ආපදාවට මුහුණ දෙන හමුදා ඒකකයක් ගොඩනගන්නේ කොහොමද?


 

බුදු දහමට අනුව සියල්ල “කර්මය” නිසා සිදුනොවේ. ස්වභාවික විපත් ගෙන දීමට හේතු වන්නා වූ “සෘතු” නියාම හා “ධම්ම නියාම ද ඊට මුල් විය හැකිය. ස්වභාවධර්මයේ වෙනස්කම් හේතුවෙන් මිනිසාට විපත් ගෙන දීම නොවැළැක්විය හැකි බැවින් ඊට බිය වී හා එහි පාලනයට මුළුමනින්ම යටත්ව දීනව ජීවත්වීම සුදුසු යැයි ඉන් අදහස් නොකෙරේ. එසේම එහි පාලනයට මුළුමනින්ම එරෙහිව කටයුතු කරමින් ජීවත්වීම සුදුසු යැයිද ඉන් අදහස් නොකෙරේ. මින් ගම්‍ය වන්නේ ප්‍රඥාව මුල්කොටගෙන පරිසරයට හානිදායක නොවන අයුරින්, ධරණීය  සංවර්ධනය සිදුකොට ස්වභාවික විපත් හා ආපදා ඇතිවීම සූක්ෂමව පාලනය කරමින් ජීවත්වීම යන්න නොවේද?

 

ස්වභාවික විපත් හා ආපදා ඇතිවීම වැළැක්වීම හෝ එය පාලනය කිරීම, එසේ වැළැක්වීමට හෝ පාලනය කිරීමට නොහැකි වූ විට ඇති වන්නා වූ විපත් හා ආපදා නිසි අයුරු කළමණාකරණය කිරීම හා නැවත යථා තත්ත්වයට හෝ පෙරට වඩා දියුණු තත්ත්වයකට නැවත ගොඩනැගීම යන ත්‍රිවිධ ක්‍රියාවලි සිදුකිරීමේ වගකීම “රාජ්‍ය පාලන විද්‍යාවට  (Statecraft) අනුව රජයන් වෙත පැවරෙන ප්‍රධාන කාර්තව්‍යයකි.


රාජ්‍ය පාලන විද්‍යාවේ පදනම වන්නා වූ “ජාතික ආරක්ෂාව යන විෂය ක්ෂේත්‍රයට අනුව ස්වභාවික හේතු හා අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන සිදුවන්නා වූ විපත් හා ආපදා යන දෙවර්ගයම “ජාතික ආරක්ෂාව” ට තර්ජනයක් ලෙස ගැනේ. දේශීය හා විදේශීය තර්ජනවලින් රාජ්‍යය හා එහි පුරවැසියන් ආරක්ෂා කිරීම, නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා පොලිසියට සහාය දීම හා කැරලි, කෝලාහල, වර්ජන ඇතිවන අවස්ථාවලදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම යන මෙකී “ජාතික ආරක්ෂාව” යන විෂය පථයට අදාළ ප්‍රධාන කාර්ය භාර අතරට ස්වභාවික විපත් හා අනෙකුත් ආපදා නිසා ඇතිවන තර්ජනවලින් රාජ්‍යය හා එහි පුරවැසියන් ආරක්ෂා කිරීම යන “අසංග්‍රාමික” කාර්ය භාරයද ඇතුළත් වන්නේ එහෙයිනි.


එංගලන්තයේ රාජකීය යුද හමුදා පනත පදනම්කොට සැකසුණු 1949 ඔක්තෝබර් 10 වන දින ප්‍රකාශයට පත් කරන ලද හා වර්තමානයේ භාවිතයට ගැනෙන යුද හමුදා පනතට අනුව “සංග්‍රාමික” කාර්යයන් හා “අසංග්‍රාමික” කාර්යයන් 19 හා 23 වන වගන්ති යටතේ මෙසේ හඳුන්වා දී ඇත.


