අනේ මේ කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩූවක්නේ තියෙන්නේ


රටවැසියකු සමග

ඇකිරියන්කුඹුරේ ඒ.එම්. කරුණාරත්න

 

ඔබ කවුද   
මම ඇකිරියන්කුඹුරේ ඒ.එම්. කරුණාරත්ත. වයස අවුරුදු 65 යි.   
වෘත්තිය මොකක්ද   
ගොවිතැන තමයි කරන්නේ. මම බඩඉරිඟු වගා කරන්නේ.   
කොච්චර කාලයක්ද.   
අවුරුදු 13 න් පටන් ගත්තේ. දැන් අවුරුදු 65 යි.   
ස්කෝලේ ගියේ කොහාටද?   
ඇකිරියන්කුඹුර මහ විද්‍යාලයට. උසස් පෙළට යනකම් ගියා. 1961 දි තමයි විභාගෙට වාඩි වෙන්න තිබුණේ. ඒත් පවුලේ හුඟාක් ආර්ථික ප්‍රශ්න තිබුණා. ඔය තරමට හරි ඉගෙන ගත්තේ හුඟාක් අමාරුවෙන්. විභාගෙට ලියන්න බැරි වුණා. ඒත් දරුවන්ට හොඳට ඉගැන්නුවා.   
ඒ කිව්වේ?   
ලොකු පුතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. දැන් ගුරුවරයෙක්. දුවත් උසස් පෙළ කළා. රස්සාවක් නම් නැහැ. බාල පුතා මේ පාර උසස් පෙළ කළා. මාත් එක්ක ගොවිතැන් කරනවා. මේ ගම්වල දරුවෝ දෙමව්පියන්ට ළැදියි. ඒ නිසා අපිව දරුවෝ බලා ගන්නවා.   
එහෙනම් බඩඉරිඟු වවනවා කිව්වේ.   
ඔව්.. ඔව්.. බඩඉරිඟු වවනවා. හේන් ගොයිතැන් කරනවා. අවුරුදු 5 ක් තිස්සේ අංශබාගේ රෝගේ. ලීයක් අරගෙන ඇවිදිනවා. හොඳට ගොයිතැන් කරන්න පුළුවන්. දරුවන්ගේ අම්මා වකුගඩු රෝගියෙක්. ආණ්ඩුවෙන් රුපියල් 5000 ක් වකුගඩු රෝගීන්ට දෙනවා. ඒත් අපිට ලැබුණේ රුපියල් 3000 යි. පළාත් සභාවට සල්ලි නැහැ කියලා තමයි කිව්වේ. අපි ඒ ගැන ජනාධිපතිට අගමැතිට ලිව්වා. හදලා දෙන්නම් කියලා ලියුම් ආවා. දැන් බලා ඉන්නවා.   
හෙට අනිද්දා රටේ ජනාධිපතිවරණයක් එන බව පැවසෙනවා. ඔබ ඒ ගැන අහලා තියෙනවාද?   
අහලා තියෙනවා.   
ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ගැන දන්නවාද?   
ජනතා විමුක්ති පෙරමුණ නම් සන්ධානයක් වෙලා ඉල්ලන්නේ. අනුර කුමාර දිසානායක සහෝදරයා ඉල්ලන්නේ. පොහොට්ටුවෙන් ඉල්ලන්නේ කවුද මට හරියට නම මතක් වෙන්නේ නැහැ. ආ.. මහින්ද මහත්තයාගේ පවුලේ එක්කෙනක්. ගෝඨාභය කියලා කෙනෙක්. එතකොට යූඑන්පියෙන් ඉල්ලන කෙනා කවුද කියන එක තාම අවිනිශ්චිතයි. එයාලා රණ්ඩු වෙනවා.   
යූඑන්පී එකේ අර්බුදයක් තියෙනවා කියලද ඔබ කියන්නේ?   
තියෙනවානේ. මේ බිමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. රනිල් එක්ක ඉන්න සිටුවරයෝ වගේ ධනපතියෝ ටික එයාට විරුද්ධයි. ඒකයි වෙලා තියෙන්නේ.   
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකාවේ පුරවැසි භාවයක් ගැන කියනවනේ. ඔබ මොකක්ද මේ ගැන දන්නේ?   
පුරවැසි භාවය අයින් කළා කියලා නම් කියනවා. ඒ වුණාට තාම තානාපති කාර්යලයෙන් තහවුරු වෙලා නැහැ වගේ පේන්නේ.   
ජේවීපී එකේ දේශපාලනය ගැන මොනවද ඔබ කියන්නේ?   
