ඉන්දියාවේ භූ දේශපාලන අභිලාෂයට යට වූ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය


 

වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍රියාද‌ාමයෙහි අතිශය තීරණාත්මක අර්බුදය බවට පත් වී ඇත්තේ කොළඹ වරායෙහි නැගෙනහිර ජැටියෙහි වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන සේවා කටයුතුවලින් 49% ක් ඉන්දියාවේ අද‌ානි සමාගම වෙත පවරා ඉතිරි 51% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුකර ගෙන වරාය අධිකාරිය සහ ඉන්දියාවේ අද‌ානි සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් හෙවත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව මුල්කරගෙන උද්ගත වී ඇති දේශපාලන අර්බුදයයි.   


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මුල්කර ගත් ව්‍යාපාරයෙන් 49% ක් ඩොලර් මිලියන 600 කට පමණ ඉන්දියාවේ අද‌ානි සමාගම වෙත පැවරීම සඳහා ලංකා ආණ්ඩුව මේ වෙන විට පිබුරුපත් සකස් කරමින් සිටින අතර එම තීරණය පසුපස නිශ්චිත වශයෙන්ම ඉන්දියාවේ භූ දේශපාලන අපේක්ෂාව නග්න ලෙස බලපෑම් කරන බව පෙන්නුම් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. දකුණු ආසියාතික කලාපයේ මහා බලවතා වන ඉන්දියාවේ භූ දේශපාලන අවශ්‍යතා මොනවාද? යන්න මෙහිදී විමසා බැලිය යුතුය.   


 දකුණු ආසියාතික කලාපයේ රාජ්‍යයයන් අතර විශාලතම භූමි භාගය හිමි වී ඇත්තේ ඉන්දියාවටය. වැඩිම ජන සංඛ්‍යාවක් අයත් වන්නේ ද ඉන්දියාවටය. එමෙන්ම දැවැන්තම යුද ශක්තිය මෙන්ම ආර්ථික ශක්තිය ද හිමි වී ඇත්තේ ඉන්දියාව වෙතය. එහෙයින් කලාපය තුළ දේශපාලන යථාර්ථය වෙන්නේ ඉන්දියානු ආධිපත්‍යයයි. එම යථාර්ථය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගත යුතුය. එහෙයින් දකුණු ආසියාතික කලාපයේ සෑම රාජ්‍යයකටම ඉන්දියානු බලපෑම සෘජුව හෝ වක්‍රව ඇතිවීම වැළැක්විය නොහැක.   
 සීතල යුද්ධ කාලයේ (1945 - 1991) පැහැදිළි වශයෙන්ම ඉන්දියාව සෝවියට් සමූහාණ්ඩු සංගමය ප්‍රමුඛ නැගෙනහිර සමාජවාදී කඳවුර සමග දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන ගියේය. නිදහස හිමි වූ අවස්ථාවේ පටන් ඉන්දියාව දකුණු ආසියාතික කලාපයෙහි ස්වකීය පරම සතුරා ලෙස හඳුනාගත්තේ අසල්වැසි පාකිස්ථානයයි. සතුරු භාවයේ පදනම වූයේ හින්දු - මුස්ලිම් ආගමික භේදයයි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් ඉන්දියාව හා පාකිස්ථානය 1947 දී ඛණ්ඩණය කරනු ලැබුවේ එම ආගමික සාධකය පදනම් කරගෙනය. ඉන්දියාවට නිදහස ලැබුණේ බටහිර හා නැගෙනහිර වශයෙන් පාකිස්ථානය භෞමික වශයෙන් ඛණ්ඩනය වී පාකිස්ථානය සහ ඉන්දියාව යනුවෙන් නව රාජ්‍යයන් දෙකක් බිහිවීමෙනි. 1947 දී නිදහස් ඉන්දියාව සහ නිදහස් පාකිස්ථානය බිහි වූයේ පස මිතුරු හෙවත් සතුරු රාජ්‍යයන් දෙකක් වශයෙනි. මෙහිදී පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුර සමග සමීප සබඳතා ඇතිකර ගත්තේය. මේ ආකාරයෙන් දකුණු ආසියාතික කලාපයේ ප්‍රධානතම පස මිතුරු රාජ්‍යයන් දෙක සීතල යුද සමයෙහි අන්තර් ජාතික වශයෙන් පස මිතුරු ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය සමග සමීප සබඳතා පවත්වන ලදී. එහි සෘජු ප්‍රතිඵලය වූයේ දකුණු ආසියාතික කලාපය තුළ ඉන්දියාව සෝවියට් සංගමයේ ආශිර්වාදය යටතේ ද පාකිස්ථානය එක්සත් ජනපදයේ ආශිර්වාදය යටතේ ද යුදමය, දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම්වල නියුතු වීමයි. 

