අවතැන් වූ ජනයාට පිදෙන මුලතිව් ‘නන්දකුමාර් නගර්’ ආදර්ශ ගම්මානය


 

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ ප්‍රමුඛතම සංවර්ධන කාර්යය වනුයේ, නිවාස අවශ්‍යතාව පවත්නා ජනකොටස් හඳුනාගනිමින් දීප ව්‍යාප්ත ආදර්ශ ගම්මාන ඉදිකිරිමේ වැඩසටහනයි. මෙම ක්‍රියාවලිය තුළින් 2015 වසරේ ආරම්භයේ සිට මේ දක්වා නව ආදර්ශ ගම්මාන 862ක ඉදිකිරීම් කාර්යයන් ආරම්භකොට ඇති අතර, නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ අපේක්ෂාව වනුයේ 2019 වසර අවසන් වන විට දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 2500ක් ඉදිකරලීමයි.   


ප්‍රතිලාභීන්ගේ නිවාස අවශ්‍යතාව වඩාත් නිවැරදිව තේරුම්ගත් සැමට සෙවණ, ආදර්ශ ගම්මාන වැඩසටහන මෙම ජනාවාස නිර්මාණය කිරීමේදී විවිධ වූ ජන කොටස්හි අවශ්‍යතාව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය අවශ්‍යතාව නිවැරදිව තේරුම් ගනිමින් ක්‍රියාවට නැංවිය. එය, ඒ අයුරින්ම යුද්ධයෙන් අවතැන් වූ නිවාස අවශ්‍යතාව සපුරාලීම උදෙසා උතුරුකරයට ද හඳුන්වාදෙනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී පමණක් ඉතා සාර්ථක අයුරින් උතුරුකරයේ නව ආදර්ශ ගම්මාන 48ක් ඉදිකරලීම තුළින් උතුරේ ජනතාව සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනට පවත්නා ​ෙළන්ගතුභාවය පෙන්නුම් කරයි. එය, වත්මන් 2018 වසරේ දී ආදර්ශ ගම්මාන 150 දක්වා ඉලක්ක කරමින් සිය සංවර්ධන කාර්යන් සිදුකරනු ලබයි.   


මුලතිව් දිස්ත්‍රික්කයේ තුණුක්කායි ප්‍රදේශයේ ඉදිවූ නන්දකුමාර් නගර් ආදර්ශ ගම්මානය උතුරුකරයේ ක්‍රියාවට නැංවුණු මෙම ග්‍රාම සංවර්ධන ක්‍රියාවලියේ එවන් ගම්පියසකි. වන්නි කලාපයට අයත් උතුරු දිශා මායිමේ මඩු දේවස්ථාන වනගත ප්‍රදේශයටත්, මන්නාරම් ද්‍රෝණියේ කලාප ආශ්‍රිත ප්‍රදේශයට ආසන්නයේ පිහිටි තුණුක්කායි ප්‍රදේශය, යුද්ධයට පෙර කාලපරිච්ඡේදයේ කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙසින් හඳුන්වා දුන් අතර, පශ්චාත් යුධ සමයේදී මෙය ජන ශූන්‍ය ප්‍රදේශයක් ලෙසින් පැවතිනි. වන්නි ජනතාව අතර සුප්‍රකට බණ්ඩාරවන්නි නම් ප්‍රාදේශීය පාලකයා මෙම සමස්ත ප්‍රදේශය පාලනය කරමින් ඉංග්‍රීසි අධිරාජ්‍යයාට විරුද්ධව හඩ නඟමින් දමිල ජනතාව උදෙසා සටන් කළ වීරයෙකු ලෙසින් හඳුන්වා දෙනු ලැබීය.   


60 දශකයේ මාන්කුලම් ප්‍රදේශයට අවශ්‍ය සන්නිවේදන පහසුකම් සැපයූ ප්‍රධානම විදුලි සංදේශ කුලුන මෙහි ස්ථාපිතව පැවති අතර, පැවති යුධමය තත්ත්වය මත මෙම සම්ප්‍රේෂණ කුළුණ විනාශයට පත්වූ අතර, එහි සුන්බුන් අද ද එහි දැකගත හැකි වේ. මුලතිව් දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුකරන්නා වූ සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව මල්ලාවි නගරය පසුකර මඳ දුරක් ගියවිට හමුවන තුණුක්කායි ප්‍රාදේශිකය කිසියම් ජන ශූන්‍ය බවක් පෙන්නුම් කරයි. මෙය වඩාත් සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්කරලමින් වැඩි පහසුකම් සහිත ජනාවාසකරණයකට තුණුක්කායි ප්‍රදේශය පත්කරමින් මෙහිලා ක්‍රියාත්මක වූ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම නව ආදර්ශ ගම්මානය ඉදි විය. මුලතිව් දිසාපති ප්‍රමුඛ දිස්ත්‍රික් නිවාස කමිටුව මෙම ආදර්ශ ගම්මානය ස්ථාපිත කිරීමට යෝජනා කළ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන හඳුන්වා දීම තුළින් මෙහි සංවර්ධන කාර්යයන් ක්‍රියාවට නැංවීම සිදුකරනු ලැබීය.   