තනි පක්ෂයක් වෙලා හිටපු එක වෙනස් කරලා. තව කණ්ඩායම් 21-30 ක් වාගේ සාකච්ඡා කරලා එක සන්ධානයකින් වාගේ ඉල්ලන්න හදන්නේ.   
ගොඩක් දෙනා කියන්නේ දේශපාලනය එපා වෙලා. ඡන්දේ දාලා වැඩක් නැහැ ඔය වගේ කතා. ඔබ කොහොමද ඡන්දේ පාවිච්චි කරනවාද ?   
අපොයි ඔව්. මම අනිවාර් යෙන්ම මගේ ඡන්දය ප්‍රකාශ කරනවා. අවුරුදු 18 දි මම ඡන්දේ දාන්න පටන් ගත්තේ මේ දක්වාම ඡන්දෙ දෙනවා.   
ඇත්තටම ඇයි මේ විදියට කාට හරි ඡන්දේ දෙන්නේ?   
අලුත් වෙනසක් තමයි බලාපාරොත්තු වෙන්නේ. මේ රටේ අලුත් වෙනසක් බලාපොරොත්තුවෙන් තමයි මගේ ඡන්දේ කාට හෝ ප්‍රකාශ කරනවා.   
ඔබ ඡන්දය දීපු අයද දැන් බලයේ ඉන්නේ?   
මම ඡන්දේ දීපු අයට බලයට එන්න බැරි වුණා.   
ඡන්දේ දීලා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවාද?   
අපොයි තියෙනවා. අලුත් නිෂ්පාදන ක්‍රියාවලියක් රටේ තියෙන්න ඕනෑ. මේ තියෙන ආකල්ප වෙනස් වෙලා, අලුත් සමාජයක් හදන්න ඕනෑ කියන මතය තමයි මගේ ඔළුවේ තියෙන්නේ.   
ඔබ මේතාක් කාලයක් එක් එක්කෙනාට ඡන්දය දුන්නා නේ. ඒ දීපු අයගෙන් ඔබ ඔය කියන යහපත් කාරණා ඉටු වෙලා තියෙනවාද?   
ගොවියාට තැනක් නැහැනේ. කෘෂිකර්මාන්තයකුත් නැහැනේ?   
මුල් කාලේ කොහොමද ඡන්දේ ප්‍රකාශ කළේ?   
මම එදා ඉඳන්ම වාමාංශික පැත්තට තමයි බර වුණේ.   
රටේ අගමැතිතුමා දන්නවාද?   
ඔව්.. ඔව් දන්නවා.. රනිල් වික්‍රමසිංහ මහත්තයානේ   
එතකොට ජනාධිපතිවරයා?   
එයා සිරිසේන මහත්තයා.   
විපක්ෂනායකවරයා දන්නවාද?   
ඔව් අඳුනනවා මහින්ද මහත්තයානේ.   
කෘෂිකර්ම ඇමැතිව දන්නවාද?   
හැරිසන් ද ඔන්න ඔහොම කියන ඇමැති කෙනෙක්?   
රටක නායකයෙක් වෙන්න නම් තිබිය යුතුයි කියලා ඔබ විශ්වාස කරන ගුණාංග තියෙනවාද?   
රටේ නායකයෙක් සංවරශීලී වෙන්න ඕනෑ. සමාජයට ආදර්ශමත් පුද්ගලයෙක් වෙන්න ඕනෑ. සංස්කෘතියක් තියෙන්න ඕනේ. මහජනයාගේ ඕනෑ එපාකම් හොඳට අඳුනන පුද්ගලයෙක් වෙන්න ඕනේ.   
මාධ්‍ය භාවිතය කොහොමද. ඒ කියන්නේ රූපවාහිනිය බලනවාද, ගුවන් විදුලිය අහනවාද, පත්තර කියවනවාද..?   
මම ගුවන් විදුලිය අහනවා. රූපවාහිනියේ නම් දේශපාලන සංවාද එකක් නෑර බලනවා. පත්තරවල, දේශපාලන සංවාද අනිවාර් යෙන්ම බලනවා. කතු පිටුව කියවනවා.   
වෙලාව තියෙනවාද ඒවා බලන්න.   
රාත්‍රියේ ඒවා බලනවා. කණ්ණාඩි කුට්ටම දාගෙන ඒවා බලනවා.   
ජනාධිපතිවරණයක් පෙළගැසෙමින් තියෙනවා.   
ඒ ගැන දන්නවා. ඒ වගේම ඒ ජනාධිපතිවරණයට ජනතාවට රටට ආදරේ කරන කෙනෙක්ව පත් කරගන්න අපි උපරිමයෙන් උත්සහ කරනවා. ගමෙ ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. රටට ජනතාවට හිතවාදී ආණ්ඩුවක් ගෙන ඒම තමයි අපි හැමෝගෙම අරමුණ.   
