එතෙර ධර්ම ප‍්‍රචාරයට ධර්මපාලතුමා පැවිදි කළ මුල් දස දෙනාගෙන් මමත් එක් අයෙක්


ජපානයේ අධිකරණ සංඝ නායක  බානගල උපතිස්ස හිමි 

 

 

 

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන අරුතට අභියෝග කරමින් ලොව විවිධ ආකාරයෙන් ජයගත් ජපානයේ අධිකරණ සංඝනායක බානගල උපතිස්ස මහ නාහිමියන් පැවිදි දිවියට පත්ව වසර 50 ක් ඉක්මවන අතර උන්වහන්සේගේ 68 වන ජන්ම දිනය පසුගිය පස් වැනි දින යෙදී තිබිණි.   


ලොව ජයගත් බානගල උපතිස්ස මහනාහිමියන් පිළිබඳව ලොව නොදන්නා කෙනෙකු ඉතා අල්පය. ඒ බානගල උපතිස්ස යන නාමයෙන් පමණි. එහෙත් උන්වහන්සේ පැවිදි දිවියේ පනස් වසක් ගත කරමින් ඉන්දියාව, ජපානය ශ‍්‍රී ලංකාව ආදී රටවල්වල පමණක් නොව ලොව බොහෝ රටවල බුද්ධ ධර්මය ප‍්‍රචාරණය කිරීම අහිංසක දුප්පත් ජනතාවට උදව් පදව් කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කිරීම ආදී කරුණු බොහෝ දෙනා දනිති. එහෙත් උන් වහන්සේගේ ජීවන ගමන පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති.  


දකුණු පළාතට අයත් මාතර දිස්ත‍්‍රික්කයේ දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ බානගල නම් වූ ඉතා දුෂ්කර ගම්මානයේ 1950 වසරේ ජනවාරි පස් වැනි දින මෙලොව එළිය දුටු ජේ. එල්. උපතිස්ස නම් වූ කුල කුමරුවා අද වනවිට බානගල උපතිස්ස මහා නා හිමියන් නමින් පැවිදි දිවියේ පනස් වසක් නැතතොත් අඩසිය වසක් සපුරා අවසන්ය.   


බානගල උපතිස්ස මහනාහිමියන් පසුගිය සතියේ විවේකීව වැඩ සිටියේ හබරණ පලුගස්වැව පාරම්පරික හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනෙවිරත්න මහතාගේ වෙදමැදුර තුළය. ඒ පාදයේ ආබාධයක් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමටය. එම අවස්ථාවේ දී උන්වහන්සේ සමග ආගිය තොරතුරු කතාබහ කරන්නට අපට අවස්ථාවක් උදාවිය.   


බානගල උපතිස්ස නා හිමියන් පැවිදි දිවියට මුල පුරනු ලබන්නේ 1967 වසරේ ඉන්දියාවේ සාංචියේදීය. ඒ වයස අවුරුදු දාහතක් වූ විටදීය. ඊට පෙර සිටම පැවිදි කාලයේ ද උන්වහන්සේ වසර කිහිපයක් ගත කරනු ලැබූයේ ඉන්දියාවේ බරණැස වීම විශේෂත්වයකි.   


දෙනියාය බානගල ගම්මානේ මඩ ජෝරේ ඇවිදිමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ සමයෙහි අනගාරික ධර්මපාලතුමාගේ මගපෙන්වීම යටතේ ඉන්දියාවේ මහාබෝධි සමාගම ආරම්භ කොට එහි ධර්ම දූත සේවය සඳහා ශ‍්‍රී ලංකාවෙන් කුල දරුවන් පැවිදි කිරීම සඳහා යැවීමට පුවත්පත් දැන්වීම් මගින් දරුවන් සෙවීම එකල ආරම්භ වී තිබිණි. එකල කුල දරුවන් දස දෙනෙකු මෙරටින් ඉන්දියාවට රැගෙන යෑමට මහාබෝධි සමාගම අවශ්‍ය පියවර ගෙන තිබිණි. ඉන් එක් අයකු බවට පත්වූයේ පුවත්පත් දැන්වීමකට අනුව උපතිස්ස නම් වූ කුල දරුවා බානගල ගම්මානයේ සීලරතන රාම විහාරයේ බානගල සීලරත්න නාහිමියන් ගේ මැදිහත්වීම මතය.   


