අපෙන් සමුගත් ජගත් රණතුංග


ජගත් රණතුංග අපූරු මිනිසෙකි. ඒ අපූර්වත්වය ඔහුගේ ජීවන විලාශයෙන්ද, ජීවන විලාසිතාවෙන් ද මරණයෙන් ද ඔප්පු කර පෙන්වීය.  


ජගත් ‘ඉරිදා ලංකාදීප’ කර්තෘ මණ්‍ඩලයේ උපකර්තෘවරයකු වශයෙන් සේවයට එක්ව දෙතුන් වසරකි. එහෙත් අපේ හදවත් නිහඬ වෙන තුරු මිය නොයන බරැති මතකයක් ඔහු නමින් ඉපදී තිබේ. ඒ බරැති මතකය ඔහුගේ අපූර්වත්වය විසින්ම නිපදවන ලද්දකි.  


ඔහු මිය ගියේ මියයන වයසකැයි සිතිය නොහැකි වයසකදීය. ඔහු කවියෙකි. නිර්මාණශීලිත්වයෙන් අනූන කෙටි කතා කරුවෙකි. ජීවිතයේ එදිනෙදා අත්දැකීම් කාව්‍යනුභූතියක් බවට එසැණින් පත් කිරීමේ ප්‍රතිභාවයක් ඔහු සතු විය.  


එහෙයින්ම ඔහු සමග කතාබස් කිරීමේදී ද අපි පරිස්සම් වූයෙමු. මන්දයත් අවසානයේ අපට සිදුවෙන්නේ අපටම සිනාසෙන්නටය.  


ජගත් යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මාධ්‍යවේදියෙකි. ඔහු මාධ්‍ය ආයතන ගණනාවක සේවය කළේය. හිතට හරියන්නේ නැත්නම් එතැන අත්හැරීම ඔහුගේ සිරිතය. පුද්ගල සබඳතා සම්බන්ධයෙන් ද ඔහු අනුගමනය කළේ‍ එම පිළිවෙතමය.  


ටික කලක් ඔහු රෝගාතුරව සිටියේය. ඔහුගේ සුවදුක් විමසීමට ගිය විටෙක ඔහු මෙසේ කීවේය.  


‘කවියකට කෙටි කතාවකට ඕනෑ කරන ඕනෑ තරම් දේවල් මෙතැන අහුවෙනවා බං’ රෝගී සයනයේ වැතිර වුවද ඔහු එසේ කීවේය.  


තමන්ට රෝග සතුරා පැරදවිය නොහැකි යැයි ඔහු දැන සිටියා බඳුය. එහෙයින්ම ඔහු කලින්ම තමන්ගේ අවසන් කැමැති පත්‍රය ලියා තැබුවේය. එයින් ඔහු ඉල්ලා සිටියේ ‘‘මිය ගිය සැණින් දේහය මල් ශාලාවකට බාර දී ශෝක ප්‍රකාශ, පාංශුකුලවලින් තොරව අවසන් කටයුතු සිදු කරන ලෙසය’’.  


ඉකුත් 17 වැනිදා රාත්‍රියේ ජගත් රණතුංග පතාගෙන පැමිණි ගමන ගියේය. 18 වැනිදා සන්ධ්‍යාවේ ගිනි දලු අතර නොපෙනී ගියේය.  


අපූර්වත්වය චමත්කාරයක් කළ සුහද මිතුරාණනි! පිළිතුරු දීමට ඔබ නොසිටිය ද ඔබෙන් මෙසේ අසමි.  


‘‘ඉමිහිරි සුවඳැති මල් ඇයි මේ ලෙස හණිකට පර වෙන්නේ’’  

 

 

 

 

සටහන - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්