ලංකාවට පිටරටින් කුණු ගෙන ඒම ගැන විශාල ආන්දෝලනයක් යනවනේ. ඔබ ඒ ගැන දන්නවාද!   
මොකෝ නොදන්නේ. අනේ මේ කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක් නේ මේ තියෙන්නේ. ලංකාවේ කුණු කඳු පිරෙන්න අරන් තියෙනවා. ඒ ටිකවත් කළමනාකරණය කරගන්නේ නැහැනේ. එහෙම තියෙද්දි එයාලා රටින් කුණු ගේනවා.   
ලංකාව කෘෂිකාර්මික රටක් වුණාට කෘෂිකර්ම නිෂ්පාදනයට තැනක් නැහැ කියලනේ ඔය හැමෝම මැසිවිලි නගන්නෙ? ඒක එහෙමද?   
 ඒක එහෙම්මම තමයි. රටින් ගේන කොට දැන් කිලෝ පහේ බඩඉරිඟු පැකට් එකක් 7500 යි. එ්ක ඉතින් අපි හී හාන ඒවා, කොකු අදින ඒවා. පස් සකස් තර ගන්න ඕනේ. කොකු නගුල් අදින්න ඕනේ. ඉරිඟු හිටවන්න පස සකස් කරගන්න ඕනේ. මේ සැරේ ඉරිඟු පැකට් එක 7500 යි. අපේ රටේ ඔය මහලොකු අයට බැරිවුණානේ බීජ ටික හදාලා දෙන්න.   
මෙහෙම වෙද්දි තරුණ පිරිස ගොවිතැනින් ඉවත් වෙයිද?   
අනිවාර් යෙන්ම වෙනවනේ. දැනටමත් කොල්ලෝ කෙල්ලෝ ගොවිතැනින් ඉවත් වෙමින් යනවා. මං වගේ වයසක අය තමයි තාමත් ගොවිතැන් කරගෙන යන්නේ.   
එක එක ආණ්ඩු ආවා. ඒ අය කෘෂිකර්මාන්තය ගැන සැලසුම් හදනවා. මේ ආණ්ඩුව හදපු සැලසුම ගැන මොකද හිතන්නේ?   
අනේ මේ මෙයාල හදන සැලසුම් ගැන නම් අපි දන්නේ නැහැ අනේ. රටට තේරෙන විදියට පෙනෙන විදියට රට අගාධයට යන සැලසුම් තමයි මේ අය හදන්නේ.   
රට අගාධයට යන සැලසුම් කියලා ඇයි ඔබ එහෙම කියන්නේ?   
රට අගාධයට යනවා මිස කෘෂි කර්මාන්තයෙන් ගොවියා නගාසිටුවන වැඩක් වෙන්නේ නැහැනේ.   
රටේ මුළු ජනගහනයෙන් කාන්තාවන් කොච්ච්ර ඉන්නවාද කියලා ඔබ දන්නවාද?   
මා හිතේ රටේ ජනගහනයෙන් බාගයකටත් වඩා කාන්තාවන් ඇතියි කියලා මම හිතනවා.   
පුද්ගලික විශ්වවිද්‍යල රටට අවශ්‍යයි කියලා සහ ඒවා රටට අනවශ්‍යයි කියලා රට තුළ විවිධ සංවාද යනවා. ඔබ මේ ගැන හිතන්නේ මොකක්ද?   
පුද්ගලික විශ්වවිද්‍යාල මම නම් අනුමත කරන්නේ නැහැ. ඒකෙන් නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම විනාශ වෙයි කියලා තමයි මම හිතන්නේ. අධ්‍යාපනයට සම්බන්ධ වගකිව යුත්තෝ මේ රටේ දුප්පත් කෙල්ලන්ට කොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාව හදන්න ඕනෑ. රජයේ විශ්වවිද්‍යාලවල අඩුපාඩු හදලා උන්ට ඉගෙන ගන්න ඒවායේ ඉඩකඩ හදා දෙන්න ඕනෑ.   
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට කැමැතිද?   
කැමැතියි. දරුවෝ බලන නිසා මුල් කාලේ ඉඳන්ම බැලුවා. ගමේ ගොඩේ වෙළේ එල්ලේ ගැහුවා කොල්ලෝ සංදියේ. ක්‍රිකට් ක්‍රීඩාවට අති දක්ෂයෝ මේ ගමේ ගොඩේ ඉන්නවා. ඒත් අවස්ථාවන් නැහැ. ඔය දැන් තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවක් නෙමෙයි තනිකර දේශපාලනය. ඔය දේශපාලනඥයින්ගේ වුවමනා එපාකම් අනුව තමයි සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවෙන්නේ.   
කෘෂිකර්මය දියණු කරන්න මොනවද ආණ්ඩුවේ බලධාරින් කරන්න ඕනෑ.   
ජල ප්‍රශ්නය විසඳන්න ඕනෑ. ගොවින්ට වතුර ටික දෙන්න ඕනෑ. පිටරට යවන්න තරම් කෘෂිකර්මයක් මේ රටේ කරන්න ඕනෑ කියලා මං හිතන්නේ නැහැ. අපේ රට ලොකු රටක් නෙමෙයිනේ. ශ්‍රමය තියෙනවා ඕනෑ තරම්. මිනිස් ශ්‍රමය කියන්නේ ලොකු දෙයක්. නිෂ්පාදන අලෙවි කරගන්න බැහැ. අතරමැදි කට්ටිය ගසාකනවා. රජය මැදිහත් වෙන්න ඕනෑ ඒවා ගොවියාට සාධාරණයක් වෙන විදියට මිලදි ගන්න. එළවළු පලතුරු කල් තබාගන්න ක්‍රමයක් ලංකාවේ නැහැ. එළවළු දෙකෙන් කොටසක් මගදිම විනාශ වෙනවා. ඉතින් අනේ ඔය එළවළු කොටුවලට ඇවිත් ගන්නෙත් තුට්ටුවට දෙකටයි. ඉතින් මිනිස්සු දහ අතේ ණය වෙලා, පොලියට අරන්, බැංකුවලට ණය වෙලා, වස බොන තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ගොවියට නිවනක් නැහැ.   
දරුවන්ට වහ පොවලා, තාත්තලා එල්ලිලා මැරෙන තත්ත්වයක් ඇවිල්ලා. ඇයි එහෙම වෙන්නේ?   
මේ ගැන මට ලොකුම ලොකු කම්පාවක් තිබුණා. කැලණි ගඟට දරුවත් එක්ක අම්මා පනිනවා. දරුවට ලෝකෙන් ආරක්ෂාවක් නැති වෙයි කියලා අම්මා දරුවත් එක්කම පනිනවා. තාත්තාලා දරුවන්ට වහ පොවලා මැරෙනවා. මේවා යට ලොකු සමාජ ප්‍රශ්න තියෙනවා. ඒවා ගැඹුරින් කල්පනාවට ගන්න ඕනෑ. කොහෙම වුණාත් මේවා සමාජය තුළ නොවිය යුතුයි.   
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද   
රටේ මේ තියෙන ප්‍රශ්න විසඳන්න හදිසි නීතියම ඕනේ නැහැ. මේවා හැමදාමත් ආණ්ඩුවල අය පාවිච්චි කළේ මාධ්‍ය මර්දනය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කරන්නනේ. ඒවා තමයි අපි දැක්කේ.   
රටේ කලාව සාහිත්‍යය ගැන අදහස කුමක්ද   
දක්ෂයෝ ඕනෑ තරම් රටේ ඉන්නවා. අත දෙන්න විදියක් තමයි නැත්තේ. ඒ ගැන කම්පාවක් තියෙනවා. මම ජාතික රූපවාහිනියේ සංගිත වැඩසටහන් ආසාවෙන් බලනවා. විශේෂයෙන්ම සිහිනයකි රෑ සංගීත වැඩසටහන හරිම ලස්සනයි. ඒ හැරුණම දේශපාලන සංවාදත් සාහිත්‍ය සංවාදත් බලනවා. අටපට්ටම බලනවා. හේනේ කුඹුරේ වැඩ කළත් සංගීතය, සාහිත්‍ය විඳින්න ආසයි. නිල්පාට ගහකොළ, කුරුල්ලෝ කොබෙයියෝ මේ අවට හැම තැනම ඉන්නවා. අපි සියල්ලට පළමුව ගහට කොළට සොබාදහමට පරිසරයට ආදරේ කරන්න ඕනෑ.   
ඔබ ඉන්න ගම් ප්‍රද්ශය ගැන කිව්වොත්   
මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම් පෙරළියේ උන්න ජිනදාස ඇවිල්ලා පදිංචි වෙන්නේ අපේ ඇකිරියන්කුඹුර ගමට. මාදිගල කියලා කන්දක් තියෙනවා. ඇඳගල කියලා. පුරාවස්තු තියෙන තැනකුත් තියෙනවා. ඊට කිලෝමීටරයක් මෙහා මම ඉන්නේ. පුවක්වත්ත, ඇඳගල පාර, ඇකිරියන්කුඹුර තමයි මගේ ලිපිනය.  

 

 

සටහන
පද්මිණි මාතරගේ