උණුසුම් වෙන බව සිතූ සඳුදා මැතිසබේ දියාරුයි !


 

රටෙහි දැනට පවතින දේශපාලන අර්බුදය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා කථිකයන් නොසිටීමේ හේතුවෙන් පාර්ලි​ෙම්න්තුව කල් තැබීමට නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි 35 ක් කල් ඇතිව සභාව අත්හිටුවීමට මූලාසනයට සිදුවිය.  


 සභාව කල් ඇතිව අත්හිටුවීම නිසා පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන සේවකයන් 850 කට පමණ රුපියල් 750 ක ප්‍රවාහන දීමනාව අහිමි වී ගියේය. මේ සිදුවීම පාර්ලිමේන්තු සේවකයන් හඳුන්වන්නේ ‘හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටිලා’ යනුවෙනි.  


 පාර්ලිමේන්තුව ප.ව. 6.30 දක්වා රැස්වුණහොත් පාර්ලිමේන්තු සේවකයන්ට රුපියල් 750 ක දීමනාවක් හිමි වෙයි. ගිය සඳුදා ප.ව. 6.25 ට පාර්ලිමේන්තුව අවසන් කෙරුණ නිසා විනාඩි 5 ක හිඟයෙන් පාර්ලිමේන්තු සේවකයන්ට මෙම ප්‍රවාහන දීමනාව අහිමි වී ඇති බව කියති.  


 පාර්ලිමේන්තුව ගිය සඳුදා (19) රැස්වූයේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත් වාර්තාව සලකා බැලීමටම හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම අවසාන කෙටුම්පත පිළිබඳව විවාද කිරීමටය. ඒ සඳහා කල් වේලා ඇතිව දින නියම කරගෙන තිබිණි.  


 එහෙත් ගිය සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමේ විශේෂත්වයක් වූයේ, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු පැවැති ප්‍රථම රැස්වීම වීමයි. මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ තුන පසුගිය සතිය පුරා විටින් විට රැස්වෙමින් විවිධ තීන්දු තීරණ ගනිමින් හා ඒවා සංශෝධනය කරමින් සිටීමේ තත්ත්වය මත මේ විවාදය විශේෂ වැදගත්කමක් ගනු ඇතැයි විශ්වාසයක් තිබිණි.  


 විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරු 20 දෙනෙක් නැගිට ඉල්ලා සිටියත් විවාදය සඳහා ඒ 20 දෙනාවත් සහභාගි නොවීම විශේෂ ලක්ෂණයක් විය. විවාදයට එක්වූයේ 12 දෙනෙක් පමණි.  
 පසුගිය සඳුදා මන්ත්‍රීවරු කැඳවීමේ සීනුව නාද වීමට පෙර සභාවේ රැස් වූ දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විවිධ අපහාසාත්මක හා උපහාසාත්මක වචන හුවමාරු සිදුවිය.  


‘දැන් ආණ්ඩුව හදනවද?’  


‘ඔව්. අපි හදනවා. ගෙදර යන්න බලාගෙන ඉන්න.’  


‘මේක මහ මැතිවරණය නෙවෙයි.’  


‘ගමේ ඡන්දය දිනල වැඩක් නැහැ. ආණ්ඩු පෙරළන්න බැහැ.’  


‘මහ ලොකුවට ඡන්දය දිනුව කිව්වට 116 තව හුළං තමයි.’  


මෙලෙස දෙපාර්ශ්වයෙන් එකිනෙකා වචන හුවමාරු කර ගත්හ.  


 පාර්ලිමේන්තුව රැස්වීමේදී ආරම්භයේම ආණ්ඩුවේ සංවර්ධන කටයුතු හා මහජන සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 8,330 ක මුදලක් අනුමත කර ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  


 පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමට පෙර රටෙහි දැනට පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු 20කගේ අත්සනින් යුතු යෝජනාවක් තතානායක කරු ජයසූරිය මහතාට ඉදිරිපත් කෙරුණි.  


 මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස අසුන්වලින් නැගිට ඝෝෂා කිරීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් වී තිබිණි. 

 
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනු ලැබුවේ දේශපාලන අර්බුදය නිසා රට අරාජික තත්ත්වයට පත්ව ඇති බැවින් එය රටේම අවධානයට හේතු වී ඇති බවයි. මේ හේතුව නිසා රටේ දේශපාලන තත්ත්වය ගැන අදම විවාදයක් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය.  


කතානායක කරු ජයසූරිය මහතා එම යෝජනාවට එකඟතාවක් නොදැක්වීය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එම යෝජනාවට එකඟතාව නොදැක්වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් විය.  


මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කියා සිටියේ ජාතික රජයක් දැන් නොමැති බවයි. මේ තත්ත්වය නිසා පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව විවාදයක් අවශ්‍ය බව කියමින් ඒකාබද්ධය ඝෝෂා කිරීම නිසා කතානායකවරයා සභාව කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.  


යළි සභාව රැස්වූ අවස්ථාවේ කතානායකවරයා නිවේදනය කළේ ප.ව. 4.00 සිට 7.00 දක්වා රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පවත්වන බවයි.  


ඒ අනුව නියමිත වේලාවේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාව ඉදිරිපත් කළේය. විමල් වීරවංශ මහතා යෝජනාව ස්ථිර කළේය.  


සභාව කල් තබන අවස්ථාවේ විවාදයට සහභාගි වූයේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඇමැති රාජිත සේනාරත්න, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, ඇමැති නවීන් දිසානායක, නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල හා මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරු පමණි.  

 

 

 

 

දයාසීලි ලියනගේ