අලි ශාස්ත්‍රය ප්‍රගුණ කළ අලි විශේෂඥයා


 

මෙරට සිටින අලි ඇතුන් හිමියන්ගෙන් මෙන්ම ඇත්ගොව්වන්ගෙන් බොහෝ දෙනකු අලි ශාස්ත්‍රය ප්‍රගුණ කළ වුන් නොව ඔවුන්ට අයිති, නැතිනම් ඔවුන් බලන අලි අැතුන්ගේ හීලෑ බව නිසාම ජීවිතයට අනතුරක් සිදුකර නොගෙන සිටින්නවුන් බව රහසක් නොවේ.  


ඔවුනගෙන් සුළු පිරිසක් අලි ඇතුන් සම්බන්ධයෙන් යම් යම් අංශවලින් දැනුමක් ඇත්තවුන් වුව ද අලින්ගේ නිලශාස්ත්‍රය අලි මන්තර, අලිවෙදකම ආදී අලි ඇතුන්ට සම්බන්ධ සියලු අංශයන්ගෙන් දැනුමක් ඇති පුද්ගලයකු සිටිත් නම් ඔහු ඇත්ත වශයෙන්ම දක්ෂයෙකි.   
අලි ඇතුන් හිමියන් අතරින් එවැනි විශේෂඥ දැනුමක් ඇති අයකු ලංකාවේ සිටිත් නම් ඒ කෑගල්ලේ මොලගොඩ පදිංචි දැනට 94 වැනි වියේ පසුවන “මිල්ලන්ගොඩ අලි මහත්තයා” හෙවත් එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ මහතා පමණය.  


එසේම එයට කිට්ටු කළ හැකි දැනුමක් ඇත් ගොව්වකු ලංකාවේ සිටිත් නම් ඒ තමා පමණක් බව නිර්භයව පවසන අලි බලන්නකු අපට හමුවිය. ඔහු පරම්පරා හතරක් අලි ඇතුන් බැලූ පරපුරකින් පැවත එන 58 හැවිරිදි වියේ පසුවන කොටුවේගෙදර සුමනබණ්ඩා මහතාය. ඔහුගේ පදිංචිය පින්නවල අලි අනාථාගාරය පෙනෙනතෙක් මානයේ පිහිටි කොටගම ග්‍රාමයයි.  


පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන පාරම්පරික අලිබලන්නා වශයෙන් සේවය කර තවත් අව්ස්ථාව තිබියදී කලින්ම සේවයෙන් විශ්‍රාමගෙන සිටින ඔහු ඇත්ගොව්වකු වුවද පරම්පරාවෙන් තරමක දේපළක් හිමි පුද්ගලයෙකි. එබැවින් ඔහුට එතරම් ආර්ථික ප්‍රශ්න ආදිය නැතත් අලි ඇතුන් බැලීමේ අාශාව හා උනන්දුව නම් බිඳකින්වත් අඩුවී නොමැති බව ඔහු සමඟ කතා බහ කිරීමේදි අපට පැහැදිලි විය.   
ඔහුගේ නිවසද අලි ඇතුන්ට සම්බන්ධ පුස්කොළපොත්, අතින් ලියන ලද වෙද පොත්, මන්තර පොත් ආදියෙන් මෙන්ම අතීතයේ පටන් තම පරම්පරාවේ උදවිය අලි බැලීමට යොදාගත් පැරණි හෙණ්ඩු, අලි බලන පිහියා, අලින්ගේ නියපොතු කපන පිහියා, අලින් ​ෙපරහරවලට ගෙන යන විට කරේ බඳින සීනු, දම්වැල්, අලි ඇතුන්ට පෙරහර අවස්ථාවලදී අන්දවන ඇඳුම් ආදියෙන් පිරී කෞතුකාගාරයක් බඳුය.   


ඔහුගේ නිවසේ දොර ජනෙල්වලට ඉහළින්  ඇති ග්‍රිල් ආදියද අලි රූපවලින් කැටයම් කර තිබෙන අයුරු දක්නට ඇත. සුමන බණ්ඩා මහතා කියන පරිදි තමන්ගේ මුළු පරපුරම අලි ඇතුන්ගෙන් ජීවනෝපාය සලසාගත් නිසා තමා තුළද අලි ඇතුන් කෙරෙහි මහත් ආදරයක් හා ගෞරවයක් ඇති බවය.  


“මට අලි ඇතුන් බලනවා කියන එක පොඩි ළමයින් සෙල්ලම් කරනවා වාගේ වැඩක්” යයි කියන ඔහු, හැබැයි දැන්නම් මට පෙරහරක්වත් බලන්න යන්න හිතන්​නේ නෑ” යයි අප සමඟ කීවේ සාමාජය ගැන ඔහු තුළ ඇති යම් කලකිරීමක් නිසා විය යුතු යයි මට සිතුණි.

 
හිරිවඩුන්න මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා අධ්‍යාපන ලැබූ සුමන බණ්ඩා වයස අවුරුදු දහයේදී පමණ සිටම සිය පියා බැලූ අලි ඇතුන් පසුපස යමින්ද පියා සමඟ අලි ඇතුන් පිට යමින්ද විනෝදයෙන් කාලය ගත කළ අයෙකි. ඉගෙනීමටද සමත්කම් දැක්වූ ඔහු ඉහළ පන්තිවලට යද්දී පොත පත කියවීමට රුචිකමක්ද දැක්වූ අතර තම නිවසේ තිබූ අලි සම්බන්ධව අතින් ලියා ඇති පැරණි පොත් පත් පමණක් නොව පුස්කොළ පොත් පවා කියවා බලා අලි පිළිබඳ දැනුම දියුණුකර ගත්තේය.   


එ් සඳහා සිය පියාගේ උනන්දු කරවීමට ද ඔහුට මහත් රුකුලක් විය. ඔහුට සිටියේ තවත් එක් වැඩිමහලු සහෝදරයෙක් පමණය. ඔහු තුළ අලි ඇතුන් ගැන එතරම් ආශාවක් නොවූ නිසා ඔහු ​ෙගාවිතැන් කටයුතු කෙරෙහි යොමු කරවීමට පියා විසින් පියවර ගත්තේය. එබැවින් ඔහු ප්‍රදේශයේ දක්ෂ ගොවියකු බවට පත්ව සිටි අතර ඔහු පසු කාල​ෙයහි මියගියේය. පවුලේ ඉතිරි එකම පුතාවූ සුමන බණ්ඩා මහතා පාසල් ගමනින් පසුව ඇති දක්ෂ ඇත්ගොව්වකු බවට පත් විය. ඔහු තම පරම්පරාව පිළිබඳව සඳහන් කළේ මෙසේයි.  


“අපේ මුත්තාගෙ කාලෙ ඉදලාම අලි බලලා තියෙනවා. අත්තා අලිබලන කාලෙ ගැන තමයි මට යන්තම් මතක තියෙන්නේ. අපේ ගෙදර හැමදාමත් කාගෙහරි අලියෙක් හරි ඇතෙක් හරි හිටියා. අලි ඇතුන් බැඳ තියන්න ඉඩකඩම් අපිට පරම්පරාවෙන්ම තිබුණා. අපේ අප්පච්චිගෙ තාත්තාගෙ නම පුංචිරාළ. එයාට බාරොන් කියලත් කීවා. අපේ අම්මාගෙ අම්මගෙ ගම පී.බී.ජී.කළුගල්ල ඇමැතිතුමාගෙ ගම වූ කළුගල්ලයි.

අලි බැලීමට උපයෝගී කරගත් පැරණි හෙන්ඩු පිහියා සහ පෙරහරවලදී අලින්ගේ කර බැඳි සීනු.

 


අම්මගේ තාත්තත් කළේ අලි බලන එකයි. ඒ අත්තගෙ නම සියාතු හාමි. අපේ අප්පච්චිගෙ නම කේ.ජී. පුංචිඅප්පුහාමි.  
අප්පච්චි මේ පළාතෙ හිටපු හොඳම නම ගිය දක්ෂ අලිකාරයෙක්. ඒ කා​ෙල ආණ්ඩුවෙන් බලපත්‍ර අරගෙන මොලගොඩ මිල්ලන්ගොඩ අලි මහත්තයා කැලේ අලි අල්ලන්න යන කොට අපේ අප්පච්චි එක්ක යනවා. අප්පච්චි මිල්ලන්ගොඩ අලි මහත්තයගෙ හොඳම හිතවතෙක්”  


