උතුරු මැද පළාතේ මුල් තැන දිනූ ගොවිපොළට ගිනි තියා වනසලා


 

 

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන උතුරු මැද පළාතේ හොඳම ගොවිපොළ ලෙස පසුගිය වසරේ (2018) සම්මානයට පාත්‍ර වූ ගොවිපොළට පසුගිය 11 වැනිදා පස්වරුවේ කවුරුන් හෝ ගිනි තබා තිබේ.   


උතුරු මැද පළාතෙන් පළමු වැනි තැන දිනද්දී පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන්ම අට වැනි ස්ථානය හිමි කර ගත් මැදවච්චියේ කෝණාකුඹුක්ගොල්ලෑවේ පවත්වාගෙන යනු ලබන අක්කර තිහකින් යුත් මේ ගොවිපොළේ වගා කර තිබූ මේ වන විට අස්වැන්න නෙළමින් පැවති “ ටොම් ඊ.ජී.සී.” වර්ගයේ අඹ ගස් 135 ක් සහ ඵල හට ගනිමින් තිබූ කටුඅනෝදා ගස් 180 ක් මේ ගින්නෙන් සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ.   


ඊට අමතරව එම පළතුරු ගස්වලට ජලය සැපයෙන බිංදු ජල නළ පද්ධතිය ද සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇත.   


​ෙමම ගොවිපොළේ අයිතිකරු වන 50 හැවිරිදි සමන් කුමාර සිරිවර්ධන මහතා ගින්නෙන් සිදු වූ හානිය ගැන මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත. ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ එදින ඒ අවස්ථාවේ තම ගොවිපොළට ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා සමග පැමිණ සිටි කිහිප දෙනෙකු විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි තමන් සැක කරන බවයි.   


මේ සිද්ධිය වාර්තා වීමෙන් පසු එම ගොවිපොළට අප ගිය අවස්ථාවේ, සිදු වී තිබෙන විනාශය සියැසින් දැක ගත හැකි විය.   


වත්මන් රජය මේ වන විට ජනතාව වැඩි වශයෙන් යොමු කරවන ටොම් ඊ.ජී.සී. අඹ වගා කර මේ වන විට ඵල නෙළන එම අඹ ගස් මෙන්ම ඵල නෙළීමට ආසන්න තත්ත්වයේ පැවැති කටුඅනෝදා ගස් ගින්නෙන් පිලිස්සී විනාශ වී තිබෙන ආකාරය දකිද්දී සිතට ඇති වූයේ මහත් වේදනාවකි.   


රටට බරක් නොවී ස්ව උත්සාහයෙන් නැගී සිටි දේශීය වෙළෙඳ පොළට පමණක් නොව විදේශීය වෙළෙඳ පොළට ද ​ෙටාම්.ඊ.ජී.සී. අඹ අලෙවි කර රටට විදේශ විනිමය උපයා දෙන්නට වෙහෙසෙන ගොවියෙකුට මේ හානිය කවුරුන් විසින් කළත් උන් රට දැය ගැන පමණක් නොව මිනිස් කම ගැන ද අබමල් රේනුවක හැඟීමක් නැති උන් බව මේ විනාශය දකින ඕනෑම අයෙකුට හැඟෙනු ඇත.   


අප මේ ගොවි පොළට ගොස් සිටි අවස්ථාවේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා සහ කෘෂිකර්ම පර් යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියා ද සිදු වූ හානිය පරීක්ෂා කිරීම සඳහා පැමිණියහ.   


එහිදී ගොවිපොළේ අයිතිකරු වන සමන් කුමාර සිරිවර්ධන මහතා සිදු වූ දේ ගැන මෙසේ විස්තර කළේය.   


මම මේ ගොවිපොළ පටන් ගන්න කලින් රජයේ සේවකයෙකු ලෙසයි කටයුතු කළේ. ඒ මැදවච්චිය කම්කරු කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු ලෙසයි. ඒ වැඩ කරන අතර තුර දී අක්කර 20 ක මේ ඉඩම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් දීර්ඝ කාලීන බදු පදනම මත ලබාගෙන ටොම් ඊ.ජී.සී. අඹ, ගස්ලබු හා කජු වගා කළා.   


