උතුරේ මුස්ලිම් දේශපාලකයනුත් හර්තාල් ව්‍යාපාරයට


 

පසුගිය සතිය ගෙවී ගියේ උතුරු පළාතේ දැඩි දේශපාලන මෙන්ම ජනතා විරෝධතා හා හර්තාල් ව්‍යාපාරවල උණුසුමත් සමගිනි. උතුරේ ජනතාව මෙන්ම උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් විටෙක නිහඬව සිටියද තවත් විටෙක ඔවුහු ආණ්ඩුවට එරෙහිව සටන් වදිති.


දැනට දින 60කට ආසන්න කාලයක සිට උතුරේ අතුරුදන්වූවන්ගේ මාපියන් ඥාතීන් ඇතුළු පිරිස ගෙන යන විරෝධතාව තවමත් නිමවී නැත. ඊට විසඳුමක්ද මෙතෙක් ලැබී නැතැයි ඔවුහු චෝදනා කරති. 


තමන් ගෙන යන විරෝධතාවට ආණ්ඩුව මෙතෙක් පැහැදිලි හෝ යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ආණ්ඩුවට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා (27) දවස පුරාම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් දියත් කළේ උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේද සහය ඇතිවයි.


මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා උතුරු - නැගෙනහිර මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයන්ද සහභාගිවීම කැපී පෙනෙන සිද්ධියකි. යාපනය දිස්ත්‍රික්කයට අයත් දිස්ත්‍රික්ක පහේම මෙම හර්තාල් ව්‍යාපාරය ඉතා සාර්ථකව පැවැති බව උතුරේ ආරංචි මාර්ග පවසයි.
උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරය පිළිබඳ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ, ජනතාවගේ ආවේගශීලී භාවය නිසා ඔවුන් ගෙන යන උපවාසය හා හර්තාල් ව්‍යාපාරය සඳහා තමන්ගේද සහය පළ කරන බවයි. ඒ පිළිබඳව සොයා බැලීමට ආණ්ඩුව අපොහොසත්වීම කණගාටුවට කරුණක් බවද ඔහු ප්‍රකාශ කළේය.


ඒ පිළිබඳව වැඩිදුරටත් විග්නේෂ්වරන් මහතා මෙසේ පැවැසීය. 


“මේ ගෙනයන හර්තාල් ව්‍යාපාරය උතුරේ ජනතාව ආරම්භ කළේ ඔවුන්ගේ ආවේගශීලී භාවය පෙන්වන්නයි. ආණ්ඩුව මේ මොහොතේ නිහඬ පිළිවෙතක් ගෙනයාම අපිට ගැටලුවක්. මොකද, මේ අතුරුදන්වූ තරුණ පිරිස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකට ඡායාරූපවලට පෙනී ඉඳලා තිබෙනවා. ඔවුන්ගේ ඥාතීන් ඒ ඡායාරූප රැගෙන තමයි විරෝධතාවේ නිරත වෙන්නේ.


“ඉතින් අපිත් ප්‍රශ්න කරන්නේ එහෙම ඡායාරූපවලට පවා පෙනී සිටි තරුණයන්ට මොකද වුණේ කියන කාරණාව ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. ඒක ආණ්ඩුවේ වගකීම. ආණ්ඩුවට ඒ ප්‍රශ්නෙන් මඟහැර යන්න බැහැ.


“කණගාටුයි කියන්න, ආණ්ඩුවේ කිසිම බලධාරියෙක් මෙතෙක් මේ ප්‍රශ්නයට මැදිහත්වෙලා නැහැ. අතුරුදන්වූවන්ගේ ඥාතීන් ගෙනයන උපවාසයට දැන් දින 60 කට ආසන්න වෙනවා. ඇයි ආණ්ඩුව මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නෙ නැත්තේ? ඒක නිසා තමයි ඒ ජනතාව පසුගියදා හර්තාල් ව්‍යාපාරයක් දියත් කළේ. මින්පසුවත් ආණ්ඩුවට දැනෙන්නට ආණ්ඩුව ඊට මැදිහත් නොවුණහොත් තත්ත්වය මීට වඩා දරුණු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ආවේගය අපට නවත්වන්න බැහැ. මොකද අපේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කරන්න දැඩි වෙහෙසක් ගත්තා. ඒක නිසා අපිත් දේශපාලනඥයන් හැටියට ආණ්ඩුවට කියන්නේ වහාම මෙයට මැදිහත් වෙන්න කියලා.


උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලනඥයන් බොහෝ දෙනකු මැදිහත් වී මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර තිබුණි. පසුගිය බ්‍රහස්පතින්දා (27) පෙරවරු 6ට ආරම්භ වූ හර්තාල් ව්‍යාපාරය එදින සවස් වනතුරුම පැවැති අතර එය ඉතා සාර්ථක වූ බව උතුරේ ආරංචි මාර්ග පැවැසීය. කඩ සාප්පු වසා තිබූ අතර බස් ධාවනයද සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබුණි. ආණ්ඩුව මෙයට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මෙයට වඩා දරුණු ලෙස හර්තාල් වගේම උද්ඝෝෂණ දියත් කරන බව උතුරේ අතුරුඳන් වූවන්ගේ ඥාතීහු පවසති.


කෙසේ වෙතත් උතුරේ අතුරුඳන්වූවන්ගේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට ඉන් මඟහැර යා නොහැකි බව දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේය.


වැඩිදුරටත් මේ පිළිබඳ අදහස් දැක්වූ පොන්නම්බලම් මහතා පැවැසුවේ උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් මේ ගෙනගිය හර්තාල් ව්‍යාපාරය සාර්ථකවූ බවයි.


“උතුරේ අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව මෙතෙක් ලබාදුන් පොරොන්දු තවමත් ඉටුකරලා නැහැ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදීද මේ පිළිබඳ කථා වුණා. ඒත් ඒ තීරණ තවමත් ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව ක්‍රියා කරලා නැහැ. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවන්න යෝජනා කළත් තවමත් ඒ කාර්යාලය පිහිටුවලා නැහැ. අන්න ඒ කාරණා ඉටු කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකරන හින්දයි මේ හර්තාල් ව්‍යාපාරයත්, උද්ඝෝෂණත් දියත් කළේ.


දැන් බලන්න මැතිවරණ කාලසීමාවේ මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරු එක්ක මේ අතුරුදන්වූ තරුණයන් ඡායාරුප පවා අරගෙන තිබෙනවා. ඉතින් ඒ පවුල්වල ඥාතීන් බලන් ඉන්නේ ඊට පස්සේ මොවුන්ට මොකද වුණේ කියලා දැන ගන්න. ඔවුන්ට විශ්වාසයක් නැහැ ඇත්තටම ඔවුන් මිය ගියාද කියලා. අනිත් කාරණය තමයි, ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි අතුරුදන්වී තිබෙන්නේ.


දැන් මේ හර්තාල් ව්‍යාපාරයෙන් පස්සේ මීට වඩා දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් කරන්නත් ඒ ඥාතීන් බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් නවත්වන්න බැහැ. ආණ්ඩුව තමයි ඊට විසඳුමක් ලබා දෙන්න ඕනැ. 


අපි කියන්නේ ආණ්ඩුවට මේ වගේ හර්තාල්, උද්ඝෝෂණ කරනකම් ඉන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවේ වගකීම තමයි ඒ ගැන සොයා බලා ඊට පිළියම් යොදන එක. ජනතාව පාරට බහින්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව පොරොන්දු වෙලා තිබෙනවානේ ඒ ගැන සොයා බලන්න. 


එහෙනම් ආණ්ඩුවේ වගකීම තමයි ඒ ගැන සොයා බලන එක. එහෙම නොකරන නිසා තමයි ජනතාව මේ වගේ දේවල්වලින් ආණ්ඩුවේ අවධානය යොමු කරවගන්න බලන්නේ. ජනතාවගේ හඬට ආණ්ඩුව සවන් දෙන්නෙ නැතිනම් අපි දෙමළ මහජන කොංග්‍රසය හැටියට තීරණයක් ගත්තේ ආණ්ඩුවට මීට වඩා බලපෑම් කිරීමට ඉදිරිපත් වෙනවා කියලයි. අපි ඒ උද්ඝෝෂණ මීට වඩා ශක්තිමත් කරලා විරෝධතා දක්වනවා ආණ්ඩුවට එරෙහිව.


මේ අතර අතුරුදන්වූවන්ගේ ගැටලුවට ආණ්ඩුව නිසි පිළිතුරක් ලබා නොදෙන නිසා උතුරේ මෙන්ම නැගෙනහිර පළාත්වල මෙවැනි විරෝධතා දිගින් දිගටම සිදුකරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.


“විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ සඳහා මුස්ලිම් ජනතාවද ඉදිරිපත්වී සිටින බව. ආණ්ඩුව අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කිරීම, දැනට අත්අඩංගුවේ පසුවෙන දේශපාලන සිරකරුවන් පිළිබඳ සොයා බලා ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම ඇතුළු කරුණු පිළිබඳව ආණ්ඩුව මීට වඩා අවධානය යොමුකළ යුතුයි. මේ හර්තාල් ව්‍යාපාරය අපි පටන් ගත්තේ ඉතා සුළුවෙන්. ඒත් ඒක සාර්ථකයි. මුස්ලිම් ජනතා නියෝජිතයනුත් මෙයට එකතු වුණා. මෙයටවත් ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් ලබා නොදෙන්නේ නම් මීට වඩා දරුණු ලෙස විරෝධතා, හර්තාල් වගේ දේවල් කරලා උතුරේ සිවිල් පරිපාලනයට බලපෑම් එල්ල කරනවා.


“දැන් බලන්න මේ උතුරේ අතුරුදන්වූ තරුණයන් ඡායාරූප අරන් තිබෙනවා හිටපු ජනාධිපති හා වත්මන් ජනාධිපතිවරයා සමග. එතකොට සොයලා බලන්න පුළුවන් කොයි කාල වකවානුවකද ඔවුන් මේ ඡායාරූපවලට පෙනී සිටියේ කියලා. අන්න ඒ දවසේ ඉඳලා ආණ්ඩුව මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. අපි කියන්නෙත් අතුරුදන්වූවන්ගේ ඥාතීනුත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න කියලයි. කනගාටුවට කරුණ තමයි ආණ්ඩුව මෙච්චර කාලයක් ගිහිල්ලත් ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම.”


කෙසේ වෙතත් උතුරේ නිදහස් කර තිබෙන ඉඩම් හැරෙන්නට හමුදා කඳවුරු ස්ථාපනය කර ඇති ඉඩම් නිදහස් කළ නොහැකි බව ආරක්ෂක අංශ දැනුම්දී තිබේ. රටේ ජාතික ආරක්ෂාව සඳහා මෙම කඳවුරු පවත්වාගෙන යා යුතු අතර එය රජයේ ස්ථාවරය බවත් ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.


මේ පිළිබඳව දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු ප්‍රකාශ කළහ.

සටහන : නිශාන්ත කුමාර බණ්ඩාර