“කලුගල්ල මහත්තයා 1975දී පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරපු මුල් කාලේ ඒකට උදව් කළේ අපේ අප්පච්චියි. ඒ කාලෙත් විදේශ සංචාරකයෝ පින්නවල අලි බලන්න ආවා. ඒ අයට පින්නවල කලුගල්ල මහත්තයාගෙ නිවස පිහිටි භූමියේදී අලි රේස්, පෙරහර ආදිය සංවිධානය කරන්නත් ඒ සඳහා අවශ්‍ය අලි ඇතුන් එක් රැස් කරන්නත් බාර දුන්නේ අපේ අප්පච්චිට තමයි. ඒ කාලෙ පින්නවල අලිගාලෙ අලියෙක් කුලප්පු වුණොත් ඒ අලිය අල්ලන්නත් අලියකුට ලෙඩ වුණොත් ඒකට බෙහෙත් කරන්නෙත් අප්පච්චි තමයි එකතු කරගෙන ගියේ. අප්පච්චි කොටගම වළව්වෙ අලියා, පොතුහර රැකව මහත්තයාගෙ අලියා, කිවුල්පනේ රන්බණ්ඩා මහත්තයාගෙ අලියා, බඩහැල්දෙණියෙ අලියා වාගේ අලි කීපදෙනෙක්ම බැලුවා. ඒ අලි අපේ ගෙදරට ගෙනත් තමයි බැලුවේ.”  


“පින්නවල අලි අනාථාගාරයට, එක එක අනතුරුවලට මුහුණපාලා ඉඳලා කැලෙන් අලි අල්ලාගෙන එන්න පටන් ගත්තට පස්සේ උන් හීලෑ කරන්න පළපුරුදු අලිකාරයෙක් ඕනෑ වුණා. ඒ නිසා මට 1981 දි පින්නවල අලි ආනාථාගාරයේ සේවයට යන්න අව්ස්ථාවක් ලැබුණා. 1984 දී මුලින්ම පින්නවල අලි අනාථාගාරයේ ඉන්න “කුමාරි” කියන ඇතින්නට “සුකුමලී” කියන පැටියා හම්බ වෙනකොට ඒකෙ රාජකාරී කළේ ඒ කාලේ අලි අනාථාගාරය බාරව හිටපු සීලරත්න මහත්තයයි මමයි. “කුමාරි” කියන ඇතින්නගෙ සැමියා වූණේ “විජය” කියන අලියායි. ඔවුන් දෙන්නගෙ ප්‍රේම සම්බන්ධය ගැන මුලින්ම දැනගත්තේ මමයි. ඊට පස්සේ අපි ඒ ඇතින්න හොඳින් රැකබලා ගත්තා. ඒ කාලෙ අලි අනාථාගාරයේ පශු වෛද්‍යවරු හිටියේ නෑ. අලි අනාථාගාරයට විදුලි බලය, දුරකථන පහසුකම් ආදිය තිබුණේත් නෑ. ඒ නිසා ඒ දරු ප්‍රසූතිය සිදු කරවන්න අපට සිද්ධ වුණේ ලන්තෑරුම් අල්ලාගෙනයි.   


දුරකථන පහසුකම් නොතිබුණු නිසා සීලරත්න මහත්තයා හැතැක්මක් විතර දුරින් තියන දියසුන්නත පන්සලට ගිහින් හාමුදුරුවන්ට කියලා තමයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ලීන් ද අල්විස් මහත්තයාට දුරකථන පණිවුඩයක් දීලා අලි පැටියෙක් ඉපදුණු පුවත කීවේ. ඊට පස්සේ අලි අනාථාගාරයේදි අලි පැටවු හුඟ දෙනෙක්ම හම්බ වුණේ අපේ පරීක්ෂාව යටතේයි”  


“මඩුකන්ද ප්‍රදේශයේදී ඇස් දෙකට වෙඩි වැදිලා දෑස් අන්ධවෙලා හිටපු “රාජා” පින්නවලට ගෙනාවට පස්සේ හීලෑකර ගන්න පැවරුණෙත් මටයි. බිම් බෝම්බයකට හමුවෙලා කකුලක් කැඩිලා වෙන්වෙලා හිටපු “සාමා” කියන ඇතින්නත් හීලෑකරලා මාඔයට දිය නාවන්න ගෙනියන්න පුළුවන් විදිහට පුරුදු කළේත් මමයි. ඒ නිසා “රාජා” ඇතාත් “සාමා” ඇතින්නත් මියගියාම මට ලොකු දුකක් ඇති වුණා.  
අලි අනාථාගාරෙ මැද වැටිලා ඉන්න අලි මාංචු ගහලා බැඳ දමන්නේ. අලි ඇතුන්ට තුවාලයක් වුණාම බෙහෙත් කරන්නෙ මමයි. පින්නවල ඉන්න මුළු අලි රංචුවම තනියම වුණත් මා ඔයට ගෙනියන්න පුළුවන්කමක් තිබුණෙත් මට විතරයි. අලි අනාථාගාරෙ ඉන්න සමහර අලි මඩගා ගත්තාම මහත්තුරුන්ටත් උන් අඳුනා ගන්න බෑ. නමුත් කොච්චර මඩ ගාගෙන හිටියත් ඒ අලියා නමින්ම අඳුනා ගන්න පුළුවන්කම තිබුණෙත් මට විතරයි.   


