ආණ්ඩුව රටේ සම්පත් විකුණන්නෙ අම්මා අප්පගෙ බූදලේ කියලා හිතාගෙනද?


“සභ්‍යත්ව රාජ්‍යයක් කරා” යාමට ආරාධනා කරමින් පොතක් ලියූ සාහිත්‍යවේදී ගුණදාස අමරසේකරගෙන් අප විමසා සිටින්නේ ඒ ගමන දැන් ඇරැඹුණාද යන්නයි.

 

මේ තියෙන දේශපාලන වටපිටාව ගැන ඔබේ කල්පනාව කොයි වගේද?  

ඇත්තටම රට ඉතාම ව්‍යාකූල තත්ත්වයක තමයි තියෙන්නේ. රට අරාජික වෙලා වගේ. පාලකයොවත් දන්නෙ නෑ වෙන්නේ මොනවද කියලා. ජනතාව අපේක්ෂා කරපු දේවල් නෙවෙයි දැන් සිද්ධ වෙන්නේ. කියපුවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ආණ්ඩුව කරන්නේ. මේක යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ ආණ්ඩුවක්.  


ආණ්ඩුව පත්වුණේ හොරු අල්ලනවා දූෂණ හොයනවා කියලා. ඒත් ආණ්ඩුවෙ ඇමැතිලා ආපු දවසෙ ඉඳන් හොරකම පටන් ගත්තා. පහුගිය ආණ්ඩුවත් එක්ක බැලුවම මේ ආණ්ඩුව කරන්නේ මහා පරිමාණ හොරකම්.  


මේ ආණ්ඩුවෙ හොරකම් ගැන වුණත් හොයන්න ඒ අය ඇමැති තනතුරුවලින් ඉවත් කරන්න අද පුළුවන්. පහුගිය ආණ්ඩුවෙදි එහෙමත් බෑනේ.   


ඒක ඇත්ත. ඒත් මේ මහ බැංකු හොරකම වගේ හොරකම් ගිය ආණ්ඩුව කාලේ වුණේ නෑ. පහුගිය ආණ්ඩුව හොරකම් කළේ නෑ කියලා අපි කියන්නේ නෑ. මේකද පහුගිය එකද කියන එක නෙවෙයි 1977 පස්සේ ආපු හැම ආණ්ඩුවක්ම හොරකම් දූෂණ මහ ඉහළින් කළා. චන්ද්‍රිකා කුමාරතුංගට “චෞර රැජින” කියලා පොත් ලියවුණේ නිකං නෙවෙයිනේ. හැම ආණ්ඩුවම මේක කළා. මේක අපේ රටේ විතරක් වෙන දේකුත් නෙවෙයි. කොහෙත් එහෙම තමයි.  


බලන්නකො දැන් හම්බන්තොට වරායට කරපු දේ. මේක 99 අවුරුදු බද්දකට කිව්වට ඒක බොරුවක්. මේක මහ ගැටයක්. මේක පාර්ලිමේන්තුවවත් දන්නෙ නැතුව කරපු ගනුදෙනුවක්. මේ ආණ්ඩුව මේ රටේ සම්පත් විකුණන්නේ අම්ම අප්පාගෙ බූදලේ කියලා හිතාගෙනද?  


පෝර්ට්සිටිය, ගෝල්ෆේස් එක ළඟ තවත් ඉඩම් රාජපක්ෂ ආණ්ඩුව සින්නක්කර වෙන රටවල්වලට විකුණද්දි ඔබතුමාල කොහේද හිටියේ එතකොට?  


අපි ඒවටත් විවේචනය එල්ල කෙරුවා. එය ගෝල්ෆේස් එක ළඟ ඉඩමක් හෝටලයකට දීපු එකනේ පහුගිය ආණ්ඩුව කළේ. ඒක අක්කර කීපයක් දුන්නා විතරයි. එයාලා මේ වගේ මහා පරිමාණ දේවල් විකුණුවෙ නෑ. 

 
එතකොට චීනයට විකුණන්න හදපු පෝර්ට්සිටියත් බොරුවක් කියලද කියන්නේ?  


ඒකත් බොරුවක්නේ. ඒක සින්නක්කර දෙන්න පහුගිය ආණ්ඩුව උත්සාහ කළේ නෑනේ. මං හිතන්නේ මේ ඉන්දියාවටයි චීනෙටයි රටේ සම්පත් හිතෙන හිතෙන හැටියට දෙන එකේ භයානක ප‍්‍රතිඵල බලාගන්න පුළුවන් ඉස්සරහට. ඉන්දියාව මත්තල ගුවන්තොටුපොළ ගන්නේ සැප හිතා නෙවෙයි. ඒක වානිජ වටිනාකමකට වඩා ආරක්ෂක වටිනාකමක් තියෙන්නේ. ඒක ඉන්දියාව හොඳට දන්නවා. මේක ලොකු අන්තරාවකට අත වැනීමක්. 

 
මේ රටවල් එක්ක මේ ගිවිසුම් පටන් ගත්තේ රාජපක්ෂ ආණ්ඩුවනේ. එතකොට මේ අනතුර දැක්කේ නැද්ද? 

 
එතකොට මෙහෙම අනතුරක් තිබුණේ නෑ.  


මේ ආණ්ඩුව ආවට පස්සෙද එතකොට ඔක්කොම අනතුරු පටන් ගත්තේ?  


ඇත්තටම ඔව්. ඇත්ත වශයෙන්ම කියනව නම් මේ ආණ්ඩුව වැඩේ වල් කරගත්තා. චීනය එක්කත් ඉන්දියාව එක්කත් ගනුදෙනු කරන්න ඕන තාලෙට නෙවෙයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. රාජපක්ෂ ආණ්ඩුව මේ ගනුදෙනුව හරියට කරගෙන ගියා. මේ ආණ්ඩුව මුලින් චණ්ඩි කතා කිය කිය ඉඳලා අන්තිමට චීනයට එහෙම දණ ගහන්න වුණා. සිහි බුද්ධියෙන් නෙවෙයි මෙයාලා කටයුතු කළේ. අවුරුදු 99 යන්න කලින් මේක යුද පිටියක් වෙයි මේ ගිවිසුම අහෝසි කර ගත්තේ නැත්නම්.  


මොකක්ද ඔය යුද පිටියක් වෙයි කියන අනතුරු ඇඟවීම?  


මේක පිටිපස්සේ චීනය, ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල් ගොඩක් ඉන්නවා. කවුරුත් බලන්නේ ලොක්කො වෙන්න. මේ බලවේග හැප්පෙනකොට මැද ඉන්න අපි තැලිලා මැරෙනවා. ඉන්දියාව ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරය එකතුවෙලා 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ පරාජය කරපු හැටි අපි දන්නවනේ. රට බෙදන්න මහින්ද ඉන්නකම් බැරිවෙයි කියල හිතලා තමයි ඒ අය ඒක කළේ. ඒ අයට මේ රටේ ආධිපත්‍ය අරගන්න ඕනකමටයි ඒක කළේ. 

 
2015 ජනාධිපතිවරණ වේදිකාවෙත් ඔය කතාව ඔබලා මුරගෑවා. දැන් රට බෙදිලද?  


ඒ අනතුර නෑ කියලා කියන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ පරාජය කළේ විදේශීය කුමන්ත‍්‍රණයකින් කියන කතාව මං කියන එකක් නෙවෙයි. හින්දු පුවත්පතට ලියපු අශෝක මේනන් මේක කිව්වා පැහැදිලිව. මේකෙ පරිවර්තනය ලංකාවේ පත්තරවලත් ගියා.  


මේක තනිකරම කුමන්ත‍්‍රණයකින් පත් වෙච්ච පාලනයක්. මේ වගේ ආණ්ඩුවකින් ගේන ව්‍යවස්ථාවකටවත් අපිට එකඟ වෙන්න බෑ. අනික කාටද ව්‍යවස්ථාවක් ඕන මේ වෙලාවෙ. මේක එහෙන් මෙහෙන් අල්ලගත්තු කට්ටියක් එකතු කරලා හදා ගත්තු ආණ්ඩුවක්නේ. මේ අය ගේන ව්‍යවස්ථාවකට අපිට එකඟ වෙන්න බෑ. මේ වගේ පූට්ටු ආණ්ඩුවකින් රටට හිතකර ව්‍යවස්ථාවක් බලාපොරොත්තු වෙන්න බෑ.  


රාජපක්ෂලා තමන්ගේ හිතේ හැටියට ව්‍යවස්ථා වෙනස් කරගත්තට මේ නව ව්‍යවස්ථාව ගැන රටේම අදහස් විමසනව කියලානේ ආණ්ඩුව කියන්නේ?  


අයියෝ ඔය කියන්නේ අර විජේනායක තැන් තැන්වල ගිහිල්ලා එකතු කරගත්තු අදහස් ගැනද? මේ නම ගියපු සම සමාජ කාරයා කවුද එන්. ජී. ඕ. කාරයොයි අරගොල්ලො, මේ ගොල්ලො අල්ලගෙන එකතු කර ගත්තු අදහස්වලින්ද ව්‍යවස්ථාව හදන්නෙ.  


මහින්ද රාජපක්ෂ තමන්ගේ බලය පවත්වාගෙන යන්න ව්‍යවස්ථාව වෙනස් කරද්දි ඔබට මේ විවේචන තිබුණෙ නැද්ද?  


මහින්ද කළෙත් වැරැදි වැඩක්. අපි ඒක හරි කියලා කියන්නේ නෑ. ඒකෙන් තමයි මහින්ද තමන්ගෙ වළ කපා ගත්තෙ. ඒක අපි අනුමත කරන දෙයක් නෙවෙයි. මහින්ද දෙවෙනි වතාවට බලය ගත්තට පස්සේ හරි පාරේ ගියේ නෑ. අපි ඒක කියන්න පැකිළෙන්නේ නෑ. පළමුවෙනි වතාවෙ හරියට වැඩ කරලා යුද්දෙත් දිනුවා. ඊට පස්සේ තමයි වරද්ද ගත්තේ. අපි කීප වතාවක් ගිහින් කිව්වා මේ ගැන. එයා අපි කියපුවා ඇහුවෙ නෑ. අන්තිමට එයා ජාතික බලවේග ගණන් ගත්තෙම නෑ. එයාට ලොකු වුණේ වටේ ඉඳපු අවස්ථාවාදින් කියපු උපදෙස්.  


ඔබතුමා කරතියාගෙන ඉඳපු ඒකාබද්ධ විපක්ෂෙ කට්ටියටත් දැන් දෙහි කපන්න පටන් අරන් වගේ?  


උනුත් කරන්නේ පිස්සු වැඩනේ. මම ඒ අයට මුල ඉඳලාම කිව්වා මේ ව්‍යවස්ථාව ගේන වැඩේට හවුල් වෙන්න එපා කියලා. ඒක ඇහුවෙ නෑ. ඒකාබද්ධ විපක්ෂෙ කරපු ලොකු වැරැද්දක් ඒක. ඒකෙන් වුණේ මේ ව්‍යවස්ථාවට නීත්‍යනුකූල තත්ත්වයක් දීපු එක. මේ අය මේකට විරුද්ධ වුණා නම් රනිල් වික‍්‍රමසිංහට බෑ මේකට නීත්‍යනුකූලභාවයක් අරගන්න. මේකට හවුල් වුණා විතරක් නෙවෙයි මේකෙ කොමිටිවලටත් ගියානේ මේ ගොල්ලො.   


ඔබේ උපදෙස් ඉහළින් පිළිගත් ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය මොකෝ එහෙම කළේ?   


අපිටත් තේරෙන්නේ නෑ ඇයි එහෙම කළේ කියලා. පිළිගත්තත් නැතත් මම කියන්න ඕන දේ කියනවා. අහන එක ඒ අයගෙ වැඩක්.  


අමරසේකර මහත්තයා පහුගිය දවසෙ ලිව්වනේ පොතක් “සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කියලා. දැන් ඒ ගමන පටන් අරගෙනද?  


ඒ ගමන පටන් ගැනීම කෙසේ වෙතත් වළපල්ලට යන ගමනක් තමයි මට නම් පේන්නේ.  


මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය වේදිකාවෙ තියාගෙන තමයි ඔබ මේ පොත එළි දැක්වුවෙ. ඒ අයවත් මේවා කනකට ගත්තේ නැද්ද?  


ඒකෙ මම කියපු කාරණා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ජී. එල්. පීරිස් නම් මේක ගැන හොඳ විචාරයක් කරලා තිබුණා මම දැක්කා. අනිත් අය නම් මම දන්නෙ නෑ.  


ඒ පොත දොරට වැඩුම ගැන සමහරු කිව්වෙ හොරකම් දූෂණවලට චෝදනා එල්ල වෙච්ච කල්ලියක් එක්ක සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන්න හදන ගුණදාස අමරසේකර විහිළුවක් කරනවා වගේ කියලා.  


මේ අය එක්ක මගේ ගනුදෙනුවක් නෑ. ඒ අය වේදිකාවේ හිටියේ මගේ වුවමනාවටත් නෙවෙයි. පොත ගහපු අය තමයි ඒ අයට ආරාධනා කරලා තිබුණේ. මම මේ පොතෙන් මතු කරන කාරණා මේ ඉන්න කවුරුවත් එක්කවත් කරගන්න බෑ. මං හිතන්නේ අනාගත නායකත්වයක් විසින් තමයි මේක කරගන්න වෙන්නේ. මේක මම ලිව්වෙ හෙට අනිද්දා දේශපාලන වෙනසක් බලාගෙන නෙවෙයි.   


ඔබ හැමදාම නියෝජනය කරපු ජාතික බලවේග තව දුරටත් සක්‍රීයද, වලංගුද අපේ රටේ?   


මොකද වලංගු නැත්තේ. වෙන විකල්පයක් ඇත්තේ නෑනේ.  


ඔබ පිරිස ජාතික බලවේග කියලා මොකක් හරි දෙයක් ගැන කතා කරලා ඊට පස්සෙ පිටිපස්සට වෙනවා. හැමදාම වුණේ මේක නේද?  


එහෙම කියන්න බෑ. අපි කරපු මැදිහත්වීම් තුළින් රටේ කොච්චර දේවල් හොඳ පැත්තට ගියාද? 

 
ඔබතුමා 80 ගණන්වලත් පොත පත ලියලා තරුණයින්ට ඉන්ජෙක්ෂන් දුන්නා. ඒවා ඔළුවට ගත්තු තරුණයො ජීවිතවලින් වන්දි ගෙව්වා.  


ඒවා ගත්තේ කවුද? ජේ. වී. පී. කාරයොනේ. ඒ උත්තේජනය උඩ තමයි ජේ. වී. පී. එක බෙදුණෙත් මම හිතන්නේ. මං හැදුවෙ ඔවුන් නිසි මගට ගන්න. ඒක වුණේ නෑ. මාක්ස්වාදය කියාගෙන උන් ත‍්‍රස්තවාදය පටන් ගත්තා. දැන් ඒ අයට මොකද වෙලා තියෙන්නේ. දැන් යූඑන්පී එකේ අතකොලුවක් වෙලා.  


ඔබේ ආසන්නම ඉලක්කය මොකක්ද?   


මේ ආණ්ඩුව පළවා හැරීම  


මේ අය එළවලා කවුද ගේන්නේ රාජපක්ෂලද?  


නෑ. අපිට ඕන නෑ රාජපක්ෂලා ගේන්න. මීට වඩා හොඳ සමාජයක් ඇති කරන්න බලවේගයක් තමයි ගේන්න ඕන. 


ඔබ පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්ට ටිකක් සැරෙන් කතා කරලා ඇහුවෙ රාජපක්ෂලා හොරකම් කළාට රට විකුණුවේ නෑනේද කියලා. තාම ඒ අදහසේද ඉන්නේ?   


හොරකම් කරන එක හොඳයි කියලා නෙවෙයි මම කියන්නේ. හොරකම් කළත් රට විකුණුවෙ නෑ කියලා. ඒක හොඳයි. හොරකම් කිරීම වගේද රට විකිණීම. අනික 77 පස්සේ ආපු අයගෙන් කවුරුද හොරකම් නොකළේ.  
යුද අපරාධ සහ රණවිරු දඩයම දැන් කතාවෙන ප්‍රධාන මාතෘකා දෙකක් බවත් මේ ගැන නිතරම අදහස් ප්‍රකාශ කරනවා.   


මේකෙ අනිවාර්ය පරමාර්ථය මේ මගින් අලුත් ව්‍යවස්ථාවක් රටට ගෙන ඒම.   


ඒකට තමයි මේක කරන්නේ. ආණ්ඩුවට මේකට විරුද්ධව වැඩ කරන්න කොන්ද පණ නෑ. යුද අපරාධ, මානව අයිතිවාසිකම් කඩ කිරීම කියන මේ චෝදනාව කවුන්සිලේ ගේන්නෙම බටහිර බලපෑම උඩ. වෙන කිසි දෙයක් නෙවෙයි. මේකෙ බලාපොරොත්තුව එමගින් ව්‍යවස්ථාව වෙනස් කරල අලුත් ව්‍යවස්ථාවක් ​ෙග්න්න. ඒ අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ පරමාර්ථය වෙන වෙන කිසිවක් නොවෙයි මේ රට බෙදීම. බටහිරට කියන්න බෑනේ අපේ රටට කෙලින්ම ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. ඒක නිසා වෙන වංගුවක් ගහල වක්‍රාකාරව මේ වැඩේ කරන්නයි මේ උත්සාහය. බටහිර බලවේග මේ රජයට බලපෑම් කරනවා අලුත් ව්‍යවස්ථාවක් හදපං කියලා. ආණ්ඩුවත් ඒ වචනෙට නැමිලා ඉන්නේ. 

 
මේකෙන් අපට ගැලවෙන්න තියෙන එකම මාර්ගය තමයි අලුත් ව්‍යවස්ථාවක් හදන එක නතර කිරීම. අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ මේ වෙලාවෙ. මේක රටේ ඕනෑවටම කෙරෙන වැඩක් නෙවෙයි. බටහිරට ඕනෑ විදිහටයි මේක කෙරෙන්නේ. ආණ්ඩුව මේකට පාවිච්චි කරන්නේ යුද අපරාධ, මානව හිමිකම් කඩ කිරීම කියන තුරුම්පුව. ඒක ඉස්සරහට දාලා තමයි අලුත් ව්‍යවස්ථාවට පාර කපා ගත්තේ.   

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි