අලි ඇතුන් නැති වෙලාවට කරඬුව වැඩමවන්න ඒකදන්ත සැදී පැහැදී සිටියා


 

අලි ඇතුන් ගැන අප කොපමණ අසා තිබුණද, ඒකදන්ත වැනි ඇතෙකුගේ උපතක් ගැන අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. දළ තිබෙන පිරිමි අලියා ඇතා ලෙස ද, දළ තියෙන ගැහැනු අලියා ඇතින්නිය යනුවෙන් ද නම් කර ඇති අතර දළ නොදරන පිරිමි සතාට අලියා ලෙසත්, දළ නොදරන ගැහැණු සතා කෙනර ලෙසත් නම් කර ඇත. 


මෙලොව සිටින බුද්ධිමත් සත්ත්ව කාණ්ඩ අතුරින් අලි ඇතුන්ට හිමි වන්නේ සිවුවැනි (මිනිසා, වානරයා, මුහුදු ක්ෂීරපායින් සහ අලින්) ස්ථානයයි. ශ්‍රී දළදා මාළිගා ඇත් පන්තියේ සිටි එකම ඒකදන්තයා පසුගිය 12 දින සවස 03.30 ට පමණ අපගෙන් සමුගෙන, අපහැර ගියේ බොහෝ දෙනෙකුගේ නෙත් අගට කඳුළක් එක් කරමිනි. මෙහි විශේෂත්වයක් ද තිබේ. ඒ, පෝය දවසක් වන නිසාය. 


මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව සිට ලක්දිවට පැමිණ අප රට තුළ බුදු දහම ව්‍යාප්ත කිරීමත් සමග ඇති වූ බෞද්ධාගමික ප්‍රබෝධය නිසා ඇතැම් ඉපැරැණි රජ මහා විහාර ආශ්‍රිතව ආරම්භ කරන ලද බෞද්ධ පෙරහරවල අත්‍යවශ්‍ය අංගයක් ලෙස අලි ඇතුන් සහභාගි කරවා ගැනීම ද සිදුවිය. එයට හේතුව වූයේ උන් සතුව පැවැති අති විශාල කාය ශක්තිය වේ. මේ නිසා ඈත අතීතයේ සිටි රජවරුන් වනාන්තරවල සිටි අලි ඇතුන් රැසක් යොදා සකස් කර ගත් බළ ඇණිය ඇත් සේනාව නම් විය. වර්තමානයේ එදා තරම් අලි ඇතුන් නොමැති වුවත්, විශේෂයෙන්ම මහනුවර ඇසළ පෙරහර සමයේ අලි ඇතුන් පිළිබඳ කතා කිරීමට පටන් ගනී. ඒ දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම වීම සහ දේවාල සතරේ කරඬු වැඩමවීම සඳහා සද්දන්ත කුලයේ ඇතෙකුගේ අවශ්‍යතාව මතු වෙන නිසාය. ඒ අනුව දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමට ඒකදන්තට ද වාසනාව උදා විය.


1969 වසරේදී පින්නවල ඇත් සෙවණේදී උපත ලබන මෙම හස්තියා, එවකට නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරය හොබවන ලද විමලා කන්නන්ගර මැතිණිය විසින් 1978 වසරේදී මහනුවර දළදා මාළිගාවට පූජා කර ඇත. මියයන විට 47 වැනි වියේ පසු වූ ඇතාගේ ජීවිත කාලයෙන් වසර 38ක්ම සේවය කර ඇත්තේ දළදා සමිඳුන් උදෙසාය. වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේදී ගජනායක නිලමේ රැගෙන යාමේ කාර්ය ඉටු කළ ඒකදන්ත, දහවල් පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමට තරම් භාග්‍යවන්ත විය. 


මේ පිළිබඳව අප පළමුව විමසා සිටියේ ඒකදන්ත හස්තියා වසර විසි පහක් (25) වැනි දීර්ඝ කාලයක් බලාගත් ඇත්ගොව්වා වන අයිවන් සරත් පුෂ්පකුමාරගෙනි. 