පින්නවල අලි අනාථාගාරයේදීත් අලි ඇත්ගොව්වන්ට පහරදීලා තියෙනවා. නමුත් මම ඉන්න තැන කිසිම අලියෙක් කාටවත්ම එහෙම පහර දීලා නෑ. අලිකාරයෝ අලින්ගෙන් පහර කන්​ෙන් බීමත්කම නිසයි. මම කවදාවත් සුරා පානය කරලා නෑ. බීඩියක් සිගරැට් එකක් බීලා නෑ.   


පොඩි කාලෙ ඉඳලාම මම හැදුණෙ අම්මටයි අප්පච්චිටයි කීකරුවයි. ඒ නිසා කිසිම වැරදි වැඩක් කරන්න බයයි. ඒ නිසා බොහෝදේ ​ඉගෙන ගන්න ලැබුණා”  


“පින්නවල අලි අනාථාගාරයෙන් චීනයටත්, පකිස්ථානයටත් අලි පැටවූ දෙන්නෙක් දුන්නා. ඒ අලි පැටවු දෙන්නා අරගෙන මමත් චීනයටත් පකිස්ථානයටත් ගියා. චීනයේ බීජින් සත්වෝද්‍යානයට “මැණිකා” කියන ඇතිනි පැටියා ඒ කාලෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අතින් තමයි දුන්නේ. ඒ පැටියට එහෙ නම තියලා තිබුණේ “කාවන්” කියලා. පකිස්තානෙ ස්ලාමාබාද් සත්වෝද්‍යානයට දුන්නේ “සුමන” කියන අලි පැටියා. ඒ අලි පැටියට එහෙ නම තියලා තබුණේ “සෙහෙල්” කියලා.”  


“මට ඉන්නේ ගැහැණු දරුවොම හතර දෙනෙක්. මගේ චාන්දනී රේණුකා රත්නායක කියන දෙවැනි දුව යොදාගෙන 2006 සිට 2008 වෙනකල් ජර්මනියෙ ඉඳලා ආපු කට්ටියක් චිත්‍රපටයක් හැදුවා මාස දෙකෙන් දෙකට ලංකාවට ඇවිදින් මාස 6 ගානේ ලංකාවෙ නැවතිලා ඉඳලයි ඒ චිත්‍රපටිය හැදුවේ. එ්ක විශාල චිත්‍රපටියක්. ඒ චිත්‍රපටිය යුරෝපයේ ජනප්‍රිය වුණ සම්මානලාභී චිත්‍රපටියක් ඒ චිත්‍රපටිය නිසා ලංකාවට දරුවොත් එක්ක එන ජර්මන් සංචාරකයෝ පින්නවල අලි අනාථාගාරය නරඹලා මගේ දුව බලන්න අපේ ගෙදරටත් එනවා. දැනුත් එහෙම අය අපේ ගෙදරට එනවා. මා ගැන විස්තර රටවල් කීපයකම පොත් පත් සඟරාවල පළ කරලා තියෙනවා” යයි ඔහු අප සමඟ පැවසුවේ එවැනි පොත් පත් සඟරා කීපයක්ම ගෙනැවිත් මා අත තබමිනි.  


 “මා හිටිහැටියේම 2011 දී දෙහිවල සත්වෝද්‍යානයට මාරු කළා. ඊට පස්සේ දුම්රියෙන් තමයි රැකියාවට යන්න ලැබුණේ. පාන්දර 4.55 දුම්රියෙන් වැඩට ගියාම අාපසු ගෙදර එනකොට රාත්‍රී නවය දහය වාගෙ වෙනවා. අපේ අම්මා වයස් ගතවෙලා අසනීපයෙන් හිටියේ. මාගේ බිරිඳටත් පිළිකාවක් හැදිලා නිතරම බෙ​ෙහත් ගන්න මහනුවර මහ රෝහලට යන්න වුණා. මට ඉන්නෙ දුවලම හතර දෙනෙක් නිසා ගෙදර දොරේ කරදර වැඩිවුණා. පින්නවලට ආපසු මාරුවීමක් ඉල්ලුවත් ලැබුණෙ නෑ. ඒ නිසා වැඩට යන එක අතපසු වුණා. පස්සේ මට ලියුමක් ආවා සේවය අතහැර ගියා කියලා.   


