහාය. ලංකාවටත් අබිං හා කංසා රැගෙන එනු ලැබුවේ ඉංග්‍රීසින් විසිනි. අබිං ගෙන්වීමට හෝ වෙළඳාමට බලපත්‍ර ලබාදීමෙන් ඉංග්‍රීසීහු ආදායම් ඉපයූහ. මෙය සමාජයට පිළිලයක් බවට පත්වන විට 1867 අංක 19 දරණ අබිං හා කංසා ආඥා පනත හඳුන්වාදෙනු ලැබිණ. විසිවන සියවස වන විට වඩාත් පැතිර ගියේ අබිං හා ගංජාය.

ඒ අනුව අන්තරායාකාරී විෂ මත්ද්‍රව්‍ය පනත ගෙන එනු ලැබිණ. එහෙත් ඉංග්‍රීසින්ගෙන් පසුවද මෙම මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම සඳහා පියවරක් ගැනීමට වසර තිහකටත් වැඩි කාලයක් ගතවන තුරු කිසිදු බලධාරියකු පියවර ගත්තේ නැත. 1984 අංක 11 දරණ අන්තරායදායක ඖෂධ පාලන ජාතික මණ්ඩල පනත මගින් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවනු ලැබිණ. 1978 විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීම වැඩිවීම මෙම පනත ගෙන එන්නට වඩාත් හේතු වූ බව විද්වත් මතය වේ. 
අබිං, කංසා, ගංජා ලෙස ආරම්භ වූ අපේ රටේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම මේ වන විට විවිධ ද්‍රව්‍ය ලෙසින් විවිධ අහුමුලු සිසාරා පැතිරී තිබේ. අද මත්උවදුර අතු ඉති විහිදා වැඩුණු වෘක්ෂයක් බවට පත්ව තිබේ. ඒ විවිධ නාම යටතේ මත් උවදුර පිටුදැකීමේ වැඩසටහන් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන කාල වකවානුවක වීම මෙහි ඇති ඛේදවාචකය වේ. 


සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දෙන පරිදි අද මදන මෝදකය, ගංජා සහ කංසා වැනි ද්‍රව්‍ය ග්‍රාමීය මට්ටමේ පවතින ද්‍රව්‍ය වේ. ගංජා වඩාත් බහුලව වගා කරන්නේ හම්බන්තොට, මොනරාගල, අම්පාර, බදුල්ල වැනි දිස්ත්‍රික්කවල වුවත් මේවා ගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්වීම් වැඩිපුර වාර්තා වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලිනි. ගංජා නගරයට පැමිණීම මෙයින් වඩාත් පැහැදිලි වේ. එසේම මේ වන විට හෙරොයින් ගමත් නගරයත් දෙකම ආක්‍රමණය කළ මත්ද්‍රව්‍යයක් බවට පත්ව තිබේ. මාවා, බීඩා, පන්පරාග්, බාබුල්, ස්ප්‍රේ කෝලා වැනි ද්‍රව්‍යද ගම, නගරය දෙකම ආක්‍රමණය කර තිබේ. ට්‍රැමඩෝල්, ක්‍රිස්ටල්, කෙටමින් හෙවත් කැට්, එල්එස්ඩී හෙවත් ස්ටෑම්ප්, හෂීස්, කේරළ ගංජා, කොකේන්, එක්ස්පසි හෙවත් එම්ඩීඑම්ඒ මේ කාලයේ වඩාත් ප්‍රචලිත මත්ද්‍රව්‍ය වේ. මෙයින් ඇතැම් ඒවා ඖෂධ වර්ග වේ. ඇතැම් ඒවා කෘත්‍රිමව නිපදවන ලද මත්ද්‍රව්‍ය වේ. 


ඖෂධීය ද්‍රව්‍යයක් ශරීරයට අනවශ්‍ය විටක හෝ අනවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගැනීම නිසා එයට ශරීරය අනුවර්තනය වීමෙන් මොළයේ සාමාන්‍ය පැවැත්ම විකෘති කරමින් මත්ද්‍රව්‍යයක් බවට පත් වේ. මෙම ද්‍රව්‍යයන් ශරීරයේ රැඳී තිබෙන විට මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලිය විකෘති වේ. දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිදුවීමෙන් මොළයේ ඇතැම් කොටස්වල ක්‍රියාකාරිත්වය හීන වී අක්‍රිය වන්නට පටන් ගනී. එවිට ඒවායින් ඉටුවන කාර්යය කරගැනීමට මත්ද්‍රව්‍ය තව තවත් භාවිත කරන්නට සිදුවනු ඇත. එය ඇබ්බැහියක් වන්නේ ඒ නිසා බවයි වෛද්‍ය මතය. 


