උතුරු කොරියා ඇ​ෙමරිකන් න්‍යෂ්ටික ගැටුම


 

ලෝක දේශපාලන කරළිය මත ත්‍රාසජනක ජවනිකා ඉදිරිපත් කිරීමට අතිවිශේෂ මනාපයක් පෙන්වන ඉතාම දඟකාර දේශපාලන රංගධරයා උතුරු කොරියාවේ සර්වාධිකාර නායකයා වන කිම් ජොං උෟන් බව නිසැකය.  


එකම සුපිරි බලවතාවන ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව රතු එළි යවමින් ජගත් පුවත් සිරස්තලවල ලැගුම් ගැනීමට ඔහු නිරතුරුව සමත් වෙයි.  


බටහිර ශාන්තිකරයේ පිහිටි ගුවාම් දූපත්හි ස්ථානගත වූ ඇමරිකන් හමුදාවේ නාවික සහ ගුවන් කඳවුරු ජාලය ඉලක්ක කරගෙන මේ මාසය තුළදී මිසයිල් ප්‍රහාර එල්ල කරන බවට ගිය නවවැනිදා සිදුකළ අනතුරු ඇඟවීම මගින් ඔහු සුපිරි බලවතා සමඟ අලුත්ම වලියට මුල පිරීය.  


කිම්ගේ කොරියන් මහජන හමුදාව ගුවාම් රතු නිවේදනය යැවූ විට නැගෙනහිර ආසියාවේ කොණක සිටින පුංචි කොරියන් ‘නහරයා’ විසින් කරකවා අත හරින ලද තමා බිම වැටී ඇතිදැයි ට්‍රම්ප් කම්පනයට පත්වන්නට ඇත.  


කෙසේ වුවද ට්‍රම්ප් සමඟ කටින් ගහ ගනිමින් යුද ආතතිය ඉහළ දැමූ කිම් ගිය 15 වැනිදා එය එළි බැස්සවීමටත් පියවර ගත්තේය. ඒ උපායමාර්ගික මිසයිල් පද්ධති පිළිබඳ සැලැසුම් මූලස්ථානයේ ප්‍රහාරක සූදානම් ගැන සිදුකළ පැයක සමීක්ෂණ​ෙයන් පසු යෝජිත ප්‍රහාර මාලාව වහා එල්ල නොකරන බවට ලෝකයාට දැනුම් දෙමිනි. ඇමරිකාව යහපත් කල් ක්‍රියාවෙන් පසුවේදැයි බලා සිට දිගටම සතුරු ආකල්පයක් ගන්නේ නම් ප්‍රහාර ඇරැඹීමේ දිනය සහ වේලාව ගැන නායක කිම් ජෝං උෟන් තමන්ට උපදෙස් දෙනු ඇතැයි උතුරු කොරියන් හමුදාව පැවසීය.

 
කිම් ජොං ඌන්ගේ මේ හදිසි වෙනස චීනය සහ රුසියාව ඇතුළු හිතවතුන්ගේ බලපෑම නිසා සිදු වූවක්ද එසේ නැතිනම් අමෙරිකාවට එරෙහිව සැලසුම් කළ ප්‍රහාරයේ වැරදි ගණන් බැලීම් ඇතැයි සොයා ගැනීමෙන් ඇති වූවක්දැයි කිව නොහැක.  


උතුරු කොරියන් නායකයාගේ තර්ජනය ආඩම්බරකාර ජනාධිපතිවරයකු වන ට්‍රම්ප්ට දැනුණේ ඇමෙරිකාවේ ගරුත්වය හෑල්ලු කිරීමට එල්ල කළ නින්දා සහගත අභියෝගයක් ලෙසය. ඔහුගේ ‘රතු කට්ට’ පැනීම පුදුමයට හේතුවක් නොවේ. ගුවාම් දූපතට පහර දුන්නොත් ඉතිහාසයේ පෙර නොවූ විරූ ගිනි ජාලාවකින් උතුරු කොරියානු සතුරා අලු දූලි බවට පත් කෙරෙනු ඇතැයි හෙතෙම දැඩි තරවටුවක් කළේය.  


