අභියෝග හමුවේ පීඩනයට ලක්වෙන අපේ වැඩිහිටියා


වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය විවෘත වූ මොහොත

 

දිනය 2017 ජූනි මස 16 වැනි සිකුරාදා පෙරවරු 10.00 ට පමණ මා මාගේ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වී සිටියෙමි. එකෙනෙහිම නිල්පාට බස් රථයක් ආයතනයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් විය.   


‘සර්.... තෑග්ගක්... මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රකාශ කළේය. ‘ඔව්.... තෑග්ගක් තමයි. මොකද කරන්නේ... මේ ගේන අය දාන්නේ කොහේට ද මන්දා....? උසාවි නියෝග කඩ කරන්නත් බෑ..... නේවාසිකාගාර හතරම පිරිලා.. බල්ලෝ...බළල්ලු වගේ එළියේ දාන්න ද.. අනේ මන්දා..... ඔයා ගිහින් බලන්න..... මම මගේ පාලකවරයාට උපදෙස් දුනිමි. 


විනාඩියකින් පසු පාලකවරයා හනි හනිකට දිව එන්නට විය. ‘සර්.... එක්කෙනෙක් නෙවෙයි.... තුන්දෙනෙක්.... මොනවා තුන්දෙනෙක්...? ගෑහැනු ද...? පිරිමි ද....? සර් ගැහැනු අය... වාට්ටුවල ඉඩ තියනවාද ? සර් විශාඛා එකේ දෙන්නෙක් රෝහලේ...ඒ ඇඳන් දෙකනම් තියෙනවා.. 


හ්ම්.... කමක් නෑ භාර ගන්න.... අර එයාෆෝස් එකට කියලා රෙපයාර් කරපු ඇදන් වලින් එකක් විශාකා එකට ගෙනත් ඇඳවල් ළං කරලා දාන්න වෙන මොනවා කරන්නද...?’ 


පාලකවරයාට වගකීම භාරදුන් මා නැවතත් රැස්වීමේ කටයුතු ආරම්භ කළෙමි. විනාඩි 20කින් විතර නැවතත් වාහනයක හඬ ඇසෙන්නට විය. එවර ගේට්ටුවෙන් ඇතුල් වූයේ L-300 වර්ගයේ වෑන් රථයකි. 
‘සර්..... ආයෙත් එකක් ඇවිත්.... 


‘මොනවා.... 


‘අපි කණ්ඩායම වික්ෂිප්තභාවයට පත්වීමු. මා කියන්නටත් පෙර සමාජ සේවා නිලධාරීතුමිය නැගිට ගොස් බලා පැමිණ සිද්ධිය වාර්තා කළාය. සර්..... පිරිමි අට දෙනෙක් උසාවියෙන් එවලා තියෙන්නේ අර පන්සල ළඟ ඉන්න කට්ටිය අල්ලලා එකතු කරලා එවලා...... මොකද කරන්නේ ගජබා වාට්ටුව සම්පූර්ණයෙන්ම පිරිලා..... ඇඳගත ඒකකයේ 18ක් ඉන්නවා. 


හ්ම්... කරන්න දෙයක් නෑ. මේ අය කොහේ හිටියත් වැඩිහිටියොනේ.... එළියෙ තියන්න බැහැ. මා මගේ අධ්‍යක්ෂවරිය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමි. මහේස්ත්‍රාත්තුමාට සත්‍ය තත්ත්වය පැහැදිලි කරලා මේ අයව ආපසු යවමු....’ මට උපදෙස් ලැබිණි. 


මේ රේඩියෝ නාළිකා තිහ හතළිහකින් හැමදාම පාන්දරට පිරිත් අහන සමාජයක් ඉන්න ශ්‍රී ලංකාවේ මා සේවය කළ රජයේ වැඩිහිටි නිවාසයේදී මා ලද එක් අත්දැකීමක් පමණි. 


මේ..... අපට ජීවත් වෙන්නට කියාදුන්... ඒ සඳහා අවශ්‍ය පරිසරය තමන්ගේ ලේ, දහදිය, කදුළු මතින් නිර්මාණය කර දුන් අධ්‍යතන වැඩිහිටියන්ට අත්වෙලා තිබෙන ඉරණමක එක්තරා පැතිකඩක් පමණක් නේද...? 
මෙම ලිපිය කියවන ඔබට වැටහේවි ඉහත සාකච්ඡාවට පාදක වී තිබෙන්නේ යාචක වෘත්තියේ නිරත වූ කණ්ඩායමක් පිළිබඳව බව... හැබැයි ඔවුන් වැඩිහිටියෝ... රටේ යාචක ප්‍රශ්නය විසඳන්න අපි හම්බන්තොට රිදීයගම ප්‍රදේශයේ යාචක පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. යාචකයන් නොවන රැකවරණය අහිමි වෙන වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා වැඩිහිටි නිවාස ස්ථාපිත කරලා තියෙනවා. (ජනවහරට අනුව නම් මඩම්) අපේ රට තුළ රජය මඟින් පාලනය වන වැඩිහිටි නිවාස 4ක් 5ක් තියෙන කොට පුණ්‍ය හෝ වානිජ්‍ය පරමාර්ථයෙන් පෞද්ගලික ව්‍යවසාය මගින් ක්‍රියාත්මක වැඩිහිටි නිවාස තැන තැන ස්ථාපිත වෙලත් තියෙනවා. වැඩිහිටියන්ගේ රැකවරණය නම් සමාජ ප්‍රශ්නයට තියෙන හොදම පිළිතුර මේකද.....? 


පෙර සඳහන් කළ මාගේ අත්දැකීම ගැන ආපස්සට හැරිලා බලන කොට ක්‍රමවේදයේ ගැටලුතියෙනවා. යාචක වෘත්තියේ යෙදුන අය නම් යැවිය යුත්තේ රිදීයගම යාචක පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත වුවද මෙම කණ්ඩායම අල්ලාගෙන උසාවියට ඉදිරිපත් කළ කුමන හෝ නිලධාරියෙක් ඒ ගැන අවධානය යොමු නොකළා පමණක් නොව මේ ස්ථානයේ ඔවුන්ව රඳවන්න ඉඩ පහසුකම් තියෙනවාද කියලා සොයා බලා මහේස්ත්‍රාත්තුමාව දැනුවත් කළ යුතුව තිබුණා. නමුත් ඒ දෙය එහෙම වෙලා නැහැ. 


නූතන වැඩිහිටියන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුනගේ රැකවරණය ප්‍රබල අභියෝගයට ලක්ව තිබෙන බව රහසක් නොවේ. සාම්ප්‍රදායික විස්තෘත පවුල නවීකරණය වී න්‍යෂ්ටික පවුල සමාජයේ ස්ථාපිත වීම තුළ එම පවුල් ඒකකයේ ජීවත්වන වැඩිහිටියා රැකබලා ගැනීමට, ඔහුට සත්කාර කිරීමට, අඩුම තරමින් ඔවුන් සමඟ කථා බහ කිරීමට තරම් පුංචි කාලයක් හෝ මිඩංගු කිරීමට තරම් එම පවුලේ සාමාජික/සාමාජිකාවන්ට වේලාවක් නැති තරම්. උදෑසනින්ම පවුලේ වැඩිහිටියන් රැකියා සඳහා පිටත්ව යන විට ඔවුනගේ දරුවන් ද පාසල් කරා පිටව යාම සාමාන්‍ය දෙයකි. මේ හේතුවෙන් පවුල තුළ ජීවත්වන වැඩිහිටියා හුදෙකලාභාවයට පත්වීම වැළැක්විය නොහැක. සමහර විට එම වැඩිහිටියාගේ කලත්‍රයා ජීවතුන් අතර නොමැතිනම් ඔහුට හෝ ඇයට දැනෙන හුදකලාභාවය කෙතරම්ද යත් සිතාගත හැක්කේ එසේ හුදකලා ජීවිතයක් ගත කරන වැඩිහිටියන්ටම පමණි. 
මෙම පසුබිම තුළ තමන් ජීවත්වන නිවසෙහි කුමන සැපසම්පත් තිබුණ ද ජීවිතයේ සැඳෑ කාලය අතෘප්තියෙන් යුතුව ගත කර මිය යන වයෝවෘද්ධයන්ට ඔවුනගේ ජීවිතයේ අවසන් කාලය තෘප්තිමත්ව හා සතුටින් ගත කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කළ හැකි නම් එය ඔවුනට මහඟු අස්වැසිල්ලක් වනු ඇත. 


වැඩිහිටි දිවා මධ්‍යස්ථාන සංකල්පය මේ සඳහා එක්තරා අන්දමක සාධනීය විකල්පයකි. දිවා කාලයේ හුදෙකලාව තම නිවසට වී තනිව කාලය ගත කරන වැඩිහිටියා තමා ජීවත් වෙන ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක, ප්‍රජා ශාලාවක හෝ පොදු ස්ථානයක ස්ථාපිත දිවා මධ්‍යස්ථානයක කාලය ගත කර සවස් කාලයේදී තම දූ දරුවන් නිවසට පැමිණෙන විට නැවත සුපුරුදු නිවහනකට පැමිණේ. මෙම දිවා මධ්‍යස්ථාන වලට එකතු වෙන්නේ වියපත්භාවයට පත්වූ වැඩිහිටියන් බැවින් එම සම වයස් කණ්ඩායම් එකතු වී ආගමික වැඩසටහනකට, රසාස්වාදන වැඩසටහනකට, ආර්ථික උත්පාදන වැඩසටහනකට ආදී මොනයම් හෝ සමාජමය වශයෙන් ඵලදායි වැඩසටහනකට යොමු වීමට ඔවුනට අවස්ථාව ලැබේ. විශේෂයෙන් මොවුන් සම වයස් කණ්ඩායම් බැවින් ඔවුනගේ ළමා කාලය, තරුණ කාලය පිළිබඳ ආවර්ජනය කරමින් කථා බහ කරමින් එම කාලය රස විඳිය හැක. දාම්, කැරම් ආදී ගෘහස්ත ක්‍රීඩාවක නිරත විය හැක. මේ තුළ ඔවුනගේ දෛනික ජීවිතය ඵලදායි වන අතර නිවස තුළ අත්විඳි හුදෙකලාභාවය ජීවිතයෙන් පලායනු ඇත. ඒ වගේම සවස් යාමයේදී තමන් නිවසට පැමිණෙන තෙක් නිවසේ තනිව රඳවා තබා යන තමන්ගේ මව හෝ පියා සම්බන්ධයෙන් වූ මානසික තිගැස්ම අවම කර ගැනීමට ඔවුනගේ දුවා දරුවන්ට ද මේ තුළ අවස්ථාව ලැබෙනු ඇත.  


බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පාලනය වෙන මීරිගම සෙත්සෙවන රජයේ වැඩිහිටි නිවාසයට යාබදව මීරිගම වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය බිහි වන්නේ මෙම වැඩිහිටි දිවා මධ්‍යස්ථාන සංකල්පයට තවත් එක් පියවරක් එක් කිරීමෙනි. ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා ස්ථාපිත කර තිබෙන මෙම වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය තුළ වැඩිහිටියන් සම්බන්ධයෙන් ප්‍රතිකාරාත්මක හා නිවාරණාත්මක ව්‍යාපෘතීන් රාශියක් ස්ථාපිත කර තිබෙන අතර, තවත් ව්‍යාපෘතීන් කිහිපයක්ම සැලසුම් මට්ටමේ පවතී. 


වසර 2020 පමණ වෙන විට පූර්ණ වශයෙන් වැඩිහිටියන් සඳහා වූ සම්පත් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින් මේ වෙන විට ස්ථාපිත කර තිබෙන මෙම ආදර්ශ වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය රාජ්‍ය අංශය හා ප්‍රජාව එකතු කළ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. මෙය ක්‍රියාත්මක වනුයේ බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා මීරිගම ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය ඒකාබද්ධවය. දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් හා වැඩිහිටි බල මණ්ඩලයේ නිලධාරීන් එක්ව මේ තුළ විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි. 


වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය තුළ ස්ථාපිත දිවා මධ්‍යස්ථානය සාමාන්‍ය දිවා මධ්‍යස්ථාන සංකල්පයෙන් ඔබ්බට ගිය දිවා මධ්‍යස්ථානයකි. ඒ තුළ දෛනිකව ප්‍රදේශයේ ඕනෑම වැඩිහිටියකුට පැමිණ දවස ගත කර යා හැකි අතර, විශේෂයෙන් ග්‍රාමීය වැඩිහිටි කමිටු සාමාජික/සාමාජිකාවන්ට කණ්ඩායම් ලෙස පැමිණ අත්දැකීම් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කළ හැක. 


මෙම වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය තුළට රැස්වන වැඩිහිටියන්ට හා ප්‍රදේශයේ ජනතාවට අාහාර පාන ලබා ගැනීම සඳහා හෙළ බොජුන්’ අවන්හලක්, බටහිර වෛද්‍ය සායනයක්, ඇවිදීමේ මං තීරුවක් සහිත විවේකී උද්‍යානයක්, කුඩා පරිමාණයේ තැපැල් කාර්යාලයක්, වානිජ්‍යමය වෙළෙඳ ඒකකයක්, ව්‍යායාම ඒකකයක්, තොරතුරු තාක්ෂණික ඒකකයක්, රංග ශාලාවක් ආදී සේවාවන් ඉදිරියේදී ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, නිවාරණාත්මක ක්‍රියාවලිය ඔස්සේ මේ වෙන විට ප්‍රදේශයේ තරුණ ප්‍රජාව සඳහා වැඩිහිටි රැකවරණය පිළිබඳ දැනුම ලබා දීම සඳහා ජාතික වෘත්තීය නිපුණතා සහතිකය (NVQ) පිරි නැමෙන වැඩිහිටි රැකවරණය පිළිබඳ හෙද පාඨමාලාවක් පවත්වාගෙන යනු ලැබේ. එසේම බස්නාහිර පළාතේ පාසල් දරුවන් අතර වැඩිහිටියා සුරකිමු, රැකගනිමු, ඔවුනට අභිමානවත් ලෙස ජීවත් වීමට අවැසි පරිසරයක් නිර්මාණය කරමු යන තේමාව පදනම් කරගත් රජත අභිමන් නමින් චිත්‍ර තරඟාවලියේ මේ වන විට මෙම වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය මගින් දියත් කර ඇති අතර, “වැඩිහිටිවිය හා අනාගත අභියෝග’’ සම්බන්ධයෙන් සමාජමය කතිකාවතක් ගොඩනැංවීම සඳහා සෙත්සර නමින් ත්‍රෛයිමාසික සඟරාවක් පවත්වාගෙන යමින්, වැඩිහිටි රැකවරණය පිළිබඳ තේමා කරගත් ‘සඳකිරණ’’ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කර එය ප්‍රජාව තුළ ප්‍රදර්ශනය කරමින් සිටින අතර, විශේෂයෙන් පාසල් දරුවන් අතර මෙය ප්‍රදර්ශනය කර ඔවුන් තුළ වැඩිහිටියන්ගේ රැකවරණය සම්බන්ධයෙන්, ආකල්පමය වෙනසක් ඇති කිරීමේ ව්‍යායාමයක නිරතව සිටී. වැඩිහිටි වියේ අභියෝග සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කරන අන්තර් පාසල් විවාද තරඟාවලියක් පැවැත්වීම, ප්‍රජාව වෙතට ගොස් විශ්‍රාම පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වැනි විවිධ වූ නිවාරණාත්මක වැඩසටහන් ඉදිරියේදී මෙම වැඩිහිටි සම්පත් මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 


මෙම සෑම වැඩසටහනකින්ම බලාපොරොත්තු වෙන්නේ නිවසට වී හුදෙකලාව, අතෘප්තිමත් ලෙස තමන්ගේ ජීවිතයේ සැඳෑ කාලය ගත කරන වැඩිහිටියන්ට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමය. වර්තමානය වන විට පවා ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ පවුල් තුළ රැකවරණය ප්‍රශ්නකාරි මට්ටමකට පත්ව තිබේ. මෙම පසුබිම තුළ දිනෙන් දින වැඩිවන වැඩිහිටි ජනගහනය හා ඒ ආශ්‍රිතව ගොඩනැගෙන අභියෝග හමුවේ අනාගතයේදී ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ රැකවරණ ක්‍රියාවලිය තව තවත් අභියෝගාත්මක කරුණක් වනු ඇත. අනාගත අභියෝග වෙනුවෙන් වර්තමානයේ සැලසුම් නොකරන්නේ නම් අභියෝග පැමිණි විට එයට විසඳුම් ලබා දීමට අවශ්‍ය වෙන පරිසරයක් සොයා ගත නොහැකි වනු ඇත. 


වැඩිහිටියන් සම්බන්ධයෙන් වූ අනාගත අභියෝග ජය ගැනීමට නම් මහා මාර්ගවලට යොමු වන වාහන සංඛ්‍යාව වැඩිවන විට මහා මාර්ග පුළුල් කිරීම වැනි විසඳුම් ලබා දීම්වලින් ඔබ්බට ගොස් පූර්ව සැලසුම්වලට යා යුතුව ඇත. සොදුරු දේශයක පෙර ගමන්කරුවන් ලෙස ශ්‍රී ලංකාවේ අනාගත වැඩිහිටියන්ට කටයුතු කළ හැකි වන්නේ ඔවුන් සම්බන්ධයෙන් වූ මෙවැනි අනාගතය පදනම් කරගත් සැලසුම් සහගත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් බව අවබෝධ කරගත යුතුය. නොඑසේනම් නිවසින් පිටව යන, නිවසින් පලවා හරින, මහ මඟ දමා යන වැඩිහිටියන් වෙනුවෙන් ස්ථාපිත කරන වැඩිහිටි නිවාස සෑම ගමක් , නගරයක් පාසාම ඉදි කිරීමට අපට සිදුවනු ඇත. 

 

 

 

ඒ.ආර්. ප්‍රසංගනාත්
හිටපු අධිකාරී (වැ.බ) - සෙත්සෙවන රජයේ වැඩිහිටි නිවාසය, 
තවලම්පිටිය, මීරිගම.