ඉම්රාන් ඛාන්ගේ තුන් වැනි විවාහය



පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක හා තෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් තෙවැනි වරටත් විවාහ වී තිබේ. මෙවර ඔහුගේ මනාලිය වී ඇත්තේ ඔහුගේ ආධ්‍යාත්මික උපදේශිකාව වන බුෂ්රා වටූය.   


ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් හා බුෂ්රා වටූ (ඇය පින්කි පීර් නමින්ද හැඳින්වෙයි) අතර විවාහය බුෂ්රාගේ සොහොයුරකුගේ ලාහෝර් නුවර පිහිටි නිවෙසේ චාම් ලෙසින් පවත්වා ඇතැයි තෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කරයි. විවාහ මංගල උත්සවය සඳහා සමීප මිතුරන් හා ඥාතීන් සුළු පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වේ. විවාහ මංගල්‍යය නිමිති කර ගනිමින් අනාථ දරුවන් හට ආහාර බෙදා දීමට ඛාන් යුවළ පියවර ගෙන තිබේ. 


පෙබරවාරි 18 දා පැවැත්වුණු මෙම විවාහය සම්බන්ධයෙන් පසුගිය ජනවාරියේ සිට පුවත්පත්වල විවිධ ආරංචි පළ විය. ‘‘කාලයක් පුරා තමාගෙන් ඈත්ව තිබූ පෞද්ගලික සතුට තමාට යළි ලැබෙන ලෙසට යාච්ඤා කරන්නැ’’යි ඔහු තම මිතුරන්ගෙන් ඉල්ලා ඇතැයි එම තොරතුරු මගින් අනාවරණ වී තිබිණි. 


65 හැවිරිදි ඉම්රාන් ඛාන් තරුණ වියේදී කෙළිලොල් දිවියක් ගත කළ පුද්ගලයෙකි. පසුව දේශපාලනයට පිවිසි ඔහුට පාකිස්තානයේ නැගෙනහිර ප‍්‍රදේශයෙන් විශාල සහයක් හිමි විය. විශේෂයෙන් කොන්සර්වටිව් පාශ්තුන් වාර්ගිකයන්ගෙන් මහඟු සහයක් ලැබිණි. පසුගිය සමයේ නවාෂ් ෂරීෆ් බලයෙන් පහ කිරීම සඳහා ඉම්රාන් ඛාන් විශාල දායකත්වයක් දරන ලද අතර ඉන් ඔහුගේ ජනප්‍රියත්වයද ඉහළ ගියේය. 


40 හැවිරිදි බුෂ්රා වටූ මනේකා, වටෝ ගෝත‍්‍රයේ උ කුලයකට අයත් කාන්තාවකි. ඉස්ලාමාබාදයේ රේගු නිලධාරියකු වූ කවාර් ෆාරිඩ් මනේකාගේ කලින් බිරිය වූ ඇය ඉම්රාන්ගේ ආධ්‍යාත්මික උපදේශිකාව ලෙස කටයුතු කළ අතර කලකට පසු ඉම්රාන් ඇයට විවාහ යෝජනාවක් කොට කැමැත්ත විමසා තිබේ. ඇයද තම කැමැත්ත ප‍්‍රකාශ කළ හෙයින් දෙදෙනා විවාහ වන්නට තීරණය කළහ. විවාහයට පෙර බුෂ්රාගේ දරුවන්ගෙන් හා පවුලේ සාමාජිකයන්ගෙන් ද ඒ පිළිබඳව විමසූ බැව් ඉම්රාන් සඳහන් කර තිබේ. 


තම බිරිය සමඟ එක්ව දින කිහිපයක් ගත කිරීම සඳහා ඉම්රාන් ඛාන් සිය දේශපාලන කටයුතු දින කිහිපයකට කල් දමා ඇතැයි වාර්තා වේ. ඉම්රාන් ඛාන් පුතුන් දෙදෙනකුගේ පියකු වන අතර බුෂ්රා දරුවන් පස් දෙනකුගේ මවකි. 


ඉම්රාන් ඛාන්ගේ පළමු බිරිය වූයේ ජෙම්මාය. 1995 විවාහ වූ ඔවුහු වසර නවයකට පසු දික්කසාද වූහ. ඔහුගේ දෙවැනි විවාහය රූපවාහිනී නිවේදිකාවක වූ රෙහාම් සමඟ සිදු කෙරුණු අතර එම විවාහය පැවතියේ මාස දහයක් වැනි කෙටි කලක් පමණි. 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා