අප්‍රිකාවේ මියගිය හදවත චැඩ් රාජ්‍යය


වළ පල්ලට ගිය රටවල්

 

කළු සල්ලිවලින් යැපෙන දූෂිත දේශපාලකයින් ඉන්න තාක්කල් රටක් පෙරට යන්නේ නැත. රටක මූල්‍ය විනය පිරිහෙන්නේ එවිටය. ඔවුන්ගේ‍ අවිධිමත් ක්‍රියාවලිය තුළින් රටක් පරිහානියට පත්වෙයි. මුලින්ම දඬුවම් කළ යුත්තේ තක්කඩි පාලකයින්ට උඩ ගෙඩි දෙන රජයේ නිලධාරීන්ටය. පෝරිසාද පාලකයින් ඉදිරියෙහි දණින් වැටෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටකට වැඩක් නැත. ලොව දියුණු වන්නේ නිපුණතාව සහ කුසලතාවට මුල් තැන දෙන රටවල්ය. ගිලෙන නැවක් බවට පත් වන්නේ පවුල් වාදයට මුල් තැන දෙන මජර පාලකයින් ඉන්න රාජ්‍යයන්ය. එවැනි දේශපාලුවන්ගේ බලවත්ම අවිය මනසින් අන්ධ සහ විචාර බුද්ධියක් නැති ජනතාවයි.   


මුළු ලොවටම විස්මිත නවීන තාක්ෂණය බෙදාහරින දියුණුවේ ඉහළටම ගිය රටක සිට අඳුරෙන් අඳුරට යන කබලෙන් ළිපට වැටෙන රටවල් හරහා මා යන මේ ගමන අතිශයින්ම හද කම්පා කරවන සංචාරයකි. මෙම ගමනේදී ආසියාව, අරාබිය, යුරෝපය, උතුරු ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව සහ අප්‍රිකාව ආවරණය කිරීමට අවස්ථාවක් ලැබිණි. අද යළිත් හඳුන්වා දෙන්නේ අප්‍රිකාවේ තවත් අපායක් බවට පත් වූ දේශයකි. වළපල්ලට ගිය රාජ්‍යයන් වැඩිපුරම ඇත්තේ අප්‍රිකාවේය.   


අප්‍රිකාවේ මියගිය හදවත


චැඩ් (CHAD) අප්‍රිකාවේ මියගිය හදවත නමින් හඳුන්වන මේ දේශය පුරා අද දෝංකාර නංවන්නේ දරිද්‍රතාවයේ මළ බෙර හඬයි. ලොව හත්වැනි දුප්පත්ම රට චැඩ් ජනරජයයි. විශාලත්වය අතින් ලෝකයේ 22 වෙනි ස්ථානය හිමි වී ඇති චැඩ් දේශය ද කා දමා ඇත්තේ බලලෝභී දේශපාලකයින්ය. මෙය ලියාපදිංචි දේශපාලන පක්ෂ 78ක් බලය ලබා ගැනීමට පොර බඳින තවත් අසමත් රාජ්‍යයකි.   


මේ රට හඳුන්වනු ලබන්නේ අප්‍රිකාවේ මිය ගිය හදවත (Dead Heart Of Africa) වශයෙනි. මෙහි දරිද්‍රතාවයෙන් පෙළෙන රටවැසියන්ගේ සංඛ්‍යාව මුළු ජනගහණයෙන් සියයට 80ක් පමණ වීම කොතරම් ඛේදාවාචකයක් ද?   