ආණ්ඩුකාරවරයා (වර්තමානයේ ජනාධිපති විසින් (අ) යුද්ධ සමයකදී ලංකාව ආරක්ෂා කිරීම සඳහා නැතහොත් (ආ) ලංකාව තුළ යම් කැරැල්ලක්, ආරම්භක කැරැල්ලක් හෝ වෙනත් මහජන කැලඹීමක් වැළැක්වීම හෝ යටපත් කිරීම සඳහා නැතහොත් 23 වන වගන්තියේ සඳහන් කාර්යයන් එනම් “අසංග්‍රාමික” කාර්යයන් ඉටුකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවිය හැකිය. එසේම 23 වන වගන්තියට අනුව ආහාර ජලය, ඉන්ධන හෝ ආලෝකය සැපයුම්වලට හා බෙදා හැරීම්වලට හෝ ප්‍රවාහනයට හා පණිවිඩ හුවමාරුවට බාධා පැමිණ වීමෙන් ලාංකික ජනතාවගේ හෝ ඔවුන්ගෙන් සැලකියයුතු කොටසකගේ ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබීම වැළැක්වීමෙහිලා  අභිප්‍රේත කොට ගත් ස්වභාවයක් හෝ ක්‍රමයක යම් ක්‍රියාවක් යම් තැනැත්තන් කර ඇති හෝ වගා කිරීමට තර්ජනය කරන බව යම් කාලයකදී අග්‍රාණ්ඩුකාරවරයා (ජනාධිපතිවරයා) හට පෙනී ගියොත් ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපැයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යයි අග්‍රාණ්ඩුකාරවරයා (ජනාධිපතිවරයා) විසින් සැලකිය හැකි “අසංග්‍රාමික” ස්වභාවයක කාර්ය ඉටුකරන ලෙස ස්ථීර බල හමුදාවේ සියලුම සාමාජිකයන්ට හෝ ඔවුන්ගෙන් යමෙකුටත්, 19 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ඈ) ජේදයේ සඳහන් කාර්යය සඳහා ඒ වගන්තිය යටතේ සක්‍රිය සේවය පිණිස කැඳවනු ලැබූ යුද්ධ හමුදාවේ වෙන යම් අංශයක සාමාජිකයන්ටත් අණ කළ හැකිය. යනුවෙන් හා (2) මේ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ අග්‍රාණ්ඩුකාරවරයාගේ ආඥාවක් මගින් තමන් වෙත පවරනු ලැබිය හැකි කාර්යයන් යුද්ධ හමුදාවේ සෑම නිලධරයකු හෝ සෙබළකු විසින්ම ඉටු කරනු ලැබිය යුතුය  යනුවෙන්ද සඳහන්ව ඇත.


 “සංග්‍රාමික” කාර්යභාරය ඉටු කිරීමේදී ත්‍රිවිධ හමුදා විසින් දරනු ලබන වගකීම හා සමාන වගකීමක් ඔවුන්හට “අසංග්‍රාමික” කාර්යභාර ඉටුකිරීමේදීද දැරීමට සිදුවේ. එසේම එකී වගකීම් ඉටුකිරීම සිදුවන්නේ “හමුදා සම්මත ක්‍රියා පිළිවෙත”ට  අනුවය. ස්වභාවික විපත් හා ආපදා ඇතිවීම වැළැක්වීම, ඒවා අවම කිරීම හා පාලනය කිරීම “සංග්‍රාමික” ගණයේ කාර්යභාරයක් නොවුවද හමුදාවට එය තවත් “ක්‍රියාන්විත මෙහෙයුමකි.” ඒ සඳහා ව්‍යූහාත්මකව සංවිධානය වූ “ආපදා පාලන කාර්යය සාධන බළකායක්” (Disaster
Control Task Force) තිබීම හා “මූලස්ථානය සහිත අණදීම් ජාලයක්” පිහිටුවීම මූලික වේ. භට පිරිස් ක්‍රියාත්මක වන්නේ “ක්‍රියාන්විත සැලැස්ම” කට අනුවය. ස්වභාවික හා වෙනත් අයුරින් සිදුවිය හැකි ජාතික මට්ටමේ සියලු ව්‍යසන තර්ජන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒවා පාලනය කිරීම සඳහා ගනු ලබන “උපක්‍රම සහිත ක්‍රියා පිළිවෙත්” මගින් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සිදුවේ.


