අල්පේච්ඡකම නිවනට මගය


සැවැත්නුවර සමීපයේ නියම් ගමකි. ඒ ගම යහපත් කුලපුත්‍රයෙක් සිටියේය. ඔහු බුදුන් වෙත ගියේය. දහම් ඇසීය. පැහැදිණි. පැවිදිවිය. ටික දිනක් ගතවිය. උපසම්පදාව ලැබීය. උන්වහන්සේ අල්පේච්ඡය. ලද දෙයින් සතුටු වූහ. විවේකව සිටීමට ප්‍රිය කළහ. එම නිසා නිගමතිස්ස නමින් පතළ විය.


උන්වහන්සේ දනට වැඩියේ ද සිය ගමටය. එකල අනේපිඬු සිටුවරු, පසේනදි, කොසොල් වැනි රජවරු මහා දන් පැවැත්වූහ. නිගමතිස්ස හිමියෝ එහි නොවැඩියහ. සිය ගමටම වැඩියහ.


අනෙක් භික්ෂූන් උන්වහන්සේගේ පිළිවෙත අනුමත නොකළහ. එය වැරැද්දක් සේ දුටුවෝය. අපි මෙය බුදුරජාණන් වහන්සේට කියමු යැයි කතාකර ගත්හ. බුදුන් වෙත ගියහ.


ස්වාමිනී! නිගමතිස්ස ස්ථවිර නෑයන් වෙතට පිඬුසිඟා වඩිති. වෙන කිසිම දනකට නොවඩිති. ඒ ගැන විමසුවොත් මැනවි.

උන්වහන්සේලා පැවැසූහ.


නිගමතිස්ස කැඳවාගෙන එන්න. බුදුහු පැවසූ සේක.


උන් වහන්සේලා ඒ හිමියන් කැඳවාගෙන ආහ.


මහණ සැබෑද මේ පවසන කාරණය?


ස්වාමීනි කුමක් ද?


ඔබ ඥාතීන් වෙත පමණක් දනට වඩිනවා කීම.


ස්වාමීනි! මම ඥාතීන් වෙත නොයමි. ඔවුන් සමග කිසි සබඳතාවක් ද නැත.


එසේ නම් පිඬුසිඟා ඒ ගමට පමණක් වඩින්නේ ඇයි? 


ස්වාමීනි! ඒ ගම දුප්පත්ය. වැසියෝ අහිංසකයෝය. එනිසා මම පිඬුසිඟා යමි. ඔවුහු මට ප්‍රමාණවත් ලෙස පිඬු පුදති. ඒවා කටුක වූවත් ප්‍රණීත වූවත් මට යැපීමට ප්‍රමාණවත්ය. එබැවින් නැවත ආහාර සෙවීමට අනවශ්‍යය. එම නිසා මහා දාන කරා නොයමි.


බුදුන්වහන්සේ එය අසා සතුටට පත් වූ සේක. මහණ ඉතා මැනවි. මහණ, ඉතා මැනවි යැයි පැවැසූ සේක. සාධුකාරයක් ද දුන්හ.

මහණ මා වැනි ආචාර්යවරයකු ලැබූ ඔබගේ ක්‍රියාව පුදුමයක් ද නොවේ. ඔය අල්පේච්ඡ බව මගේ බුද්ධ වචනයයි. මගේ ප්‍රවේණියයි පැවැසූ සේක. ඒ සමග අතීත කතාවක් ද පැවැසූහ.


පෙර හිම වනයයි. එහි ගංගා මිටියාවතකි. එහි දිඹුල් වනයක් තිබිණි. දහස් ගණන් ගිරව් වාසය කළහ. ඔවුන් අතර එක් ගිරා රජෙක් සිටියේය. ඌ තමන් වසන ගහෙන් පිටතට නොගියේය. එහිම ගෙඩි කෑවේය. ගඟෙන් දිය බීවේය. ආපසු ඒ ගහටම ආවේය. ගහේ ගෙඩි ඉවර වූ විට කොළ හෝ පොතු කෑවේය. දිය බීවේය. ගහේම සිටියේය. අල්පේච්ඡව ප්‍රීතියෙන් කල් ගෙව්වේය.


ශක්‍ර දෙවියෝ මේ ගිරවාගේ ක්‍රියාව දුටුහ. ඌ පිරික්සා බලන්න සිතූහ. දිඹුල් ගස වියළවා දැමූහ. කණුවක් බවට පත් කළහ. තැනින් තැන සිදුරු ඇති කළහ. සුළඟ හමන විට ගසට තට්ටු කරන්නා වැනි ශබ්දයක් ඇති කළහ. සිදුරු කළ තැන්වලින් ගහේ කුඩු වැගිරෙන්න සැලැස්වූහ.


ගිරවා ඒ කුඩු කෑවේය. ගඟෙන් දිය බීවේය. වෙන ගසකට නොගියේය. අව්වැසි නොතැකුවේය. ඒ කණුව උඩම සිටියේය.


ශක්‍ර දෙවියෝ පුදුම වූහ. යළි දිඹුල් ගස තිබුණු තත්ත්වයට පත් කළහ. එහි පල අමාපල මෙන් රසවත් කළහ.


මහණෙනි. එදා අල්පේච්ඡව ජීවිතය ගෙවූ ගිරවා මමය. මගේ පුත්‍ර නිගමතිස්ස මා වැනිය. එබැවින් අල්පේච්ඡ වීම පුදුමයක් නොවේ.

මෙබඳු භික්ෂූන් සමථ විපස්සනා භාවනා ධර්මයන්හීත් මාර්ග ඵලවලත් පිරිහීමට පත් නොවන්නේය. අනිත් අතට මාගේ පුත්‍ර නිගමතිස්ස නිවන ළඟමය. බුදුහු වදාළහ. ධර්ම දේශනාවක් කළසේක. නිගමතිස්ස හිමි රහත් ඵලය ලබාගත්හ.


(ධම්ම පදට්ඨ කථා ඇසුරිනි)


හලලියේ කරුණාතිලක