අප්‍රිකාවේ උසම කන්ද තරණය කළ ලාංකිකයෝ


 

 

අප්‍රිකාවේ උසම කඳු මුදුන වන කිලිමන්ජාරෝ කන්ද මුදුනට නැඟුණ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ගැන පසුගියදා වාර්තා විය. ටැන්සානියාවේ පිහිටා ඇති කිලිමන්ජාරෝ කන්ද ලෝක​යේ ඉහළම නිදහස් ගිනිකඳු ස්කන්ධයයි. කිලිමන්ජාරෝ කන්ද ජාතික වනෝද්‍යානය කිලෝමීටර 756 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති අතර එය යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන යටතේ ලැයිස්තුගත කර ඇත.


එහි යමහල් කේතු ත්‍රිත්වය වන කිබෝ, මාවෙන්සි සහ ෂිරා සමඟින් කිලිමන්ජාරෝ කන්ද යනු ටැන්සානියාවේ අක්‍රීය යමහල්මය කන්දකි. මුහුදු මට්ටමින් උහුරු කඳු මුදුන, කිබෝ කඳු මුදුන මීටර් 5895 උසැතිය. එය අප්‍රිකාවේ උසම කන්ද සහ ලෝකයේ වෙන්ව පවත්නා උසම කන්ද ද වෙයි.


කිලිමන්ජාරෝ කන්ද යටත් කරගත් ශ්‍රී ලාංකික යුගලය වන 33 හැවිරිදි රංග මධුපත්ම ගඟබඩආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ය.
ඔවුන් කිලිමන්ජාරෝ කන්ද තරණය කළ ආකාරය හා ඊට අදාළ කරුණු ඉරිදා ලංකාදීප පාඨකයන් වෙනුවෙන් අනාවරණය කළේය. එහිදී ඔස්ට්‍රේලියාවේ සිට තොරතුරු අනාවරණය කරමින් රංග මධුපද්ම මෙසේ අදහස් දැක්වීය.


රංග මේ වගේ වැඩ කටයුත්තකට සම්බන්ධ වෙන්න හිතුවෙ ඇයි?


මම පොඩිකාලෙ ඉඳන්ම හරි ආසයි විනෝද ගමන් යන්න, ඇවිදින්න, විශේෂයෙන් කඳු නගින්න වගේ දේවල් කරන්න. පාසල් කාලෙදිත් පාසලේ ක්‍රීඩා එහෙමත් කළා. මගේ පාසල වූ ආනන්ද විද්‍යාලයේ රගර් සහ ක්‍රිකට් ක්‍රීඩාවත් කළා. වැඩිපුර කළේ ක්‍රිකට්, ඒත් පාසල් කාලෙන් පස්සෙ වැඩි නැඹුරුතාවක් දක්වන්න ලැබුණෙ නෑ. මොකද මම උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරලා වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වුණ නිසා.


මම දැන් ඔස්ට්‍රේලියාවෙ මෙල්බන්නුවර පදිංචි වෙලා ඉන්නෙ. ගණකාධිකාරිවරයෙක් විදියටයි සේවය කරන්නෙ, ඉතින් එහිදී ලැබෙන හැම විවේකයකදීම මම කරන්නෙ රට රටවල සංචාරය කරන එකයි. කඳු නගින එකයි. කඳු නගින්න ගොඩක් ආසයි.


ලංකාවට ආවමත් කරන්නෙ නොදන්න පැතිවලට ගිහින් කඳු නැඟලා ඒ අත්දැකීම් ලබාගන්න එක. ඒ දේට මම පෞද්ගලිකව ගොඩක් ආසයි.


ඉතින් ඒ ආසාවත් එක්ක මමත් මගෙ බිරිඳගෙ වැඩිමහල් සොහොයුරාත් මුණගැහුණ වෙලාවක තමයි අපි දෙන්නා කතා කරගත්තෙ කිලිමන්ජාරෝ කන්ද නගිමු කියලා. ඒ අදහසට මුලින් මගෙ ගෙදර අය අකමැති වුණත් ඒ වෙනුවෙන් විරුද්ධ වුණේ නෑ.


අපි කතාවෙලා ඒ ගැන පුළුල් විදියට නිරීක්ෂණය කරලා දැනුමක් ලබාගත්තා. මාස ගණනාවක් තිස්සේ ඒ පිළිබඳ හොයලා බැලුවා. පුහුණුවීම් කළා.


ශරීරයේ යෝග්‍යතාව ලබාගන්න ව්‍යායාම්වල නිරත වුණා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා. ඒ පසුගිය අවුරුද්දෙ අගෝස්තු මාසයේ සිට. අපේ ගමනට අවශ්‍ය ලෙස ව්‍යායාම් කරලා ඒ අවශ්‍ය ශක්තිය සපයා ගත්තා.


ඉන්පසුව තමයි ටැන්සානියාවේ ඒ කඳු නැගීම සම්බන්ධයෙන් තියෙන “ට්‍රැකින් හීරෝ” නම් ට්‍රැවල් ඒජන්සිය හරහා මේ ගමන යන්න තීරණය කළේ.


මගෙත් එක්ක මේ ගමන ගිය මගේ බිරිඳගෙ සහෝදරයා පදිංචිවෙලා ඉන්නෙ එංගලන්තයේ. ඔහුත් එහි ගණකාධිකාරීවරයෙක්. ඒ වගේම ඔහුත් පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මලල ක්‍රීඩකයෙක්. කඳු නගින්නත් බොහෝසෙයින් ආසා කළා.


ඉතින් මම පසුගිය අගෝස්තු 14 ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් ඩුබායි ගියා. එහිදී තමයි මට සහෝදරයා මුණගැහුණේ. පසුව අපි දෙදෙනා 14 වැනිදා ඩුබායි ගිහින් 15 වැනිදා විවේක අරගෙන 16 වන දින කන්ද නගින්න පටන්ගත්තෙ. කන්ද මුදුනට යද්දි අපිට ජර්මානුවන්, සහ ඇ​ෙමරිකානුවන් ඇතුළු වෙනත් විදේශීය කඳු නගින්නන් හමුවුණා. මෑතකදී මේ දුෂ්කර ගමනේදී කඳු නගින්නන් සිව් දෙනෙක් මියගියා කියලත් අපට දැනගන්න ලැබුණා.


කිලිමන්ජාරෝ කන්ද ළඟ තියෙන උසම නගරය මෝෂි, එය කුඩා නගරයක්. එය තමයි කිලිමන්ජාරෝ කන්ද ආශ්‍රිතව තියෙන පොඩි නගරය. මේ කන්ද ලෝකෙ තියෙන උසම ශේෂ කන්ද. එය තනි කන්දක් විදියට තියෙන්නෙ. නමුත් එහි කඳු මුදුන් තුනක් තියෙනවා. කිබෝ, මාවෙන්සි සහ ෂිරා නමින් මෙහි උසම ස්ථානය තමයි කිබෝකිබෝ කන්දෙ උසම ස්ථානයට කියන්නෙ උහුරු කියලා.


කිලිමන්ජාරෝ කියන්නෙ ඔවුන්ගෙ ගෝත්‍රික භාෂාවෙන් කන්ද කියන තේරුම. කිංජාරෝ කියන්නෙ ධවල සුදු කියන එක. ඒ සුදු කියන තේරුම ඇවිල්ලා තියෙන්නෙ හිම තියෙන නිසා. මෙම කිලිමන්ජාරෝ කන්ද තියෙන්නෙ නිරක්ෂියට සැතපුම් 200 වගේ දකුණු දෙසට වෙන්නට නිරක්ෂියට ආසන්නව වසර පුරාම හිම තියෙන එකම ස්ථානය, සාමාන්‍යයෙන් ලෝකෙ නිරක්ෂියට ආසන්න ප්‍රදේශවල හිම තියෙන්නෙ නෑ. කිලිමන්ජාරෝ කඳු මුදුනෙ මෙය ලොකු විශේෂත්වයක්.


අපේ මේ ගමන දවස් 6ක ගමනක්. පළවෙනි දවසෙ නවතින්න තිබුණා ස්ථාන කීපයක්. ඒ ඔක්කොම සූදානම් කරලා තිබුණෙ ටැන්සානියාවෙ මාර්ගෝපදේශකයන්.

මාර්ගෝපදේශකයෝ දෙන්නෙක් හිටියා. ඊට අමතරව අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනියන්න සහයෝගයට තව 8 දෙනෙක් හිටියා. කිලෝ 10 වගේ බඩු ගෙනිච්චා. අපේ සහයෝගයට ගිය අය ඒ අවශ්‍ය දේවල්, නිදාගන්නට අවශ්‍යම දේවල් කිලෝ විස්සක් වගේ ප්‍රමාණයක් අරගෙන ගියා.


අපේ සහයෝගයට ගිය පිරිස කිලිමන්ජාරෝ 100 වතාවක් පමණ නැගපු අවුරුදු 30, 40 වගේ පිරිස්, ඒ ටැන්සානියා ජාතිකයන්. ඒ පිරිස අපිට පෙර උඩට ගිහින් කෑම්ප් එකේ හට් ගහගෙන හිටියා. අපිට නවතින්න තැන් ලබාදෙන්න අපිට දවසකට ඇවිදින්න පැය 3ක් ලබාදෙන්නෙ. මාර්ගෝපදේශකයන්ගෙ අනුදැනුම මත හැමදේම සිදුවුණේ. මොකද ඔවුන් වටපිටාව ගැන අවබෝධය තියෙන පිරිසනෙ. අපි යන එන විදිය, අැවිදින විදිය. ඔක්සිජන් ප්‍රතිශතය හැම දේම බැලුවෙ ඔවුන් විසින්.


හැමදාම දවස අවසන් වුණාම බලනවා ඔක්සිජන් ප්‍රතිශතය. එය සියයට 60ට වඩා අඩුනම් උඩට යන්නට අවසර දෙන්නෙ නෑ. නමුත් මේ ගමන පුරාම අපේ ඔක්සිජන් ප්‍රතිශතය සියයට 80 ක් පැවතියා.


පළවෙනි දවසෙ කිලෝමීටර් 5ක් වගේ යන්න තියෙන්නෙ. පැය 3ක කාලයක් යම්කිසි කාලසටහනකට අනුව තමයි යන්න හදලා දීලා තිබුණෙ.


මුලින්ම තියෙන්නෙ අවට කැලෑ වනාන්තරය, එය හොඳ දේශගුණයක්. අවට වන සත්තු ඉන්නා පරිසරය, ඇළ දොළ ගංගා, ඉන්පසුව ටිකින් ටික වියළි කාලගුණයට හැරෙනවා. කන්ද උඩට යනතුරුම දේශගුණික කලාප 5ක් පමණ පසු කරන්න සිද්ධ වෙනවා.


උඩම හිම තියෙනවා. වියළි කලාප, දූවිලි, සුළං, ඇති ප්‍රදේශ අහුවෙනවා. ලාවා ගිනිකඳු, අළු වැනි ප්‍රදේශ අහුවෙනවා. ගිරිදුර්ග ආදී විවිධ බාධක හමුවේ තමයි ගියේ.
මේ කන්ද නගින්න විශේෂ අවසරයක් ගන්න ඕනෑ. හැමෝටම නගින්න දෙන්නෙත් නෑ. විශේෂ අවසරයක් ගත්ත කෙනෙකුට විතරයි යන්න දෙන්නෙ. විශේෂ අවසර අරගෙන වෛද්‍ය වාර්තා අරගෙන තමයි අපි ගියේ.


විදුලිය නෑ. ඔළුවෙ ටෝච් එකක් හයිකරලා තියෙනවා. ඒ තුළින් තමයි එළිය වැටෙන්නෙ. මේ කන්ද නගින අය බහින්නෙ වෙනත් පාරකින්, අවසාන දවස් ටික මාරම දුෂ්කරයි.
ටිකක් කන්ද උඩ මැද හරියට ගියාම මුළු කන්ද මීටර් 4000 වගේ යද්දි නැවත වරක් පහළට බස්සනවා. ඒ බස්සලා තමයි නැවතත් උඩට යන්නෙ. අන්තිම දවසෙ මුදුනටම නගින්න තියෙන්නෙ. ඒ තැනට උහුරු තියෙන්නෙ. ඒ උඩටම ගිහින් විනාඩි 10කට වඩා ඉන්න දෙන්නෙ නෑ. ඉන්නත් බෑ. මොකද ඔක්සිජන් ප්‍රතිශතය ඉතා අඩුයි.


මගේ සහෝදරයා මට වඩා විනාඩි 15 කට වගේ කලින් කන්ද නැග්ගෙ. ඔහු උඩ ඉද්දි නිදිමත හැදිලා තියෙනවා. එහිදී මාර්ගෝපදේශකයාට පැවසුවහම නිදිමතයි කියලා නිදා ගන්න දීලා නෑ. ඔහු කිව්වෙ ඒ මොහොතෙ නිදාගන්න දුන්නනම් ඒ නින්ද සදාකාලිකවම නින්දට වැටෙන්න ඉඩ තිබුණා කියලා. තෙහෙට්ටුවට නිදාගත්තා නම් ඒ නින්ද නැගිටගන්න බැරි නින්දක් වෙනවා. ඒ නිසා මාර්ගෝපදේශකයන් හොඳ සැලකිල්ලෙන් හිටියේ.


ඉතින් මමත් කන්ද උඩට ගියාම අපි විනාඩි 10ක් 15ක් වගේ තමයි හිටියෙ. ඒ ගිහින් ජාතික කොඩිය සහ අපේ පාසල් කොඩිය ප්‍රදර්ශනය කළාම අපේ ගමන ගැන සුන්දරත්වයක් හිතට දැනුණා. තිබුණු දුෂ්කර බව වෙහෙස කොහෙන් ගියාද නැහැ. ඇත්තටම මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි. ගොඩක් ආමාරු වුණා. ඒත් අමාරුවෙන් හරි උඩට ගිහින් ඇවිල්ලා අපේ පින්තූර බලද්දී තමයි සතුටක් ඇති වුණේ.