 ආපදා කළමනාකරණ ක්‍රියා පිළිවෙතෙහි ප්‍රධානතම කාර්යභාරය හා වගකීම් විය යුත්තේ විපත් හා ආපදා සිදුවන්නට ඉඩ හැරීම නොව ඒවා වැළැක්වීමට ගන්නා වූ “ස්ථාවර ක්‍රියාන්විත පිළිවෙත්” (Standard Operating Pattern) ක්‍රියාත්මක කිරීමය. එහෙත්, ඒ සඳහා වගකිවයුතු දේශපාලන අධිකාරි මෙන්ම රාජ්‍ය ආයතන ද ගණනක් විවිධ අමාත්‍යාංශ යටතේ ඇති හෙයින් මෙහි සම්බන්ධීකරණය කිරීම සැබැවින්ම දුෂ්කර මෙන්ම වගකීම පැහැර හැරීමට ඉන් දී ඇති අවකාශයද අතිමහත්ය. දිවයිනේ ගංවතුර උපද්‍රවය ඇතිවීමට මෙය එක් ප්‍රධාන හේතුවකි. ඉතා සුළු වර්ෂාවකදී පවා කොළඹ නගරය හා දිවයිනේ පරිපාලන අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා රාජගිරිය, කොලොන්නාව, කොටිකාවත්ත, කොහිළවත්ත යන ප්‍රදේශ ජලයෙන් යටවේ නම් අන් ප්‍රදේශ ජලයෙන් යටවී යාමට ඉඩ හැරීම අරුමයක් නොවේ. කෙසේ වුවද මේ පිළිබඳව වගකිවයුතු දේශපාලන අධිකාරියන් හා රාජ්‍ය ආයතන සියල්ල පාහේ හුදෙක් “කාර්යාල” බව ද අමතක නොකළ යුතුය. එහෙයින් ඒවායේ සේවය කරන වගකිවයුත්තන් “භූමිය පිළිබඳ නිසි තොරතුරු බොහෝ දුරට නොදනී. තොරතුරු ලැබුණ ද ක්ෂණිකව ක්‍රියා කිරීමට අවශ්‍ය පිරිස් බලය හා සම්පත් ඔවුන් සතුව නොමැත.


මෙම තත්ත්වය මඟහැර ක්‍රියා කිරීමට නම් අදාළ සියලු වගකිවයුතු රාජ්‍ය ආයතන මෙකී කාර්යභාරය ඉටු කිරීම සඳහා පමණක් යෝජිත ආපදා පාලන කාර්යය සාධන බළකා මූලස්ථානය යටතේ හෝ හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන (Security Force Hied
Quarters) යටතේ කටයුතු කිරීම අවැසි වේ. ඒ සඳහා අවශ්‍ය “ආයතනික බලය” ව්‍යවස්ථාව තුළින් අදාළ මූලස්ථාන වෙත ලබාදීම අනිවාර්ය වේ.


