ඇෆ්ඝනිස්ථානයේ කඳවුරු බඳින අයි.එස්. ත්‍රස්තයෝ


අයිඑස් කොරාසාන් ත්‍රස්තයෝ   

 

තලේබාන් ත්‍රස්තයෝ

 

 

අයිඑස්අයිඑස් සංවිධානයේ ප්‍රධාන සටන්කරුවන් සිරියාවෙන් හා ඉරාකයෙන් අතුගා දමා කෙටි කාලයකට පසුව ඔවුහු ඇෆ්ඝනිස්ථානයෙන් මතුවූහ. සිරියාවේ හා ඉරාකයේ පිහිටුවා ගැනීමට උත්සාහ කළ ඔවුන්ගේ සිහින රාජ්‍යය හෙවත් කාලිෆය ගැන අදහස අත්හැර ගැනීමට සිදුවීමෙන් පසුව ඔවුන් ඇෆ්ඝනිස්ථානය පුරා පැතිරීම අරඹා ඇති බව වාර්තා වේ.   


අයිඑස් ත්‍රස්තවාදීන් නව සාමාජිකයන් දස දහස් ගණනක් එකතුකරගෙන එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර රටවලට ප්‍රහාර දියත්කිරීමට සූදානම් වෙන්නේ යැයි එක්සත් ජනපදයේ හා ඇෆ්ඝනිස්ථානයේ ආරක්ෂක අංශ මේ වන විටත් අනතුරු අඟවා ඇත. ඇෆ්ඝනිස්ථානයේ ත්‍රස්තවාදය වැපිරූ තලේබාන් සංවිධානයටත් වඩා භයානක තර්ජනයක් ලෙස අයිඑස් සංවිධානය හැඳින්වේ. අයිඑස් ත්‍රස්තයෝ වඩාත් භයානක වන්නේ ඔවුන් සතු නවීන යුද උපක්‍රම, ඇෆ්ඝනිස්ථානයේ හා ඉන් පිටත සිවිල් වැසියන්ට පහරදීමේ උපක්‍රම ආදිය නිසාය. ඔවුන් හා ගැටුණු තලේබාන් සංවිධානය සමඟ හිතවත්කමක් ගොඩනගා ගැනීමට අයිඑස් ත්‍රස්තයෝ කිහිප දෙනෙක් ඔවුන් මුණගැසී ඇතැයිද සැක පළවේ.   
ඇෆ්ඝනිස්ථානයේ අගනුවර වන කාබුල්හිදී සිදුවූ ප්‍රහාර මාලාව, එක්සත් ජනපදය හා යුරෝපා රටවලට එල්ල කිරීමට නියමිත ප්‍රහාර සඳහා කළ කුඩා පරිමාණ පෙර පුහුණුවකැයි ඇෆ්ඝනිස්ථානයේ සිටින එක්සත් ජනපද බුද්ධි නිලධාරියෙක් මෑතකදී ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අදහස් දක්වමින් කියා සිටියේය. අනන්‍යතාව හෙළි නොකළ එම නිලධාරියා කියා සිටියේ දැනට ඇෆ්ඝනිස්ථානයේ සිට ඔහුගේ රටට ප්‍රහාරයක් එල්ල කරන්නේ නම්, ඒ සඳහා ආසන්නතම සතුරා වෙන්නේ මෙම අයිඑස් කණ්ඩායම බවය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ පිටස්තර ප්‍රහාර බවත් ඔහු වැඩිදුරටත් හෙළි කරයි.   


