අභිනව සත්වයෝ ලොව නූපදිති


බුදු දහමට අනුව සියළුම සත්ත්වයන් මෙලොව උපදින යෝනි 04කි. අණ්ඩජ (බිත්තර තුළ) ජලාබුජ (මව් කුස ගර්භාෂයක) සංසේදජ (කුණු වූ, පල්වූ, නරක් වූ, මස් මාංශ, කෑම වර්ග තුළ, පලාකොළ වර්ග, කැලි කසළ යනාදී නොයෙකුත් අප ද්‍රව්‍ය තුළ) ඕපපාතික (සම්පූර්ණව අඟපසඟ ඇතිව ඉබේ පහළ වන) වශයෙනි. කුරුල්ලන්, සර්පයින්, මත්ස්‍යයින් බොහෝ විට උපදිනුයේ අණ්ඩජ යෝනියේ වේ. වැඩි වශයෙන් සංසේදජ යෝනියේ උපදිනුයේ තිරිසන් සතුන් වේ. කලාතුරකින් මෙම යෝනියේ උපන් මිනිසුන් ගැන බුද්ධ කාලීන සමාජයේ තොරතුරු වාර්තා වී ඇත. අම්බපාලි නම් ගණිකාව උපන්නේ අඹ ගසෙක වේ. චිංචි මානවිකාව සියඹලා ගසක උපත ලබා ඇත. පියුම් ගැබෙක අසංකා දේවිය ඉපදී ඇත. බොහෝ මිනිසුන් උපදින්නේද ඇතැම් තිරිසන් සතුන් උපදින්නේ ද ජලාබුජ යෝනියේ වේ. ඕපපාතික සත්ත්වයෝ නම් සම්පූර්ණ වු අඟ පසඟ ඇතිව ඉබේ පහළ වෙති. නිරිසත්වයෝ බෙහෝ දෙවිවරු සහ ප්‍රේත කොට්ඨාස කිහිපයක එසේ උපත ලබති. යෝනි හතරෙහිම උපදින සත්ත්වයෝද ඇත.  


මේ අතරින් මිනිසා උපත ලබනුයේ මව් කුස පිහිටි දරු ගැබෙක වේ. දස මසක් හෝ දස එකඩ මසක් කුස දරා ඒ සිඟිත්තා මෙලොව බිහිකළ සැනින් දෙමාපියෝ හෝ වැඩිහිටියෝ නැකත් ඇදුරන් ලවා කේන්දර කොපියක් ද සාදවා උපන් පුතුට හෝ දුවට ගැලපෙන ලස්සන නමක් යොදා උපත ලියාපදිංචි කරයි. එහෙත් මේ ඉපිද සිටින දුව හෝ පුතා බුදු දහමට අනුව අභිනව සත්ත්වයෙක් නොවේ. සසර ගමනේ මනුෂ්‍ය තිරශ්චීන ප්‍රේත දිව්‍ය යන කුමන හෝ භවයක ඉහත ආත්මවල ඉපිද සිට පෙර පින් බලය ඉස්මතුවීමෙන් මෙලෙස මනුසත්භාවය හිමි කරගෙන සිටි. ලොව දුර්ලභ කාරණා පහ අතුරින් මිනිසෙකු ලෙස ඉපදීම එක් කරුණක් වශයෙන් බුදු දහම විග්‍රහ කරනුයේ ඉතා දීර්ඝ වු සංසාර සාගරයෙන් එතෙර වීමට ඇති නිවන් පසක් කර ගැනීමට ඇති අනගිතම මාවත එය බැවිනි. සසර සැරිසරන පුද්ගලයාගේ කර්මජ කෝෂය තුළ ඔහු කළ පින් පව් ​ෙහාඳ නරක රැඳී පවතී. ඒ අනුව ​ෙහාඳ අය කුසල් රැස් කරන අය නිවන් අවබෝධ වනතුරු මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදී යහපත් භාවයකත් නරක කරන අය අකුසල් රැස් කරන අය සතර අපායේත් යළි යළි උපදී. සංසාරය සාගරයක් වන්නේ චක්‍රයක් වන්නේ නිමා කළ නොහැකි මේ භව ගමන නිසාවේ.   


බුදුන් වහන්සේ මේ සනාථන සත්‍ය පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය පෙරදැරි කරගෙන ලොවට හෙළි කරන ලදී. ආත්ම සංකල්පය තදින් විශ්වාස කරන වෙනත් ඇතැම් ආගම්වල දරු උපත සළකනු ලබන්නේ මෙලොවට දායාද කළ අභිනව සත්ත්වයකු වශයෙනි. දෙවියන් වහන්සේගේ මැවීමක් වශයෙනි. දිව්‍ය ලෝකයේ සිට පැමිණි දේව දූතයෙක් වශයෙනි. ආයුෂය ගෙවීමෙන් හෝ කර්මය ගෙවීමෙන් හෝ ඒ දෙකම නිසා හෝ මිනිසා මියගිය විට ඔහු ස්වර්ගස්ථ වූවායැයි සලකනුයේ ඒ නිසාවේ. මේ ආත්ම සංකල්පය බුදු දහමෙහි විග්‍රහවන්නේ ශාස්වත දෘෂ්ටිය වශයෙනි. මෙවැනි සිතුවිලි අනුයෝගයක්ෂම නොවේ. නැතහොත් තර්කයේදී පිළිතුරු දිය හැකි කරුණු නොවේ. බ්‍රහ්ම ආගමට අනුව මහා බ්‍රහ්මයා විසින් ලොව මැව්වා නම් මහා බ්‍රහ්මයා මැවීමට පූර්ව බ්‍රහ්මයෙකු සිටිය යුතුය. එම බ්‍රහ්මයා මැවීමටද ඉන් පෙරාතුව තවත් බ්‍රහ්මයෙකු සිටිය යුතුය. අනෙක් අතට මහා බ්‍රහ්මයා විසින් මිනිසා මැව්වේ නම් සියළුම මිනිසුන් එකම රූප සම්පත්තියකින් හා එකම විදියට සිතන පතන එකම විදියට කටයුතු කරන අය විය යුතුය.  