“සංග්‍රාමික” හෝ අසංග්‍රාමික” හෝ වේවා ඕනෑම හමුදා ක්‍රියාන්විත මෙහෙයුමක සාර්ථකත්වය හා කාර්යක්ෂමතාව මුළුමනින්ම රඳා පවතින්නේ “බුද්ධි තොරතුරු” (Intelligence) මතය. පිරිස් බලය, භට පිරිස් හැකියාව හා කාර්ය භාර ඉටු කිරීමේ කුසලතාව හා විශේෂඥතාවය හා ගොඩබිම්, ගුවන් හා නාවුක ප්‍රවාහන බලය, යොදාගනු ලබන උපකරණ හා ඒවායේ තාක්ෂණ හැකියාව යනාදිය අතින් කොතරම් ප්‍රබලත්වයක් ලබා තිබුණද “නිවැරදි හා කාලීන දේශගුණික හා භූමිය පිළිබඳ බුද්ධිමය දත්ත හා තොරතුරු” නොදනී නම් ඒ සියලු බල හැකියාවලින් නිසි ප්‍රයෝජනයක් ලබා ගත නොහැක. හදිසි ආපදා හිදී පමණක් නොව සාමාන්‍ය තත්ත්වයන් යටතේ වුවද මහජනයාගෙන් තොරතුරු ලබා ගැනීමේ හා මහජනයාට තොරතුරු ලබා දීමේ ක්ෂණික දුරකථන පණිවිඩ සේවා ජාලයක් ඇතුළු තොරතුරු හුවමාරු සේවයන් ස්ථාපනය කිරීම මේ සඳහා උචිතය.


ආපදාවට ලක්වූවන් හට ජලය, ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහන සේවාවල ප්‍රධාන කර්තව්‍යයයි. මෙවර ඇති වූ ස්වභාවික ආපදාවේදී ද පසුගිය වතාවල මෙන් විවිධ වර්ගයේ වියළි ආහාර වර්ග සැපයීම සිදුවුණි. වියළි ආහාර රැස්කර ගැනීම, පිසූ ආහාර සූදානම් කිරීම හා ඒවා බෙදාහැරීම යන ක්‍රියාදාමය සඳහා වැඩි කාලයක් ගතවනවා මෙන්ම ප්‍රවාහනයේදී ඒවා වැඩි ඉඩ ප්‍රමාණයක්ද ගනී, ගොඩබිම් මාර්ග ඇහිරුනුවිට ඇතැම් ආහාර ගුවනින් ලබා දීමට ද සිදුවේ. මෙකී තත්ත්වයන් මඟ හැරීමට පහසු, ලද සැණින් පරිභෝජනයට ගත හැකි හා හමුදා ක්‍රියාන්විතවලදී භාවිතයට ගන්නා පැය 24 හෝ 48 ආහාර මලුවලට සමාන “සම්මත ආහාර මල්ලක්” (Standard Emergency Ration Pack) හා “සම්මත බෙහෙත් මල්ලක්” (Standard Emergency Medicinc Pack) හඳුන්වා දීම ප්‍රයෝජනවත්ය.


ජල ගැල්මකදී ජීවිත බේරා ගැනීම හා විපතකට පත්වූවන් ප්‍රවාහනය කිරීම හා ආහාර  සැපයීම වැනි කාර්ය බහුල වශයෙන් සිදුකරනු ලබන්නේ කුඩා මුහුදු යාත්‍රා උපයෝගීකොට ගෙනය. මින් බොහෝමයක් මුහුදු යාම් හා මසුන් ඇල්ලීම සඳහා යොදා ගනු ලබන ඒවාය. ජල ගැලීම් වැනි ආපදාවලදී යොදාගත හැකි හා විශේෂයෙන් ගංගා හා අභ්‍යන්තර ජලාශවල භාවිතය  සඳහා නිර්මාණය කර ඇති “ජීවිතාරක්ෂක බෝට්ටු” (Rierine Flat Bottom Rescue Boats)* අනාගතයේදී ආපදා ඇති වන අවස්ථාවලදී යොදා ගැනීම පිණිස නාවුක හමුදාව හා යෝජිත “ආපදා පාලන කාර්ය සාධක බළකාය” වෙත ලබාදීම වටී. ඉන් ප්‍රවාහනයේදී වැඩි කාර්යක්ෂමතාවයක් මෙන්ම ආරක්ෂාවක්ද ලබාගත හැකිය මේ සමග “මුදවා ගැනීමේ උපක්‍රම හා තාක්ෂණයන් (Rescue
Tactics and Techniques) ත්‍රිවිධ හමුදා යොදා ගනිමින් මාධ්‍ය “යුද හමුදා පහන් සංදර්ශන” (Army Searchlight Tattoo) හා වැඩමුළු යනාදිය උපයෝගීකොට ගනිමින් මහජනතාව දැනුම්වත් කිරීම හා ඒවා හදිසි අවස්ථාවන්වලදී භාවිතයට ගැනීමට මහජනයා ධෛර්ය ගැන්වීමද මනාය.

 


 මෙවර ඇතිවූ ජල ගැලීම් ආපදාවේදී ගුවනින් හෝ ළඟා වීමට නොහැකි විවිධ කුඩා ප්‍රදේශවල මහජනයා කොටුවී සිටිනු දක්නට ලැබීම කැපී පෙනෙන දර්ශනයක් විය. ඉන් “උගත යුතු පාඩම්” බොහෝය. මෙය තවත් ජල ගැලීමක් ලෙස නොසලකා ඒ සියලු සිදුවීම් නිසිලෙස අධ්‍යයනය කර ආපදාවල ප්‍රතික්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුම්වත් කිරීම වැදගත් වේ. ඒ වෙනුවෙන් සිදුකළ යුතු “අධ්‍යයන කටයුතු” (Case Study) පිළිබඳ  වගකීම ත්‍රිවිධ හමුදාවට පැවරීම ඉතා සුදුසුය. අන් කවරෙකුටත් වඩා ඔවුන් සතුව ඒ සඳහා මනා දක්ෂතාවයක් පවතී. “ජාතික ස්ථාවර අරක්ෂක ප්‍රතිපත්ති ” හා “ජාතික ස්ථාවර හදිසි ආරක්ෂක ක්‍රියා පිළිවෙත්” (National Standard Emergency Operating Pattern) ඒ අනුව සකස් කළ යුතු අතර ඒවා මහජනයා විසින් හදිසි ආපදාවලදී අනුගමනය කිරීම සඳහා හඳුන්වා දිය යුතු වේ. ජාතික මට්ටමේ සිදුවන්නා වූ හදිසි ආපදා අවස්ථාවලදී “හදිසි තත්ත්වයක්” (State of Emergency)  ප්‍රකාශ කිරීම රාජ්‍ය පාලන ක්‍රම උපායකි. “විශේෂ හදිසි රෙගුලාසි” බල ගැන්වීම ඉන් සිදුකරන අතර එමගින් පරිපාලනය පහසු කරවයි. සියල්ල සිදුවන්නේ පෙර දැනුම්වත්වීම හා පෙර සූදානම ඇතිව හා යම් “විනය”ක් (Discipline) ද ඇතිවය. එයින් ඇතැම් මහජනයා ආපදාවලට ලක්වූ ප්‍රදේශ නැරඹීමට යාමට ඇති පුරුද්ද, නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා අවස්ථාවාදී ක්‍රියා සිදුවීම වැළැක්විය හැක. එසේම ආපදා කාලය පහව යන තෙක් මහජනතාවගේ අවධානය යොමු කිරීම හා ජාතියක් වශයෙන් ඒ සඳහා “ඒකාබද්ධ වැඩ පිළිවෙළකට” අනුගත වීම අවැසි “මනෝ තත්ත්ව” නිර්මාණය කිරීම පිණිස අවැසි උපදෙස් “හදිසි තත්ත්වය” ප්‍රකාශ කිරීම මගින් සිදුවිය යුතු වේ.


 පසුගිය වසරේ මෙන්ම මෙවර ද නොසිතූ අන්දමින් හා ඉතා කෙටි කාලයක් තුළදී විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව ප්‍රකාශ විණි.
  දැඩි නියඟයෙන් පසුව අධික වර්ෂාව ඇතිවීම ස්වභාවිකය. එහෙයින් නියඟය පවතින කාලයේදී සියලු ජල මාර්ග පිළිසකර කර තිබීම අනිවාර්යය. මේසා ගංගා, ඇළ, දොළ ඇතුළු සියලු අභ්‍යන්තර ජලාශවල ආරක්ෂාව හා නඩත්තුව” පිළිබඳ වගකීම නාවුක හමුදාවට පැවරීම උචිතය. ඒ සඳහා පෙර රජය විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදු කෙරුණු අයුරින් හා වඩාත් විධිමත් අයුරින් යෝජිත “ආපදා පාලනකාර්යය සාධක බළකාය” යටතේ සිදු කිරීම වැදගත්ය. නව හමුදා අනුඛණ්ඩ ආපදා පාලනය කිරීම සඳහා වාසිදායක උපක්‍රමික වැදගත් ස්ථානවල හි ස්ථානගත කිරීම මේ සඳහා වැදගත්ය.


කෙසේ වුවද අධික ඝනත්වයකින් ඇද හැලෙන වර්ෂාව නිසා ඇතිවන ගංවතුර තත්ත්වය වළක්වා ගනිමින් හෝ අවම කර ගනිමින් ජාතික ව්‍යසනයන් ඇතිවීම වැළැක්වීමට නම් “අතිරික්ත” ජලය මුහුදට පොම්ප කිරීමේ යම් තාක්ෂණික වැඩපිළිවෙළකට හා “වැසි ජලය රඳවන වැව්” නිර්මාණය කිරීම හා “ජලය බැසයාම වේගවත් කිරීම” වැනි ඉංජිනේරු තාක්ෂණ වැඩපිළිවෙළකට ද යාමට සිදුවන බව අමතක නොකළ යුතුය.


 “තිරසාර සංවර්ධනය” සැවොම බලාපොරොත්තුවන කර්තව්‍යයකි. එහෙත් අප ප්‍රඥාවෙන් තොරව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් හේතුවෙන් එහි ඉලක්ක සැම විටම අභියෝගයට ලක්වේ. අදාළ ඉලක්ක වෙත ළඟා වීමට නම් පළමුව ඒවාට එරෙහිව පවතින අභියෝග ඉවත් කිරීමට කටයුතු කළ යුතු වේ. ජල ගැලීම්, කසළ අර්බුදය, මදුරු උවදුර හා රථවාහන තදබදය රටේ ආර්ථිකයට හා සංවර්ධනයට සෘජුව දැනට බලපාන ප්‍රධාන අභියෝගයි. ඊට නිසි විසඳුම් සොයා කටයුතු කරයි නම් “ සංවර්ධනය” යථාර්ථයක් කර ගැනීම අපහසු නොවනු ඇත.


නියඟයට හේතුව ජලය අපතේ ගැලීමට ඉඩ හැරීමයි. ජල ගැලීමට හේතුව අසාර්ථක ජල කළමනාකාරීත්වයයි. ජලගැලීම් වළක්වා, වර්ෂා ජලය නියඟයට මුහුණ දීමට අවැසි පරිදි උපයෝගී කරගනී නම් නියඟය හා ජල ගැලීම් යන මේ අභියෝගයන් දෙකම එකවර ජයගත හැකි. ස්වභාවධර්මයට බියවී ජීවත්වීමට සිදුවීම එමගින් වළකාලනු ඇත. ඒ සඳහා නිසි අයුරින් ක්‍රියා කිරීමට නම් නිවැරදි දේශපාලන දැක්මකින් යුත් චින්තනයක් සහිත “අවංක” දේශපාලන අභිප්‍රායක් (Political Will) ජාතික මට්ටමෙන් තිබිය යුතුය.