මත්ද්‍රව්‍යයක් ඇඟට ඇතුළු වූ විට පසුව එය ලේවලට මිශ්‍ර වේ. ඉන්පසු පරිවෘත්තීය ක්‍රියාවට ලක්ව සෙම්, සොටු, අසූචි, මුත්‍රා වැනි කවර ආකාරයකට හෝ ශරීරයෙන් ඉවත් වේ. මෙය අවුරුදු 21ට අඩු දරුවන් තුළ වඩාත් වැඩි වේගයකින් සිදුවන බව අන්තරායකර ඖෂධපාලක මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂක, නිවාරක අධ්‍යාපන පුහුණු, ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර මහතා පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය භාවිතය නිසා මතක ශක්තිය හීනවීම, සිහි බුද්ධිය හීනවීම, නිසි තීරණයක් ගන්නට නොහැකි වීම, සංවේදිතාවන්ට බාධා වීම, ආක්‍රමණශීලී ස්වභාවයක් ඇති වීම, තදින් කලබල වීම, නොරිස්සුම, නින්ද නොයාම, අදහස් විරහිත වීම, හිත එල්ලයට තබාගැනීමට නොහැකි වීම, ඉච්ඡාභංගත්වයට පත්වීම, මානසික පීඩනය හා අවපාතය, හුදෙකලාව සිටීමට ඇති කැමැත්ත ආදී මානසික වශයෙන් වන අතුරු ප්‍රතිඵල ඇති වේ. 


එසේම ශාරීරික වශයෙන් අක්මාව, වකුගඩු, මොළය ආශ්‍රිත රෝග ඇති වීම, හෘදය හා පෙනහලු ආශ්‍රිත රෝග විශේෂයෙන්ම පිළිකා වැනි රෝග, ඒඞ්ස් හා සෙංගමාලය, කෑම අරුචිය හෝ බඩගින්න වැඩිපුර දැනීම, ලිංගික අප්‍රාණිකත්වය වැනි තත්ත්වවලට මුහුණ දීමට මත්ද්‍රව්‍ය භාවිත කරන්නට සිදුවනු ඇත. මෙම මත්ද්‍රව්‍යවලින් බහුතරය වේදනා නාශක හෝ නිර්වින්දන හෝ මානසික ආබාධවලට භාවිත කරන ද්‍රව්‍ය වේ. ඒවායේ මාත්‍රා වෙනස් කිරීමෙන් මත්ද්‍රව්‍යයක් හැටියට භාවිත කරන්නට පෙළඹී තිබේ.


මදනමෝදකයද එහි පවතින ගංජා සාන්ද්‍රණය එළඟිතෙලෙන් රත්කර ඉවත් කිරීමෙන් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ද්‍රව්‍යක් වුවත් ජාවාරම්කරුවන් ඒවා සකස් කරන්නේ ඒ ප්‍රමිතියට නොවන නිසා එයින් මත් ගතියක් ඇති වේ. ක්‍රිෂ්ටල් මෙත් යනු දැනට සොයාගෙන තිබෙන අතිභයානකම මත්ද්‍රව්‍යය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙය කෘත්‍රිම මත්ද්‍රවයක් වන අතර, එය සොයාගනු ලැබ තිබෙන්නේ 1919 දී එපඩී්‍රන් නමැති ඖෂධය නිස්සාරණය කිරීමෙන් අකිරා ඔගාටා නමැති අයකු විසිනි. බඩගින්න නොදැනීම, මලබද්ධය, වෙව්ළීම, නින්ද නොයාම ආදිය මෙවැනි අයට ඇති වන ශාරීරික වෙනස්කම් වන අතර, මෙය දිගින් දිගට භාවිත කිරීමෙන් විදුරුමස් දියවීම, අභ්‍යන්තර ශරීර අවයව දුර්වල වීම, අස්ථි දියවීම ආදිය සිදුවනු ඇත. එල්එස්ඩී යනු ක්‍රිෂ්ටල් ඇසුරෙන්ම නිපදවන ද්‍රව්‍යයකි. මෙය ජෙලි පෙත්තක් සේ මුද්දරයක් වැනි ආකාරයට මෙන්ම පෙති හා කරල් ලෙසද භාවිත කෙරේ. මෙය භාවිතා කළ විට භ්‍රාන්තිජනක දර්ශන පෙනෙන්නට පටන් ගනී. උදාහරණ ලෙස තමන් කන්දක මුදුණේ සිටිනා බවක් එහි ලාවා ගලන බවක් වැනි දේ පෙනෙන්නට පටන් ගනී. එක්ස්පසි යනුද මෙවැනි තවත් මත්ද්‍රව්‍යයකි. කෙටමින් හෙවත් කැටි නමැති මත්ද්‍රව්‍යය භාවිත කිරීමෙන් කිසිවෙකු මරන්න හිතෙන ස්වභාවයක් මෙන්ම තමන්ට සිය දිවි නසාගන්නට හිතෙන තත්ත්වයන්ද ඇති වන බව වෛද්‍ය මතයකි.      