කිලිමංජාරෝ කන්ද තරණය කිරීමට සහභාගි වූ සුදම් ගමගේ එංගලන්තයේ සිට කතා කරමින් මෙසේ අදහස් දැක්වීය.


කන්ද උඩටම නැග්ගට පසුව සුදම්ට නිදිමතක් ඇතිවුණා කිව්වා. ඒ නිදිමත ජීවිතේටත් බලපෑමක් කරන්න ඉඩ තිබුණාලු නේද?


ඇත්තටම අපි කන්ද නැගීමේ අවසානය දක්වාම දවස් 3ක් කන්ද නැග්ගා. 4 වෙනි දවසෙ තමයි සම්පූර්ණ තල්ලුව තිබුණෙ. අපිට 4 වැනි දවස තමයි ​ගොඩක් අමාරු වුණේ. මීටර් 4700 උඩට නැගලා නැවත බහින්න වුණා. මීටර් 4000, 1200 තනි කෙළින් උඩට නගින්න තිබුණා. අපිට ඒකට පැය 11ක් වගේ ගත වුණා.


ඇත්තටම උඩට නගින්න නගින්න ගොඩක් අමාරුයි. සාක්කුවකට අත දාලා ටිෂු එකක් ගන්න දේ වුණත් හරි අමාරුයි. අැත්තටම ඒ නිදිමත එන්නෙ ෆිට්නස්වල ප්‍රශ්නයකට. ඉහළටම එද්දි එ්ක දරාගන්න බෑ. මරණය පවා සිදුවෙන්න පුළුවන්. මීටර් 5200, 5300 වගේ උඩට යද්දි හරිම මහන්සියි. හුස්ම ගන්න අමාරුයි. හුස්ම ගත්තට කිසිදෙයක් දැනෙන්නෙ නෑ.


අපේ පෙණහලු පිරෙන්නෙ නෑ වගේ ඔක්සිජන්වලින්. මහන්සිය දිගටම තියෙනවා. ඉතින් අපිට මාර්ගෝපදේශකයො කිව්වෙ වතුර වැඩිපුර බොන්න. ශක්තිය එන්න චොක්ලට් පැණි රස ආදිය කෑමට ගන්න කියලා. මේ නිදිමත එක්කම ලොකු ඔළුවෙ කැක්කුමකුත් එනවා. ඒක ඉහළටම නගිද්දි එන රෝගී ලක්ෂණයක්. ඉතින් ඒ හැම දේම දරාගෙන තමයි අපි යන්න ඕනෑ. ඇත්තටම මෙය අවසානයේ ශාරීරික අභියෝගයක් නෙවෙයි මානසික අභියෝගයක් බවට පත්වෙනවා.


මම මේ තරම් තැනකට ඇවිල්ලා අවසාන මීටර් 300, 400 යන්න බැරිව නැවතුණොත් කොයිතරම් අපරාධයක්ද දුකක්ද කියන දේ ගැන හිතෙන්නෙ. ඒ නිසා උඩටම යන්න ලොකු බලාපොරොත්තුවක් එහිදී ඇතිවෙනවා.


කන්ද ඉහළටම ගියොත් කොයිතරම් ආඩම්බරයක්ද කියන දේ තමයි අපිව ඉහළටම ගෙනියන්නෙ. අවසානයේ නම් ඉහළටම යද්දි සෑහෙන නිදිමතක් ආවා.

මාර්ගෝපදේශකයෙකුගෙන් පොඩ්ඩක් නිදාගන්න ද කියලා ඇහුවම ඔහු කිව්වෙ නිදාගන්න නම් එපා කියලා සම්පූර්ණයෙන් අවවාද කළා.​


රංගත් ඉහළටම ආවම අපි එහි විනාඩි 10ක් 15ක් වගේ තමයි හිටියෙ. ඒ මොහොතෙ නම් ශාරීරිකව ගොඩක් වෙහෙසට පත්වෙලා හිටියෙ. නමුත් අපි කන්ද උඩටම නැගලා සිංහ කොඩියත් අපේ පාසල් කොඩියත් ප්‍රදර්ශනය කළාම ඒ වෙහෙස හිතින් අතුරුදන් වෙලාම ගියා.


අපිට මේ ගමනට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපි වගේම මීට පෙර ලංකාවෙ මේ කන්ද තරණය කරපු අය තවත් ඇති. ඉතින් අපිට මේ ලැබුණු ගෞරවයම ඔවුන්ටත් හිමි විය යුතුයි කියන දේ තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඒ තරමට මෙය දුෂ්කර සුන්දර ගමනක්.

 

 


ධනු විජේරත්න