 
සීතල යුද්ධය නිම වීමෙන් පසු මෙතෙක් එක්සත් ජනපදයේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ සෝවියට් සංගමය වෙතින් එල්ල වූ තර්ජනය මුලුමනින්ම අහෝසි වී ගියේය. එහෙත් චීනය ආර්ථික බලවෙතක් ලෙස නැගී සිටීමත් සමග සීතල යුද්ධය නිමවීමෙන් පසු එක්සත් ජනපදයේ ප්‍රධානතම ආර්ථික සතුරා බවට පත්වී ඇත්තේ චීනයයි. චීනයේ ආර්ථික ශක්තිය දෙවෙනි වෙන්නේ එක්සත් ජනපදයට පමණි.   
 පසුගිය දශකවල දී චීනය ඉතා වේගයෙන් ලොව පුරා ස්වකීය ආ්රථික බලය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියෙහි නියුතු වී ඇත. ප්‍රථමයෙන්ම අප්‍රිකානු කලාපයෙහි එම ක්‍රියාද‌ාමය අනුගමන කළ චීනය ක්‍රමානුකූලව දකුණු ආසියාතික කලාපයෙහි ද ස්වකීය ආර්ථික බලය ව්‍යාප්ත කරමින් සිටියි. මෙහිදී ස්වකීය අසල්වැසි ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ ආර්ථික බලපෑම් ඇතිවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විශේෂ අවධානය යොමුවීම ස්වභාවික තත්ත්වයකි.   
ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව කෙරෙහි සෘජුවම ඇතිවූයේ ඉන්දියානු බලපෑමයි. එම තත්ත්වය 16 වෙනි ශතවර්ෂය දක්වාම අඩු වැඩි වශයෙන් පැවැති අතර එම තත්ත්වය අවසන් වූයේ බටහිර යටත් විජිත ආධිපත්‍යයත් සමගය. ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවෙන් ඇතිවූ බලපෑම යුදමය හා දේශපාලන වශයෙන් ඇතිවූවක් පමණක් නොව එය සංස්කෘතික වශයෙන් ඇතිවූ ප්‍රබල බලපෑමක් ද විය. විශේෂයෙන්ම බෞද්ධ ධර්මයේ බලපෑම කැපී පෙනෙයි. සත්‍ය වශයෙන්ම වර්තමාන ශ්‍රී ලාංකේය සංස්කෘතිය ඉන්දියානු මහා සංස්කෘතියේ චුල සංස්කෘතියක් වේ.   
 ලංකාවට නිදහස හිමි වූ මුල් අවධියේ පටන් ඉන්දු ලංකා සබඳතා අතිශය යහපත් තත්ත්වයක පැවැතියේය. දෙරට අතර ඇතිවූ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න බොහෝමයක් සාමකාමී ලෙස විසඳ‌ාගත් අතර එම විසඳුම් වාසිසහගත වූයේ ශ්‍රී ලංකාවටය. නිදසුන් වශයෙන් 1964 සිරිමා - ශාස්ත්‍රි ගිවිසුම, 1971 කච්චතිව් දූපත පිළිබඳ ප්‍රශ්නයට ලැබුණු විසඳුම දැක්විය හැකිය. අනෙක් අතින් 1972 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘ඉන්දියන් සාගරය සාම කලාපයක්’ බවට පත් කිරීමේ යෝජනාව ඉන්දියාවට වඩාත් වාසිසහගත විය. එමගින් ඉන්දු - ලංකා සබඳතා වඩාත් ශක්තිමත් විය. එමෙන්ම නොබැඳි ජාතීන්ගේ ව්‍යාපෘතියෙහි ආරම්භක සාමාජිකයන් වශයෙන් ඉන්දියාවේ අගමැති ජවහාර්ලාල් නේරු සහ ශ්‍රී ලංකාවේ අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වැදගත් ස්ථානයක් ගත්තේය. 1976 දී නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම සඳහා ඉන්දියාවෙන් ලැබුණු සහයෝගය තීරණාත්මක විය. මේ ආකාරයෙන් දිගුකලක් තිස්සේ පැවැති ඉන්දු - ලංකා මිතුදම පළුදු වූයේ 1977 න් පසු කාලයේදීය.   


1977 දී ලංකාවේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බල කඳවුර සමග සමීප සබඳතා පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ නොසතුට පළවිය. විශේෂයෙන්ම ‘ඇමෙරිකන් හඬ’ නැමැති යුද රහස් ඔත්තු සේවා ගුවන් විදුලියේ ශාඛාවක් ලංකාවේ ස්ථාපිත කිරීමට ලංකා ආණ්ඩුව අවසර ලබා දීමත්, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව පිහිටුවා ඇති තෙල් ටැංකි සමූහය එක්සත් ජනපදයට බදු දීමට ලංකා ආණ්ඩුව කටයුතු කිරීමත්, ඉන්දියාවේ උදහසට හේතු විය. එමගින් ඉන්දු - ලංකා සබඳතා පළුදු වීමට පටන්ගත් අතර මෙහි සෘජු ප්‍රතිඵලය වූයේ ඒ වන විට ලංකාවේ උතුරු - නැගෙනහිර වර්ධනය වෙමින් පැවැති සිවිල් යුද්ධයට මැදිහත් වීමට ඉන්දියාව කටයුතු කිරීමය. එම මැදිහත්වීම ලංකා ආණ්ඩුවට එරෙහිව ඇතිවූ මැදිහත් වීමක් විය. යථෝක්ත ඉන්දියානු මැදිහත් වීමේ කූඨප්‍රාප්තිය වූයේ 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමය.   
 ඉන්දු - ලංකා ගිවිසුම මගින් ඇමෙරිකන් හඬ ගුවන් විදුලි සේවය අහෝසි කිරීමට ද, ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේ පැවැති​ තෙල් ටැංකි 99 ඉන්දියාවට බදු දීමට ද ශ්‍රී ලංකා හමුද‌ාවට යුද පුහුණුව ලබා දීම ඉන්දියාව විසින් පමණක් සිදුකිරීමට ද අවශ්‍ය කටයුතු ඉටුකිරීමට ලංකා ආණ්ඩුවට බල කරන ලදී.   
එපමණක් ද නොව ලංකාවේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ ඉන්දියානු සාම සාධක හමුද‌ාවක් ලංකාවේ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල රඳවා තැබීමට ඉන්දු - ලංකා ගිවිසුම මගින් කටයුතු සලසන ලදී. මින් පෙනී යන්නේ ඉන්දියාවේ භූ දේශපාලන අභිලාෂය හොඳින් හෝ නරකින් කලාපය තුළ සාක්ෂාත් කර ගැනීමට ඉන්දියාව පසුබට නොවන බවයි.   


 වර්තමානයේදී උද්ගත වී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ අර්බුදය විමසා බැලිය යුත්තේ යථෝක්ත සන්ධර්භය ඇසුරිනි. මේ වන විට ඉන්දියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම වෙළෙඳ තරගකරුවා මෙන්ම යුදමය සතුරා වන චීනය ඉන්දියානු සාගර කලාපයේ සිදුකරනු ලබන ආර්ථික බල ව්‍යාපෘතිය ඉහත දැක්වූ රාජ්‍යයන් දෙකටම තර්ජනයක් වී තිබේ. චීනය විසින් දකුණු ආසියාවේ වරායන් ව්‍යාපාරික වශයෙන් අත්පත් කරගැනීමට දරන ප්‍රයන්තය මෙහි දී වඩාත් ප්‍රමුඛ ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දකට චීනය වෙත පැවරීම සහ කොළඹ වරාය නගරයේ සැලකිය යුතු ආයෝජනයක් සිදුකිරීමට චීනයට අවකාශය සැලසීම මෙන්ම කොළඹ වරායේ ප්‍රධාන ජැටියක් ගොඩ නැගීමටත්, එහි අයිතිය වසර 35 කට චීනය වෙත පැවරීමත් මේ වන විට සිදු වී හමාරය. එම ක්‍රියා මාර්ගවලට මුල පිරුවේ 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව ද යථෝක්ත ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.   
 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ව්‍යාපාරයට පැවරීමට පසුගිය යහපාලන ආණ්ඩුව පිඹුරුපත් සකස් කළ අතර ඒ සඳහා ණය මුදලක් එම රාජ්‍යයන්ගෙන් අපේකෂා කරන ලදී. කෙසේ වෙතත් එම ක්‍රියා මාර්ගය අකර්මන්‍ය විය. හම්බන්තොට වරාය චීන ආධාර ඇතිව ඉදිකළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වුවද එම වරායෙන් අධික අලාභයක් සිදු වූ හෙයින් යහපාලන ආණ්ඩුව විසින් එම වරාය චීන සමාගමකට බදු දීමට කටයුතු කරන ලදී. මේ ආකාරයෙන් පසුගිය වකවානුවේ දී ලංකා ආණ්ඩුව චීනය සමග අමනෝඥ ලෙස ගෙන ගිය ආර්ථික සබඳතා ඉන්දියාවේ භූ දේශපාලන අභිලාශයන්ට මුලුමනින්ම පටහැනි විය. එහෙයින් කොළඹ වරාය තුළ සැලකිය යුතු ආකාරයකින් බලය ව්‍යාප්ත කර ගැනීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමුවන්නේ යථෝක්ත වාතාවරණය තුළය.   
 2015 ට පෙර සහ ඉන්පසුව ලංකා ආණ්ඩුව චීනය සමග වඩාත් සමීප ආර්ථික සබඳතා පවත්වාගෙන යාමට කටයුතු කිරීම හේතුකොට ගෙන ඉන්දියානු මැදිහත් වීමකට අවිඥනිකව අතවැනීමක් ලංකා ආණ්ඩුව විසින් සිදුකර තිබේ. මින් ගම්‍ය වෙන්නේ විදේශ සබඳතා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ලංකා ආණ්ඩුව අසමත් වී ඇති බවය. එහි ආදීනව වර්තමානයේ දී ලංකා ආණ්ඩුවට බුක්ති විඳීමට සිදුවී තිබේ. 

 
 කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ අර්බුදය ඉන්දියාවට වාසිද‌ායක අයුරින් විසඳීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වත්මන් රජයට සිදු වී තිබේ. මෙහිදී ආණ්ඩුවට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රබලතම ගැටලුව වෙන්නේ ජනතා විරෝධයයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම නැමැති දේශප්‍රේමී පොරොන්දුව ඉස්මතු කරමිනි. විශේෂයෙන්ම පසුගිය රජයට එල්ල කරන ලද ප්‍රබල චෝදනාවක් වූයේ ජාතික සම්පත් විකිණීම පිළිබඳ චෝදනාවයි. පසුගිය මැතිවරණවල දී බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ ජාතිකවාදී සමාජ බලවේගයන් වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වූයේ යථෝක්ත දේශප්‍රේමී පොරොන්දු ඉටුකර ගැනීමේ චේතනාවෙනි. එහෙත් වත්මන් ආණ්ඩුව එම පොරොන්දු කඩකරන විට ආණ්ඩුවට සහාය පළ කළ බලවේග අර්බුදයට ගමන් කර ඇති අතර ආණ්ඩු විරෝදය උත්සන්න වී ඇත්​තේ ආණ්ඩු හිතවා දී බලවේගවලිනි. එහෙයින් ආණ්ඩුව ‘ගිරයට හසු වූ පුවක’ බවට පත් වී තිබේ. එනම් එක් අතකින් ආණ්ඩුව ඉන්දියානු බලවතාගේ බලපෑමට ගොදුරු වී ඇති අතර අනෙක් අතින් ආණ්ඩුව බලයට පත්කිරීමට උරදුන් ජාතික බලවේගවල බලපෑමට ගොදුරු වී තිබේ. 


 අවසානයේ දී තමන් බලයට පත් කිරීම සඳහා උපකාර කළ ජාතික බලවේග පසෙකලා ඉන්දියාවේ භූ දේශපාලන අභිලාශයට ඉඩකඩ සැලසීමට ලංකා ආණ්ඩුවට සිදුවනු ඇත. පසුගිය දිනවල ආණ්ඩු පාර්ශ්වකරුවන් විසින් කරන ලද ප්‍රකාශ තුළින් ගම්‍ය වෙන්නේ කුමන බාධක පැමිණිය ද ඉන්දියාවේ අද‌ානි සමාගමට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මුල්කරගත් ව්‍යාපාරයෙහි 49% කොටස් පැවරීමට ආණ්ඩුව කටයුතු කරනු බවයි. එහෙයින් ආණ්ඩුව මේ වන විට තීරණය ගෙන අවසානය. දැන් ආණ්ඩුවට අවශ්‍ය කරන්නේ කුමන උපක්‍රමයක් යොද‌ාගෙන හෝ ස්වකීය ජන පදනම ආරක්ෂා කරගැනීමටය. ඒ සඳහා ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව විමසිලිමත් වීම වැදගත් වන අතර ආණ්ඩුවේ අනාගත ඉරණම තීරණය වීම කෙරෙහි එම උපක්‍රම හේතුවනු ඇත.   

 

 

 

 ටෙරන්ස් පුරසිංහ   
 දේශපාලන විද්‍යා අධ්‍යනාංශය   
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)