මම, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතාගේ කාලයේ මහනුවර දළදා මාළිගාවට සම්බන්ධ වුණා. ඒ දවස්වල අලි ඇතුන් පිළිබඳ එතරම් දැනුමක් මට තිබුණේ නැහැ. අලි ඇතුන් බලන ඇත්ගොව්වන්ගේ ගෝලයෙකු ලෙස ආරම්භයේදී කටයුතු කළා. ඒ වන විට ඒකදන්ත මාළිගා ඇත්පන්තියේ කුඩා කාලය ගෙවමින් සිටියේ. වසර කිහිපයකදී ඇත්ගොව්වන් සමඟ වැඩ කිරීමෙන් අත්දැකීම්, දැනුම ලබා ගත්තා. එක දවසක් නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමා මට කතා කරල,... “අයිවන්... අද ඉඳල ඒකදන්ත සරත්ට භාරයි... හොඳින් බලාගන්න ඕනෑ” කියා භාර දුන්නා... ආරම්භයේදී මම “නිලමේ” යනුවෙන් මේ ඇතා නම් කළා. පසුව එක දළක් තියෙන නිසා, “හිස්කන්දාරාජා” “ඒකදන්ත” කීව. අවසානය දක්වා මම භාවිත කළේ නිලමේ යන නමයි. එදා සිට හස්තියා මියයන තෙක් වසර විසි පහක් (25) පමණ කාලයක් රැක බලා ගත්තේ මමයි. 


හිටපු දියවඩන නිලමේතුමා ඉවත් වුණාට පසු, පැමිණි නිලංග දෑල දියවඩන නිලමේතුමාගේ උපදෙස් මත තවදුරටත් එම හස්තියා මා භාරයේ සිටියා. එතුමා නිතරම පවසනවා “අයිවන් මෙම හස්තියා හොඳින් රැක බලා ගන්න. ඇතාට ආහාර ලබාදීම සඳහා වත්තකට ගියත්, පළමුව එම වත්තට ගොස් හෙණ්ඩුවෙන් බිම හදලා, ඩ්‍රැනේජ් වළවල් තියෙනවද? වැසිකිළි වළවල් තියෙනවද කියා විපරම් කරල බලන්න ඕනෑ. දෙවනුව හස්තියා රැගෙන යා යුතුයි.” යනුවෙන් උපදෙස් මාලාවක් ලබා දෙනවා. එම උපදෙස් පිළිපදිමින් තමයි ඒකදන්ත ඇතා රැක බලා ගත්තේ. මෙම ඇතාට පෙර මිල්ලංගොඩ මැතිතුමා, කිවුල්පේ රම්බණ්ඩා මැතිතුමා, හෙට්ටිමුල්ල, සියඹලාගොඩ වැනි මහත්වරුන් ළඟත් මම සේවය කර තියෙනවා. ඊට අමතරව ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමා සහ අලි ඇතුන් භාර මියෙනපළාව මහතාගේ උපදෙස් මත ඒකදන්තට අමතරව වෙනත් අලි ඇතුන් ද බලා තියෙනවා. ඒ නිසා මේ හස්තියා පිළිබඳ හොඳ අවබෝධයක් මට ලබා ගැනීමට හැකියාව ලැබුණා. 

 


ඒකදන්තගේ ඇති විශේෂත්වය වනුයේ අනෙකුත් අලි ඇතුන්ට වඩා මට සමීපයි. මට ගොඩාක් ළං වුණා. බොහෝ අලි ඇතුන් කොහේ හරි තනියෙන් දාලා යන්න බයයි. කවුරු හරි ඌ අසලින් සිටිය යුතුයි. එහෙත් ඒකදන්ත එහෙම නැහැ. තනියම දමා ගිය හැකියි. මා ආපසු එනතෙක් ඒ ආකාරයෙන්ම සිටිනවා. අපි ඉස්සර පයින් තමා ගමන් ගියේ. මහනුවර සිට මහියංගණය, කෝට්ටේ, රත්නපුරේ, දැරණියගල, ගංගාරාමය, දඹදෙණිය ආදී ඈත දුර ප්‍රදේශවලට දවස් ගණන් ඒකදන්ත සමග පයින් යනවා. මහනුවර සිට කොළඹට යාමට දවස් හතරක පමණ කාලයක් ගත වෙනවා. එහෙම යන අතරතුර මා හඳුනන යහළුවෙකු සමඟ යන ලෙස පැවසුවොත් යනවා. ඒ තරම් කීකරුයි. 