ඇතැම් විට මිනිසෙකු ලෙසින් උපත ලබන දරුවා පෙර අත් බවයෙහි දෙවියකු ලෙස ඉපිද සිටින්නට ඇත. ඒ වූ පමණින් ඔහු දේව දුතයෙකු නොවේ. දේව ආත්මයක්ද නොවේ. නමුත් මිනිසුන් එසේ නොවේ. මිනිසෙකුට දාව එකම මවු කුසින් උපදින නිවුන් දරුවන් දෙදෙනකු පවා වැඩෙන කල්හි ඔවුන්ගේ අදහස් උදහස් සිතන පතන විදිය එකිනෙකාට වෙනස්වේ. අසමාන වේ. පැවැත්ම විවිධ වේ.   
සත්ත්වයන්ගේ මූලාරම්භය සොයන්නට මුගලන් මහ රහතන් වහන්සේ දැරූ උත්සාහයේදී සත්ත්ව විෂය අචින්ත්‍ය බැවින් ලෝක විෂය අචින්ත්‍ය බැවින් එය සොයා යෑම නිරර්ථක උත්සහයක් බැව් බුදුන් වහන්සේ උන්වහන්සේට කරුණු පැහැදිලි කර දුන්හ. අද උපදින සෑම දරුවකුටම පෙරකී පරිදි අග් මුල් නොපෙනෙන යහපත් දෝ අයහපත් සංසාර පැවැත්මක් තිබී ඇත. ඒ පැවැත්ම තීරණය වී තිබෙනුයේ ඔහු විසින් කරන ලදුව කර්මජ කෝෂයේ රැඳී පැවති හොඳ හෝ නරක කුසල් හෝ අකුසල් අනුව වේ. පෙර පින් බලය බොහෝවකොට ඇති ඇතැම් දරුවන් දුප්පත් පවුලක උපත ලැබුව ද පසු කලෙක මහා ධනවතුන් වේ. මේ අත් භවයෙහි නිර්මල බුදු දහම ගැඹුරින් හැදෑරුවේ නැති වුවද එක බණ පදයක් ඇසූ පමණින් බුදු දහම තේරුම් ගෙන නිවන් මගට පැමිණි උතුමන් ඇත. පෙර භවයන්හි බුද්ධිය පෝෂණය කළ ඇතැම් දරුවන් මහා බුද්ධිමතුන් වේ. විශේෂඥයන් වේ. ලොව සුපතල මැක්සිම් ගෝර්කි, ලියෝ ටෝල්ස්ටෝයි, හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උපධිධාරීන් ​ෙනාවේ. වෛද්‍ය අධ්‍යාපනයට බෙහෙවින් ඉවහල් කර ගත හැකි සත්ත්ව සන්තතිය ග්‍රන්ථය නිර්මාණය කළ මාටින් වික්‍රමසිංහ මැතිතුමා වෛද්‍ය උපාධිය ලත් අයෙකු නොවේ. යන්තම් අට සමත් වූවා පමණි. ගණිතය විෂයක් වශයෙන් හදාරා නොමැති කුඩා දරුවකු ඕනෑම ගණිත ගැටළුවක් විසඳන ප්‍රවෘත්තිය පසුගිය දිනෙක පුවත්පත් මගින් හා විද්‍යුත් මාධ්‍යයෙන් ඔබට අපට අසන්නට දැනගන්නට ලැබුණි. මෙවැනි හාස්කම් කරනුයේ පෙර භවයන්හි උපයා සපයා ගත් දැනුම උපයෝගී කර ගෙනවේ.   


පුනරුප්පත්තිය බුදු දහමෙහි විශ්වාස කරන අතර බුදුන් වහන්සේ විසි අසංඛ කල්ප ලක්ෂයක් බුද්ධ කාරක ධර්ම සපුරා සාරාසංඛ කල්ප ලක්ෂයක් බුද්ධත්වය පතා පාරමී ධර්ම සපුරාලු සේක. බුදුවරයකුගේ සසර ගමන එබඳු නම් පුහුදුන් අප කල්ප ​ෙකා්ටි ගණන් විවිධ භවයන්හි ඉපිද සසර සැරි සරන්නට ඇත. එසේ ගත වූ අසීමිත කාල වකවානුව දුකින් පිරුණු එකක් බැව් සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛේ දුක්ඛ වශයෙන් මහා දුකක්ම බැව් බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී චතුරාර්්‍ය සත්‍ය ලොවට හෙළි කරමින් වදාළ සේක. එහි අන්තර්ගතය පළමුවෙනි සත්‍ය තුළ දුක් ගොඩවල් 07ක් සංක්ෂිප්ත වශයෙන් දක්වා අැත. ඉපදීම දුකකි, ජරාවට යාම දුකකි. ලෙඩවීම දුකකි. මරණය දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. අප්‍රියයන් හා එක්වීම දුකකි. අපේක්ෂා කරන යමක් නොලැබේද එයද දුකකි සැකවින් ගත්කළ පංච උපාදාන ස්කන්ධයම දුකක් යනුවෙන් පෙන්වා දුන්හ.   


ලෝකෝත්තර තත්ත්වයට පත් නොවී වුවද ලෞකික ජීවිතයේදී පුහුදුන් අප වයස්ගතවෙන විට නුවණ මුහුකුරා යන විට විවිධ විෂම අත්දැකීම් ලබන විට මේ දුක් කන්දරාව හොඳින් වැටහේ. අප විසින් වරින් වර සැප යැයි අල්ලාගත් දේ තුළ කෙලවර ඇත්තේ දුකකි. අඹු දරුවන් ගේදොර ඉඩකඩම්, රන් රිදී මුතු මැණික් මිල මුදල් ආශාවෙන් රැස් කළද ඒවායේ අවසන් ප්‍රතිඵලය දුකක්ම බැව් වැටහෙනු ඇත. ජීවත්වීමට කුසල් රැස් කිරීමට ජීවිත පැවැත්මට මේ දේවල් අවශ්‍ය බව සැබෑවකි. පිළිවෙලට ලස්සනට ජීවත් වීම ඔබ අප කාගෙත් ප්‍රාර්ථනය වුවත් නුවණින් සිතා බලා අවස්ථානුකූලව හෝ ඒවායෙන් බැහැරවිය යුතු අවස්ථාවේ එසේ කළ යුතුය.  


තන්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං - තණ්හාව දුරු කිරීම නිවන බැව් බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. තණ්හා, දිට්ඨි, මාන අතහැර මේ ජීවිතයේදීම මාර්ග ඵල ලැබිය නොහැකි නම් බුදු දහමේ විග්‍රහ වන ශ්‍රද්ධා, ශීල, ස්‍රත, ත්‍යාග, ප්‍රඥා යන සේක බල වඩා සක්ධානුසාරී, ධම්මානුසාරී වීමෙන් නිවන් අරමුණ ඉක්මන් භවයකදී ​ෙහා් සාක්ෂාත් කර ගැනීම උදෙසා ප්‍රථමයෙන් සතර අපායෙන් මිදීමට පාර සකස් කරගත යුතුය. පංච කාමයේ ඇලී ගැලී නොසිට ප්‍රමාණාත්මකව ගෘහ සම්පත් විඳිමින්ම ඔබට එය කළහැකි බැව් වරක්් දීඝජානු කෙ​ා්ලිය සිටුතුමාට බුදුන් වහන්සේ කළ පැහැදිලි කිරීමෙන් තහවුරු වේ. හත් වැනි වියේදී සෝවාන් එලයට පත්ව සාර්ථක ගෘහ ජීවිතයක් ගත කළ විශාඛා සිටු දියණියගේ චරිතයෙන් එය මනාව පැහැදිලිවේ.   


එනිසා ඔබ ආලෝකයෙන් ආලෝකයට යායුතුය. ආලෝකයෙන් අඳුරට නොයා යුතුය. බැරි වෙලාවත් නැවත සතර අපායේ උපදින්නට සිදු වුවහොත් සසරින් ඔබට ගැලවිය නොහැක. කල්ප කෝටි ගණන් කාලයක් අපාදුක් විඳිමින් සසරෙහි ඇවිදීමට සිදුවන බැව් හොඳින් තේරුම් ගන්න. අතීතය ගැන නොතැවී අනාගත සිහින නොදැක වර්තමානයේ ජීවත් වෙමින් ඉතිරිව ඇති කෙටි කාලය වුවද සතර අපායෙන් මිදීමට ඔබට ප්‍රමාණවත් වනු ඇත. ඒ සඳහා තවත් ප්‍රමාද නොවන්න.   


වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පාදේථ   
සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය නොපමාවම කුසල් රැස්කර ගන්න යනු අන්තිම බුද්ධ වචනයයි. නිතරම සිහියේ රඳවා ගනිමින් මෙනෙහි කරමින් කටයුතු කරන්න. සැමවිටම සියළුම සත්වයන්ට සැබෑ මෙත් සිත් පතුරවන්න. මේ ජීවිතයේදී මාර්ග පල නොලදහොත් ඉක්මන් භවයකදී හෝ නිවන් සුව ලැබීමට පමා නොවී ආර්්‍යකාන්ත සීලයක පිහිටා පළමුව සතර අපායෙන් මිදිය යුතු වන බැව් හොඳින් තේරුම් ගන්න.   


ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

බන්දුල උබේසිංහ   
හිටපු සහකාර ප්‍රාදේශීය කළමනාකරු, 
මහජන බැංකුව, මාතර.