අප්‍රිකාවේ 5 වැනි විශාලතම රටයි. මේ ලිබියාව, සූඩානය, කැමරුන්, නයිජීරියාව, නයිගර් යන රටවල් රාශියකට මැදිව පිහිටා ඇත. විශාලත්වය ව.කි.මී. 1,284,000ක් හෙවත් ව.සැ. 496,000 කි. ජනගහණය එක් කෝටි හතළිස් ලක්ෂයකට (13,870,084) ආසන්නය. ලොව දූෂිතම රාජ්‍යයන්ගෙන් එකකි. ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තේ 1960 අගෝස්තු 11 දාය. ප්‍රංශයේ සුද්දෝ වසර 59කට පෙර චැඩ් රට අතහැර යන විට එහි ප්‍රංශ භාෂාව ඉතිරි කර ගියහ. මෙහි වැඩි දෙනා කතා කරන්නේ ප්‍රංශ භාෂාවය. හරියට බ්‍රිතාන්‍යයේ සුද්දෝ 1948 දී ලංකාව අත හැර යන විට ලංකාවේ ඉංග්‍රීසි ටිකක් ඉතිරි කර ගියා වගේය.   

 

 


ජනතාවට නොමිලේ ලැබෙන ඔක්සිජන්   


අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන, විදුලිය, ජලය, නිවාස, වාරිමාර්ග ආදී පොදු පහසුකම් ජනතාවට සැපයීමට නොහැකි ආණ්ඩුවකින් රටකට වැඩක් තිබේද? චැඩ් රාජ්‍යයේ ද ආණ්ඩු බලයට එයි යයි. ජනතාව එතැනමය. මේ දේශයේ බොහෝ ප්‍රදේශවලට තවමත් ගමනාගමන, විදුලිය පහසුකම් නැත. කොටින්ම කියනවා නම් දුම්රිය සේවයක් ද නැති රටකි. මෙහි තරුණ තරුණියන් 4,80,000ක් පමණ විරැකියාවෙන් පෙළෙති. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව ළමා ජනගහණයෙන් සියයට 39කට වැඩිය. සුඩානයේ සිට සරණාගතයින් 280,000ක් පමණ චැඩ් දේශයට ඇතුළු වීම කොරේ පිටට මරේ වැනි ක්‍රියාවකි. මුළු ජනගහණයෙන් සියයට 32ක් පමණ ලිවීමට හා කියවීමට නොහැකි නූගතුන්ය. මෙහි පුරවැසියන්ගෙන් 40ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් කුසට අහරක් නැතිව දිවි ගෙවන්නේ ඔක්සිජන් වායුවට පිනිසිඳු වන්නටය. ජනතාවට නිකන් ලැබෙන්නේ ඔක්සිජන් පමණකි.   
මෙහි ජනපතිවරු එති යති. ජන්ද පවත්වනු ලබයි. පාර්ලිමේන්තුවේ අාසන 155ට මන්ත්‍රීවරු තේරී පත් වෙයි. සුර සැප විඳින්නේ මෙසේ විටින් විට පාලන බලය ලබා ගන්නා දේශපාලකයින්, ඔවුන්ගේ ඥාතීන්, ඔවුන්ට සහය දෙන ව්‍යාපාරිකයින්, රජයේ ඉහළ නිලධාරීන් හා හමුදා ප්‍රධානීහු පමණකි. රෝගීන් එක් ලක්ෂයකට ප්‍රතිකාර ලබා දීමට සිටිනුයේ වෛද්‍යවරු 8 දෙනෙකි. රජයේ රෝහල්වල කිසිදු පහසුකමක් නැත. රට පුරා විවිධ ලෙඩ රෝග පැතිරී යයි. ඉන් මිය යන අයගේ සංඛ්‍යාව දස දහස් ගණනකි. මෙහි ජනතාවගේ ආයු කාලය අවුරුදු 55 දක්වා අඩු වී ඇත්තේ එන්න එන්නම වැඩි වීම නිසාය.   


ධුර කාලය දීර්ඝ කර ගත් ජනපති   


කිසිදු පහසුකමක් නැති ගම්මාන 280ක පමණ ජනතාව බණ්ඩක්කා, පරිප්පු හා බත් කමින් කෑම වේලට පොරකමින් ගෙවන ජීවිතය සානුකම්පිතය. මේ රටට ඔරොත්තු නොදෙන්නේ මෙහි ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීමයි. 1950 වර්ෂයේ මෙහි ජනගහණය ලක්ෂ 26 කි. 2015 වනවිට ජනගහණය එක්කෝටි විසි හතර ලක්ෂය දක්වා වැඩි විය. මෙහි මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා තිබේ. සෑම දරු උපත් 1000කට 90ක් පමණ මිය යන්නේ රටේ යථා තත්ත්වය ලොවට මනාව පෙන්වමිනි.   
චැඩ් දේශයේ මුල්ම පාලකයා වූ ප්‍රැන්සිස් 1975 අප්‍රේල් 13 දා ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ දූෂිත ක්‍රියා ජනතාවගේ විරෝධයට පාත්‍ර වීම නිසාය. දැන් සිටිනුයේ මෙහි හය වැනි ජනපතිය. ඔහු ඉද්රිස් ඩෙබි (SIDRISS DEBY) ය. 1990 සිට මේ දක්වා වසර 29ක් ඔහු ජනපති පදවිය හොබවයි. ඔහු 2005 වර්ෂයේදී තම අභිමතය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තේය. මේ අනුව ජීවිතාන්තය තෙක් ජනපති තනතුරේ රැඳී සිටීමට ඔහු මාර්ගය පාදා ගත්තේය. වළපල්ලට ගිය බොහෝ රටවල සිදු වන්නේ මෙයයි.   

 

 


රට වැනසූ පවුල් පාලනය   


ඔහු වසර 29ක් තිස්සේ මෙහි ගෙන ගියේ පවුල් පාලනයකි. බිරියන් කීපදෙනකු සමඟ විවාහ වී ඇති ඔහුට සිටින ළමයින් සංඛ්‍යාව 12 දෙනෙකි. බිරියන් ළමයින් හා ඥාතීන් රජයේ ඉහළම තනතුරුවලට පත් කරගෙන ඔහු දූෂිත පාලනයක නිරත වන බව විදේශ ජන මාධ්‍යයන් හෙළි කරනු ලැබීය. ඉතා දිළිඳු පවුලක උපත ලබා හමුදා ජෙනරාල්වරයකු බවට පත් වී ඒ මාර්ගයෙන් රටේ ජනපති තනතුර ලබා ගත් ඔහුට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ.   


ඔහුගේ එක් බිරියක වූ හින්ඩා (Hinda) අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ඇමති තනතුරක් හොබවන්නීය. ඇය ජනපති ප්‍රධාන උපදේශිකාවයි. ඇමතිවරුන්ට නියෝග නිකුත් කරනුයේ ඇයයි. ඇය රජයේ සම්පත් අවභාවිත කරමින් රාජ්‍ය දේපොළ විදේශ සමාගම්වලට විකුණමින් රට අරාජික තත්ත්වයට පත් කළ අයුරු අනාවරණය විය.   


චැඩ් දේශයේ තෙල් ළිං 300කට වැඩි සංඛ්‍යාවක් ඇත. ඉන්ධන නිපදවීම අතින් අප්‍රිකාවේ මුල් තැනක් හිමි වී ඇති චැඩ් දේශය අද අන්ත දුගී රටක් බවට පත් වී ඇත්තේ දේශපාලකයින්ගේ වංචා සහ සොරකම් නිසාය. තෙල් සල්ලිවලින් අවි ආයුධ මිලට ගැනීම සහ හමුදාව තර කිරීම ඉද්රිස් ජනපති ගත් ක්‍රියාමාර්ගයයි. තෙල් පිරිපහදුව සඳහා චීනය සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඉන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.   


