අවුරුදු විසිතුනේ බබා


ගම්මුන් සිතන්නේ දෙවියන්ගේ පුනරුත්පත්තියක් ලෙසයි

අසල්වැසියන් ඔහු හඳුන්වන්නේ ‘පනිට්ටුවක් උස දරුවා’ ලෙසිනුයි. එහෙත් ඔහු 23 හැවිරිදි තරුණයෙක්. පන්ජාබයේ ජීවත්වන මේ තරුණයා මන්ප්‍ර‌ීට් සිංග්. ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 5යි. වයසින් 23 හැවිරිදි වුවද ඔහුට ඇත්තේ අවුරුදු එකහමාරක කුඩා දරුවකුගේ පෙනුමක්. 


මන්ප්‍රීට් සිංග් උපන්නේ 1995 දී. වසරක් පමණ ගතවන තෙක් ඔහු නිරෝගීව වැඩුණා. ඉන්පසු ඔහුගේ වැඩීම නතර වුණා. ඔහුගේ පියා වූ ජග්තාර් සිංග් දරුවා වෛද්‍යවරයකු වෙත රැගෙන ගියා. වෛද්‍යවරයා ඔහුට පැවසුවේ දරුවාගේ වැඩීම යළි ආරම්භ විය හැකි බවයි. එහෙත් දරුවා යළි වැඩුණේ නැහැ. 23 හැවිරිදි වුවද ඔහුගේ සිරුර කුඩා දරුවකුගේ සිරුරක සැඟ වී තිබෙනවා. 


මන්ප්‍රීට් සිංග්ට මංගල්දීප් නමින් සොහොයුරකුද, ජස්ප්‍රීට් නමින් සොහොයුරියකද සිටිනවා. ඔවුන් හොඳින් වැඩුණු දරුවන්. පසු කාලයේ මන්ප්‍රීට් පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ මතය වූයේ දරුවා හෝමෝන ඌනතාවකින් පෙළෙන අතර නිසි වෛද්‍ය පරීක්ෂණයකට යොමු නොකිරීම මත රෝගය කුමක්දැයි හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි. “දරුවකුගේ මානසික හා ශාරීරික වර්ධනය වයස අවුරුදු 3නේ සිට ආරම්භ වනවා. ඒ කාලයේ ඔහුගේ වැඩීම සිදු නොවන්නේ නම් දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතුයි. මේ දරුවාගේ මව්පියන් ඉතා දිළිඳු බැවින් එවැනි පරීක්ෂණයකට දරුවා යොමු කර නැහැ” යනුවෙන් එම ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරී එම්.කේ. බාබු සඳහන් කර තිබෙනවා. 


වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ මන්ප්‍රීට් ලැරොන් සින්ඩ්‍රමය නමැති ඉතා දුර්ලභ ජාන විකෘති රෝගයට බඳුන් වී ඇති බවයි. ලොව මෙවැනි පුද්ගලයන් 300ක් පමණ සිටින බැව් පැවසෙනවා. 


මන්ප්‍රීට්ගේ මව සහ පියා දිළිඳු ගොවීන්. තම ගොවිපළේ වැඩකටයුතු සමඟ දරුවා රැකබලා ගැනීම ඔවුනට අසීරුයි. ඔවුන් ජීවත් වන්නේ කිලෝමීටර 112ක පමණ දුර බැහැර ප්‍රදේශයක බැවින් මන්ප්‍රීට් රැකබලා ගන්නේ ඔහුගේ නැන්දා වන 42 හැවිරිදි ලක්වින්දර් කවුර් සහ සහ මාමා වන 45 හැවිරිදි කරන්වීර් සිංග් විසින්. ඔවුන්ට යන යන තැන්වල දරුවාද රැගෙන යාමට සිදු වී තිබෙනවා. කීප විටක් දරුවා දෙමවුපියන් වෙත යවනු ලැබුවද ඔහු මව්පියන් සමඟ සිටින්නට අකමැති හෙයින් නැවත රැගෙන ආ බැව් ඔහුගේ නැන්දණිය පවසනවා.“ මව්පියන් සමඟ සිටිනා විට ඔහු කිසිදු ආහාරයක් ගන්නේ නැහැ. දවස පුරාම අඬමින් සිටිනවා. එහෙත් අප සමඟ සිටින විට ඉතා සතුටින් සිටිනවා. ඔහු කිරිවලින් හදන කැවිලි කෑමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔහු නැතිකොට මටත් විශාල දුකක් ඇති වෙනවා. මගේ සැමියා රියැදුරෙක්. අපට ලැබෙන්නේ සුළු ආදායමක්. අප ඔහු රැකබලා ගන්නේ ඉතා අපහසුවෙන්. ඔහු නගරයේ ලොකු රෝහලකට හෝ විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන යෑමට ශක්තියක් නැහැ. අප නොමැති කාලයක ඔහුට කුමක් වේදැයි යන බිය අපට තියෙනවා.” යනුවෙන් ඇය පවසනවා. 


මන්ප්‍රීට්හට පවුලේ සහ අසල්වැසියන්ගේ ආදරය සෙනෙහස නොඅඩුව ලැබෙනවා. එම ගම්මානයේ වෙසෙන පුද්ගලයන්ගේ මතය වී ඇත්තේ මන්ප්‍රීට් යනු කිසියම් දෙවියකුගේ පුනරුත්පත්තිය බවයි. කතා කිරීමට නොහැකි දරුවාගේ හඬ සතකුගේ හඬට සමානයි. ඔහු අසල්වැසි දරුවන් සමඟ ක්‍රීඩා කිරීමට කැමතියි. ඔහුගේ අතපය නිතරම ඉදිමීමට ලක් වෙනවා. මුහුණේ සම එල්ලා වැටෙනවා. තනිව කිසිවක් කර ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ. 


මන්ප්‍රීට්ට ප්‍රතිකාර ලබා දීම සඳහා පවුම් 5400ක පමණ මුදලක් අවශ්‍ය වෙතැයි පැවසෙන අතර ඒ සඳහා ආධාර ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා