උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හද‌ා බැලීමෙන් අවට රටවලට භූමිකම්පාවක්


 

උතුරු කොරියාව පසුගිය සතියේ සිය සයවැනි න්‍යෂ්ටික අත්හද‌ා බැලීම සිදු කිරීමත් සමඟ ලෝකය යළි උණුසුම් වී තිබේ. සැප්තැම්බර් 3 දින අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලවලට සවිකළ හැකි හයිඩ‍්‍රජන් බෝම්බයක් ඔවුහු අත්හද‌ා බැලූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස චීනය, දකුණු කොරියාව සහ ජපානය යන රටවලට ප‍්‍රබල භූමිකම්පාවක් ද ඇති විය. එය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 වශයෙන් සටහන් වූ බැව් පැවැසේ.   


තමන් හයිඩ‍්‍රජන් බෝම්බයක් අත්හද‌ා බැලූ බවත්, එය සාර්ථක වූ බවත් උතුරු කොරියාව ප‍්‍රකාශ කළේය. හයිඩ‍්‍රජන් බෝම්බ සවිකළ හැකි දිගු දුර බැලස්ටික් මිසයිල උතුරු කොරියාව සතු හෙයින් එවැනි අවියක් භාවිත කළහොත් ලෝක විනාශයක් සිදුවීම නොවැළැක්විය හැකි බැව් දකුණු කොරියානු බුද්ධි අංශ අනතුරු අඟවති.   


උතුරු කොරියාව මගින් අත්හද‌ා බලන ලද න්‍යෂ්ටික අවිය ඉතා බලගතු එකකි. ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට හෙළන ලද න්‍යෂ්ටික බෝම්බය කිලෝ ටොන් 20කි. මෙම බෝම්බය එමෙන් තුන් ගුණයක ප‍්‍රබලත්වයකින් යුතු යැයි පැවැසේ. උතුරු කොරියාව විසින් මෙතෙක් අත්හද‌ා බලන ලද ප‍්‍රබලතම න්‍යෂ්ටික අවිය වන්නේ මෙම හයිඩ‍්‍රජන් බෝම්බය යැයි ද උතුරු කොරියාවේ අරමුණ න්‍යෂ්ටික රාජ්‍යයක් බවට පත්වීම යැයි ද උතුරු කොරියානු ප‍්‍රවෘත්ති සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.   


උතුරු කොරියාව තම ප‍්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම 2006 ඔක්තෝබර් 6 දා සිදු කළේය. එය සිදුවූයේ උතුරු හැම්ගියොං ප‍්‍රදේශයේය. එම ප‍්‍රදේශය ඇමෙරිකානු ඔත්තු සේවා චන්ද්‍රිකා මගින් නිරතුරුවම නිරීක්ෂණයට බඳුන් කෙරුණු ප‍්‍රදේශයක් විය. ඔවුහු සිය දෙවැනි අත්හද‌ා බැලීම 2009 මැයි 25 දින සිදු කළහ. එම අත්හද‌ා බැලීම කිල්ජු ප‍්‍රදේශයේ භූ අභ්‍යන්තරයේ සිදු කෙරිණි.   


සියලු න්‍යෂ්ටික පර්යේෂණ නවතා දමන ලෙසට ඇමෙරිකානු ආරක්ෂක කවුන්සිලය අනතුරු අඟවා තිබියදී වුව ද 2013 පෙබරවාරි 12 දින උතුරු කොරියාව සිය තෙවැනි අත්හද‌ා බැලීම සිදු කළේය. එහි ධාරිතාව කිලෝ ටොන් 7ක් පමණ විය. ලෝක බලවතුන් උතුරු කොරියාවට විවිධ සම්බාධක පනවමින් ලෝකයෙන් හුදෙකලා කළ ද උතුරු කොරියානු නායක කිම් ජොං උන් ලෝක බලවතුන්ගේ තර්ජන තුට්ටුවකට මායිම් නොකළේය. ඔහු සිය සිව්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම 2016 ජනවාරි 6 දින සිදු කළේය. එවර ඔහු අත්හදා බැලුවේ හයිඩ‍්‍රජන් බෝම්බයකි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හා වෙනත් ලෝක බලවතුන්ගෙන් තමන්ට එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා සුළු පරිමාණ හයිඩ‍්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බවට උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේය. එම අත්හදා බැලීම අතිසාර්ථක බවට උතුරු කොරියාව මගින් නිවේදනය කෙරුණු අතර එමගින් කිසිදු විකිරණශීලී ද්‍රව්‍යයක් නිකුත් නොකෙරුණු බවට උතුරු කොරියානු කාලගුණික ඒජන්සිය සඳහන් කළේය. මෙය ජපාන රජය ද තහවුරු කර තිබිණි.   


2016 සැප්තැම්බර් 9 දින ඔවුහු ප්‍රබල මට්ටමේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීමට සමත් වූහ. එහි කම්පන ප‍්‍රබලත්වය 5.3ක් විය. ‘පුන්ගයි රී’ න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිදු කෙරුණු පළමු අත්හදා බැලීම එය වූ අතර උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද බලවත්ම අවිය එය විය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදු කරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයෙන් දින කිහිපයකට පසු මෙම අත්හදා බැලීම සිදු වූ අතර දේශපාලන විචාරකයන්ගේ මතය වූයේ එම අභ්‍යාසවලට විරෝධය පෑමක් ලෙසට උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදුකරන්නට ඇති බවටය.   


ඔවුන් විසින් තම සය වැනි අත්හදා බැලීම ලෙස යොදා ගනු ලැබුවේ හයිඩ‍්‍රජන් බෝම්බයකි. එම අත්හදා බැලීම සඳහා උතුරු කොරියානු නායකයාගෙන් අවසර ලද බැව් උතුරු කොරියානු රූපවාහිනිය නිවේදනය කළේය. හයිඩ‍්‍රජන් බෝම්බයේ ප‍්‍රබලත්වය කෙතරම් ද යත් රටවල් කිහිපයක භූ කම්පන තත්ත්වයක් ඇති විය. දකුණු කොරියානු කාලගුණික ඒජන්සිය සඳහන් කළේ එම කම්පනය රික්ටර් පරිමාණ ඒකක 5.7ක් ලෙස සටහන් වූ බවයි. එහෙත් ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබුණේ එය ඒකක 6.3ක් වූ බවකි. මෙම අත්හදා බැලීම සාර්ථක වූ හෙයින් මීටත් වඩා ඉහළ තාක්ෂණික ක්‍රියාකාරිත්වයකින් යුත් න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට තමන් කටයුතු කරන්නේ යැයි උතුරු කොරියානු විද්‍යාඥයන් සඳහන් කර තිබේ.   


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට විරෝධය දක්වමින් උතුරු කොරියාව යුද්ධයකට ආරාධනා කරමින් සිටින්නේ යැයි ද නොබෝ දිනකින්ම ඔවුනට එරෙහිව දැවැන්ත හමුදා ප‍්‍රහාරයක් මගින් පිළිතුරු සපයන බව ද කියා සිටියේය. මේ අතර උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් පෙර සූදානම් වීමක් ලෙස දකුණු කොරියාව ද ගුවනේ සිට ගොඩබිමට එල්ල කළ හැකි දිගු දුර මිසයිලයක් හා බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන ලදැයි පැවැසේ.   


ඇමෙරිකානු එක්සත් ජනපදයට හෝ ගුවාම් ඇතුළු එයට අයත් කිසියම් ප‍්‍රදේශයකට බලපෑමක් එල්ල වුවහොත් එවිට දැවැන්ත හමුදාමය ප‍්‍රතිචාරයකට මුහුණ දීමට උතුරු කොරියාවට සිදුවනු ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් ප‍්‍රකාශ කරයි. කිම් ජොං උන් ලෝක සාමයට තර්ජනයක් යැයි ද ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හඬට සවන් යොමු කොට න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දැමිය යුතු යැයි ද මැටිස් වැඩිදුරටත් සඳහන් කර තිබේ.   


උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් බොහෝ රාජ්‍ය වෙතින් විරෝධය පැන නැඟෙමින් තිබේ. ඔවුන්ගේ සාහසික ක්‍රියාවනට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවිය යුතු යැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප‍්‍රකාශ කළාය. මෙම විනාශකාරී හා නීත්‍යානුකූල නොවන ක්‍රියා සම්බන්ධයෙන් තමා ජපාන අගමැති ෂින්ෂෝ අබේ සමඟ ද සාකච්ඡා කළ බැව් ඇය වැඩිදුරටත් පැවැසුවාය. උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වීමට ද නියමිතය.   