රට කෑ ජනපති පුතාගේ ඉරණම 

 
චැඩ් සිට කැමරුන් (Cameroon) රට දක්වා සැතපුම් 640ක් දිග පොළව යටින් පයිප්ප බට ඔස්සේ ඉන්ධන පොම්ප කිරීමේ ව්‍යාපෘතිය ඇරඹීමට කටයුතු යෙදීම තුළින් සිදු වූ මහා පරිමාණයේ දූෂණ දැන් හෙළිවෙමින් තිබේ. මේ සියල්ලට ජනපති හා ඔහු​ෙග් ඥාතීන් සම්බන්ධ බව ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රමුඛ විවිධ රාජ්‍ය නොවන සංවිධාන අනාවරණය කළේය. දවසකට ඉන්ධන බැරල් 170,000ක් නිපදවන රටක් පාලකයින්ගේ හොරකම් නිසා හිඟා කන තත්ත්වයට පත් වී තිබීම ඉමහත් අභාග්‍යයකි. 

 
ෆෝර්බ්ස් (Forbes) සඟරාව චැඩ් දේශයේ දේශපාලකයින්ගේ දූෂණ ක්‍රියා පිළිබඳ විශේෂ වාර්තාවක් පළ කර තිබුණි. මෙහි ජනපති තම රටේ අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ජනතාව රැවටීමට ඔපරේෂන් කෝබ්‍රා (Operation Cobra) නමින් දූෂණ විරෝධී ව්‍යාපාරයක් ඇරඹූ බව ද යථොක්ත මාධ්‍යය මගින් හෙළි කළේය.   


ජනපති ඉද්රිස්ගේ වැඩිමහල් පුත්‍රයා බ්‍රහිම් (Brahim) ය. ඔහු 27 හැවිරිදි තරුණයෙකි. රටේ ආදායම් උපයන මර්මස්ථාන රාශියක් පාලනය කළේ ඔහුය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ගනුදෙනු, රාජ්‍ය දේපොළ කුණු කොල්ලයට විකිණීම ආදී ​ෙචා්දනා රාශියක් ඔහුට එරෙහිව එල්ල විය. ප්‍රංශයේ පැරිස් නුවර ගරාජයක් තුළ තිබී මේ ජනපති පුත්‍රයාගේ මළ සිරුර පසුගියදා සොයා ගනු ලැබීය. මෙය කළ පව් ඵල දීමක් වශයෙන් හැඳින්විය හැක.  


මා ඉහතින් සඳහන් කළේ වළපල්ලට ගිය තවත් රටක අදූරදර්ශී දූෂිත පාලකයෙකුගේ පැටිකිරියෙන් බිඳක් පමණකි.   


ජනපති ඔහුගේ එක් බිරිඳක් සහ එක් පුත්‍රයෙක් සිදු කළ රට වැනසූ ක්‍රියාමාර්ග කීපයක් පමණක් මෙසේ සඳහන් කළේ ඔවුන්ගේ මුදල් මඩිස්සල ගැසීම් දැවැන්ත කතාන්දරයක් වන නිසාය.   


ජනපතිට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්


කෙන්යාවට වාගේම චැඩ් දේශයටත් කණ කොකා හැඬුවේ මෙහි ජනපති ද චීනය සමඟ රට වනසන ව්‍යාපෘති ඇරඹීමට පෙළඹුණ නිසාය. මෙහි පැවැත් වූ මැතිවරණ ඉතා දූෂිත වූ බවද වාර්තා වේ. 2016 වර්ෂයේදී චැඩ් (Chad) දේශයේ හිටපු පාලකයා වූ හිසෙනි හෙබ්රූ (Hissene Hebre) සෙනෙගාල් හිදී නඩු විභාගයෙන් පසුව ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩ කිරීම හා මහා පරිමාණයෙන් දූෂණ ක්‍රියාවන්හි නිරත වීම සම්බන්ධයෙන් ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට පත්වීම අප්‍රිකාවේ දූෂිත පාලකයින්ගේ නෙත් විවිර කළ සිද්ධියකි.

 

 

 

සීරි හීන්පැල්ල - නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි