අලින්ට බයේ ජීවත්වෙන මිනිස්සු


හීන් මැණිකාගේ නිවසට වන අලි කළ හානිය

 

මහියංගණය දඹාන ආදිවාසී ගම්මානයේ විදුහල අසළ සුදු බැනරයකි. 


‘ගුරුකුඹුර එක්සත් අසරණ සරණ මරණාධාර සමිතියේ ශෝකය’ යනුවෙන් එහි සටහන්ව තිබිණ. 
ඒ ආදිවාසී නායක, වනස්පති, ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ගේ ඥාති සොයුරකු වූ ඌරුවරිගේ කරුණාදාසගේ මළගම වෙනුවෙනි. 
කරුණාදාස රැහේ අය අතර විශේෂ චරිතයකි. 
ඔහු වනයේ කාලය ගතකිරීමට ප්‍රිය කළේය. 


වන සතුන් ඔහුගේ මිතුරන් විය. 
මාදුරුඔය රක්ෂිතයට ගොස් මී පැණි එකතු කිරීමත්, සියඹලා ඇහිඳීමත් ජීවනෝපාය කරගත් කරුණාදාස ඒවා විකුණන මුදල් රැහේ කැකුළන්ට පොත පත ටොෆි චොක්ලට් සෙල්ලම් බඩු යනාදිය ලබාදීමට වැය කළේය. 
මේ නිසා ඔහු කැකුළන් අතර වඩාත් ජනප්‍රිය විය. 
දවසේ වැඩි වේලාවක් කැලය තුළ ගත කිරීම ද බිරිඳ ඔහු හැරයන්නට හේතුවක් විය. 
එතැන් සිට ඔහු ජීවත් වූයේ අම්මාගේ කටු මැටි නිවසේය. 


ඌරුවරිගේ හීන්මැණිකා නමැති අම්මා පැවැසුවේ ඇඟ කිළිපොලන කතාවකි. 
“පුතා එදා රෑ ගෙදර හි‍ටියේ නැහැ. මට හරක් අදිනව වගේ ශබ්දයක් ඇසුණා. මම එළියට බහින්න බයේ ඇතුළටම වෙලා හිටියා. අලියා ගේ කඩලා ගේ ඇතුළේ තිබුණ ඉරිඟුයි හාල් ටිකයි ඇදගෙන කෑවා. 
මේ ඉරිඟු ඇට ටික විකුණාගන්න ගෝනි කරල තිබුණේ. ඒත් කොරෝනා නිසා විකුණා ගන්න බැරි වුණා. 
මම ගේ හදාගත්තේ දඹාන බලන්න එන අයට දෙහි දොඩම් විකුණලා ඒ සල්ලි ඉතුරු කරලා. 
අලි කැඩූ ගේ හදාගන්න මට මේ දක්වා උදව් ලැබුණේ නැහැ. එදා මේ ගම්මානයේ හා අල්ලපු ගම්මානයේ ගෙවල් 9ක් මේ විදියට කැඩුවා. ඒත් අනෙක් අය ගෙවල් හදාගත්තා. මට ශක්තියක් නැහැ. 


පුතයි මායි මේ කැඩිච්චි ගෙදර ඉන්දෙද්දි තමයි කැලේ ගිය පුතා අලි ගහල මැරුණේ. 
පුතාගේ මිනිය මේ කැඩිච්චි ගේ තියන්න බැරි නිසා දෙවැනි පුතාගේ ගෙදර තිබ්බා. 
ආයේ කොයි වෙලාවේ අලි මේ පැත්තට එයි ද කියන්න බැහැ. මම දවස පුරා පණ බයේ ඉන්නේ” යැයි ද හීන්මැණිකා පැවැසීය. 
සීල් තැබූ පුතාගේ මිනී පෙට්ටිය බදාගෙන මේ අම්මා වැගිරූ කඳුළු දුටු දුටුවන්ගේ ද දෑසට කඳුළු එක්කළේය. 
අපි ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් බැහැදුටුවෙමු. 

 


‘මාමකැච්චක් හොඳමයි’ කියමින් කතා පටන්ගත් නායකතුමා වැදි භාෂාවෙන් පැවැසූ දේ මෙසේය. 
“මියගිය කරුණාරත්න හරිම අහිසංකයෙක්. එයා කැලේ ඉන්න සත්තු හඳුනනවා. ඒත් එදා අලියාගේ මුහුණට එක පාරට මෙයා මුලිච්චි වෙලා දෙන්නට දෙන්නා හඳුනා ගන්න බැරිවෙලා. 
මීටර් 300ක් විතර දුර පසුපස හඹාගෙන ගොස් කඩුපහරඇල්ල වැව ළඟදී පහරදී පාගා මෙම මරණය සිදුකර තිබුණා. 
මේ සිද්ධිය නම් රක්ෂිතයක් තුළ සිදුවූ එකක්. 
නමුත් දැන් ගම්බිම්වලට කඩා වදින අලි කරන විනාශයන් දිනෙන් දින වැඩි වෙනවා. 
ගම්වලට විතරක් නොවෙයි දැන් නගරවලටත් එනවා 
මෙවර මහියංගණ විහාරයේ පෙරහර හා සමන් දේවාලයේ පෙරහර පැවැත්වුණෙත් වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව. මොකද මහවැලි ගඟ අසබඩ වල් අලි 15ක රංචුවක් ගැවැසුණා. 


හැමදාම මිනිසුන්ගේ ගෙවල් කඩනවා. වී බොනවා. වගාබිම් විනාශ කරනවා. මිනිස්සු හරිම අසරණයි. මිනිස්සු කිහිපදෙනෙක් ඝාතනය කළා. 
මහියංගණයේ විතරක් නොවෙයි තවත් බොහෝ ප්‍රදේශවල මෙම ගැටලු‍ව තිබෙනවා. 
වනජීවී නිලධාරීන් එනව වෙඩි එකක් දීලා යනවා. ඒවා පත්තු කළත් වැඩක් නැහැ. දැන් අලි බය නැහැ. 
මිනිස්සු විතරක් නොවෙයි වල් අලිත් මරණයට පත්කරන අවස්ථා තියෙනවා. වනජීවී නිලධාරීන් කිහිපදෙනකුත් පසුගිය කාලයේ ඝාතනය වුණා. 
වල් අලින්ගේ පැත්තෙන් බැලු‍වම අලි අපට සම්පතක්. 
උන්ගේ වාසස්ථාන තිබූ කැලෑ බිම් එළිකරමින් ගොවිපොළ ආරම්භ කිරීමත් රූස්ස ගස් කපා සිදුකරන දැව ජාවාරම් නිසාත් වල් අලි ගම්වදිනවා. සමහරු කැලෑ ගිනි තියලා ගෙවල් හදනවා. 


මේ තත්ත්වයන් සලකා බලා දෙපාර්ශ්වයටම සාධාරණයක් ​වෙන වැඩපිළිවෙළක් දියත් කිරීමට රජය කටයුතු කළ යුතුයි. 
ඒ සඳහා උතුරු නැගෙනහිර යුද්ධයට දුන් ප්‍රමුඛතාවම ලබාදිය යුතුයි. ගමේ මිනිස්සු එක්ක සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙළ සඳහා අදහස් ලබාගත යුතුයි. 
ස්ථිරසාර වැඩපිළිවෙළක් ඉක්මනින් සිදු නොකළහොත් නුදුරු දිනක වල් අලි කොළඹටත් කඩා වැදී මහා විනාශයන් සිදුකරන්න ඉඩ තියෙනවා. 
වල් අලි උවදුර ඇති බෙහෝ ප්‍රදේශවල විදුලි වැට සාර්ථක වී නැහැ. බොහෝ ප්‍රදේශවල තවමත් විදුලි වැට ඉදිකරලත් නැහැ. අගල් කැපීමට දැන් යෝජනා වී තියෙනවා. අගල් කැපුවත් එය විද්‍යාත්මකව සිදුකළ යුතුයි” යැයි ද ආදිවාසි නායකතුමා අවධාරණය කළේය. 
අපි මහියංගණය අවට ගම්මාන රැසක සැරිසරමින් ජනතාවගේ හඬට සවන් දුනිමු. 
අභයපුර ද නිවාස කිහිපයක් පසුගිය දිනයන්හි වල් අලි විසින් විනාශ කර තිබිණ. 
දමයන්ති කුමාරි මහත්මිය මෙසේ කීවාය. 


