ඉන්දියාවේ කාන්තා අතවර


 

ගැහැනියක වී මෙලොව උපදින්නට නුසුදුසුම රට ඉන්දියාව බව තොම්සන් රොයිටර්ස් වාර්තා කරයි. කාන්තා සහ ළමා සමූහ දූෂණත්, දූෂණවලින් පසු මරා දැමීම ආදී මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් වාර්තා වූ ඛේදනීය සිදුවීම් සමඟ මෙසේ ඉන්දියාවේදී කාන්තාවගේ අනාරක්ෂිත බව පිළිබඳව වැඩි කතා බහක් ඇතිව තිබේ.   
පුද්ගලයන් දෙදෙනෙක් අතින් දූෂණයට ලක්වී, ඔවුන් විසින් කළ තර්ජන හමුවේ පවා නොබියව ඒ පිළිබඳව පැමිණිලි කර නඩුව ඉදිරියට යමින් පැවති අවස්ථාවක, නඩුවට සහභාගී වීම සඳහා යමින් සිටි අවස්ථාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උනාඕ දිස්ත්‍රික්කයේ දුම්රියපොළේදී ඇය දූෂණය කළ පාපතරයන් විසින්ම භූමිතෙල් හළා ඇය පණ පිටින් පුළුස්සා දැමූහ.   


මුළු ඇඟම පිළිස්සීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි ඇය රෝහල්ගතව සිටීමෙන් පසුව මියගියාය. ඇගේ ඥාතීහු ඇයට සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණය කරති. කාන්තා අයිතීන් පිළිබඳව හඬ නගන්නෝ මේ සිද්ධිය නිසා කැළඹී සිටිති. සමස්ත ලෝකයේම අවධානය ඉන්දියාව දෙසට යොමුවී ඇත.   
ස්ත්‍රීන්ට අඩන්තේට්ටම් කිරීම, ස්ත්‍රී දූෂණ ආදී සාහසික අපරාධවල යෙදෙන අපරාධකරුවන් වරදක් කළ ද, නීතිඥයන් විසින් පාදා ගන්නා නීති පොතේ ඇති සිදුරුවලින් රිංගා යමින් අපරාධකරුවන්ට බේරී යාමට අවස්ථාව සලසා දෙන්නේ ද මුදල්වලට ඕනෑම දෙයක් කරන තැනට පත් වෙමිනි.   


ඉන්දියාවේ එවැනි අපරාධයක් සිදුවූ විට, යුක්තිය, සාධාරණත්වය අපේක්ෂා කිරීම වෙනුවට මිනිසුන් නිහඬව දුක් වෙමින් සිටින්නේ පාලකයන්, දේශපාලනඥයන්, නීතිඥයන් හා පොලිසිය ඇතුළු බලය ඇති සියලු දෙනාම මුදලට අල්ලසට යටවී අවසානයේ යුක්තිය අපේක්ෂා කරන තැනැත්තාම විපතට පත් කරන සමාජයක් එරට තිබෙන බැවිනි.   
බොහෝ මිනිසුන් අසාධාරණය ඉවසා සිටින්නේ අපරාධකරුවන් සමඟ හැප්පීම උන්හිටිතැන් අහිමි වී ජීවිතයද අනතුරේ වැටීමක් බැවිනි. කුමන තර්ජන තිබුණද සිදුවූ අසාධාරණය වෙනුවෙන් හඬ නැගිය යුතු යැයි සිතා කටයුතු කරන මිනිසුන්ට හානි කිරීමට අපරාධකරුවෝ පසුබට නොවෙති.   


උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඒ තරුණියට ගිනි තබා පුළුස්සා ඇයගේ තර්ජනයෙන් ගැලවීමට අපරාධකරුවෝ සමත් වූහ. ඉන්දියාවේ කටයුතු සිදු වෙන ආකාරයට ඇය දූෂණය කිරීම මදිවාට ඇය මරා දැමීමට ද අපරාධකරුවෝ පසුබට නොවූ නමුත් ඔවුන් අල්ලාගෙන ඔවුනට දඬුවම් දීමට බලය ලද්දෝ ඒ බලය භාවිත කරන්නේ ද නැත.   
23 වියැති ඒ තරුණිය දිල්ලි රෝහලේදී මිය ගියේ ශරීරයෙන් සියයට අනූවක් පමණ පිළිස්සී තිබීම නිසා ය. ඇගේ මරණයට හේතුව ලෙස වාර්තා වූයේ උණුසුම් විස වායු පෙනහළුවලට හානිකිරීමයි.   


ඉන්දියාවේ ජනාධිකම ප්‍රාන්තය උත්තර් ප්‍රදේශ් ය. 2017 දී දූෂණ සිද්ධි 4200කටත් අධික ප්‍රමාණයක් එම ප්‍රාන්තයෙන් වාර්තා විය. ඉන්දියාවේ සිදුවූ දරුණුතම ස්ත්‍රී දූෂණ වාර්තා වූ වසර ලෙස සැලකෙන්නේ 2017 වසරයි. 2017 වසරේ වාර්තා වූ මෙම දූෂණ අපචාර සිද්ධි සැබෑ සංඛ්‍යාව නොවන බව පැවසේ. මන්ද බොහෝ කාන්තාවෝ ලජ්ජාව හෝ බිය නිසා තමාට සිදුවන අපරාධ ගැන මුනිවත රකින්නට පුරුදු වී සිටිති.   


දූෂකයාද ඇතුළු මෙම අපරාධය සඳහා සම්බන්ධ වූ පුද්ගලයින් පස් දෙනා මේ වෙන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙති. තවත් පිරිසකගේ සහයෝගය ඇතිව හෝ එවැන්නක් කිරීමට හැකියාව ලැබුණේ දූෂණ සිද්ධිය විභාග වෙමින් පැවති අතරතුරදී අපරාධකරුට ඇප ලැබීම නිසයි.   
හයිද්‍රාබාද් නගරයට ආසන්නයේදී 27 වියැති පශූ වෛද්‍යවරියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් ද මේ සිද්ධියට සමාන්තරව සිදු විය. ඒ සිද්ධියේ සැකකරුවන් පළායන්නට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර සිවුදෙනාම එතැනම මිය ගොස් තිබේ. මේ සිද්ධිය නිසා ජනතාව කොතෙක් ප්‍රිතියට පත් වූයේ ද කිවහොත් පොලිස් නිලධාරීන් මත රෝස පෙති වරුසා වස්වමින්, ඔවුන් කරේ තබාගෙන ප්‍රීති ඝෝෂා කරමින් සතුට සමරන්නට වූහ.   
2017 වසරේ වාර්තා වූ මෙම දූෂණ අපචාර සිද්ධි සැබෑ සංඛ්‍යාව නොවන බව පැවසේ. ඉන්දියාවේ එක් දවසකට ලිංගික අපචාර 100ක් පමණ වෙන බව වාර්තා වී ඇත. දූෂක මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලමින් ඉන්දියාවේ ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරති.   


2012 දෙසැම්බර් 16 වෙනි දා නවදිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්වීමත් සමඟ කාන්තාව අනාරක්ෂිත රටක් ලෙස ඉන්දියාව ජාත්‍යන්තර අවධානයට ලක් විය.   
ඒ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් හය දෙනාගෙන් සිවු දෙනෙකුට මරණ දඬුවම නියම වුවත්, 2017 වසරේදී එය තාවකාලිකව අත්හිටුවීම නිසා ඔවුන් දැනටත් මරණ දඬුවම ලබන්නට අපේක්ෂිත ලැයිස්තුවේ සිටිති. ඉතිරි වරදකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඒ වෙන විටත් අඩු වයසේ පසුවූවෙක් නිසා ඔහුට සුළු දඬුවමක් ලැබුණු අතර අනෙකා සිරගතව සිටියදී මිය ගියේය. එම අතවරයට ලක්ව මිය ගිය ජෝති සිං පාන්ඬේ තරුණියගේ අවසන් ඉල්ලීම වූයේ අපරාධකරුවන් පුළුස්සා මරා දැමිය යුතු බවයි.   
ලිංගික අපචාරවලට සම්බන්ධ නීති තදබල නොවීමත්, කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව නීති පද්ධතියේ වැඩි ඉඩක් වෙන්වී නොමැති වීමත් නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවට ඉන්දියානු ජනතාව චෝදනා කරති.   


දූෂණ හා ඝාතනවලට වැරදිකරුවන් වූ අයට මරණ දඬුවම දෙන්නැයි කියමින් අපරාධවලට ලක්වූවන්ගේ නැදෑයින් හා හිතවතුන් වීදි බැස ඇතත්, ඒවා මාධ්‍යවලින් වාර්තා කරනවා විනා උද්ඝෝෂණ නිසා අපරාධකරුවන්ට දඬුවම් ලැබෙන ආකාරයෙන් නීති අලුත් වී නැත.   


ඉන්දියාවේ අවුරුදු 12ට අඩු ළමුන් ලිංගික අපචාරවලට ලක් කිරීමේ වරදට මරණ දඬුවම ලැබෙතත්, රටේ බහුලව වාර්තා වෙන තරුණියන් දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් එරට නීති පද්ධතිය එතරම් සවිමත් නැත. ප්‍රතිපත්ති සම්පාදකයින් හා සමාජ ක්‍රියාකාරීන්ගේ චෝදනාව නම්, මෙවැනි සාහසික අපරාධ සම්බන්ධයෙන් නීති වෙනස් කිරීමට රජයට කිසි උනන්දුවක් නොමැති වීම මෙම අපරාධ වැඩිවීමට බලපා ඇති බවයි. 

 


අන්තර්ජාලය ඇසුරිනි.   
  

නිසංසලා දිසානායක