අලි-කොටි පරදවමින් නැගිටින්න වෙර දරන කාන්තාවක්


චන්දිමා සහ ඇගේ නැගනිය ඔවුන්ගේ නිවෙස ඉදිරිපිට

 

 

‘‘එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් වහංවෙලා මම ළමයින් රැකගත්තේ රෑ එළිවෙනකම් කැලේ හැංගිලා ඉඳලා. ඒත් එයාට ත්‍රස්තවාදීන්ගෙන් රැකිලා ඉන්න බැරි වුණා. ඒ නිසා එයා ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරකට ලක්වෙලා මියගියා. ඊට පස්සේ දරුවන් දෙදෙනෙකුත් එක්ක මම පවුලේ බර ඇද්දේ වල් අලියන්ගේ කරදර මැද්දේ කුලී වැඩ කරලා. දැන් මම වකුගඩු රෝගයෙන් පෙලෙනවා...’’  


මේ කතාවේ කතා නායිකාව දහසක් කරදර මැද ගැහැනු දරුවන් දෙදෙනෙකුට උසස් අධ්‍යාපනය ලබා දෙන්නට වෙර දරන ඩී.එම්. කුසුමාවතී ය. එහෙත් ඇය කායික හා මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව ඇත්තේ ඇය ගොදුරුව සිටින රෝගී බවත් ආර්ථික අපහසුතා සහ දරුවන්ට සාධාරණයක් නොවීම යන තත්ත්වයන් යට​ෙත්ය.  


ඇය තම දරුවන් දෙදෙනා සමග පදිංචිව සිටින්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටියාගල ග්‍රාම සේවා වසමේය. ඇතිමලේ සිට කිලෝමීටර් 5ක් පමණ ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක ගමන් කළ විට 1993 වසරේ ඉදිකළ නව ගම්මානයක් වන කරකොළගස්පිටිය නම් වූ ගම්මානය හමුවෙයි. මේ ගම්මානයේ පවුල් 45 ක් පමණ ජීවත් වන අතර ඉන් 15 දෙනෙක් පමණ වකුගඩු රෝගයෙන් පසුවෙති. පසුගිය වසර ගණනාවක් තිස්සේ රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව සිටි මෙම ගම්වාසීහු අද වනවිට අලින්ගේ ග්‍රහණයට ද ලක්ව සිටිති. එසේ තිබියදී ගොවිතැන් කටයුතුවල ඔවුන් නිරතවන්නේ ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක දෝලනය වෙමිනි.   
ඔවුහු ගොවිතැන් කටයුතුවල දී භාවිතා කරන විවිධාකාරයේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසාත් ප්‍රදේශයේ ජල ප්‍රශ්නය නිසාත් එම ප්‍රදේශයේ වකුගඩු රෝගය ද ව්‍යාප්තව පවතී. එම රෝගයෙන් පීඩා විඳින ගම්වාසීන් අතර සිටින ඩී.එම්. කුසුමාවතී 46 හැවිරිදි දෙදරු මවකි. 1993 දී ඇය කේ.එම්. නන්දසේන සමග විවාහ වී කොටියාගලින් කරකොළගස්පිටියට පදිංචියට පැමිණෙන්නේ ගම්මානය ආරම්භ කිරීමත් සමඟය. කරකොළගස්පිටියට පදිංචියට එන ඔවුහු ජීවිතයේ සතුට සැප සොයන්නට ඇති එකම මාර්ගය වූ ගොවිතැන තෝරා ගනිති. ගොවිතැන් කිරීම සඳහා කිලෝමීටර් කීපයක් ඈත ප්‍රදේශයකට තම ස්වාමියාට යාමට සිදු වේ. එකල පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසාත් වන අලින්ගේ කරදර නිසාත් නන්දසේනට ඔහු වැඩ කළ ගොවි බිමෙහි නවාතැන් ගන්නට සිදුවේ. මේ බාධක හමුවේ කුසුමාවතී තම කුඩා දියණියන් දෙදෙනා සමග කුඩා පැල්පතේ රෑ දහවල් දෙකේ තනිව වෙසෙන්නට වූවාය.   

 

හුඹස් බැදි ඇති  නිවසේ බිත්ති

 


මේ අතරතුර 2008 වසරේදී තම ස්වාමියා ඇතළු ගොවියන් හත් දෙනෙකු මිය යන්නේ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන් විසින් කළ වෙඩි තැබීමක් නිසාය. මේ නිසා කුසුමාවතී අවුරුදු හතක සහ අවුරුදු 12ක දියණියන් දෙදෙනෙකු සමග තනිවන්නේ අලි කොටි ගහන මැද්දේය. දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට ගතහොත් මේ දුක්වලින් ගොඩ යා හැකි බව ඇගේ සිතෙහි පැලපදියම් විය. ඇය ඒ සිහිනය මල්ඵල ගැන්වෙන අයුරු දකිමින් නිරන්තරයෙන්ම ඇගේ දහදිය කඳුළු මහ පො​ෙළාවට හෙළුවාය. ඇය ගමෙහි ගොවිතැන් කරන බොහෝ දෙනෙකුගේම කුලී වැඩට ගොස් ඉරිඟු හිටෙව්වාය. මේ අතරතුර තම ස්වාමියා වගා කළ ඉඩමක ඇය තනියම වගා කරන්නටද පටන් ගත්තාය. වගා බිම අලින්ගෙන් රකින්නට රෑ කාලයේ දී නිදි වැරුවා ය. දවල් කාලයේ දී කෘමි සතුන් පලවා හරින්නට කෘමිනාශක යොදන්නට තෙල් ටැංකිය පිටෙහි බැඳගත්තාය. තමා​ෙග් සෞඛ්‍ය ගැනවත් නොහිතා රසායනික ද්‍රව්‍ය කර තබා ගත්තේ ඊට වඩා ජීවන බරක් ඇගේ හිස මත තිබුණු නිසාය. එහෙත් ඇය නොදැනුම්වත්වම ඇගේ ශරීර සෞඛ්‍යය විනාශ කරන්නට පිටෙහි බැඳි කෘමි නාශක ටැංකිය හේතු විය. 

 
ප්‍රදේශයේ භාවිත කරන අධික රසායනික ද්‍රව්‍ය නිසා හෝ පානීය ජලය නිසා හෝ ඇය වකුගඩු රෝගියෙක් බවට පත්ව ඇත. මේ රෝගය නිසා ඇගේ හැත්තෑ හැවිරිදි මවත් පනස් හැවිරිදි වැඩිමහල් සහෝදරයාත් වකුගඩු රෝගයෙන් පෙළෙති.   


සිතේ සවියෙන් වැඩ කළ කුසුමාවතී දැන් සියල්ල හැර දමා ඇඳට වී උසස් පෙළ සමත් තම වැඩිමහල් දියණියට රැකියාවක් ලැබෙන තුරු බලා සිටින්නීය.  


කේ.එම්. චන්දිමා ශාන්ත නන්දනී දියණිය සමග අපි කතා කළෙමු.   


මම මොනරාගල කොටියාගල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා උසස් පෙළ කරන්න මොණරාගල ඔබ්බේගොඩ ද්විතීයික පාසලට ඇතුළත් වුණා. ඒ ඉස්කෝලෙට අපේ ගෙදර ඉඳලා කිලෝ මීටර් හතළිහක් පනහක් විතර තියෙනවා. අපිට උසස් පෙළ කරන්න ළඟ පාතක පාසලක් නෑ.   