2017 වසරේ ජනවාරි මාසයේ මෙම ආදර්ශ ගම්මානයේ සංවර්ධන කාර්යයන් ආරම්භ වූ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර එකහමාරක කාලපරිච්ඡේදයක් තුළ තුණුක්කායි නව ආදර්ශ ගම්මානයේ නව නිවාස 30 ඉදිකිරීම් කාර්යයන් ඇතුළු සෙසු සංවර්ධන කාර්යයන් නිම විය.   


නන්දකුමාර් මහතා මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකි. 2008 වසරේ ජුනි මස 29 දින ඔහු මෙම ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර රාජකාරියෙහි යෙදී සිටි අවස්ථාවකදී යුදමය ප්‍රහාරයක බලපෑමකින් ජිවිතක්ෂයට පත්වුණි. ත්‍රස්තවාදී යුද ගැටුම් පවතිද්දී පවා ඔහු දැක්වූ රාජකාරි කැපවීම හා ඒ තුළින් ඔහු සිදු කළ ජීවිත කැපකිරීමට උපහාරයක් ලෙසින් මෙම ආදර්ශ ගම්මානය “නන්දකුමාර් නගර්” නමින් නම් කරනු ලැබීය. නන්දකුමාර් නගර් ග්‍රාම සංවර්ධන ක්‍රියාවලියේ ඇති සුවිශේෂත්වය වනුයේ එද‌ා ත්‍රස්තවාදී යුද ගැටුම් පැවති සමයේ කොටි ත්‍රස්තවාදයට පාර්ශ්වකරුවන් වශයෙන් කටයුතු කළ චරිත රැසක් අද මෙම ජනාවාස සංවර්ධන වැඩසටහනේ නිලධරයන් සහ ප්‍රතිලාභීන් වශයෙන් කටයුතු කිරීමයි. බාලසුන්දරම් සුබනි, නන්දකුමාර් නගර් නිවාසලාභිනියකි. ඇය අතීතයේදී ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයකු ලෙස මරාගෙන මැරෙන බෝම්බ මෙහෙයුම් සේවාවේ කටයුතු කළ අයෙකි.   


“මම මරාගෙන මැරෙන බෝම්බ කාර්යන් ලෙස ප්‍රභූ ඉලක්ක හඹා යමින් කටයුතු කළ අයෙක්. එදා අපගේ සංවිධානය විසින් මට ජීවිත පූජාවෙන් ඉටු කළ යුතු වගකීම් රැසක් පවරාදෙනු ලැබූවා. ඒ සියලු කාර්යයන් නිමාවීමෙන් පසු අද මේ අයුරින් හෝ මට ජීවත්වීමට ලැබීම වාසනාවක්. ගැටුම් පැවති අවස්ථාවේදී මා හමුද‌ා භාරයට පත් වී යුද්ධය නිමාවීමෙන් පසු මා විධිමත් සමාජ පුනරුත්ථාපනයට පත්වූවා.   


නමුත් මම නැවත සමාජයට පැමිණිවිට සමාජයේ බහුතරය මා දෙස බැලුවේ වපර ඇහින්. මගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම ගතවුණේ යුද්ධය සමග වනගත ප්‍රදේශවල හෝ හිරගෙවල්වලයි. නිදහස ලැබී නැවත සමාජයට පැමිණෙන විට අපට සමාජ පිළිගැනීමක් තිබුණේ නැහැ. නමුත් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන අපි සමාජය පිළිගත් පිරිසක් බවට පත්කරමින් මට නිවසක හිමිකම ලබා දුන්නා.   


මම දැන් මේ නිවාස ක්‍රමයේ ප්‍රතිලාභියකු හැටියට මෙහි ඉදිවන සියලු නිවාසවල ඉදිකිරීම් කටයුතුවලට ද‌ායක වනවා. ඒ පිළිබඳ හොඳ ශිල්පීය දැනුමක් ලබාගෙන ගෙයින් ගෙට ගොස් නිවාසවල ඉදිකිරිම් කටයුතුවලට සහාය වනවා. එයින් මට හොඳ ආදායමකුත් ලැබෙනවා. මගේ ගේ දොර දැන් හොඳට හදාගත්තා. දැන් මම හොඳ ජීවිතයක් ගතකරනවා. එදා ජීවිත විනාශ කිරීමට ආයුධ භාවිත කළ දෑතින් මම අද මිනිස්සු ජීවත්කරලීමට නිවාස ඉදිකරදීම සිදුකරනවා.”   


නන්දකුමාර් නගර් නිවාස ව්‍යාපෘතියේ බහුතර නිවාසලාභීන් ප්‍රමාණයක් ජනවාර්ගික යුද්ධයෙන් නිවාස අහිමිවූවන් හෝ එදා ත්‍රස්ත සංවිධානයන්හි දායකකරුවන් හෝ හිතවතුන් ය. ඔවුන් නැවත සමාජ පුනරුත්ථාපනයට පසු සමාජයට ප්‍රවිෂ්ඨවීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවාස ගැටලුව විසඳීමට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන පිහිට විය.   