උතුරු කොරියාවේ අරමුණ වන්නේ ආසියානු කලාපය පුරා තම යුද බලය තහවුරු කර ගැනීම සහ කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස තම පාලනය රැකගැනීමය. ජාත්‍යන්තර වශයෙන් සනාථ නොවූව ද උතුරු කොරියාව චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැව් දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයයි. උතුරු කොරියාවේ වාණිජ අවශ්‍යතාවලින් 90% පමණ ඉටු කරගනු ලබනුයේ චීනයෙනි. උතුරු කොරියාවේ පියොංයැං නුවර චීන තානාපති කාර්යාලයක් පවත්වාගෙන යනු ලැබේ. ඒ හැර උතුරු කොරියාව සමඟ තානාපති සබඳතා පවත්වනු ලබනුයේ රටවල් කිහිපයක් පමණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ලොව ප‍්‍රධාන රටවලින් ඉල්ලා ඇත්තේ උතුරු කොරියාව සමඟ පවත්නා වෙළෙඳ සබඳතා අත්හිටුවන ලෙසටය. එහෙත් චීනය උතුරු කොරියාව සමඟ පවතින තම වෙළෙඳ ගනුදෙනු අත්නොහරින බැව් ට‍්‍රම්ප් දනී.   


තමන් වෙත කුමන සම්බාධක පැමිණිය ද තම රටේ න්‍යෂ්ටික ක්‍රියාවලිය අත්නොහරින බවත්, තමාට තර්ජනයක් වුවහොත් ඔවුනට එරෙහිව නැඟී සිටින්නට තරම් තම රටේ හමුදා ශක්තිය බලවත් බවත් කිම් ජොං උන් කියා සිටී.   
ලොව පළමු න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදු කරන ලද්දේ අද උතුරු කොරියාවට ඇඟිල්ල දිගු කරන ඇමෙරිකාව විසිනි. ඔවුන් කවරදාත් ක්‍රියා කළේ තමා ලෝක බලවතාය යන්න ලොවට පෙන්වීමටය. එහෙයින් තම මතයට එරෙහිව නැඟී සිටින කුමන රාජ්‍යයක් හෝ මැඬපැවැත්වීම ඔවුන්ගේ අරමුණයි. උතුරු කොරියාව සමඟ ඇමෙරිකාවට ඇති ආරෝව වන්නේ කිම් ජොං උන් ඇමෙරිකාව තඹයකට මායිම් නොකොට තම බල පරාක‍්‍රමය ප‍්‍රදර්ශනය කිරීමය.   
ඇමෙරිකාව 1945 සිට 1992 අතර කාලයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් 1,054ක් සිදු කර තිබේ. මින් අත්හදා බැලීම් වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබුණේ නෙවාඩා අත්හදා බැලීම් කලාපයේය. ඇලස්කා, කොලරාඩෝ, මිසිසිපි, නිව් මෙක්සිකෝ වැනි ප‍්‍රදේශවල ද සිදු කෙරිණි. ප‍්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම හැඳින්වූයේ ‘ට්‍රිනිටි’ නමිනි. එය අත්හදා බැලුණේ 1945 ජුලි 16 දා නිව් මෙක්සිකෝව ආසන්නයේ පිහිටි හොර්නාඩා ඩෙල් මුවෙර්ටෝ කාන්තාරයේය.

  
සෝවියට් සමූහාණ්ඩුව න්‍යෂ්ටික අත්හදා බැලීම් 715ක් ද මහා බ්‍රිතාන්‍යය 88ක් ද ප‍්‍රංශය 210ක් ද චීනය 45ක් ද වශයෙන් න්‍යෂ්ටික අවි අත්හදා බලා තිබේ. 1996 ‘විස්තීරණ න්‍යස්ටික අවි තහනම් කිරීමේ සම්මුතිය’ට අත්සන් තැබීමෙන් පසු මෙම රටවල න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කෙරිණි. මෙම සම්මුතියට අත්සන් නොතැබූ ඉන්දියාව ‘පොක්රාන් 1 සහ 2’ වශයෙන් අත්හදා බැලීම් දෙකක් ද සහ පාකිස්තානය ‘චාගි’ නමින් අත්හදා බැලීම් 5ක් ද සිදු කර තිබේ. 1998 දී එම දෙරට අත්හදා බැලීම් නවතා දැමූහ. තවමත් මෙවැනි අත්හදා බැලීම් කරමින් සිටිනුයේ උතුරු කොරියාවයි.   


උතුරු කොරියාවට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමට තමා මැළි නොවන්නේ යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පැවැසුව ද යුද්ධයකට යෑමට පෙර ඔහුට දෙවරක් සිතා බලන්නට සිදුවනු ඇත. මන්ද ඔහුගේ ප‍්‍රයත්නය තුළින් තුන්වැනි ලෝක යුද්ධයක් නිර්මාණය කිරීමට මඟ පෑදීමය. එමෙන්ම උතුරු කොරියාව සතු න්‍යෂ්ටික අවි බලය සමස්ත ලෝකයම මොහොතකින් විනාශ කිරීමට සමත් විය හැකි බැවිනි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා