අසත්පුරුෂ තාත්තා​ට පාඩමක් ඉගැන්වූ අජාසත්ත පුත්තු


 

තවත් පුද්ගලයකු ඝාතනය කරන්න තම දරුවන් සමග ගිය පියෙකුට ඒ උගුලේම පැටලී තමන්ගේම දරුවන් අතින් මිය යන්නට සිදුවන්නේ නම් එය කෙතරම් ඉරණම් සහගත ද? මේ පියා ගැන කතාව අපට අහන්න ලැබුණේ බණ්ඩාරගමින් වුවත් ඔහුගේ පදිංචිය කොට්ටාව, පන්නිපිටියයි.   


 තමන් මෙලොවට ජනිත කළ දරුවන්ට කවා පොවා හදා වඩාගෙන තමන්ට ලබාගත නොහැකි වූ අධ්‍යාපනයේ ඉහළම තැනට දරුවා රැගෙන යන්නට, ඔවුන්ට ලෝකයේ තිබෙන හොඳම රැකියාව ලබාදෙන්නට හැම දෙමාපියකු තුළම හීනයක් තිබෙන බව බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් එවැනි හීනයක් දකිනවා වෙනුවට තමන් ද නොමග ගොස් තම දරුවන් ද ඒ මග ගෙන යන දෙමාපියන් ද සිටින බව පාතාල ලෝකය දෙස බලන විට අපට දැකගත හැකිය. අපේ කතානායකයා වන පන්නිපිටියේ පියාද පාතාලයෙක් නොවුණත් මිනිසුන් ඝාතනය කිරීම ඔහුට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ බව පෙනෙන්නට තිබේ. 


මෙසේ තමන්ගේම දරුවන් අතින් මිය යන්නට සිදුවූයේ කොට්ටාව, පන්නිපිටිය දෙපානම, වීර මාවතේ පදිංචිව සිටි ජයතුංගගේ මනෝජ් ප්‍රසන්න හෙවත් අතුරුගිරියේ මනෝ නමැති පනස් එක් හැවිරිදි දෙදරු පියෙකුටයි. වැඩිමහල් පුතුට වයස අවුරුදු 29ක් වන අතර බාල පුතුගේ වයස අවුරුදු 22කි. ඔවුන් දෙදෙනාම විවාහකයන් වන අතර වැඩිමහල් පුතුට අවුරුද්දක වයසැති සිඟිති පුතෙක් ද සිටී. 


ඝාතනයට ලක්වූ මනෝජ් පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී වසර හතක් සිරගතව සිට නිදහස් වූ අයෙකි. ඔහු බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ තිබුණේ මීට මාස තුනකට පමණ පෙරය. තමන් හිරේ සිටින කාලයේ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියේ යැයි මනෝජ් තුළ සැකයක් පහළ විය. මේ සැකය මත හිඳිමින් ඔහු බිරිඳ සමග නිතර රණ්ඩු කරගත් අතර අනියම් සැමියා යැයි සැකකරන පුද්ගලයා ඝාතනය කිරීමට ද සැලසුම් කළේය. ඒ වෙනුවෙන් මන්නයක් ද ඔහු සකස් කර ගත්තේය. එම පුද්ගලයා ඝාතනය කිරීමේ අදහසින් මනෝජ් එම මන්නය තම යතුරුපැදියේ සඟවාගෙන සිටියේය. 


දිනක් මනෝජ් සිය පුතුන් දෙදෙනා අමතා ඉල්ලීමක් කළේය. “අපි අරූ මරමුද?” 


 “කොහොමද එහෙම කරන්නේ?” 


 “මම මන්නයක් හදලා තියෙන්නේ අපි තුන්දෙනා ගිහින් ඌව ගෙදරින් එළිය ගෙන්නගෙන මරමු. ආයේ පස්ස ගහන්න බෑ.”


‘‘හරි අපි යමු.’’ 


තාත්තා ගෙදර පැමිණි දා සිට අම්මා සමග ඇති කරගත් රණ්ඩු නිසා පීඩාවට පත්ව සිටි මේ දරුවෝ දෙදෙනා ද පියාට හොරා වෙනම කතිකාවක් ඇති කරගත්හ. ඒ පියා සමගම ගොස් ඔහු ඉලක්ක කරන පුද්ගලයා නොව පියාවම ඝාතනය කිරීමටය. කිසිදු වෙනසක් නොපෙන්වා පියා සමග බණ්ඩාරගම, මැදගම වැව පාරේ ගොස් වැව අසලටම පියාව කැඳවාගෙන ගිය පුතුන් දෙදෙනා බොල්ගොඩ වැවේ නවතා තිබූ ඔරුවක නැගී යන්නට කතා කළෝය. පියා එයට එකඟ වූ අතර ඔරුව දම්වැල් දමා බැඳ ඉබ්බෙකු යොදා තිබූ බැවින් එක් පුතෙක් ඉබ්බා ගලවා ගැනීමට පියා අතේ තිබූ මන්නය ඉල්ලා සිටියේය. අනිත් පුතා පියාට ඔරුව දෙසට එන ලෙස ඉල්ලා සිටියේය. 


පියා ඔරුව වෙත යනතෙක් බලා සිටි මන්නය අතැති පුතා පිටුපසින් ගොස් පියාගේ ගෙළ හා පිට කොන්ද දෙසට මන්නා පහර කීපයක් එල්ල කළේය. ඉන්පසු සිරුර ගඟට දමා කිසිවක් නොවූ පරිදි පිටව ගියේ පියා පැමිණි යතුරු පැදිය ද එම ස්ථානයේම තිබෙන්නට ඉඩ හැරය. පියාට කෙටූ මන්නය හෝකන්දර, ඇවරියවත්ත වැවට විසිකළේ එය කවදාවත් හොයාගන්නට නොහැකි වනු ඇතැයි විශ්වාසයෙනි. 


නිවසට ගිය පුතුන් දෙදෙනා ඇඳුම් මාරු කර දිය නා පිරිසිදුව නිදහසේ ඉන්නට උත්සාහ කළත් මළ සිරුර කාට හෝ හමුවී ද? නැද්ද? එහි කුමක් සිදුවී තිබේද? යන්න දැන ගැනීමට සිද්ධිය වූ ස්ථානයට ගියහ. එහි තිබූ පියාගේ යතුරු පැදිය හෝ මළ සිරුර දක්නට නොවිණ. යතුරුපැදිය පොලිසියෙන් ගෙන ගියාද? නැත්නම් වෙනත් අයෙකු ගෙන ගියාද? යන්න හරියටම දැනගනු පිණිස දෙදෙනා බණ්ඩාරගම පොලිසියට ගියේ බොරුවක්ද ගොතාගෙනය. තමන්ගේ ත්‍රීරෝද රථයක් පාර අයිනේ නවතා ගොස් තිබිය දී අතුරුදන්ව ඇති බවත් පොලිසියටවත් එය ගෙනවාදැයි බලන්නට පැමිණි බවත් පොලිස් නිලධාරියකුට පවසා යතුරුපැදිය ගැන විමසිලිමත් වූහ. 
එවිට එම යතුරුපැදිය තිබෙනු දැකගත හැකි විය. එසේ නම් පොලිසියට මිනියත් හමුවන්නට ඇතැයි සිතු පුතුන් දෙදෙනා එම සිරුර සොයා ගැනීමට බණ්ඩාරගම හා පානදුර රෝහල්වල මෘත ශරිරාගාර ද පරීක්ෂාවට ලක් කළහ. එහෙත් ඒවායේ මිනියක් තිබුණේ නැත. එයින් හිත හදාගත් පුතුන් දෙදෙනා සුපුරුදු පරිදි සිය කටයුතුවල නියැළුණහ. එහෙත් එම සිදුවීම ඔවුන්ට අමතක කළ නොහැකි විණ. 


මේ අතර පසුගිය 28 වැනි දා බොල්ගොඩ ජලාශයට සම්බන්ධ රඹුක්කන ඇළ මාර්ගයේ පාවෙමින් තිබූ මළ සිරුරක් පිළිබඳව බණ්ඩාරගම පොලිසියට ඇමතුමක් ලැබිණ. ඒ අනුව එම ස්ථානයට ගොස් සිරුර ගොඩ ගනු ලැබුවද එය නරක් වෙමින් පැවතිණ. මේ පුද්ගලයා කාගේ කවුදැයි හඳුනාගත හැකි වූයේ ඔහු ඇඳ සිටි කලිසමේ පිටුපස සාක්කුවේ තිබූ පසුම්බිය නිසාය. එහි ඔහුගේ ජාතික හැඳුනුම්පත විය. ඒ අනුව මිය ගිය පුද්ගලයා කවුදැයි පොලිසිය සැක හැර දැන ගත් අතර ඔහුගේ ඉතිහාසයද දැනගන්නට ලැබිණ. 


ඒ අනුව මෙම ඝාතනය ඔහුගේ තරහකාරයකු අතින් සිදුවුවාද නැත්නම් පවුල් ආරවුලක් මත සිදුවුවාද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කෙරිණ. එහිදී පියා හා පුතුන් දෙදෙනා ඔහු නැති වූ දා සවස කොහේ හෝ ගිය බව දැනගත හැකි විය. ඒ තොරතුර ඔස්සේ යමින් පොලිසිය පුතුන් දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කළේය. එහිදී දෙදෙනා ලබාදුන් පරස්පර විරෝධී පිළිතුරු නිසා සැක උපදවා ගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නැවත ප්‍රශ්න කිරීමේදී සිදු වූ සියල්ල පාපොච්චාරණය කර තිබේ. 


ඒ පාපෝච්චාරණයේ දී ඔවුන් කියා සිටියේ පියාගෙන් තම මවටත් පවුලේ සාමාජිකයන්ටත් සිදුවන තාඩන පීඩන ඉවසිය නොහැකි නිසා මෙම ඝාතනය සිදුකළ බවය. එවැනි අදහසක් තමන්ට නොතිබුණද පියා තමන්ව වෙනත් පුද්ගලයකු ඝාතනය කිරීමට එකතු කරගෙන යන අවස්ථාවේ එය පසෙක තබා පියාව ඝාතනය කිරීම සුදුසු යැයි දෙදෙනාම සාකච්ඡා කරගෙන මෙම ඝාතනය සිදුකළ බවද ඔවුන් පොලිසියට පවසා තිබිණ. 
නොමග ගිය පියෙකු විසින් සිය පුතුන් දෙදෙනා ද නොමගට රැගෙන යන්න දැරූ උත්සහයක අවසන් ප්‍රතිඵලය වූයේ පියාට සිය ජීවිතයත් අහිමිව තරුණ ජීවිත දෙකක් සිරගෙට නියම වීමය. මනෝජ්ගේ වැඩිමහල් සිඟිති දරුවාට ද අද හිමිව තිබෙන්නේ මිනීමරුවෙක් යැයි චෝදනා ලද පියෙකි. 


මෙම ඝාතනය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.එල්. වික්‍රමරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එම්. මිහායිල්, උප පොලිස් පරීක්ෂක චන්දික ජයවර්ධන ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

 

 

 


මුදිතා දයානන්ද 
සමඟ 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් 
ජයසිංහ