ඇන්ටන් ජොස්ටින් මෙවන් එක් නිවාසලාභියෙකි. ඔහු නන්දකුමාර් නගර් ආදර්ශ ගම්මානයේ එක් ක්‍රියාශීලී නිවාසලාභියකු වේ. “අපේ තරුණ වයස සම්පූර්ණයෙන්ම ගතවූයේ සටන්කාමී ජීවිතයටයි. අපි එදා යුද්ධයට සම්බන්ධවී සිටින විට ජීවිතයේ ඊළඟ මොහොත පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මරණය පෙනි පෙනී ජීවිත අහිමි වෙමින් එදා අප සටන් කළා. නමුත් අද අපට හිතෙනවා, කුමක් ද ඒ අප කළ සටන කියල. සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ අපිට නැවත ජීවත්වීමේ සැබෑ පාඩම කියා දුන්නා. කිසිවකුට අත නොපා, අපේ හයියෙන් අපිට නැගිටිය හැකි බව සැමට සෙවණ අපට කියා දුන්නා.   


ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මහත්වරුන් අපට ගෙවල් දොරවල් හදන හැටි කියල දුන්නා. ඔවුන්ගේ මගපෙන්වීම යටතේ අපි අපේ නිවාස හදාගත්තා. හොඳට ගෙයක් දොරක් හදාගැනීම විතරක් නෙවෙයි. දැන් මම පොඩි ව්‍යාපාරයකුත් ආරම්භ කරල තියෙනවා. ග්‍රාමීය සංවර්ධන බැංකුව මට එයට උදව් කළා. මට කියන්න තියෙන්නේ, සැමට සෙවණ නිවාස වැඩසටහනට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි කියල පමණයි.”   
සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන නන්දකුමාර් නගර් නිවාස ව්‍යාපෘතියට හඳුන්වාදුන් අවස්ථාවේදී, එම නිවාස ක්‍රමයේ තාක්ෂණික සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතියට හඳුන්වාදුන් තාක්ෂණ නිලධාරී කුමාර සාමිල අසූව අනූව දශකයේ යුධ සටන්කාමියකු ලෙස යුධ පෙරමුණේ සටන් කළ අයෙකි.   


“එදා මම යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන් කළා. ඉමහත් කැපවීමකින් සටනට ප්‍රවිෂ්ටව සිටියත් එහි අවසන් ප්‍රතිඵලය දෙස ආපසු හැරී බලනවිට ඇත්තේ මහත් කනගාටුවක්. මගේ ජීවිතය බේරුණා.  
සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ද‌ායකත්වයෙන් මෙහි නිවාස සංවර්ධන කාර්යයන් ක්‍රියාවට නංවනු ලැබීය. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය, ගමට අවශ්‍ය විදුලිය සැපයීම සිදුකරනු ලැබීය. නිවාස ව්‍යාපෘතියේ අභ්‍යන්තර මාර්ග සහ බෝක්කු ඉදිකිරීම උතුරු පළාත් සභාවේ දායකත්වයෙන් සිදුවිය. ව්‍යාපෘති භූමිය එළිපෙහෙළි කර පිළිසකර කිරීමේ බරපැන උසුලනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මැතිතුමන් විසිනි. ඉදි වූ නිවාස සඳහා අවශ්‍ය වැසිකිළි සම්පාදනයේදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය ද‌ායකත්වය ලබා දී ඇත. ඉදි වූ සෑම නිවසක් ආශ්‍රිතව නළ ළිඳ බැගින් ඉදි වී ඇති අතර නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශය ඒ සඳහා වු මූල්‍ය දායකත්වය හිමිකර දී තිබේ.   


නිවාස මුල්කොටගත් නන්දකුමාර් නගර් නිවාස ව්‍යාපෘතියේ සමස්ත සංවර්ධන කාර්යයන් වෙනුවෙන් වැය වූ මුළු මුදල රුපියල් මිලියන 56 කට (රු: 56,498,000,00)අධික වේ. තවද ගම්මානයේ පැළ රෝපණය සහ සෙසු සංවර්ධන කාර්යයන් සඳහා පොල් සංවර්ධන මණ්ඩලය සිය දායකත්වය ලබාදී ඇති අතර, යුධ හමුදාව සහ සෙසු රාජ්‍ය ආයතනික දායකත්වය ගම්මානයේ සංවර්ධනය සඳහා හිමි වී ඇත.   


යුද්ධයෙන් අවතැන්ව තමන්ගේම නිවහනක අපේක්ෂාවකින් තොරව දිවි ගෙවූ නිවාසලාභී පවුල් 30 කට අංගසම්පූර්ණ නිවාස ඉදිකොට මුලතිව් තුණුක්කායි ඉදි වූ නන්දකුමාර් නගර් ආදර්ශ ගම්මානය ජුලි මස 06 දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් නිවාසලාභීන්ගේ හිමිකමට පත්කරනු ලබන්නේ, යළි උදා වූ උදාගම් ව්‍යාපාරයේ 90 වන ආදර්ශ ගම්මානය ලෙසයි.

 

 

 

 

ලක්විජය සාගර පලන්සූරිය