ඔබ්බේගොඩ පාසලට යන්න අපි පාන්දර 5ට විතර ගෙදරින් පිටත් වෙන්න ඕනේ. ඒකට හේතුව උදේට යන්න එක බස් එකයි තියෙන්නේ. පාන්දර අලින්ගෙන් බේරිලා කිලෝ මීටර් දෙකක් විතර පයින් යන්න ඕනේ. හවසටත් තියෙන එකම බස් එකෙන් ගෙදරට එද්දී හැන්දෑවේ හතර විතර වෙනවා. යද්දී එද්දී දෙකේම අලියන්ට බයෙන් තමයි පාරේ යන්නේ. බස් එකට දවසකට රුපියල් දෙසීයක් විතර දෙන්න ඕනේ. ඉතිං එදා වේල කන්න හොයමින් මට විතරක් බස් ගාස්තුවත් දෙන්න අපේ අම්මා පුදුම දුකක් වින්දේ. මං කොහොම හරි මහන්සි වෙලා 2015 දී උසස් පෙළ විභාගයට බී සාමාර්ථ තුනක් ලබා​ගෙන විභාගය සමත් වුණා. 2016 වසරේදීත් ම උසස් පෙළ විභාගයට පෙනී සිටියා. ඒ වසරේ දී මම A එකයි B එකයි C එකයි අරගෙන විභාගය සමත් වුණා. නමුත් මට විශ්වවිද්‍යාලයට යන්න තරම් ප්‍රතිඵල මදි. මම දැන් බලාපොරොත්තු වෙන්නේ රජයේ මොකක් හෝ රැකියාවක්. ඒකට හේතුව මට තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්කමක් නෑ අම්මා වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා. අපේ තාත්තා එල්.ටී.ටී.ඊ. එකෙන් මරා දැම්මාට පස්සෙ අපට රුපියල් ලක්ෂයක් ලැබුණා. ​ඉගෙන ගන්න කියලවත් අපිට කිසිම දෙයක් ලැබිලා නෑ. ඉදිරියට අපට තියෙන ලොකුම ගැටලුව අම්මට වැලඳිලා තියෙන රෝගයයි. ඒ නිසා මට ඈතක රැකියාවකට යන්න බැහැ. අම්මාත් බලාගෙන ගෙදර ඉඳන් යන්න රැකියාවක් ලැබුණොත් හොඳයි. මේ වෙද්දී මගේ නංගී ආශා විරාජිනී. එයා සාමාන්‍ය පෙළ විභාගය කරලා උසස් පෙළ කරන්න වෙන ඉස්කෝලෙකට යන්න බලාගෙන ඉන්නවා.   


දැනට අපිට රජයෙන් කියලා සමෘද්ධි ආධාරය විදිහට රුපියල් තුන්දාහක් ලැබෙනවා. අම්මා හැම මාසෙම සිරිගල මහ​ රෝහලෙන් බෙහෙත් ගන්නවා. කිලෝමීටර් ගාණක් ඈත ගිහින් බෙහෙත් අරගෙන ගෙදර එද්දී රෑ හත අට වෙනවා. අලි කරදර මැද්දේ තමයි ගෙදර එන්නේ. අපට පුළුවන් විදිහට වවා ගන්න දේ අලින්ගෙන් රැක ගන්න හරිම අමාරුයි. ඉතින් අලි එළවා ගන්න අපි කරන්නේ පුළුවන් තරම් කෑ ගහන එක තමයි. එතකොට ගමේ මිනිස්සුත් කෑ ගහලා අලි එළවනවා.   


කොටින්ගේ කරදරවලින් අපි බැට කෑවා. දැන් අලින්ගේ කරදරවලට මැදිවෙලා ජීවත් වෙනවා. රජයෙන් කියලා අපේ පැත්තට කිසිම උපකාරයක් නෑ. අපේ ගමට එන්න හරියට පාරක් නෑ. කිලෝමීටර් ගාණක් කැලේ මැදින් මිනිස්සු යන්නේ. මිනිස්සුන්ට ජීවත්වෙන්න විදිහක් නෑ. අලි වැටක් නෑ. ඉරිඟු හිටවලා තමයි මෙ​ෙහ අය ජීවත් වෙන්නේ. ඇය කියන්නීය.  
කුසුමාවතී මහත්මිය සමග ද අපි කතා කළෙමු. ‘‘මම වගේම මගේ අම්මා, අයියා වකුගඩු රෝගයෙන් පෙළෙනවා. අපේ ගමේ හැමෝම වාගේ ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. ගොවිතැන් කරද්දී තෙල් පොහොර භාවිතයේ අඩුවක් නෑ. මේවායේ අවදානම කවුරුත් හිතන්නේ නෑ. ගමේ වකුගඩු රෝගයෙන් පෙළෙන අය ඉන්නවා. ඒ අයට මැටි ජල පෙරන රජයෙන් ලබා දුන්නා. ඒවා මාස 8කට වඩා පාවිච්චි කරන්න බැරි වුණා. හැමෝම බොන්නේ නළ ළිං වතුර. එක ළිඳකින් පවුල් 10ක් 12ක් වතුර ගන්නවා. හොඳ වතුර ටිකක් බොන්න විදහක් නෑ. අපි පදිංචි වෙලා ඉන්න ගෙදර හුඹස් බැඳලා. ගෙයක් හදනවා කියන එක අපිට හීනයක්. ලොකු දුවට රස්සාවක් ලැබුණොත් ඒක හිතට ලොකු සැනසිල්ලක්. ඇය දිගු සුසුමක් හෙළුවාය.   

 

 

චාන්දනී දිසානායක