අද වන විට පාසල් අසල කඩවල විවිධ නම්වලින් මත්ද්‍රව්‍ය විකිණීමට තිබේ. අප සමඟ අදහස් දැක්වූ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂක නිවාරක අධ්‍යාපන පුහුණු, ප්‍රදීප් කුමාර කොහොලානේගෙදර මහතා පවසන පරිදි පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ දුම්කොළ භාවිතයෙනි. වැරදි සමාජ ආශ්‍රය, වැරදි මිතුරන් ආශ්‍රය නිසා මෙන්ම අපේ රටේ ඉහළ මධ්‍යම පංතිකයන් තුළ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පවතින ලිහිල් ප්‍රතිපත්තිය නැතහොත් කැමැත්ත නිසා දරුවන් මත්ද්‍රව්‍යවලට එකතු වන්නේ මාපියන්ගේ ආශිර්වාද මැදය. එවැනි දරුවන් ඉගෙන ගන්නා පාසල්වල සිටින සාමාන්‍ය පවුල්වල දරුවන්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරගැනීමට ඔවුහු සමත්වෙති. මත්පැන් ආදියෙන් ආරම්භ කරන ඔවුන්ගේ ගමන අවසන් වන්නේ ඉහත සඳහන් කළ විෂ මත්ද්‍රව්‍යවලිනි. 


මත්පැන් භාවිත කළ විට දුර්ගන්ධයක් දැනෙන නමුත් ඉහත කී ඖෂධීය ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මාපියන්ට හඳුනාගැනීමට නොහැකි වේ. එහෙත් මෙවැනි අයට රාත්‍රියට නින්ද නොයන අතර, දිවා කාලයට නින්ද ඇති වේ. එසේම පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීමද වැඩිය. නොරිස්සුම, වහා කෙන්තියාමද ඔවුන් පෙන්වන ලක්ෂණයකි. එසේම ඔවුන් නිතර මුදල් ඉල්ලා කරදර කිරීමටද පෙළැඹේ. දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන මාපියන්ට තම දරුවා මෙවැනි භයානක මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහී වී තිබේ නම් දරුවන් තුළින් ඉහත ලක්ෂණ දැකගැනීමට හැකි වීම අමාරු නැත. එවිට තව තවත් දරුවා පිළිබඳව සැලකිලිමත්ව සිටීමෙන් ඔවුන්ගේ නරක ඇබ්බැහිය හඳුනාගෙන ඔවුන් බේරාගැනීම සඳහා කටයුතු කළ හැකිය. 


ඇතැම් වනන්තරවල කිසිදු යටි වියනක් නැත. අවම වශයෙන් කුඩා පැළෑටියක්වත් නොවැඬේ. එසේම මත්ද්‍රව්‍ය පැතිරුණ රටක යහපත් තරුණ ප්‍රජාවක් නොවැඬේ. එය එරට සංවර්ධනයට මහත් බාධාවකි. එනිසා මේ දැවැන්ත වෘක්ෂ සහිත වනය මුලින් උදුරා දමා විනාශ කිරීම වෙනුවට එහි අතු රිකිලි හෝ කොළ කඩාදැමීමෙන් අත්වන කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොවනු ඇත. අද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගෙන් වැඩිම දෙනා ඒවා ප්‍රවාහනයට සම්බන්ධ වන අතරමැදියන් වන අතර ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වන්නේ ඉතාමත්ම කලාතුරකිනි. එසේම මේ සඳහා පවතින නීතිවලද යම් හිඩැස්වලින් රිංගා යාමට අත්අඩංගුවට පත්වන්නෝ සමත්වෙති. මේ සියල්ල සලකා බලා නිසි ක්‍රමවේදයක් සැකසීම මෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම, සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන් පුළුල් කිරීම ආදියද අද දවසේ අත්‍යවශ්‍ය වනු ඇත. රටක මත්ද්‍රව්‍ය පිටුදැකීමේදී වඩාත් වැදගත් වන්නේ ඒවා මර්දනයට නොබියව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හැකි පාලකයන් සිටීමය. 

මුදිතා දයානන්ද සහ ඉරේෂා නදීෂානි