ව්‍යාප්තිය   


2014 ගිම්හානයේදී ඉරාකය හා සිරියාව යන දෙරටෙහි කඳවුරු බැඳ සිටි අයිඑස් සටන්කාමීන් පළවා හැරීමෙන් කෙටි කාලයකට පසුව ඔවුහු ඇෆ්ඝනිස්ථානයෙන් මතු වූහ. මෙම ඇෆ්ඝනිස්ථාන නියෝජිතයෝ ඔවුන් හඳුන්වා ගන්නේ අයිඑස් කොරාසාන් යන නමිනි. ඒ නම අතීත මධ්‍යකාලීන යුගයේදී ඇෆ්ඝනිස්ථානයේ, ඉරානයේ හා මධ්‍යම ආසියාවේ ප්‍රදේශ කිහිපයක් හැඳින්වීමට පොදුවේ ව්‍යවහාර කළ එකකි.   


මුලින්ම මෙම කණ්ඩායමේ පෙනෙන්නට සිටියේ දේශසීමාව හරහා ඇෆ්ඝනිස්ථානයට පැමිණි පකිස්ථාන තලේබාන් සටන්කරුවන් දුසිම් කිහිපයක් පමණයි. එම සටන්කරුවන්ගේ ආගමනය නිසා ඇෆ්ඝන් තලේබාන්වරු කුපිත වූහ. තලේබාන්වරු ඔවුන්ගේ සටන ගෙන ගියේ ඇෆ්ඝනිස්ථානයේ සිට වුවත්, මැදපෙරදිග සිටින ඔවුන්ගේ නායකයා වන අබු බකර් අල් - බග්ඩාඩිට පක්ෂපාතීත්වය උදෙසා දිවුරූ අයිඑස් සාමාජිකයන් මුස්ලිම් නොවන සමස්ත ලෝකවාසීන්ටම එරෙහිව සටන් වැදීමට සැරසෙති. වර්තමානයේදී ඇෆ්ඝනිස්ථානයේ සිටින අයිඑස් සාමාජිකයන්ගෙන් දහස් ගණනින් වැඩි දෙනෙක් පැමිණ තිබෙන්නේ මධ්‍යම ආසියාවෙනි. අනෙක් පිරිස අරාබි රටවලින්, චෙච්නියාවෙන්, ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් සංක්‍රමණය වී ඇත. චීනයේ ආදිවාසීන් වන උයිගර්වරුද ත්‍රස්තයෝ බවට පත් වී සිටිති.   


අයිඑස් ත්‍රස්තයන්ගේ ප්‍රධාන කඳවුර පිහිටා තිබෙන්නේ පකිස්ථාන හා ඇෆ්ඝනිස්ථාන දේශ සීමාවේ, ඇෆ්ඝනිස්ථාන භූමියේ පිහිටි නැගෙනහිර නන්ගර්හාර් පළාතේය. ඔවුහු කාලයක සිට එම පෙදෙස කේන්ද්‍රස්ථානය කරගෙන සිටියහ. වර්තමානය වන විට ඔවුන් එම පළාත ආක්‍රමණයෙන් නොනැවතී අසල්වැසි කුනාර් පළාතටද ව්‍යාප්තව සිටිති. එම පෙදෙසේදී ඔවුන් සොයා ගැනීම නන්ගර්හාර් පළාතටත් වඩා අසීරු කටයුත්තකි. 2001 දී එක්සත් ජනපද ප්‍රධානත්වයෙන් සිදුවූ ආක්‍රමණයෙන් පසු බලය අහිමි වූ ඔසාමා බින් ලාඩන් වසරකටත් වැඩි කාලයක් සැඟවී සිටියේ කඳු, උමං හා සැතපුම් ගණන් දුරට විහිදෙන ගුහා සහිත මෙම කඳුකර කලාපයේය. එක්සත් ජනපද හමුදාවට මෙම උස් කඳු බිම් අල්ලා ගැනීමට හැකිවූයේ වසර ගණනාවක අසීරු උත්සාහයන් ගණනාවකට පසුවයි.   


නන්ගර්හාර් පළාත් කවුන්සිලයේ සාමාජිකයෙක් වන අජ්මල් ඔමාර්ගේ ප්‍රකාශයට අනුව අයිඑස් ත්‍රස්තයෝ මේ වන විට නන්ගර්හාර් පළාතට අමතරව නුරිස්ථාන්, කුනාර් හා ලග්මාන් යන පළාත්වල දකින්නට ලැබේ.   


“කුනාර් පළාතේ පාරේ දකුණ පාලනය කරන්නේ තලේබාන්වරු. වම් පැත්ත අයිඑස් ත්‍රස්තයෝ. රජය ඉන්නෙ පාර මැද්දෙ.” ඔහු උපහාසාත්මකව හෙළි කරයි.   


අයිඑස් සංවිධානයේ ගුරුත්ව කේන්ද්‍රය හෙවත් මීළඟ කේන්ද්‍රස්ථානය අසල්වැසි කුනාර් පළාත වන බව ඔහු ජලාලාබාද් හි අධි ආරක්ෂාව සැපයූ නිවසේ සිට අනාවැකි පළ කළේය. ඇරඹුමේදී සිටි ත්‍රස්තයෝ 150 මේ වන විට දහස් ගණනින් වැඩි වී ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියි.   


මේ අතර එක්සත් ජනපද බුද්ධි නිලධාරියෙක් කියා සිටින්නේ බලවත් ප්‍රතිත්‍රස්ත උපාය මාර්ගයක් අනුගමනය නොකරන්නේ නම් ඇෆ්ඝනිස්ථානයේ සිටින අයිඑස් ශාඛාව මීළඟ වසර තුළ එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ මහා පරිමාණ ප්‍රහාරයක් සිදුකරන බවය.   


ඒ පිළිබඳව වඩාත් අවාසි සහගත කරුණ වෙන්නේ ඔවුන් එම කඳුකර කලාපය ඉතා හොඳින් දැන සිටීමත්, ඔවුන්ට එය හොඳින් හුරු පුරුදු වීමත්, සැඟවී සිටින්නට අවශ්‍ය තරම් ඉඩකඩ තිබීමත්, මුදල්, අවි ආයුධ හා උපකරණ පහසුවෙන් ලබාගැනීමට හැකියාවත් ය. සැලසුම් කිරීම, පුහුණු කිරීම, ප්‍රහාරය ස්ථානගත කිරීම මෙන්ම කිසිවෙකු සිතන්නටත් පෙර ප්‍රහාර එල්ල කිරීම ඔවුනට ඉතා පහසු වී තිබෙන්නේ සැඟවී සිටින භූමියේද වාසිය නිසාවෙනි.   


නැගෙනහිර ඇෆ්ඝනිස්ථාන භූමියේ ව්‍යාප්ත වීම යනු ඔවුන්ගේ අංක එකේ හමුදා ඉලක්කය බව ඔහු වැඩිදුරටත් පැවසීය.   


සාමය ඇතිකර ගැනීම උදෙසා තලේබාන් සංවිධානය සමඟ සාම කතාවල යෙදී සිටියද, සිරියාවේදී හා ඉරාකයේදී අන්ත පරාජයට පත් වූ අයිඑස් සාමාජිකයන්ට ඇෆ්ඝනිස්ථානයට ඇතුළු වීමට ඉඩ දෙන්නේ යැයි එක්සත් ජනපදයට චෝදනා එල්ල වී තිබේ. හැම අතින්ම භූමියෙන් වටවී තිබෙන රටක් වෙන ඇෆ්ඝනිස්ථානයට ගුවනින් ආයුධ ගෙන ඒමට ඉඩ දීම හා ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳවද එක්සත් ජනපදයට හා නේටෝ සංවිධානයට ඇඟිල්ල දිගු වේ. එයට හේතුව නම්, එරට ගුවන් කලාපයේ පාලන බලය මුළුමනින්ම පාහේ ඔවුන්ට හිමිව තිබීමයි.   


අප්‍රේල් මාසයේ මුල් භාගයේදී පමණ ඇෆ්ඝන් ආරක්ෂක නිලධාරියෝ අයිඑස් ත්‍රස්තවාදයට සම්බන්ධ ව සිටි මාධ්‍ය ක්‍රියාකාරීන් හය දෙනෙක් කාබුල් නගරයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. ඔවුහු සියලු ම දෙනා ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍යවල අයිඑස් මතවාදය ව්‍යාප්ත කරමින් සිටි බව හෙළි වී තිබේ.   


නන්ගර්හාර් පළාතේ සිදුකළ තවත් මෙහෙයුමකදී අයිඑස් සංවිධානයට අනුග්‍රහය දක්වන්නන් 10 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්වී තිබිණ. ඔවුන් සොයා කළ මෙහෙයුමේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12,500ක් ද හමුවිය. ඇෆ්ඝන් විශේෂ බළකාය, අයිඑස් ත්‍රස්තයන් සහ තලේබාන් සංවිධානය නැගෙනහිර ඇෆ්ඝනිස්ථානයේදී තුන්කොන් සටනකට සැරසෙමින් සිටිති. සති කිහිපයකට පෙර අයිඑස් ත්‍රස්තයෝ තලේබාන් සංවිධානයට එරෙහිව ප්‍රහාර කිහිපයක්ම එල්ල කළ අතර එමගින් කුනාර් පළාතේ මිනිස්සු 20,000කට වඩා අවතැන් වූහ.   


ඇෆ්ඝනිස්ථානයේ සිදුවෙතැයි කියන මෙම සිදුවීම් එක්සත් ජනපදය හා නේටෝ මූලස්ථානය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් කියන්නේ ඇමෙරිකාවෙන් හා ඇෆ්ඝන් හමුදාවලින් එල්ල වෙන පීඩනය නිසා අයිඑස් සංවිධානයේ ඇෆ්ඝන් ග්‍රහණය ලිහිල් වෙමින් යන බවය.   


වරක් මේ පිළිබඳව අල් ජසීරා පුවත් සේවයට අදහස් දැක්වූ හිටපු ඇෆ්ඝන් ජනපති හමීඩ් කර්සායි කියා තිබුණේ එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානයේදී අයිඑස් ත්‍රස්තයින් සමඟ සටන් කළද, ටක්ෆිරිවරුන්ට නැගිටින්නට ඉඩදී බලා සිටින බවයි. ටක්ෆිරිවරු යනු තවත් මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත කල්ලියකි. සිරියාවෙන් හා ඉරාකයෙන් පැනගත් ඔවුන්ද මේ වෙන විට රැඳී සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේය. දළ වශයෙන් ටක්ෆිරි ත්‍රස්තයෝ 10,000ක් පමණවත් ඇෆ්ඝනිස්ථානයේ සිටිතැයි ගණන් බලා ඇත. ඔවුන් දිනෙන් දින ගණනින් වැඩිවීම පිළිබඳව අසල්වැසි රටවල්ද බියෙන් පසුවෙති.   


ඔහුට අනුව, අයිඑස් ත්‍රස්තයෝ ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජනපදයේ බුද්ධි අංශය, හමුදාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම අංශවල දැනුම්වත් භාවය ඇතිවය. ත්‍රස්තවාදය හා භීෂණයෙන් පීඩාවට පත් ඇෆ්ඝන් වැසියෝ වසර දෙකක් පුරා පැමිණිලි කළද, මේ වෙන තුරුත් ඔවුනට කිසිදු සාධාරණයක් ඉටුව නැතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.   
2017 අප්‍රේල් 13 වැනිදා එක්සත් ජනපදය නන්ගර්හාර් පළාතේ අචින් දිස්ත්‍රික්කයේ කඳු හා උමං සහිත කලාපයට මැසිව් ඕර්ඩිනන්ස් එයාර් බ්ලාස්ට් හෙවත් බෝම්බයේ මව යනුවෙන් හඳුන්වන ටොන් 11ක් බරැති දැවැන්තම බෝම්බය හෙළුෑහ. ජනපති කර්සායිට අනුව, එක්සත් ජනපදය මෙම බෝම්බය හෙළා තිබුණේ අයිඑස් ත්‍රස්තයන්ට පහර දෙන මුවාවෙනි. එයින් කොරාසාන ත්‍රස්තයෝ 96 දෙනෙක් මිය ගියහ.   


ඒ කුමන බාධක හමුවේ වුවද කොරාසාන ත්‍රස්තයෝ ඒ සියල්ලට මුහුණදෙමින් නැගී සිටින්නේ ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව හා රළු බව නිසාය. ආහාර සොයාගැනීමට නැති කඳු දුර්ගවලදී පයින් ගස්වල ඇට ආහාරයට ගෙන දිවි රැකගැනීමේ හපන්නු වන මෙම ත්‍රස්තයෝ එසේ කුසගින්නේ සිටින්නේ පොපිමල් වගාවෙන් ලැබෙන මුදලට ඔවුන්ගේ පැවැත්මට වඩා වටිනාකමක් දී ඇති බැවිනි.   


මෙම ත්‍රස්ත කල්ලිය ඉතා දරුණුම ත්‍රස්තයන් බව කියැවේ. බටහිර හමුදා ඒකක, දූෂිත දේශීය රාජ්‍ය නිලධාරියෝ හා අවශ්‍ය තරම් කැපවීමක් නොපෙන්වන තලේබාන් සටන්කරුවෝ මරා දැමීම පිණිස ඇෆ්ඝනිස්ථානය ඔවුනට ඉඩ සලසා දෙන බවත් වාර්තා වේ. කඳුකර බිම්, සැතපුම් ගණන් දිගු උමං පද්ධති හා ගුහා ආදිය නිසා සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම පහසු වී තිබේ.   


උතුරු ඇෆ්ඝනිස්ථානය අන්තර්ජාතික ත්‍රස්තවාදයට තෝතැන්නක් වී ඇතැයිද, එම ත්‍රස්ත ක්‍රියාවනට මූලිකත්වය ගෙන සිටින්නේ අයිඑස්හි ඇෆ්ඝන් ශාඛාව වන අයිඑස් කොරාසානය බවත් අසල්වැසි රටක නිලධාරියෙක් චෝදනා කරයි. පකිස්ථානය හා ඇෆ්ඝනිස්ථානය යන දෙරටේම ක්‍රියාත්මක වන්නේ කොරාසාන ත්‍රස්තවාදීන්ය. ඔවුහු 2016දී ඇෆ්ඝන් අගනුවර වන කාබුල්හි දැවැන්ත ප්‍රහාර හයක් එල්ල කළහ. 2017දී ප්‍රහාර 18ක්, 2018 දී ප්‍රහාර 24ක් වශයෙන් ඒ ප්‍රහාර සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. කොරාසාන ත්‍රස්තයන් වැඩි වශයෙන්ම බඳවා ගන්නේ කාබුල්හි සිටින උපාධි ශිෂ්‍යයන්ය. එමගින් ඔවුන්ගේ අධ්‍යාපනය අවභාවිත කිරීමටත්, ඔවුන්ගේ ශිෂ්‍ය භාවය භාවිත කරමින් ලෝකය පුරා සංචාරය කරමින් ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීමටද අවකාශ ලැබේ. ප්‍රතිත්‍රස්ත මර්දන ප්‍රහාර සහ නීති බලගැන්වීම් නිසා එක්සත් ජනපදයට ප්‍රහාර එල්ල වීම යම් දුරකට වළක්වාගෙන සිටියත්, ත්‍රස්තයන් මුලිනුපුටා දැමිය යුතු බව විශ්‍රාම ගිය ඇමෙරිකානු හමුදා අණ දෙන නිලධාරියෙක් කියා තිබේ. මධ්‍යම ආසියානු ජනරජ අස්ථාවර කිරීමට අයිඑස් ත්‍රස්තයෝ ඇෆ්ඝනිස්ථාන කඳවුරු යොදාගන්නා බවටද චෝදනා එල්ල වී ඇත. 

 
ඇෆ්ඝනිස්ථාන ත්‍රස්තයන් ඇමෙරිකාවට පහර දීමේ සැලසුම් ගැන විස්තර හෙළිවී ඇතැයි වාර්තා වේ. ඔවුහු බටහිර ජාතීන්ට පහර දෙන්නට සැලසුම් කරමින් සිටින බව පවසන්නේ ප්‍රසිද්ධියේ කතා කිරීමට අවසර නොමැති එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරියෙකි. අයිඑස් කොරාසානය ඉතා කුරිරු හා දුෂ්ට සංවිධානයක් බවත්, ත්‍රස්තයන් බඳවා ගැනීමේ නවීන ක්‍රම හා උපාය ශිල්පක්‍රම නිසා ඔවුන් මර්දනය කිරීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන බවත් ඔහු වැඩිදුර අදහස් දැක්වීය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ විදේශයන්ට පහර දීමයි. අධික සෙනඟක් ගැවසෙන තැනකට ට්‍රක් රථයකින් කඩාවැදීම වැනි ම්ලේච්ඡ ක්‍රමවේද පවා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතර වේ.   


වඩාත්ම පුදුම සහගත වෙන්නේ 2001 වසරේ සිට තලේබාන් හා අල් කයිඩා ත්‍රස්තයන් සමඟ එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් සටන්වදින අතරතුරත් ත්‍රස්තවාදය බලා සිටියදී වර්ධනය වීමයි. මේ වෙන විට හමුදා බලඇණි 14,000ක් පමණ ඇෆ්ඝනිස්ථානයේ රැඳී සිටින අතර ඔවුන්ගෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් යොදවා තිබෙන්නේ ප්‍රතිතස්ත්‍ර මර්දනය සඳහායි.   


එක්සත් ජනපද හමුදා බලඇණි 2400කටත් වැඩි ප්‍රමාණයක් ඇෆ්ඝනිස්ථානයේදී ඝාතනය වී තිබේ. එම සටන්වලදී ඇෆ්ඝන් හමුදා ඒකක හා සිවිල් වැසියෝ 140,000කටත් වැඩියෙන් ඝාතනය වී ඇත. කෙසේ වෙතත්, ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් සටන් කිරීම, අයිඑස් කොරාසාන්, තලේබාන් හා ටක්ෆිරි ඇතුළු ත්‍රස්තවාදී කල්ලි එකිනෙකා අතර සිදුවන මරා ගැනීම් මෙන්ම මේ කල්ලිවලට ප්‍රහාර එල්ල කරන ඇමෙරිකානු හමුදාවන් ද නිසා අසරණ අඩියට වැටී සිටින්නේ ඇෆ්ඝන් සිවිල් වැසියෝය. ත්‍රස්තයන් භූමියේ සිය බලය තහවුරු කිරීම සඳහා සිවිල් වැසියන් සිටින ගම්මානවලට පහර දෙමින් ඒවා අත්පත් කරගැනීමේදී සරණාගත තත්ත්වයට පත්වන සිවිල් වැසියන්ට ඉතිරි වන එකම විසඳුම රැකවරණ පතා පළා යාමයි.   


වර්තමානයේදී ඇෆ්ඝනිස්ථානයේ අයිඑස් ත්‍රස්තයන් 2000 ඉක්මවූ සංඛ්‍යාවක් සිටින බවත්, එයින් බහුතරයක් හිටපු තලේබාන් සටන්කරුවන් බවත් ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තා කරති.   


ආසියාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙසේ වර්ධනය වෙමින් තිබියදී, වරක් ඉලක්කයක් වූ ලංකාව නැවත ඉලක්කයක් නොවෙතැයි සිතන්නට හැකිද?   

 

 


අන්තර්ජාල පුවත් වාර්තා ඇසුරින්   

 

 

සටහන - නිසංසලා දිසානායක