“තනි අලියෙක් හා තුන්පත් රෑනක් මේ ගම්මානවල සැරිසරනවා. ළඟදී දවසක අපේ ගෙදරට ආ තනි අලියා නිසා අපි හරියටම බය වුණා. 
මමයි මහත්තයයි ලයිට් දාලා ගේ අස්සේ හැංගිලා බලාගෙන හිටියා. පොඩි දුව කාමරේට දාලා අපි දෙන්නා බලාගෙන ඉන්නකොට අලියා ළඟටම ඇවිල්ලා එළියේ තිබුණ කාර් එකට හොඬවැල දැම්මා. හැබැයි විනාශයක් කළේ නැතිව යන්න ගියා. 
නමුත් එදාම මේ ළඟ ගෙවල් දෙකක් විනාශ කරලා වී ගෝනි ඇදගෙන බීලා තිබුණා. 
මේ මිනිස්සු බේරිලා තියෙන්නේ පූරුවේ වාසනාවට. දම්බරාව වැව අයිනේ කැලෑවේ නිතරම අලි ඉන්නවා. රෑ නවය දහය වෙනකොට උන් ගමට එනවා. 
ඉස්සෙල්ලාම දැක්ක එක්කෙනා වෙඩි පත්තු කරලා සංඥාවක් දුන්නම හැම ගෙදරක්ම අවධානයෙන් ඉන්නවා. නමුත් එළිවෙනකල් පණ බයේ තමයි ඉන්නේ. 
කෝල් කළාම වනජීවී නිලධාරීන් ඇවිත් අලි වෙඩි දෙන අවස්ථා ද තියෙනවා” යැයි දමයන්ති මහත්මිය පැවැසීය. 
මහියංගණය දම්බරාව ඇලෑවෙල ප්‍රදේශයේ අලි ප්‍රහාරයකින් මිය ගියේ යැයි සැක කරන පුද්ගලයකුගේ හිස් කබල හා අස්ථි කොටස් හමුවී තිබිණ. 
මම ඒ ස්ථානයට යාමට පෙර බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාට දුරකතනයෙන් කතා කළෙමි. 
“අපෝ.... අයියා ඒ පැත්තට යන්න එපා. නිතරම අලි ගැවැසෙනවා. 

 

ඔය අස්ථි කොටස් හමුවුණු දවසේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එක්කරගෙන යනකොටත් වල් අලි ගැවැසුණා. ඒ නිසා වනජීවී නිලධාරීන් ආරක්ෂාව යටතේ තමයි ඒ කටයුතු කළේ.”

ඒ සිද්ධිය පිළිබඳව විමසූ විට කන්දෙවත්ත මහතා මෙසේ විස්තර කළේය. 
“එම ප්‍රදේයේම පදිංචි කපුකොටුවේ ගෙදර ජයසිරි නමැති 53 හැවිරිදි පුද්ගලයකුගේ යැයි සැක කරන හිස් කබල හා අස්ථි හමුවුණා. 
එයා කුරුණෑගල පුද්ගලික වැඩපොළක අනියම් සේවකයෙක්. පසුගිය මස 24 වැනිදා පඩි අරගෙන ගෙදර එන බවට ගෙදරට දැනුම් දී තිබුණා. 
ඒත් ඔහු නොපැමිණි නිසා බිරිඳ හා පුතා වැඩපොළට ගිහින් බලලා තියෙනවා. ඔහු වැඩපොළෙන් පිටත්වෙලා ගෙදර එනවා කියලා ගිහින් තියෙනවා. 
මේ නිසා මේ අතුරුදන් වීම පිළිබඳව කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කරලා තිබුණා. 
කුරුණෑගල පොලිසියෙන් මහියංගණය පොලිසියට දැනුම් දීලා තිබුණා. 


ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටියදී මීට දින කිහිපයකට පෙර හිස් කබල සහ අස්ථි කොටස් ගම්වැසියන්ට හුමුවී තිබුණා. 
අස්ථි කොටස්වලට නුදුරින් ඔහුගේ ජාතික හැඳුනුම්පත සහ ඇඳගෙන ගිය සරම සහ කමිසයේ කොටස් වැටී තිබුණා. 
එම ස්ථානයේ තිබූ අඩි තුන හමාරක් පමණ උස හුඹහක් කඩා විනාශ කර තිබුණා. 
වල් අලි පහරදීමකින් මෙම මරණය සිදුව ඇතැයි සැක කරන නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෝහාරික වෛද්‍ය පීඨයේත්, රජයේ රස පරීක්ෂක වෙතත් යවා තිබෙනවා” යැයි ද වසන්ත කන්දෙවත්ත මහතා පැවැසීය. 


මහියංගණයේ 2019 සිට මේ දක්වා වල් අලි පහරදීම්වලින් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් නිවාස 385ක් කඩා බිඳ විනාශ කර දමා ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල දත්ත පෙන්වා දෙයි. 


ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ, මෙම වල් අලි උවදුර පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ තමා වගකිව යුතු අංශවල අවධානය යොමුකරන නමුත් මේ දක්වා නිසි විසඳුමක් ලැබී නැති බවයි. 
විදුලි වැට ඉදිකිරීම සඳහා මෙතෙක් බාධාවක් වී තිබූ වල් අලි ගමන් කරන මාර්ගය දෙපස ඉඩම් ලබාගැනීමේ ගැටලු‍වට දැන් විසඳුම් ලැබී ඇති බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා, එම ඉඩම් කොටස ලබාදීමට ගොවීන් එකඟ වී ඇති බැවින් විදුලි වැට ඉක්මනින් ඉදිකරන ලෙසට වනජීවී නිලධාරීන්ට උපදෙස් දුන් බව ද විදානගමගේ මහතා පැවැසීය. 
අඩවි ආරක්ෂක සිසිර රත්නායක මහතා පවසන්නේ, නිලධාරීන් හා පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම අලි රැඳවුම් ස්ථානවල පවතින ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම අලි ගැටලු‍ විසඳීමට ඇති බාධාවන් බවයි. 


මේ ඔහුගේ කරුණු දැක්වීමයි. 


“එක යුනිට් එකකට ඇත්තේ එක වාහනයක් හා නිලධාරීන් 13ක් පමණයි. 


මහියංගණයේ ග්‍රාම සේවා වසම් 35ක සිදුවන අලි උවදුරු මැඩලීමට මේ නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා ඇතැම් ප්‍රමාදයන් සිදුවෙනවා. ඇතැම් විට වසම් කිහිපයක එකවර අලි උවදුර පැමිණීමේදී මේ තත්ත්වය මතුවෙනවා. 


හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබිය හැකි ප්‍රමාණයට මේ වනවිට අලි රඳවා තිබෙනවා. ලු‍ණුගම්වෙහෙර අලි රැඳවුම් මධ්‍යස්ථානය සකස් කර අවසන් වන තෙක් අලි අල්ලා රැගෙන ගොස් දැමීමේ ගැටලු‍වක් පවතිනවා” යැයි ද රත්නායක මහතා සඳහන් කළේය. 
එතෙක්....? 

 

 

සංචාරක සටහන හා ඡායාරූප
බදුල්ල - පාලිත ආරියවංශ