එක දළක් පමණක් තිබුණත් බොහොම ගරු ගාම්භීරව හිස උස්සා, සධාතුක කරඬුව වැඩම වනවා. සාමාන්‍ය ආකාරයෙන් පෙරහරේ ගමන් කරන්නේ තවත් ආකාරයකටයි. නට, නටා යන විදියක් තිබුණා.


දළයට මල් මාලාවක් දමා තිබුණොත් එම මල් මාලාව ගැලවී යන ආකාරයෙන් නටන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙම ඇතාගේ දැකගත හැකි තවත් ලක්ෂණයක් තමයි, පෙරහරේ දෑලේ ඇතුන් සමඟ ගමන් කළාට වෙනත් ඇතෙක් අලියෙක් ළඟ සිටුවා තබා ගැනීමට නොහැකි වීම. තනියම තමයි වාසය කළේ. එහෙත් ජයන්ත මල්ලි බලා ගන්නා සිංහරාජා ඇතා සමඟ එකමුතුභාවයක් දැක්වූවා. 


තවත් විශේෂ ලක්ෂණයක් තමයි. ජලය බැරල් එකකට හෝ වෙනත් භාජනයකට දමා දුන්නට බොන්නේ නැහැ. ළිං, ඇළ, දොළවලින් ජලය බොන්නේ නැහැ. ටැප් එකකින්ම ජලය ලබා දිය යුතුයි. හොfඬ් අල්ලා ජලය පානය කරනවා. ඒකදන්තයි, සිංහරාජායි අනෙකුත් අලි ඇතුන් සමඟ එකම ටැංකියට දමන්නේ නැහැ. ඒ දෙදෙනා පමණයි ටැංකියට බස්සවන්නේ.  


දැනට උපතින්ම ඒකදන්තයෝ තිදෙනෙක් පමණයි ලංකාවේ ඉන්නේ. කැලණියේ සිටින, වනයේ ජීවත් වන සහ මියගිය ඒකදන්ත ඒ තිදෙනයි. මේ ඒකදන්තගේ අනෙක් ඒකදන්තයන්ට නොමැති විශේෂිත ලක්ෂණයක් පිහිටා තියෙනවා. එනම් වම් පැත්තේ දළ පිහිටා තිබීමයි. අනෙක් දෙදෙනාගේ දළ පිහිටා තියෙන්නේ දකුණු පැත්තෙයි. ආරම්භයේදී, වම්පැත්තේ අඩි එකහමාරක පමණ දිගට දළ, පිහිටන විට, දකුණ පැත්තේ පිහිටියේ අඟල් තුනක පමණ දිගකිනි. එය ගැලවුණා. එහෙත් ඉතිරිව තියෙන කුඩා දළ අතට අහුවෙනවා. ගැලවෙන්නේ නැහැ. එයට හේතුව පුහු නිසයි. වම්පැත්තෙන් පිහිටා තිබීම නිසා ඇතා ලස්සනට පෙනෙනවා. 

 