මේ අතර කිම් ජොං ඌන්ගේ මිසයිල වලිප්පුවත්, ට්‍රම්ප්ගේ යුද කුලප්පුවත් නිසා හටගත් භූ දේශපාලන සහ යුදමය අර්බුද​ෙය් පිටාරය තම තමන්ගේ රටවලටත් ගලා එනු ඇතැයි ලොව අනෙක් බලවතුන්ට ද දැඩි කනස්සල්ලක් ඇතිවිය.  


 උතුරු කොරියාව සමඟ දේශසීමා ඇති චීනයත්, රුසියාවත් ප්‍රශ්නයේ බලපෑම ඉතාම බරපතලව තේරුම්ගත් ලෝක බලවතුන් දෙදෙනා විය.  


 අගෝස්තු 12 වැනිදා චීන ජනපති ෂී ජින්පිං​ෙගන් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබුණු දුරකතන ඇමතුමටත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටිං අතර සංවාදවලටත් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රසිද්ධියක් ලැබිණි.

 


 උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආයුධ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් සොයා ගැනීම හදිසි අවශ්‍යතාවක්වී ඇතැයි ඇමෙරිකන් ජනාධිපතිට පැවැසූ චීන නායකයා අදාළ පාර්ශව දෙකම ඉවසීමෙන් පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළැයි මේ​ පිළීබඳ චීන මාධ්‍ය වාර්තාවල පළවිය.  


ධවල මන්දිරයේ ප්‍රකාශයකින් ඉස්මතු කර තිබුණේ ‘උතුරු කොරියාව සිය කුපිත කිරීම් සහ ඉවක් බවක් නැති හැසිරීම්’ නැවැත්විය යුතු බවට චීන ඇමෙරිකන් නායකයන් දෙදෙනාම එකඟ වූ බවය.  


උතුරු කොරියා අර්බුදය ගැන ෂී සහ ට්‍රම්ප් අතර එදා පැවතුනේ ඒ පිළිබඳ ප්‍රථම හෝ අවසාන සාකච්ඡාව නොවේ එහෙත් අර්බුදයේ බරපතළකම දෙදෙනාගේම හිත්වලට මේ තරම් තදබල ලෙස වද දුන් වෙනත් අවස්ථාවක් නොවූ තරම්ය.  


මේ සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී සහ රුසියන් ජනාධිපති පුටින් අතර කිහිප වරක් පැවැති සාකච්ඡාවලදී උතුරු කොරියාව සමඟ සංවාදය හා සාකච්ඡාව නොකඩවා ගෙන යමින් අර්බුදය සමනය කර ගැනීමේ ද්වි පාර්ශ්වීය පොදු ප්‍රවේශයක් ගැන එකඟතාවක් පැවැති බව කලින්ම වාර්තා වී තිබුණත් එය ට්‍රම්ප්ගේ ප්‍රහාරත්මක ප්‍රවේශයට ඉඳුරා වෙනස් වූවක් බව දක්වමිනි.  


කොරියන් අර්බුදයට අදාළ සමස්ත ප්‍රශ්නාවලියේදී චීනය සහ ඇමෙරිකාවේ ඵල ප්‍රයෝජන එකට ගැළපෙන තැන් මෙයට එකිනෙකට එරෙහිව ගැටෙන තැන්ද පවතී. එම නිසා එම නායකයන් දෙදෙනා අතර අදහස් හුවමාරුව ‘බඩේ බිජුවලින්’ තොරව සිදුවී යැයි නොකිව හැකිය. එහෙත් අර්බුදය වත්මන් වටය සීමිත අවි ගැටුමක් හෝ පූර්ණ යුද්ධයක් කරා දුර දිග යාමෙන් වළකා ගැනීමේ අවංක වුවමනාවක් රටවල් දෙකටම ඇතැයි සිතිය හැකිය.  