එදා සිය මතකයන් පිළිබඳව නැවතත් ආවර්ජනය කළ බානගල උපතිස්ස මහ නාහිමියන් මෙසේ පැවසූහ.   


‘‘මහාබෝධි සමාගමේ නිර්මාතෘවරයා වෙන්නේ අනගාරික ධර්මපාල තුමා. උන්වහන්සේගේ බෞද්ධ ප‍්‍රචාරක කටයුතු වලට විශේෂයෙන් දඹදිවට පැවිදි කළ ධර්ම දූත පිරිසක් පුහුණු කිරීමට ඒ දවස්වල පත්තරවල දැන්වීම් දාලා තිබුණා. ඒ 1961 වසරේ. මමත් ඒ විදිහට මහා බෝධි සමාගමට ඇතුළු වුණා. එදා කුල දරුවන් දහදෙනෙක් ඇතුළු වෙලා හිටියා. ඒ අය අතර මමත් කෙනෙක්, මහාබෝධි සමාගමේ ගිහි කුඩා දරුවෙක් හැටියට මූලික අධ්‍යාපනය හදාරා එව්වා. මට අවුරුදු 12 සම්පූර්ණ වෙනකොට බරණැස ඉසිපතනාරාමයේ දී තමයි ඉගැන්වීම් කටයුතු සිද්ධ කළේ. ඒ මූලගන්ධ කුටිය විහාරය දී. අවුරුදු පහක පමණ කාලයක් එහි දී අධ්‍යාපනය ලැබුවා. 1967 වසරේ තමයි මම පැවිදි දිවියට එළඹුණේ. ඒ කොළඹ මාලිගාකන්ද අග‍්‍රශ‍්‍රාවක විහාරයේ දී. එහෙම පැවිදිවෙලා අද ඉන්දියාවේ මහාබෝධි සමාගමේ සභාපති ධුරය දරන, ඒ වගේම ජපානයේ අංගසම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකොට පානයේ අධිකරණ සංඝනායක පදවිය ලබන්න තරම් මම භාග්‍යවන්ත වෙලා තිබුණා.”   


‘‘මම ඉන්දියාවේ ඉන්න කාලේ තරුණ අවධියේ දැනගන්න ලැබුණා ධර්මපාල තුමා ජපානයට ගිහිල්ලා විවිධ ක‍්‍රියාකාරකම් සිද්ධ කරලා තියෙනවා කියලා. ඒ අනුව වයස අවුරුදු 22ක්, 23ක් වගේ වෙනකොට තමයි මම මුලින්ම ජපානයට යන්න තීරණය කළේ. ජපානයේ දී මට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විහාරයක් හදන්න හැකියාව ලැබුණා. ඒ මම ලබපු සුවිශාල වූ ජයග‍්‍රහණයක් කියලයි හිතන්නේ. එවකට ශ‍්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෙනල්ලා තමයි ජපානයේ මං හදපු විහාරය විවෘත කළේ.”   


‘‘ජපානයේ මේ සුවිශාල වූ වෙනස ඉටු කරන්න, ඒ විතරක් නෙවෙයි ලංකාවේ කුඩා දරුවන්ගේ අධ්‍යාපන ක‍්‍රමවේදය වෙනස් කරන්ඩ, විතරක් නෙවෙයි විශාල ආධාර රැස් කොට ජනතාවට බෙදා දෙන්න එකම එක තේ කෝප්පයක විප්ලවයක් තමයි තියෙන්නේ. ඒක හරිම සුන්දරයි. තවමත් ඒක මට මතකයි. ඒ තමයි මම ඉන්දියාවේ වැඩ ඉන්න කාලේ ජපානයේ අම්මා කෙනෙක් ඉන්දියාවට ඇවිල්ලා තිබුණා. යුසිටා මාතාව තමයි එතුමිය. මම කහට කෝප්පයක් බොන්න දුන්නා. තේ කහට කෝප්පය තමයි මේ සියලු විප්ලවයන්වල මූලාරම්භය වගේම වෙනස බවට පත්වුණේ. එදා එම මව සමග සමීප වෙලා මට මවක් වගේ බුදු දහම ප‍්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය ආධාර උපකාර සිදු කළා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙත්, ජපානයේ විහාරය හදන්නත් විශාල වශයෙන් ඇය මට උදව් කළා. ඒ වගේම අද ලංකාවේ ක‍්‍රියාත්මක වූ ළදරු පාසල ඇයගේ නමින් ආරම්භ කළේ ඒ නිසයි.”   
‘‘මේ සියලු හපන්කම් කරන්න මට පුළුවන් වුණේ අපේ ගුරු දේව හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස මහා නාහිමියන් නිසා තමයි. උන්වහන්සේ ලබාදුන් නායකත්වය අද මගේ ජීවිතේ වෙනසක් ඇති කළේ.”   


‘‘1980 වසරේ මම මුලින්ම ගම්වලට උදව් කිරීම ආරම්භ කළා. එයින් පළමුවෙන්ම තෝරගත්තේ මම ඉපදුණු ගම වූ බානගල ගම, ඒ වෙනකොට යන්න එන්න පාරක් නෑ. විදුලිය නෑ. නිවාස නෑ. ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් තමයි බානගල ගමේ මිනිස්සු ගෙව්වේ. ඒ නිසා මම මගේ ගමට ගිහිල්ලා ගමේ දුෂ්කරතාව පිළිබඳව ෆොටෝ කීපයක් ගහලා පිට රටවල ඉන්න මිතුරන්ට මං මේක පෙන්නුවා. ඒ අවස්ථාවේ දී ගම සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන්න මට මුදල් ලැබුණා. ඒ සියලු මුදල් ටික මම අරන් ගිහින් එවකට රටේ ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහත්තයට ලබා දීලා මගේ ගම සංවර්ධනය කරන්න කියලා කිව්වා. ඒ අනුව තමයි මගේ ගම්මාන සංවර්ධනය කිරීම ආරම්භ කළේ.


බානගල උපතිස්ස මහනාහිමියන් ලෝකයේ රටවල් ගණනාවකට වැඩම කරමින් ධර්මදූත සේවාවේ නියැළී සිටින අතරතුර දී මේ රටට අත්කරදෙන කීර්තිය මෙන්ම සහන රැසකි. මේ නිසාම විවිධ ආගම් අදහන භක්තිකයෝද බානගල උපතිස්ස මහනාහිමියන්ට බෙහෙවින් ආදරය කරති. ඒ සුවිශේෂී වූ සිද්ධිය අපට වාර්තා වූයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බානගල උපතිස්ස මහනාහිමියන් අත තිබූ ‘‘අන්ජලි කරනෙයියෝ” යන ග‍්‍රන්ථය සෝදුපත් කියවන දසුන් දුටු විටය. ඉංග‍්‍රීසි බසින් ලියවූ ග‍්‍රන්ථය මේ වන විට මුද්‍රණය සඳහා සියලු කටයුතු සූදානමින් පවතී. එහි ලියැවී ඇත්තේ බානගල උපතිස්ස මහා නා හිමියන්ගේ ජීවන තොරතුරු වීම විශේෂත්වයයි. ග‍්‍රන්ථයේ කතුවරයා වන්නේ ඉස්ලාමීය ජාතික අකීල් සිද්ධියක් වීමය. බානගල උපතිස්ස මහනාහිමියන් අප සමග කියා සිටියේ ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ළඟදීම ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවය.   

 

 

 

 

 

 

 

 

දඹුල්ල : කාංචන කුමාර ආරියදාස