අනෙක් කරුණ තමයි ඒකදන්ත සමඟ වැඩ කිරීමේදී විශ්වාසයක් තැබීමේ හැකියාව, සතෙකු වුණත් අපට ගොඩාක්දුරට උපකාර කර තියෙනවා. දළදා සධාතුක කරඬුව වැඩමවා ගන්න ඇතෙකු නොමැති වේලාවට මේ ඇතා සූදානම්. ඇසළ පෙරහරට පමණක් නොවෙයි, අවට දේවාල, පන්සල්වල පෙරහර සඳහා අලි ඇතුන් නොමැති වේලාවට ඒකදන්ත සූදානම්. මට මතකයි... එක අවස්ථාවක්. දළදා කරඬුව වැඩමවීමට රන්සිවිගේ ඇතෙකු බැඳ සිටියත් මද කිපීම නිසා බැරි වුණා. තවත් ඇතෙක් ගෙන ගියත් හරිගියේ නැහැ. ඒ වෙනකොට කතරගම දේවාලයේ කරඬුව රැගෙන යාමට ඒකදන්ත සූදානම් කරමින් සිටියේ. එහිදී දියවඩන නිලමේතුමා, ඇතුන් භාර නිලධාරී ප්‍රදීප් මියෙනපළාව මහතාට කතාකරල කියල තියෙනවා. අයිවන්ට කියන්න ඒකදන්ත රැගෙන මාළිගාවට එන්න කියා. ඒ අනුව කතරගම දේවාලයේ කරඬුව ඉවත් කරල මාළිගාවට පැමිණ, දළදා සධාතුක කරඬුව වැඩම කළා. ඒ ආකාරයෙන් අප අසරණ වූ අවස්ථාවල පිහිටවෙලා තියෙනවා.


සාමාන්‍යයෙන් අප සිතනවා දළ දෙකක් තියෙන ඇතුන්ට, කිතුල් පලා ගන්න, ආහාර ලබා ගැනීමේදී පහසුවක් වේවි කියා. එහෙත් දළ දෙකක් තියෙන ඇතුන්ට වඩා, එක දළක් පිහිටා තිබීම පහසුවක්. එය වාසනාවක්. තනි දළය භාවිත කර විශ්වාස ලෙස තම කාර්ය ඉටුකර ගැනීමට හැකියාව පවතිනවා. අනෙක් කරුණ තමයි මේ තනි දළය ශක්තිමත්. අනෙකුත් ඇතුන්ට වඩා ඕනෑම බරක් උස්සා ගත හැකියි. හස්තියා මියයන තෙක්ම සෑම වසරක්ම දළදා පෙරහරේ දවල් පෙරහර සධාතුක කරඬුව වැඩමවීම සඳහා වෙන්කර සිටියේ ඒකදන්තයි. වෙනත් ඇතෙකු ඒ සඳහා සම්බන්ධ කර ගත්තේ නැහැ. එපමණක් ද නොව රාත්‍රි පෙරහරේ ගජනායක නිලමේ පිටමත තබාගෙන යාමට වෙන්කර සිටියෙත් ඒකදන්තයි. 


ඇතාට ආහාර ලබාදීමට පෙර මා එය විකා බලනවා. කිතුල් වැනි ආහාර වුවත් අප පළමුව ආහාරයට ගෙන සුදුසුනම් පමණයි ඇතාට ලබා දෙන්නේ. එහි තිත්ත, පැණි, පිටි ගතියක් තිබේ නම් බඬේ අමාරුව හැදෙනවා. එවන් තත්ත්වයේ ආහාර ලබා දෙන්නේ නැහැ. 12 වැනිදා උදේ අටට පමණ ඇතාගේ වෙනසක් දැන ගැනීමට ලැබුණා. එක වෙලාවකට නැගිටිනවා. නැවත නිදිය ගන්නවා. අපි සිතුවේ බඬේ අමාරුවක් සෑදී ඇති බවයි. ප්‍රදීප් මහතා පැවසුවා.. බෙටි කෑල්ලක් හිරවෙලා ඇති කියා. මම ඇතාගේ ගුද මාර්ගයට අත දමා බැලුවා. එහිදී අහුවෙන්න දෙයක් තිබුණේ නැහැ. වෛද්‍ය දංගොල්ල මහතා පැවසුවා වේව්ලුම් ගතියක් තියෙනවා. නිරෝගී තත්ත්වයේ සිටින නිසා, සේලයින් දීමට අවශ්‍යතාවක් නැති වුණත්, සවස වර්ෂාව පවතින නිසා, මේ අවස්ථාවේ සේලයින් දීමට ඇතා නිදිකරවන්න කියා පැවසුවා. ඒ අනුව මම ඇතාට “අලිය හිද” (නිදියන්න) කීවා. ඌ නිදිය ගත්තා. වෛද්‍යතුමා සේලයින් කට්ට ඇතාට ගහන්න හදනකොටම නැගිට්ටා. නැවත නිදි කෙරෙව්වත්, සේලයින් කට්ට ගහන්න හදනකොට නැගිටිනවා. නැවතත් නිදිය ගන්න ලෙස කීවත් එසේ කළේ නැහැ. පාදයට සේලයින් ලබාදීමට සූදානමින් සිටියත්, ඒ වෙනකොට මද කිපීි සිටිය නිසා ළඟට යාමට නොහැකි වුණා. 