ඔය අතරෙ මගේ අම්මයි බිරිඳයි දෙන්නම අන්තරා වුණා. මම නැවතත් රැකියාව ඉල්ලලා අභියාචනයක් ඉදිරිපත් කළත් ලැබුණේ නැති නිසා ජනාධිපතිතුමාට අභියාචනයක් යැව්වා. පස්සේ මට 2012දී නැවත රැකියාව ලබුණා. නැවත රැකියාව ලැබුණු පළමුවෙනි දවසෙම මම විශ්‍රාම ගන්න ඉල්ලුම් කළා. තවත් කාලයක් රැකියාව කරන්න වයස තියෙද්දීත් මම විශ්‍රාම ගත්තෙ. රැකියාව ගැන කලකිරීමක් ඇතිවුණු නිසයි එහෙම විශ්‍රාම ගත්තේ”  


“ඊට පස්සේ මා පුද්ගලික කීපදෙනකුගෙ අලි ඇත්තු බැලුවා. හෙයියන්තුඩුවෙ ටියුඩර් ගුණසේකර මහත්තයගෙ ඒකදන්තයා කියන අැතා බැලුවා. මුන්නේස්වරම් දේවාලේ පන්දු කියන අලියා බැලුවා. ඒ අලිය පින්නවල අනාථාගාරයේ ඉඳලා විමලා කන්නන්ගර හිටපු ඇමතිතුමිය දේවාලෙට පූජා කරපු එකෙක්. පස්සේ මහනුවර දළදා මාලිගාවෙ ඉන්දිරාජා ඇතා අවුරුදු දෙකක් බැලුවා. 2015දී ඉන්දිරාජා ඇතා පිට දළදා කරඬුව වැඩම කෙරෙව්වේ මමයි. කුරුණෑගල අැත්කද විහාරෙ “වාසල” කියන අලියත් මාස 6ක් විතර බැලුවා.  
මම මහනුවර ඇසළ පෙරහර, අලුත් නුවර දේවාල පෙරහර, කතරගම, තිස්සමහාරාමය, ගංගාරාම, කෝට්ටේ, රත්නපුර, පැල්මඩුල්ල, වැලිගෙපොල, මුතියන්ගනය, ලුනාව, කටාන, යාපහුව, පඬුවස්නුවර, වාරියපොළ, අනුරාධපුරය, මිහින්තලේ, සේරුනුවර, අරලගංවිල, මැදිලිය වව්නියාව, යාපනය වාගෙ දේවාලවල පන්සල්වල පෙරහරවලට අලි ඇතුන් අරගෙන ගිහින් තිබෙනවා.  


“අලි ඇතුන්ට පෙරහර ඇඳුම් අන්දවන හැටි ආදිය ගැන මට හොඳ දැනීමක් තියෙනවා. අලි ඇතුන්ට ඇඳුම් අන්දවන කොට උන්ට කිති ගතියක් වාගේ ඇති වෙනවා. එතකොට උන් කළබල කරන්න පුළුවන්. මම ඒවා ඉගෙන ගත්තේ අප්පොච්චිගෙන්. දැන් ඉන්න අලිකාරයන්ට නම් ඒවාගෙ දේවල් ගැන ඉගෙන ගන්න කිසිම වුවමනාවක් නෑ”  


“මනුෂ්‍යයා ගාවට මොළේ තියෙන සතා තමයි අලියා. අලියට ගුණෙන් කතා කරන්න ඕනෑ. කොහෙ හරි අලියෙක් අරගෙන යනකොට සමහර තැන්වලදී අලියා පිඹිනවා. එතකොට අලිකාරයා දැනගන්න ඕනෑ අලියා මොකක් හරි කියනවා කියලා. සමහරවිට අලියා ඊට කලින් ඒ පාරෙ යද්දි දියබීපු ජලාශයක් නැත්නම් ඇළක් ඒ ළඟ තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම තැනකදී අලියට වතුර දීලම තමයි ගෙනියන්න වෙන්නේ.  


