ඉන්දියාවේ නිදහස් අරගල දෙකක්


 

 

පිටුවහල් ජීවිතයක් ගතකරන ඉන්දියාවේ මනිපූර් ජාතිකයන් පිරිසක් මනිපූරය ඉන්දියානු පාලනයෙන් නිදහස් කරගෙන, එය වෙනම රටක් ලෙස බ්‍රිතාන්‍යයේ සිට පාලනය කිරීමට අලුත් ව්‍යාපාරයක් ඇරඹූහ.   


පෙරදී රජවරුන් විසින් පාලනය කරන ලද මනිපූරය උතුරින් නාගලන්තයටත්, නිරිතදිගින් මිසෝරාමටයත්, බටහිරින් ඇසෑමටයත්, නැගෙනහිරින් හා දකුණින් මියන්මාරයටත් සීමා වේ. ඉන්දියාවේ අනෙකුත් ඊසානදිග ප්‍රාන්ත මෙන්ම මනිපූරයද ඉන්දියාවෙන් හුදෙකලා වූ ප්‍රාන්තයකි. එහි ආර්ථිකය රඳාපවතින්නේ කෘෂිකර්මය හා වන කර්මාන්තය මතය. එහි ආණ්ඩුකාරවරයා පත්කිරීමේ බලය තිබෙන්නේ ඉන්දීය ජනපතිවරයා හටය.   


වර්ග කිලෝමීටර් 22,327ක භූමි ප්‍රමාණයකින් යුත් ප්‍රාන්තයක් වන එහි ජනගහනය මිලියන තුනකට ආසන්නය. මනිපූරයේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් මීටේයි හෙවත් එරට ස්වදේශිකයන් වන අතර පන්ගාල්වරු හෙවත් මනිපූර් මුසල්මානුවෝ, නාග ගෝත්‍රිකයන්, කුකි ගෝත්‍රිකයන් ඇතුළු සිනො - ටිබේට් භාෂාවන් කතාකරන ජන ප්‍රජාවන් කිහිපයකටම නිවහනයි.   


බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී වසර දෙකකට පසු, එනම් 1949දී මනිපූරය ඉන්දියාවේ කොටසක් බවට පත් වුවත්, දශක ගණනාවක් තිස්සේ එහි ඔඩු දිවූ බෙදුම්වාදී අර්බුදයක් ඇත.   


ඉන්දීය ජනපතිවරයාගේ මැදිහත්වීමකින් තොරව, මනිපූර් නිලධාරීන් විසින්ම පත්කරගනු ලැබූ මනිපූර් රාජ්‍ය කවුන්සිලයේ විදේශ කටයුතු ඇමති නරේන්ග්බම් සමර්ජිත් කියා සිටියේ පිටුවහල් කරනු ලැබුවද තම රජය පිළිගත් රජයක් බවට පත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ අවධානයට යොමුවෙන බවයි. ඒ සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව පැවසූ ඔහු දන්නා හැම රටකින්ම සහය ඉල්ලා සිටින බව වැඩිදුරටත් කියා සිටියි. ඒ සියල්ලෙහි අවසන් පරමාර්ථය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමයි.   
ඉතා කුඩා බිම් තිරුවකින් පමණක් ඉන්දියාවට සම්බන්ධ වී තිබෙන මනිපූරය, හමුදා ගැටුම් හා දේශපාලන අස්ථාවරත්වය නිසා කාලයක පටන්ම කුඩම්මාගේ සැලකිල්ල ලැබූ ප්‍රාන්තයක් වී තිබිණි. මනිපූරයේ සිටින කණ්ඩායම් 100කටත් වැඩි සංඛ්‍යාවක් නිදහස හා ස්වෛරී භාවය ඉල්ලා සටන් වදිති.   


“අපි එහේ ගත කරන්නේ කොහොමටවත් නිදහස් ජීවිතයක් නෙවෙයි, ඒ නිසා අපේ ඉතිහාසෙත් නැතිවෙලා යන්න යනවා. අපේ සංස්කෘතිය වඳවෙලා යන්න යනවා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට ඇහුම්කන් දෙන්න ඕනෑ. අපි මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්නේ මේ මනිපූරයේ ඉන්න අපිත් මිනිස්සු කියලා.   
“අපි අද ඉඳන් බ්‍රිතාන්‍යයේ සිට රජයේ පාලනය කරගෙන යනවා”යැයි ඔක්තෝබර් 29 වෙනි දා ලන්ඩනයේදී ඔහු කියා සිටියේ 2012දී නිදහස ලබාගත් අවස්ථාවේ කියැවූ ප්‍රකාශයක් හඬ නගා යළිත් කියවමිනි.   

 

 


ඉන්දියාවෙන් නිදහස ලබාගෙන වෙනම රටක් වීම සඳහා ලෝකයේ අනෙක් රටවල් සහයෝගය ලබාදෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.   
මනිපූරයේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය ඇරඹෙන්නේ 1762දී එවකට එහි පාලකයා වූ රාජා ජයි සිං විසින් බුරුම ආක්‍රමණවලින් රට ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍යයත් සමඟ ගිවිසුමකට එළැඹුණු පසුවයි. එහෙත් එයින් පසු බ්‍රිතාන්‍ය සමඟ නැවත ගණුදෙනු කරන්නට වූයේ 1824දී මියන්මාර් ජාතිකයන් පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් කරමිනි.   
රජවරු බලයට පත්වීම නිසා මනිපූරය අතීතයේ පටන් දේශපාලන අර්බුදවලට තෝතැන්නක් විය. එය උච්චස්ථානයට ළඟා වූයේ 1891දී පස්හැවිරිදි චුරා චාන්ද් නමැති රාජකීය පවුලේ සාමාජිකයා මනිපූරයේ රාජා වශයෙන් තේරී පත්වීමත් සමඟය.   


ඊළඟ වසර අට තුළ මනිපූරයේ පාලනය සිදුවූයේ බ්‍රිතාන්‍ය අධීක්ෂණය යටතේය. 1907දී මනිපූරය පාලනය කිරීම සඳහා රජවරයෙක් හා කවුන්සිලයක් පත්වූ අතර එම කවුන්සිලයේ උප සභාපතිවරයා ඉන්දීය සිවිල් සේවකයෙක් වශයෙන් කටයුතු කර විශ්‍රාම ගිය අයෙකි.   
1917දී කුකි කඳුකර ගෝත්‍රයේ කැරැල්ලක් හේතුවෙන් නව පාලන ක්‍රමයක් භාවිතයට පැමිණි අතර එමගින් ප්‍රාන්තය උප කොටස් තුනකට බෙදිණි. එම කොටස් පාලනය සඳහා තේරී පත්වූයේ අසල්වැසි ඇසෑම් ප්‍රාන්තයේ රාජ්‍ය නිලධාරියෝ ය. මෙම ක්‍රමය පසුකලෙකදී නැවත වෙනස් වූ අතර මනිපූරය 1972දී ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්විය.   
සම්භාව්‍ය මනිපූරි නර්තන කලාව මනිපූරයේ උපත ලද්දකි. මනිපූරයේ අත්යන්ත්‍ර රෙදිපිළි ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේද ප්‍රසිද්ධය.   


ජම්මු කාශ්මීර් අර්බුදයට ඉන්දියාවෙන් දැඩි විසඳුමක්   


ඉන්දියාවේ හා පකිස්තානයේ සදාතනික හිසරදය වූ ජම්මු - කාශ්මීර් ප්‍රාන්තය පසුගිය බ්‍රහස්පතින්දා සිට ෆෙඩරල් පාලනය යටතේ ජම්මු හා කාශ්මීර වශයෙන් දෙකොටසකට බෙදෙන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ. මෙම බෙදිල්ලේ අරමුණ වන්නේ ගැටුම්ලන්තයක් වන ජම්මු හා කාශ්මීර් කලාපය සිය දැඩි ග්‍රහණයට ගැනීමයි.   
පසුගිය මාස තුනක් පමණ තිස්සේ එහි ආරක්ෂාව අර්බුදකාරී තත්ත්වයක පැවතිණි. ඉන්දියාවේ තීරණයට විරෝධතාව දක්වමින් මෙහි වැසියෝ වීදිවලට බැස උද්ඝෝෂණය කරන්නට වූහ.   


අගමැති මෝදිගේ හින්දු ජාතිකවාදී රජය පසුගිය අගෝස්තුවේදී කාශ්මීරයේ පාලන බලය නැවත පවරා ගත් අතර, ජම්මු හා කාශ්මීරය එක් කලාපයක් වශයෙනුත් අනෙක් කොටස ලඩක් වශයෙන් තවත් කලාපයකටත් බෙදා, ඒ කලාප දෙකම නව දිල්ලියේ පාලනයට යටත්කරන බව ඉන්දියාව නිවේදනය කළේය. මෙම නව තීරණය බලගැන්වීම සඳහා ඉන්දීය පාලනයට විරුද්ධව නිතර කැරලි ඇතිවෙන, මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර නිම්නයට වැඩිපුර හමුදා පිරිස් යොදවන ලදී.   

 

 


කෝලාහල ඇතිවීම වැළැක්වීම සඳහා බොහෝ දෙනෙක් අත්අඩංගුවටද ගන්නා ලදී. මෙම කලාපයේ සංචරණයට දැඩි නීතිරීතිද පනවා තිබෙන අතර අන්තර්ජාල හා දුරකතන පහසුකම් අවහිර කර තිබේ. අදවෙන තුරුත් බොහෝ කාශ්මීර වැසියන්ට අන්තර්ජාල පහසුකම් නොමැත. පාසල් හා ආයතන ආදිය වසා දමා තිබේ. කාශ්මීරයේ නිදහස උදෙසා සටන් වදින ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් හා දේශපාලන ක්‍රියාකාරීන් සියයකට අධික පිරිසක් වසරකට වැඩි කාලයක සිට අත්අඩංගුවේ පසුවෙති.   


ජම්මු කාශ්මීර ඒකීය රජයේ පළමු ලුතිනන් ආණ්ඩුකාරවරයා වශයෙන් ජී.සී. මුර්මු බ්‍රහස්පතින්දා දිවුරුම් දුන්නේය. ඔහු අගමැති මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාටයේ හිටපු නායකයෙකි.   


හිටපු සිවිල් සේවකයෙක් වන රාධා ක්‍රිෂ්ණ මථූර්, ලඩක් කලාපයේ ලුතිනන් ආණ්ඩුකාරවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ලඩක් හි සංචාරක කර්මාන්තය පුළුල් කිරීමට අගමැති මෝදි අපේක්ෂා කරයි. හිමෙන් වැසුණු කඳුමුදුන් හා කාන්තාරවලින් යුත් ලඩක් කලාපයේ කොටසක අයිතිය උදෙසා චීනය සමඟද අර්බුදයක් ඇත.   


හින්දු බහුතරයක් වෙසෙන ජම්මු කලාපය ෆෙඩරල් පාලනයට යටත් වීමෙන් පසු එය හොඳින් සංවර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.   

 

 

 

නිසංසලා දිසානායක   
අන්තර්ජාලය ඇසුරිනි