අලි භාෂාවෙන් ඒකදන්ත මොනවදෝ කතාකර මට පැවසුවා. එය තේරුම් ගන්න බැහැ. තවත් ටික වේලාවක් ගත වුණා. ඒත් එක්කම, ඇතාගේ පසුපස ප්‍රදේශය පණ නැති වේගන ගොස් එකවරම පාත් වුණා. වෙනදා නිදිය ගන්න ආකාරයට නිදිය ගන්න හදන කොටම, වේගයෙන් වැටුණා. ඒ සමඟම සේලයින් දෙන්න සූදානම් වුණා පමණයි. ඇතාගේ හුස්ම ගියා. අලි ඇතුන් පණ යන අවස්ථාවලදී වේදනාව වැඩි කමට අසළ ඉන්න අයට ගහන්න, දම්වැල් කඩාගන්න බලනවා. හොඬ කෙටි වෙනවා. කටේ තොල, දිව වේළෙනවා. බෙටි දමන තැන, කිහිලි ප්‍රදේශ ශීතල වෙනවා. ඇස්වල කළු ඉංගිරියාව නැතිවී සුදු ඉංගිරියාව වැඩිවෙන ලක්ෂණ දැකගත හැකියි. එහෙත් ඒකදන්ත මියගියේ කිසිවෙකුට කරදරයක් කරන්නේ නැතිවයි. 


දළදා මාළිගාවේ අලි ඇතුන් භාර නිලධාරි ප්‍රදීප් මියෙනපළාව : දළදා මාළිගාවේ ජයරාජා, ඉන්දිරාජා, කන්දා යන ඇතුන් සිටින කාලයේ විමලා කන්නන්ගර මැතිණිය විසින් 1978 වසරේදී කණ්ඩුල ඇතින්නිය සහ ඒකදන්ත ඇතා දළදා මාළිගාවට පරිත්‍යාග කළා. 1992 වසර වෙනවිට ඇතුන්ගේ සංඛ්‍යාව අට දක්වා ඉතා ඉක්මන් වර්ධනයට මේ ඇතායි, අලියයි හේතු වූ බව අලි හාම්පුතුන් අතර විශ්වාසයක් පවතිනවා. ඒකදන්ත මාළිගාවට පරිත්‍යාග කරන විට, අවුරුදු පහ හමාරක පමණ වයසක ඇත් පැටවෙක්.  මෑතදී දළ ඇතුන්ගෙ ඇති වූ අඩුපාඩු සමග, සාමාන්‍ය මිනිසුන් නොදන්නා නිහඬ සේවයක් උගෙන් සිදු වුණා. බොහෝ දෙනෙක් නැඳුන්ගමුව, ඉන්දිරාජා, වාසනා වැනි ඇතුන් ගැන දන්නවා. නමුත් කරඬුව වැඩමවීමේදී එම ඇතුන් සම්බන්ධයෙන් ගැටලු ඇති වූ අවස්ථාවල, දියවඩන නිලමේතුමා අපව දැනුම්වත් කරන්නේ, ඒකදන්තයා ගන්න කියායි. මේ ඇතා නිහතමානි, තැන්පත් ඇතෙක්. අසනීපයක් නැතිනම් ඇතා දිහා බලන්නේ නැතිව වුවත් පෙරහරට සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තිබුණා. පෙරහර සංවිධානය කරන අපට එය විශාල සහනයක් වුණා. දවස් දහයක් පෙරහර පැවැත්වීමේදී රාත්‍රියේ ගමන් කළ ඇතුන් දහවල් පෙරහර සඳහා සම්බන්ධ කර ගන්න අපහසුයි. වෙහෙසට පත්ව සිටින නිසා. එහිදී ඒකදන්ත දහවල් පෙරහරට ගන්න කියා දියවඩන නිලමේතුමා අපව දැනුම්වත් කරනවා. 


ඒකදන්තගේ නැතිවීමත් සමඟ අනාගතයේදී දහවල් පෙරහරට ඇතෙක් තෝරා ගැනීමේදී විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකදන්තට ගැළපෙන දෑලේ ඇතුන් දෙදෙනෙක් සිටියා සිංහරාජා සහ මියෙන් රාජා. සිංහරාජා සධාතුක කරඬුව වැඩමවද්දී දෑලේ ඇතුන් දෙදෙනෙකුගේ ප්‍රශ්නයක් ඉදිරියේදී ඇතිවේවි. දියවඩන නිලමේතුමා ඒ ප්‍රශ්නයට කොහොම මුහුණ දේවිද කියා හිතා ගන්න අමාරුයි. 1978 දළදා මාළිගාවට පූජා කිරීමත් සමඟ ඒකදන්ත පෙරහරට සම්බන්ධ වෙලා තියෙනවා. එකදු වසරක් වත් මගහැරෙන්නේ නැතිව සෑම වසරකම පෙරහරට සම්බන්ධ වෙලා තියෙනවා. එයට හේතුව මද කිපෙන කාලය ඇරඹෙන්නේ ජනවාරි, පෙබරවාරි කාලයේදී වීම නිසයි. ගාල්ල, මාතර, වව්නියාව, ත්‍රීකුණාමලය ආදී ඈත ප්‍රදේශවල පෙරහර සඳහා සහභාගි වී තියෙනවා. පෙබරවාරි මාසේ 21 බේරුවල පෙරහරකට ගියා. අවසාන වශයෙන් පල්ලේකැලේ පැවති පෙරහරකට සහභාගි වුණා. මා හොඳටම දන්නවා 2005 වසරේ සිට පසුගිය වසර දක්වා නොකඩවා දහවල් පෙරහරේ සධාතුක කරඬුව වැඩමෙව්වේ ඒකදන්ත ඇතා. 


පෙරහර නොමැති කාලයේ ඇත්ගොව්වාගේ නිවස අවට සිටියා. පසුව අලි ඇතුන් පිළිබඳ නොයෙකුත් නීතිමය ප්‍රශ්න පැමිණියාට පසු දළදා මාලිගා පරිශ්‍රයේ තබා ගත්තා. මියයන අවස්ථාවේ පල්ලේකැලේ දළදා මාළිගාවට අයත් අටුව පිහිටි වත්තේ ජීවත් වුණා. 


මේ ඇතා සම්බන්ධයෙන් විශේෂ දෙයක් කිව යුතුයි. එනම් දහවල් පෙරහර නියමිත වේලාවට පිටත්වෙලා නියමිත වේලාවට ගෙවදීමට සෑම උත්සාහයක්ම ගනු ලබනවා. ඒනිසා මේ ඇතාව හදිසි කරනවා. ප්‍රමාද නොවී අවසන් කිරීමට. ඇත්ගොව්වා ඒ සඳහා කොපමණ උත්සාහ කළත්, ඇතාගේ පාඩුවේ ගමන් කර, එහෙත් නියමිත වේලාවට ගෙවදිනවා. මා දන්නා කාලයකදී මේ ඇතාට කිසිදු ලෙඩක් තිබ්බේ නැහැ. පණු බෙහෙත් වේලාවට දෙනවා. මරණයට හේතුව බැක්ටීරියාවක් වර්ධනය වී, සිදුවූවක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි. වෛද්‍ය පරීක්ෂණය අවසානයේ තමයි නිවැරැදි හේතුව දැන ගැනීමට ලැබෙන්නේ. හත් දවසේ දානය කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජ මහා විහාරස්ථානයටත්, තුන්මාසේ දානය ඇත්ගොව්වාගේ නිවසෙහිදීත් ලබා දෙනවා. 