චීනය උතුරු කොරියාවේ ප්‍රධාන හිතවතා ලෙස සැලකෙතත් එම රට න්‍යෂ්ටික ආයුධ අත්කර ගන්නා තරම් දුරට සුරතල් කිරීමට ඇය සූදානම් නැත. තම බලපෑම් ක්ෂේත්‍රයට අයත් ආණ්ඩු මට්ටු කරගත නොහැකි දඩිබිඩි පාලකයෙකු වන කිම් ​ෙජාං ඌන් න්‍යෂ්ටික අවිධාරී රාජ්‍ය නායකයකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව අතර ‘උසස් වීමක්’ ලැබීම ඉවසන්නට චීනය ද කැමැති නොවනු ඇත. ඒ අතරම උතුරු කොරියාවේ න්‍යෂ්ටික දැඟැලිල්ල හීලෑ කිරී​ෙම් වෑයමකට මුවාවී එහි කොමියුනිස්ට් පාලනය පෙරළා දැමෙන ඇමෙරිකන් ව්‍යාපෘතියට මොනම අයුරින් හෝ සම්මාදම් වීමත් චීනය ප්‍රතික්ෂේප කරයි. යුද්ධමය මැදිහත්වීමකින් උතුරු කොරියන් රජය පෙරළීමට ඇමෙරිකාව සහ දකුණු කොරියාව තැත් කරන්නේ නම් එයට එරෙහිව චීනය මැදිහත්වෙනු ඇතැයි එරට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ‘ග්ලෝබල් ටයිම්ස්’ පත්‍රය මෑතදීත් කීවේය.  


 යුද්ධමය ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලය ලෙස ඇමෙරිකන් හිතවාදී රජයක් උතුරු කොරියාවේ බලයට පත් වුවහොත් ඇමරිකන් හමුදා සිය ​ෙද්ශසීමාවේ දොරකඩටම එනු ඇතැයි චීනය ගණන් බලනුද විය හැකිය. ලෝක බලවතකු ලෙස තහවුරු වීමේදී තමන් මුහුණ දෙන ඉතා බරපතළ අභියෝගයක් එතැනින්ම මතුවෙනු ඇතැයිද චීනයට පෙනී යනු ඇත. සමස්ත කොරියන් අර්ද්වීප අර්ථයෙන් මෙම තර්කය තවත් ඉදිරියට ගෙන යන එක් විවරණයකින් පැවසෙන්නේ එක්සත් වූ කොරියාවක් වෙනුවට දැනට පවතින ආකාරයටම උතුර සහ දකුණ වශයෙන් කොරියාව වෙනම රාජ්‍ය දෙකක් ලෙස දිගටම බෙදී සිටීම චීනයට වාසිදායක දෙයක් විය හැකි බවය. කොරියාව උභය රාජ්‍ය පදනම අනුව දැනට වෙන වෙනම පවතින යුදමය සහ ආර්ථික ශක්තිය එකම රටක් තුළ කේන්ද්‍රගත වුව​ෙහාත් චීනයේ ශක්තිය කිසියම් ප්‍රමාණයකින් අවප්‍රමාණ කළ හැකිවග කොරියානු ජාතිකවාදී තනි බලයක් බිහිවීමේ අවදානමක් බිහිවිය නොහැකි දැයි ඇතැම් නිරීක්ෂකයෝ ප්‍රශ්න කරති.  


 චීනයට ඇති තවත් කනස්සල්ලක් නම් වර්තමාන අර්බුදය නිසා කලාපය තුළ ඇමරිකන්, ජපන් සහ දකුණු කොරියන් තෙරටේ යුද සන්ධානයක් මතුවීමේ අවස්ථාවක් පෑදී තිබීමයි.  


 ඉතිහාසයේ ඉතිරි වූ ඇතැම් මත භේද නිසා කොරියානු ජනයා අතරින් ජපන් විරෝධි හැඟීම් නිරතුරුව ඇවිස්සෙයි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ශාන්තිකර​ෙය් වෙළෙඳ පාර්ශ්වකාරිත්ව සන්ධානය අරභයා ඇමෙරිකන් ජපන් මතභේද තවත් උග්‍ර විය.

එමෙන්ම අ​ෙමරිකන් නායකත්වයෙන් නිදහස් වූ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගෙන යාමේ ප්‍රවණතාවක් දකුණු කොරියාවේ මෙන්ම ජපානයේද දැකගත හැකි විය. එහෙත් උතුරු කොරියාවේ සටන්කාමී ඉරියව්ව මේ රටවවල් තුනටම එරෙහි වූවක් නිසා ඒවා අතර උතුරු කොරියන් විරෝධී යුදමය එක්සත් පෙරමුණක් බිහිවීමේ ලකුණු දැන් වැඩිවෙමින් පවතියි. මෙය කිසිසේත් චීනයට සතුටු විය හැකි වර්ධනයක් නොවේ. මන්දයත් එම රටවල් අතර ප්‍රතිවිරෝධතා පැවතීම චීනයට වාසියක් හෙයිනි.  


 කෙසේ වුවද දශකයක කාලයක සිට ආසියා-ශාන්තිකර කලාප​ෙය් ඉතා බරපතළ ගැටලුව බවට පත් උතුරු කොරියානු න්‍යෂ්ටික අවි පිළිබඳ අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේදී ඉතාම වැදගත් සාධකය බවට පත් චීනය අදාළත්වය දැන් වඩාත් ඉහළ නැග තිබේ. බෙයිජිංහිදී රැස්වූ ඇමරිකාව, රුසියාව, ජපානය, දකුණු කොරියාව, උතුරු කොරියාව, චීනය නමැති රටවල් හයේ සාකච්ඡාමය මණ්ඩපයේ කැඳවුම්කරු වන්නේ චීනයයි. 2009 දී සිට අකර්මන්‍ය වී ඇති මෙම යාන්ත්‍රණය යළි පණ ගැන්වීමේදී උතුරු කොරියාව කැමැති කරවා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ පහසුකාරක භූමිකාව ඉතාම හොඳින් ඉටු කිරීමේ හැකියාව ඇත්​ෙත් චීනයට බව අනෙක් රටවවල් පහේම පොදු පිළිගැනීමයි. ​  


මේ අතර වර්තමාන අර්බුදය සංසිඳවීමේදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේජ ඊන්ට ද ඉතා වැදගත් භූමිකාවක් හිමිවෙයි. කොරියන් අර්ධද්වීපයේ අර්බුදවලදී උතුරට එරෙහිව ඇමෙරිකාව උසිගන්වා ප්‍රහාරක පිළිවෙතකට තල්ලු කිරීමේ සම්ප්‍රදායක් අතීතයේදී දකුණු කොරියාවේ සිටි ජනාධිපතිවරුන්​ෙග් බහුතරයකට තිබුණත් ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ‘අවබෝධතා පාලමක්’ ගොඩ නැගීමේ නම්‍යශීලි පිළිවෙතකට ගිය මැයි මාසයේදී පත්වූ නව ජනාධිපතිවරයා කැපවී සිටියි.  


හැම විටම උතුරු කොරියාවට දඬුවම් කිරීම සඳහා වොෂිංටනය සමඟ එක්සත් පෙරමුණකට එළැඹීමේ නැඹුරුවක් ඔහුට කලින් සිටි රාජ්‍ය නායකයන් දෙදෙනාගෙන්ම පළ වුවත් කොරියා දෙක අතර සංවාදයේ නව සම්මුතිවාදී මාවතක් ඉදිකර ගත යුතු බව ජනාධිපති මූන් විශ්වාස කරයි. ඒ අතරම ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර සන්ධානය සිය රටේ රාජ්‍ය තාන්ත්‍රික සහ ආරක්ෂක සැලසුමේ වැදගත් අත්තිවාරම බව පිළිගැනීමට ඔහුට පවා සිදුවී තිබේ. එහෙත් වඩා වැදගත් දෙය වන්නේ උතුරු කොරියාව සමඟ ගැටුමකට යාම අනිවාර්ය බවට පවතින අන්ත දක්ෂිණාංශික මතවාදය ප්‍රතික්ෂේප කිරීමේ පිළිවෙතක ඔහු පිහිටා සිටිතැයි පිළිගත හැකි වීමය.  


 තමන් වෙත සුහදතාව​ෙය් හස්තය දිගු කිරීමේ දකුණු කොරියා ජනපතිගේ පිළිවෙත ගෙඩිය පිටින්ම පිළිගැනීමට උතුරු කොරියාව සූදානම් නැත. ලබන 21 වැනිදා ඇරැඹෙන ඇමරිකන්-දකුණු කොරියා හමුදා අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාසය නිසා නව ස්වරූපයේ සංවාදයකට ඇති අවස්ථාව තවත් කල් යාමට ද ඉඩ තිබේ.  


1910-1945 අතර පැවැති ජපන් අධිරාජ්‍යවාදී පාලනයෙන් කොරියාව නිදහස් කර ගැනීමේ හැත්තෑ දෙවැනි සංවත්සරයේ ජාතික අනුස්මෘති දේශනය පවත්වමින් ගිය අඟහරුවාදා ජනාධිපති මූන් වැදගත් ප්‍රතිඥාවක් දුන්නේය.  


ඒ කොරියන් අර්ධද්වීපයේ තවත් යුද්ධයක් වැළැක්වීමට පියවර ගන්නා බවටය. මොන බාධක පැමිණියත් උතුරු කොරියන් න්‍යෂ්ටික අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට හැම කැපවීමක් කිරීම ඔස්සේ යුද්ධය වළක්වා ගැනීමට හැකි බවට ඔහු තුළ ඇති විශ්වාසය එමගින් පැහැදිලි විය.  


කොරියන් අර්ධද්වීපයේ යුදමය ක්‍රියාමර්ග ගැන තීරණය කළ හැක්කේ දකුණු කොරියාව පමණක් බවත් එහි එකඟත්වය නොමැතිව අන් කිසිවෙකුට යුද්ධමය තීරණයක් ගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.  


ආසියාවේ කුඩා දුප්පත් රටක් වුවද උතුරු කොරියාවේ යුද ශක්තිය පිළිබඳ සංඛ්‍යාලේඛන පුදුම සහගතය. එක්සත් ජනපදය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය, ඉන්දියාව, පාකිස්ථානය සහ ඊශ්‍රායලය නැමැති රටවල් අටට පසුව න්‍යෂ්ටික ආයුධ හිමි නවවැනි රට වන්නේ උතුරු කොරියාවයි. නිත්‍ය භටයින් දශලක්ෂයක් සහ ස්වෙච්ඡා සංචිතවල මිලියන හතක සේවා බලයක් ඇති එරට හමුදාව ලොව හතරවැනි විශාල හමුදාව ලෙස සැලකෙයි. එහෙත් තාක්ෂණික යෝග්‍යතාව සහ භෞතික සම්පත් ආඪ්‍යතාව අතින් විධිමත් යුද්ධයකට ඔරොත්තු දීමේ හැකියාවක් එයට තිබිය නොහැකි බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතයයි. මේ නිසාම කිසියම් ගැටුමකදී ඉවක් බවක් නැතිව සිය න්‍යෂ්ටික බොත්තම තද කිරීමේ විනාශකාරී අතිධාවනකාරී මඟකට එරට එළඹීමේ අවදානම පවතියි.  


 තමන්ට න්‍යෂ්ටික ආයුධ අවශ්‍ය වන්නේ ඇමරිකන් ආක්‍රමණයකින් බේරී සිටීමේ ආත්මාරක්ෂක ආවරණයක් වශයෙන් බව උතුරු කොරියාව පවසයි.  


එය ජාත්‍යන්තර ප්‍රජාව විසින් නොසලකා හළ නොහැකි තර්කයකි. අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට පූර්ව කොන්දේසියක් වශයෙන් උතුරු කොරියාවේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් සැපයිය යුතුව තිබේ. 

සරත් කුරේ