එ​ෙහම නොකළොත් අලියා යන්නෙ අලිකාරයා එක්ක අමනාපයෙන්, අලිකාරයා එක්ක තරහෙන් යන නිසා මඟදි ඔහුට පහර දෙන්න වුණත් ඉඩ තියෙනවා”   


මේ සියලු දේ සුමනබණ්ඩා මහතා අපට පැහැදිලි කළේ පැරණි සොලෝකයක් කියමිනි. පැරණි පුස්කොළ පොත් සහ පොත පතෙහි අලි ඇතුන් පිළිබඳ සියලු කරුණු සඳහන්ව ඇත්තේ සොලෝකවලින් නිසා ඒවා තේරුම් ගැනීමට නම් පාලි, සංස්කෘත භාෂා ගැන තරමක දැනීමක් තිබිය යුතු බවද සුමන බණ්ඩා මහතා කියයි.  


පින්නවල අලි ආනාථාගාරයේ සිටින අලි ඇතුන් පෙරහරවල යාම සඳහා පුහුණු කිරීම පිළිබඳව මම සුමනබණ්ඩා මහතාගෙන් විමසුවෙමි. ඒ පිළිබඳව ඔහු සිය අදහස මෙසේ පළ කළේය.  


“බ්‍රිගේඩියර් හෑන්ඩ් පෙරේරා මහත්තයා සත්වෝද්‍යාන අධ්‍යක්ෂ වෙලා ඉන්න කාලෙදී පින්නවල අලි අනාථාගාරයෙ අලි ඇතුන් පෙරහරවල යන්න පුරුදු කරන වැඩපිළිවෙළක් ආරම්භ කළා. අපි අලි 13 දෙනෙක් එහෙම පුහුණු කරගෙන යනකොට පරිසර සංවිධාන ඒකෙන් සත්ව හිංසාව වෙනව කියලා විරෝධය පළ කරන්න පටන් ගත්තම ඒක නවත්තලා දැම්මා. පෙරහරේ අලි ගෙනියන්න පුරුදු කරන්න නම් ගිනි පන්දම්වලට, කසවලට, දුම්රිය ගමන් කරන ශබ්දයට වාගේ දේවලට ඔවුන් හුරු කරන්න වෙනවා. ඒකට හොඳම තැන තමයි පින්නවල අලි අනාථාගාරය. රඹුක්කන දුම්රිය මාර්ගය එහෙම තියෙන නිසා එහාට ගෙනිහින් අලින්ගෙ බය නැති කරන්න පුළුවන්. තවත් දෙයක් තමයි අලින්ට අවශ්‍ය නියම උෂ්ණත්වය, උන් කෑමට කැමති කොස් අතු නුග අතු, කිතුල් අතු, පෝටාවැල් ආදිය සොයාගන්න තියෙන්නෙත් මේ පැත්තෙයි. මා ඔය තියෙන නිසා දිය නාවන්න හෙමත් පහසුකම් තියෙනවා”  


ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන සඳහන් කරමින් අප සමඟ මෙසේ කීය.  


“අපේ ගෙදර නිතරම අලි ඇතුන් හිටපු තැනක්. ඒ නිසා දැන් මටත් අලියෙක් ඉන්නවා නම් හොඳයි කියලා හිතිලා තියෙනවා. පින්නවල අලි අනාථාගාරය ළඟ මට පරම්පරාවෙන් අයිතිවෙච්ච අක්කර එකහමාරකට කිට්ටු ඉඩමක් තියෙනවා. ඒ ඉඩම අලි අනාථාගාරයට අත්පත් කරගන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒකට මට ලොකු වන්දි මුදලක් ලැබෙයි. ඒ මුදලින් කොටසක් යොදවලා හරි වෙනත් ක්‍රමයකට හරි මටත් අලියෙක් ගන්න ලැබෙනවා නම් ඒ ගැන කැමැත්තෙන් ඉන්නවා”  


අතට අමතර මුදලක් ලැබුණු විට වාහනයක් මිලදී ගැනීම වැනි දේ ගැන උනන්දුවන මිනිසුන් සිටින රටක සුමනබණ්ඩා මහතාගේ ඒ බලාපො​රොත්තුව සඵල වේවායි පතමින් අපි ඔහුගේ නිවසින් සමු ගත්තෙමු.

සටහන - ඡායාරූප 
කෑගල්ල කරුණාරත්න අතුකෝරාල