එදා සප්තකන්‍යා ගුවන් අනතුර ඇසින් දුටු අයකුගේ මතකය


 

‘කන්දේ හැපුණ මහ වනන්තරේ
ඩීසී අට ගුවන් යන්තරේ
මරු ආ කල මිතුරේ
බේරෙන්නට බෑ සසරේ
කාගෙද මේ  වරද නොතේරේ’


මෙම ජනප්‍රිය ගීතය අද, බාල තරුණ මහලු කා අතරත් සවනත රැව් පිළිරැව් දෙන්නේ අපේ රටේ සිදු වූ භයානකම ගුවන් අනතුර සිහිගන්වන නිසාය.
මීට වසර 45කට පෙර එනම් 1974 දෙසැම්බර් 04 ද‌ා ශ්‍රී ලංකාවේ මෙම භයානක අනතුර සිදුව ඇත.
ඕලන්දයේ මාටින් එයාර් සමාගමට අයත් ඩීසී-8 ගුවන් යානයක් ඉන්දුනීසියාවේ ඉස්ලාම් භක්තිකයන් 191ක පිරිසක් රැගෙන මක්කම බලා ගමන් කරමින් සිටියදී මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා කඳුවැටියේ ගැටීමෙන් එහි ගමන් කළ මගීන් සියලු දෙනාම දැවී මියගිය අතර එය ලංකාව තුළ සිදු වූ ​ලොකුම ගුවන් ඛේදවාචකය ලෙස සැලකේ. අද අපට දැක ගැනීමට ඇත්තේ එම ගුවන් යානයේ සුන්බුන් කිහිපයක් පමණි.


එදින රාත්‍රී මෙම අනතුර සියැසින් දුටු ආර්.එම්. රණවීර මහතා ගෝනපොළ මෙහොට්ටිගොඩ ගමේ පදිංචිකරුවෙකි. එකල 16 හැවිරිදි කොලුගැටයකු වූ ඔහු සපුගස්තැන්න වතුයායේ සේවය කරමින් සිට ඇත.
මෙම නුහුරු භයංකර අත්දැකීම පිළිබඳව ඔහු මෙසේ පැවසීය.
“එතකොට මම අවුරුදු 16ක විතර ගැටයෙක්. ඒ වෙද්දි මම පාසලෙන් ඉවත් වෙලා මස්කෙළිය ප්‍රදේශයේ හපුගස්තැන්න වතුයායේ තිබුණු බේකරියක වැඩ කළා.
අනතුර සිදු වූ සප්තකන්‍යා කඳුවැටිය ඒ බේකරිය ළඟට ​හොඳට පේනවා. දෙමළ මිනිස්සු මේ කඳුවැටියට කියන්නෙ අංජිමලේ කියලා.
මේ අනතුර සිදුවුණ දවසෙ මම රෑ වැඩ කරමිනුයි හිටියෙ. ඒ කාලෙ ඒ ගම් පළාතට විදුලිය තිබුණෙ නැහැ. හැම ගෙදරකම භූමිතෙල් ලාම්පු තමයි දැල්වුණේ. ඉතින් ගමේ හැමදෙනාම රාත්‍රී 9 වෙද්දි ගෙවල් දොරවල් වහලා නින්දට යනවා. ඒ නිසා මුළු පළාතම ඝන අඳුරුයි.


එද‌ා රෑ 10ට විතර මම පොඩ්ඩක් එළියට ආවා. එතකොට ඈතින් එන ගුවන් යානයක ශබ්දය ඇහුණා. විනාඩියක් විතර ගියාට පස්සෙ ඒ අහස් යාත්‍රාව අපි හිටිය ස්ථානයට උඩින් පියාසර කළා. නමුත් මා පුදුම වුණේ මේ යානය ඉතා පහළින් ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් උස පොල් ගහක විතර උඩින්. ගුවන් යානයෙන් රතු පාට විදුලි බුබුළක් නිව් නිවී පත්තු වුණා. ඒ අතරම එහි තිබුණු බෙල් එකක් වේගයෙන් නාද වුණා. ඒ ශබ්දයත් මට තදින්ම ඇහුණා. මේ යානය ගියේ කඳුවැටිය තියෙන දිශාවට. මට නිකමට වගේ හිතුණා ගුවන් යානයේ කුමක් හෝ කාර්මික දෝෂයක් ඇති බව. නැත්නම් රතු ලයිට් එකක් පත්තු කරගෙන සීනුවක් නාද කරමින් යන්නෙ නැහැනෙ.
ඒ මොහොතෙම මට තේරුණා යානය කොයි මොහොතේ හෝ කන්දෙ වදිනවා කියලා. ඒ හිතුවා වගේම යානයේ වම් පෙදෙසෙ තටුව කන්දෙ ගෑවී ගිහින් උඩට එසවී තවත් කඳු ගැටයක වැදී මහා ගිනි බෝලයක් බවට පත්වුණා. ගුවන් යානය මහා ශබ්දයක් එක්ක තමයි හැපිලා ගිනිගත්​තෙ.
ඒ එක්කම ගමේ මිනිස්සු ගෙවල් දොරවල් ඇරගෙන දුවගෙන එන්න පටන් ගත්තා. නමුත් කිසි කෙනෙක් දන්නෙ නැහැ මොකද වුණේ කියලා. කාටත් පෙනුණෙ කන්ද මුදුනෙ ගිනි ජාලයක්. මම විස්තර කිව්වට පස්සෙ තමයි දැනගත්තෙ.

 

  • මේ ගුවන්යානය අනතුරට පත් වූ ආකාරය මම සිතියම් ගත කළා. මම වෘත්තියෙන් ගොඩනැගිලි කාර්මිකයෙක්. ඒ නිසාම අනතුර සිහිවීම පිණිස එම ගුවන් අනතුරේ සැමරුම් ඵලකයක් මම නිර්මාණය කරනවා. ඒ මගේම දෑතින් මගේම වියදමින්.

 


නමුත් අපි කිසි කෙනෙකුට කන්දට කළුවර නිසා යන්න විදියක් නැහැ. කන්දට යන්න පාරකුත් නැහැ. ඒක ඝන කැලෑවෙන් වැහිලා තියෙන්නෙ.


පසුවද‌ා ගුවන් හමුද‌ාවෙ හෙලිකොප්ටරයක් ඇවිත් අනතුර වුණ තැන හොයාගත්තා. ඊට පස්සෙ මිනිස්සු වැල නොකැඩී අනතුර වෙච්ච තැන බලන්න කන්දට නගින්න පටන් ගත්තා. මමත් ගියා. ඒත් කලින් කන්දට නැග්ග සමහරු කන්ද නැගඟෙන එන මිනිස්සුන්ට උඩ ඉඳලා ගල් පෙරළන්න පටන් ගත්තා. ඒ විදියට කළේ අනතුරින් විපතට පත් වුණ මිනිසුන්ගෙ බඩු මුට්ටු හොරකම් කරන්න බලාගෙන හිටපු පිරිස්. පාරක් නැති නිසා මිනිස්සු කන්දට නැග්ගෙ ගල් උඩින් පැන පැන සහ වැල්වල එල්ලිලා.
අනතුර වුණු තැන පිච්චුණු මළ සිරුරුයි ගුවන් යානයේ සුන්බුන් ආදියයි, මගීන්ගේ බඩු මුට්ටුයි විසිරිලා තිබුණා. සමහර මළ සිරුරු බාගෙට පිච්චිලා. මට මළ සිරුරු පනහක් හැටක් වගේ ගණන් කරන්න හැකි වුණා.


ගුවන් හමුද‌ාවෙන් පැමිණි පිරිස විසින් මගීන්ගේ බඩු බාහිරාදිය කන්දක් මෙන් ගොඩ ගහලා තිබුණෙ. ගුවන් යානයේ සුන්බුන් අහුලාගත් අය ඒ කෑලි එක එක අයට විකිණුවා. මටත් ගුවන් යානයේ එන්ජින් එකේ කෑල්ලක් හමුවුණා. අදටත් මම එය පරෙස්සම් සහිතව තියාගෙන ඉන්නවා.
මේ ගුවන්යානය අනතුරට පත් වූ ආකාරය මම සිතියම් ගත කළා. මම වෘත්තියෙන් ගොඩනැගිලි කාර්මිකයෙක්. ඒ නිසාම අනතුර සිහිවීම පිණිස එම ගුවන් අනතුරේ සැමරුම් ඵලකයක් මම නිර්මාණය කරනවා. ඒ මගේම දෑතින් මගේම වියදමින්.


ඒ තුළින් මම නැති කාලෙක වුණත් අනාගත පරපුරට ඉතිහාසය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකියි.”

 

 

ධනු විජේරත්න