ඇඟපුරා මජං ගාගෙන සභාවේ වාහන හදන ප්‍රාදේශීය සභා මන්ත්‍රී



 

වසර විසිපහකට අධික කාලයක් පුරා, මෝටර් රථ කාර්මිකයකු ලෙස තමන්ගේ රැකියාව ලංකාවේ ඕනෑම පළාතකින් පැමිණෙන සේවා පහසුකමක් අවැසි මිනිසුන් වෙනුවෙන් ඉටුකළ මෙම මෝටර් රථ කාර්මික ශිල්පියා අද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකි.  


පසුගිය මැතිවරණයෙන්, පොදුජන පෙරමුණෙන් තිස්සමහාරාම කොට්ඨාසය සඳහා තරග වැදී, සෙසු පක්ෂ ප්‍රබලයින් කිහිපදෙනකුම පරදා ජයගත් මොහු කපිල ඉන්ද්‍රජිත් ශ්‍රීවර්ධන මෙම කථාවේ, කථානායකවරයා වන්නේය. මොහු ගැන ලොවටම කියන්න කරුණු කාරණා එකතු වුණේ පසුගිය දිනෙක තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට කටයුත්තක් සඳහා යමින් සිටියදී සභාවේ කසළ එක්රැස් කරනා නවීන වාහනය යට පොළොවේ දිගාවී කපිල මන්ත්‍රීවරයා ගජරාමෙට ලොකු වැඩක් කරමින් සිටිනු දුටු අවස්ථාවේය.  


දහඩිය වගුරවමින් අත්පුරාවට මජන්ද තවරාගෙන කසළ එකතු කරනා රථයේ මොකද්දෝ ඔපරේෂන් එකක් හරි හරියට සිදුකරමින් සිටියේය.  


මන්ත්‍රීවරයා කසළ රථයේ ගියර් පද්ධතියේ ඇතිවී ඇති විශාල දෝෂයකට ප්‍රතිකාර කරමින් සිටින්නේය.  


පැයකට ආසන්න කාලයක් මේ දෙස නෙත් අයාගෙන සිට, මන්ත්‍රීවරයාගේ කටයුත්තෙන් ලද මද අස්වැසිල්ලකින් ඔහු හා දොඩමළු වුණෙමි.  


තුන්මුනින් දහඩිය පෙරාගෙන, අත්වල මජන් තවරාගෙන දැඩි විඩාවකින් කපිල මන්ත්‍රීවරයා වහා කථාකරන්නට පටන් ගත්තේය.  


“මම වෘත්තියෙන් මෝටර් රථ කාර්මික ශිල්පියෙක්. මට ගැරේජ් එකක් තියෙනවා. දැනට අවුරුදු 25කට වඩා මම මේ ක්ෂේත්‍රයේ කටයුතු සිදු කරනවා.  


තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට මා පසුගිය මැතිවරණයෙන් ජයගෙන තේරීපත් වුණා. අද වෙනකොට සභාවේ තිබෙනා විවිධ දෝෂ සහිත රථවාහන මම අලුත්වැඩියා කරලා නඩත්තු කිරීමේ කටයුතුවල යෙදිලා ඉන්නවා.  


මේ එහි එක් පියවරක්. අපේ සභාවේ කසළ එකතුකරනා වාහනේ ගියර් සෙට් එක ආපදාවකට ලක්වෙලා. මම එය ගලවා ඒ සම්බන්ධව ඇතිවී තිබෙන දෝෂය සොයාගත්තා. දැන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා. ඇතිවී තිබෙන දෝෂය සඳහා කළ යුතු ක්‍රියාමාර්ග කරනවා. මේ සඳහා අපට දැන් රුපියල් දාහත්දහසක් පමණ වැයවෙනවා.  


ඒත් මම මෙයට අතගහන්නේ නැතුව, සභාවේ ක්‍රමවේදය අනුව මේ සඳහා අලුත්වැඩියා කිරීමට ගතවන කාලයත්, අලුත්වැඩියා කුලිය ලෙස රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ද වැය වෙනවා.  


දැන් ඒ මුදල ඉතුරුයි. මම මේ නඩත්තු අලුත්වැඩියා කටයුතු මගේ දැනුමත් සමගින්, සභාවේ සේවකයින්ටද ලබාදෙමින් අපේ සභාවට ලාභයක් ගෙනදීමට කටයුතු කරනවා. 

 
මේ සඳහා ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු අභ්‍යාසලාභීන් කිහිපදෙනෙකු ද එක්කරගෙන තියෙනවා. මගේ දැනුමත් ලබාදෙමින් එහිදී එම දරුවන් මෝටර් රථ කාර්මික දැනුම පිළිබඳව තවත් දැනුමක් ලබාගන්නවා.  


මට අවශ්‍ය වෙන්නේ, නිකරුනේ අනවශ්‍ය ලෙස වියදම් වෙන සභාවේ මුදල් ඉතුරු කරගෙන එයින් අලුත් වැඩසටහන් මහජනතාවට හඳුන්වා දෙමින් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට නව ආලෝකයක් ගෙන දීමයි.  
මෙවැනි අලුත්වැඩියා කටයුතු සඳහා යන වියදම ඉදිරියේදී අවම කරගැනීමට අවශ්‍ය ශක්තිය මම සභාවට නිරතුරුවම ලබාදෙනවා.  


තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.ජී. උපුල් මහතාගේ නව සංකල්පනාවන් මගින් අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේම හොඳම ප්‍රාදේශීය සභාව ලෙස තිස්සමහාරාමය පත්කර ගැනීමයි.” යැයි කපිල මන්ත්‍රීවරයා පවසා සිටියේය.  


පුතාලා දෙදෙනකුගේ සහ දියණියකුගේ දයාබර පියාණන් කෙනකු වන කපිල ඉන්ද්‍රජිත් ශ්‍රීවර්ධන මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස තම හැකියාවන් දක්ෂතාවයන් නිර්ලෝභීව මහජනතාවගේ හිතසුව පිණිස ලබාදෙමින්, නිකරුනේ වියහියදම් වෙන රජයේ මුදල් ඉතිරිකර ගැනීමට ආදර්ශයක් වන ලෙස මෙවැනි සත්කාරයන් ඉටුකරලීම රටේම මන්ත්‍රී සභිකයන්ට විශාල ආදර්ශයට කාරණාවක් වෙනු නොඅනුමානයි.  


මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ එම උදාර සංකල්පයට තවත් සාධාරණයක් ඉටුකරනා මෙවැනි මන්ත්‍රීවරු අප රටට මහත් ආඩම්බරයකි.  

 

 

 

 

කතරගම විශේෂ රුක්මන් රත්නායක