ගොවිපළ සාර්ථකව කර ගෙන යාමට අවශ්‍ය වූ නිසා මම රජයේ සේවයෙන් අයින් වෙලා පූර්ණ කාලීනව ගොවි පොළේ කටයුතුවල නියැළුණා. මේ නිසා සාර්ථකව ගොවිපළ පවත්වාගෙන යාමට හැකි වුණා. දැන් ස්ථිර සේවකයින් දහ දෙනෙක් ගොවි පළේ වැඩ කරනවා.   


මගේ මේ ​ෙගවිපොළ පවත්වාගෙන යන ඉඩමට යාබද අක්කර 35 ක පමණ ඉඩමක මම මේ ගොවිපොළ ආරම්භ කරන්න කලින් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාව ඔසු පැළ වගාවක් ආරම්භ කර තිබුණා. එහි වැඩි වශයෙන් වගා කර තිබුණේ කටුවැල්බටු වගාවයි. රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් වැය කර 2007 දී ආරම්භ කළ ඒ ඔසු පැළ වගාව අසාර්ථක වුණා. 

 

 


එ් වගාව අසාර්ථක වීම ගැන සොයා බලන්න එවකට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් 2009 වසරේදී පැමිණියා. ඒ ගමන් ඔවුන් ඊට යාබද මගේ මේ ගොවිපොළටත් පැමිණියා. මගේ ගොවි පොළේ සාර්ථකත්වය දැකලා සතුටු වුණු ලේකම්තුමා මාව දැනුම්වත් කළා. ආසර්ථක වූ ආයුර්වේද ඖෂධ නීතිගතසංස්ථාව ඔසු වගාව කළ මගේ ඉඩමට යාබද ඉඩමේත් මට වගා කරන්න කියලා. ඒ සඳහා ඒ අවස්ථාවේම ලිඛිත ඉල්ලීමක් කරන්න කියලත් මට උපදෙස් දුන්නා.   
ඒ අනුව මම කටයුතු කළා. දින හරතක් ඇතුළත එවකට දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තිස්ස කරලියද්ද මහතාගේ නිර්දේශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබී තිබුණා. දීර්ඝ කාලීන බදු පදනම මත ඒ ඉඩම මට ලබා දෙන්න කියලා.   


ඒ අනුව ආයුර්වේද ඖෂධ නීතිගතසංස්ථාවේ අසාර්ථක වූ ඔසු පැළ වගාව කළ ඉඩමෙන් අක්කර දහයක් දීර්ඝ කාලීන බදු පදනම මත ලබාගෙන ඒ ඉඩමේ මීට අවුරුදු දහයකට කලින් ​ටොම් ඊජීසී අඹ, කජු, බෙලි හා කටුඅනෝදා වගා කළා. 

 
සාර්ථකව වගා කර අස්වැන්න නෙළද්දී මේ ළඟදී දවසක ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මගේ ගොවිපොළට පැමිණ ඒ අයට අයිති ඉඩම නැවත පවරා ගන්නා බව පැවැසුවා.   


එහිදී මම ඔවුන් දැනුම්වත් කළා. දීර්ඝ කාලීන බදු පදනම මත නීත්‍යනුකූලව මම ඉඩම ලබා ගෙන ගොවිපොළ පවත්වාගෙන යන බව. ඊට අදාළ ලිපි ලේඛනත් ඔවුන්ට පෙන්නුවා. එදා ආපසු හැරී ගිය ඔවුන් පසුගිය 11 වැනිදා නැවතත් පැමිණ ඉඩමේ මැනුම් කටයුතු සිදුකළා.   


මැනුම් කටයුතු අවසන් වූ පසු සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මට කිව්වා ඉඩමේ මැනුම් කටයුතු අවසන් නිසා දැන් ඉඩමෙන් පිට වෙන්න කියලා. ඒ උදවිය සමග පැමිණි ස්ථාන භාර නිලධාරිවරයාට කිව්වා කජු ගස් කපලා ඉවත් කරන්න කියලා. අඹ වගා කර තිබෙන කොටසේ ස්ථීර ගොඩනැගිල්ලක් හදන්න කිව්වා. අඹ වගාව බදු දීමට තියෙනවා කියලා පත්තරේ දැන්වීමක් ද පළ කරන්න කිව්වා.   


එම දැක්වීමට අනුව මම ඉල්ලීමක් කළොත් මට ප්‍රමුඛතාව ලබා දෙන බවත් පැවැසුවා. ඒ වෙලාවේ මම කිව්වා එහෙම කරන්න එපා. මම ලොකු වියදමක් දරලා මේ ගොවිපොළ මේ තත්ත්වයට ගෙනාවේ. ඒ නිසා මට සාධාරණයක් කරන්න කියලා.   


මේ වන විට මගේ දරුවාගේ පාසල පස්වරු 1.30 ට ඇරෙන නිසා ඒ අය මගේ ​ගොවිපොළේ සිටියදී ඔවුන්ට දන්වා මම දරුවා ගෙදරට ඇරලවන්න යතරුපැදියෙන් ගියා. දරුවා ගෙදරට ඇරළවා මම ආපසු ගොවිපොළට එන කොට ගොවිපොළේ අඹ හා කටුඅනෝදා වගා කර තිබූ එක් පැත්තක් ගිනි ගන්නවා දැක්කා. මෙච්චර කාලයකට මෙවැනි දෙයක් සිද්ධ නොවූ නිසා මොකද මේ වුණේ කියලා මට අදහා ගන්න බැරි වුණා.   


ඒ වෙලාවේ මගේ ​ගොවිපෙළේ සේවකයෝ කවුරුත් එතැන හිටියේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේ ගොවිපොළේ හිටපු ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා සමග පැමිණ සිටි කිහිප දෙනාට ගින්න නිවන්න උදව් වෙන්න කියලා මම ඉල්ලා සිටියා. ඒ අය එකිනෙකාගේ මුහුණට​ මුහුණ දිහා බලා ගත්තා මිසක් ගින්න නිවන්න උදව්වට ආවේ නැහැ.   


ඒ නිසා මගේ යාබද ගොවිපොළේ සේවකයින් දෙදෙනෙක් ගෙන්වාගෙන මම ගින්න නිවන්න උත්සාහ කළා. පැය දෙකකට වැඩිය මහන්සි වුණත් ගින්න නිවා ගන්න අපිට බැරි වුණා. නමුත් ඒ අවස්ථාවේ අනපේක්ෂිත ලෙස වර්ෂාවක් ඇද වැටුණ නිසා ගින්න නිවුණා.   

 

 


නමුත් ඒ වන විට ගෙඩි කඩමින් පැවැති ටොම් ඊ.ජී.සී. අඹ ගස් 135 ක් සහ ඵල හට ගෙන තිබුණු කටුඅනෝදා ගස් 180 ක් පිලිස්සී තිබුණා. රුපියල් ලක්ෂ තුන හමාරක් වැය කර එළුෑ බිංදු ජල නළ පද්ධතිය සම්පූර්ණයෙන් දැවී උණු වී විනාශ වී තිබුණා.   


ගින්න පැතිරෙන අතරතුර සභාපතිවරයා ඇතුළු පිරිස ගොවිපොළෙන් පිටව ගොස් තිබුණා. මේ ගින්න හට ගන්නේ ඒ අය ගොවිපොළේ සිටියදීයි. එහෙම නම් ගොවිපොළට ගිනි තැබුවේ සභාපතිවරයා සමග පැමිණි අය මිසක් වෙන කවුද ? ඒ නිසයි මේ ගිනි තැබීමට ඒ අය සැක බවට මම පොලිසියට පැමිණිලි කළේ.   


ගොවිපළේ හිමිකාර සමන් කුමාර සිරිවර්ධන මහතාගේ එම චෝදනාව ගැන අායුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ගුණපාල පතිරණ මහතාගෙන් දුරකතනයෙන් අප කළ විමසීමේදී ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙසේය.   


මම කළමනාකාර අධ්‍යක්ෂවරයා හා වෘත්තිය සමිති නියෝජිතයින් කිහිප දෙනෙකු සමග මැනුම් කටයුතු සඳහා එම ඉඩමට ගොස් සිටි අවස්ථාවේ තමයි ගොවිපොළේ පැත්තක් ගිනි ගන්න බව අප දුටුවේ. මේ ගොවිපොළ පවත්වාගෙන යන්නේ අපේ ආයතනයට අයත් ඉඩමක. ​ගොවිපොළ පවත්වාගෙන යන තැනැත්තා ඉඩමේ ඒ කාලේ අපේ ආයතනයෙන් වගා කර තිබූ ඖෂධ ගස් පවා කපා තිබෙනවා. නීත්‍යානුකූලව ඉඩමට අප ආයතනයට ඇති අයිතිය පෙන්වා දී ඉඩම පරවා ගැනීමටයි අපි කටයුතු කරන්නේ. එහෙම නැතිව ගොවිපොළේ වගාවන් ගිනි තබා විනාශ කරන්න අපිට අවශ්‍යතාවක් නැහැ.   


සභාපතිවරයා තවදුරටත් මෙසේ පැවසීය.   


​ෙසෟඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපට උපදෙස් දී තිබෙනවා දැනට රටේ පවතින දේශීය ඖෂධ හිඟයට පිළියමක් ලෙස ඔසු වගාව ව්‍යාප්ත කරන ලෙස. ඒ නිසයි අපි අපේ ආයතනයට අයත් ඉඩම්වල නැවත ඔසු වගාව පටන් ගන්න යන්නේ. මේ කටයුතු පසුගිය කාලේ නතර වෙලයි තිබුණේ. දැන් අපි නැවත ආරම්භ කරන්න යනකොට අපේ ඉඩම් වෙන අය අයිතිකරගෙන.   


පසුගිය කාලයේ මේ කටයුතු නතර වී තිබූ බවට ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති ගුණපාල පතිරණ මහතා නඟන චෝදනාව ගැන එම සංස්ථාවේ හිටපු සභාපති ලාල් සමරසිංහ මහතාගෙන් ද දුරකතනයෙන් අප විමසීමක් කළෙමු. ඒ මහතා ඒ ගැන මෙසේ පැහැදිලි කළේය.   


මමත් සභාපති ධුරය දැරුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා යටතේමයි. එදත් අපි ඔසු වගාව ගැන උනන්දු වුණා. ඒ වෙලාවේ මැදවච්චියේ අක්කර ගණනාවක ඉඩමක් ඔසු පැළ වගා කිරීමට වෙන් කර තිබෙන බව දැනගෙන මම ඒ ඉඩම බලන්න නිලධාරීන් සමග පැමිණියා. එවිට මම දැක්කා මේ ගොවියා අපේ ඉඩමේ අක්කර දහයක භූමිය දීර්ඝ කාලීනව බදු පදනම මත ලබාගෙන සාර්ථක ගොවි පොළක් පවත්වාගෙන යන ආකාරය.   


ඒ වගේම අපේ ආයතනයට අයත් ඉඩමේ අනෙක් කොටස කැලෑවට යට වී තිබෙන ආකාරයක් මම දුටුවා. අපේ ආයතනය ඒ මහා විශාල ඉඩමේ එදා ඔසු පැළ වගා කර තිබුණත් විධිමත්ව ඒ කටයුත්ත සිදු නොකිරීම නිසා එය අසාර්ථක වී තිබුණා.   


 දැන් නැවතත් ආයතනය ඔසු පැළ වගා කරන්න උනන්දු වන්නේ නම් කළ යුත්තේ ගොවිපොළේ වගාවන් විනාශ කිරීම නොව ඒ ගොවියා සමග සාකච්ඡා කර බදු පදනමක් මත හෝ ඔහුට එම ඉඩම ලබා දී ඔහු ඔසු පැළ වගාවටත් යොමු කරවීමයි.   


මම දෑසින් දුටු නිසා දන්නවා ඒ ගොවියා මොන තරම් උනන්දුවකින් සාර්ථකව වගා කරන ගොවියෙක් ද කියන වග. ඒ නිසා රාජිත සේනාරත්න ඇමැතිතුමා කළ යුත්තේ එ් වගේ සාර්ථක ගොවියෙක් ඔසු වර්ග වගාවට දායක කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔහුට උදව් කරන ලෙස තමන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද ලාල් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.   


ගින්නෙන් විශාල හානියක් තම වගාවන්ට සිදු වූ සමන් කුමාර සිරිවර්ධන මහතා පවසන්නේ, ආයුර්වේද ඖෂධ නීති ගත සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ගේ අනුදැනුම මත තම ගොවිපොළට මෙම හානිය සිදු වූ බවට තමන් සැක කරන නමුත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ ගැන කිසිවක් නොදන්නා බවට තමන් විශ්වාස කරන බවයි. ඒ නිසා සිදු වූ මේ හානිය ගැන සොයා බලා තමන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස තමන් ඉතා කාරුණිකව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවැසීය.   

 

 

 

සටහන හා ඡායාරූප - අතුල බණ්ඩාර