මේ සැරේ කතරගම, දෙවුන්දර, මාළිගාව පෙරහර එකම නැකතට යෙදෙනවා. නැඳුන්ගමුවේ, ඉන්දිරාජා, සිංහරාජා ඇතුන් තිදෙනයි දැනට ඉතිරිව සිටින්නේ. ඒකදන්ත මැද ලොකු සේවයක් සිදු කළා. ඒකදන්තගේ අඩුපාඩුව දියවඩන නිලමේතුමාට ලොකුවට දැනිල තියෙන්නේ. 


දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා : ඒකදන්ත හස්තියා ඉතාමත් කීකරු සතෙක්. ඊට අමතරව ජනවාරි මාසයේදී තමයි මෙම සතාගේ කම්මුල් තෙමෙන්නේ. පෙරහරට කිසිදු බාධාවක් ඇතිවෙන්නේ නැහැ. මොකද ජූලි අගෝස්තු මාස වෙනකොට නිරෝගීව සිටිනවා. මේ ඇතාගේ මරණය අපට දරාගත නොහැකි පාඩුවක්. එවැනි සුදුසුකම් ලබලා පෙරහර කරඬුව, දේවාභරණ වඩම්මන්න පුළුවන් පරිණත වයසේ හස්ති රාජයින් අද අඩුයි. අද ඇත්තු 18 දෙනෙක් වැනි ප්‍රමාණයක් ඉන්නේ. එයින් හස්තිරාජයන් නව දෙනෙක් දළදා මාලිගාව සතුව සිටිනවා. ඒ නව දෙනාගෙන් වාසනාවන්තම හස්තිරාජයා ඒකදන්ත. අපි එසේ සඳහන් කරන්නේ මේ ඇතා දළදා මාළිගාවේ ඇත් පන්තියට එක් වූ දා පටන් තමයි ඇත් පන්තියේ සංඛ්‍යාව නව දෙනෙක් දක්වා වැඩි වුණේ. ඒනිසා ඒකදන්ත නැතිවීම දරාගත නොහැකි පාඩුවක්.


හදිසියේ සිදු වූ රෝගයක් නිසා ඇතා මරණයට පත් වුණා. මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත්, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙත්, වනජීවී දෙපාර්තමේන්තුවෙත් දායකත්වය ඇතිව, වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා. එහි නිගමනය එනතෙක් අපි බලන් ඉන්නවා. මොකද පුෂ්ටිමත් හොඳ ශාරීරික සෞඛ්‍යයෙන් පෙළුණු සතා හදිසියේ ලේ වහනය වෙලා මැරුණ හේතුව, අලි හාම්පුතුන් හැටියට දැන ගැනීමට අපි කැමතියි. ඒ වගේම මේ ඇතා අනෙකුත් සිද්ධස්ථාන, දේවාලවල දෙවාභරණ වැඩමවනු ලැබුවා. ලංකාවේ පවත්වනු ලබන අනෙකුත් පෙරහරවලටත් ලොකු පාඩුවක්ව පවතිනවා. මොකද කරඬුවක් වඩම්මන පරිණත වයසේ කීකරු, හීලෑ සතෙකු අහිමි වීම දරාගත නොහැකි පාඩුවක් විදියට සඳහන් කළ යුතුයි. 


කුණ්ඩසාල නරේන්ද්‍රසිංහ රජමහා විහාරස්ථානයේ භාරකාර ධුරන්ධර රඹුක්වැල්ලේ සුදස්සී ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ ඒකදන්ත ඇතාගේ ආගමික වතාවත් ඉටුකරමින් පාංශුකූලයට සහභාගි වූහ. 


ස්තුතිය ඡායාරූප සහ විස්තර ලබාදෙමින් සහයෝගය දැක්වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයට.

ඡායාරූප හා සටහන :සිසිර කුමාර බණ්ඩාර