අනිසි බියකින් තොරව එන්නත ගන්න


 

  • පිළිකා ඇතිවෙනවා. වඳවෙනවා කියන කතා සියල්ල බොරු   

වසර දෙකකට අධික කාලයක් කොවිඩ් මාරයා සමඟ පොර බදමින් කොවිඩ් 19 වසංගතයට නිශ්චිත විසඳුමක් ලැබෙන තුරු දෑස් දල්වා බලා සිටි කෝටි ගණනක ජනතාව විසින් අත්නොහරින ලද සටනක ප්‍රතිඵලයක් ලෙස ලැබුණු සුබආරංචිය නම් කොරෝනා වෛරසයට එරෙහිව සොයාගත් එන්නතයි. 

 
ලෝකයේ බොහෝ රටවල් විසින් කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට එන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ අත්හද‌ා බැලීම් නිරන්තරයෙන් සිදුකළ පසුබිමක සාර්ථක එන්නතක් සම්බන්ධයෙන් සියල්ලෝගේම අවධානය යොමු වූයේ කොවිඩ් හමුවේ ලොව බලවත් රටවල් පවා දණින් වැටී ඇති මොහොතකය.   
දැනට වාර්තා වන අන්දමට එන්නත් 260 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂණ මට්ටමේ කටයුතු සිදුකරන අතර එයින් එන්නත් 15 පමණ දැනට පවතින්නේ සායනික පරික්ෂා කිරීමේ අවසන් අදියරයේය.   
 කෙසේ නමුත් කොවිඩ් මාරයා තුරන් කිරීමට සොයාගත් මෙම එන්නත අවසන් හා සුබවාදී බලාපොරොත්තුව විය හැකි අතර ලෝකය පුරා කෝටි ගණන් ජනතාවගේ සිත්සතන් පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේ ද බලාපොරොත්තු යථාර්ථයක් කරමින් මේ වන විට එම එන්නත ලාංකික අපට ලැබී ඇත. සෞඛ්‍ය අංශ කඩිනමින් එන්නත්කරණය ආරම්භ කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන අන්දමට මෙසේ ලබා දී ඇත්තේ Oxford-Astra Zeneca Covishield එන්නතෙහි ඉන්දියානු නිෂ්පාදනය වන Covishield එනම් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ්’ එන්නතයි.   


ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ප්‍රමුඛ වශයෙන් අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට ලබා දීමට නියම වී ඇති අතර වයස් භේදයකින් තොරව විවිධ සංකූලතා ඇති පුද්ගලයින්ට එන්නත ලබා දීමට නියමිතව ඇත. එසේ ක්‍රමානුකූලව වයස අවුරුදු 50-59, 40-49 ආදී ආකාරයට එන්නත ලබා දීමට මේ වන විට කටයුතු කර ඇති බවත් කොවිඩ් නිසා මරණය සිදුවීමට වඩාත් ඉඩකඩ ඇති 60 වැඩි හා සංකූලතා තියෙන අයට එන්නත් ලැයිස්තුවේ ප්‍රමුඛතා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.  
එමෙන්ම දිනෙන් දින මෙරට සිදුකරන P.C.R පරික්ෂණ සංඛ්‍යාව ද ඉහළ දමා ඇති අතර විවිධ වූ වෛරස් ප්‍රභේද මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනා ගැනීමත් සමඟ ඉතාම අවද‌ානම්කාරී තත්ත්වයකට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය පෙන්වා දෙන මොහොතක කොරෝනාවට එරෙහි ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා ගැනීමට ජනතාව තුළ ඇති වී ඇත්තේ ද මහත් උනන්දුවකි.  


වසංගත රෝග විද්‍යායතන දත්ත අනුව කොරෝනාවට එරෙහිව ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා එන්නත මෙරට පුද්ගලයින් 739,562 කට මේ වන විට ලබා දී ඇත. තව ද කොවැක්ස් පහසුකම් යටතේ තවත් එන්නත් දෙලක්ෂ හැටහතර දහසක් පසුගිය දිනක මෙරටට ලැබුණු අතර එම එන්නත් ප්‍රමාණය කොරෝනා අධි අවද‌ානම් ප්‍රදේශවල වෙසෙන අවුරුදු 60 ට වැඩි ජනතාවට ලබා දීමට කටයුතු කර ඇත.  
 කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන් තුළ විවිධ වූ වැරදි මත පැතිරී යාමත් සමඟ තරුණ කාන්තා ප්‍රජාව එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.


කොවිඩ් එන්නත හේතුවෙන් කාන්තාවන් ‘වඳ භාවයට’ පත්වන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සමහර කාන්තාවන් ප්‍රකාශ කර ඇත.  
‘මම වැක්සින් එක ගහන්න ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මොකද මම රැකියාව කරන්නේ කොළඹ නිසා. මම විවාහ වෙලා තාම ලොකු කාලයක් නැහැ. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා මේ එන්නත ලබා ගන්න මට බයක් ඇති වුණා.  
ඇයි බය... මම ඇසීමි.  


දරුඵල නැති වෙනවා කියලා ගොඩක් දෙනෙක් මට කීවා. ඒ වගේම ගෑනු අයට ගොඩක් අමාරු වෙනවා කියලත් කියනවනේ. සමහර වෛද්‍යවරුන් කියනවා පසුකාලීනව දරුඵල නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් බයට මම වැක්සින් එක ගහන්නේ නැහැ කියලා හිතුවා යැයි ඇය පැවැසුවාය. මේ පිළිබඳව අප කළ විමසීම්වල දී තරුණ කාන්තාවන් විශාල පිරිසකගේ මතය වූයේ එයයි. කොරෝනා මර්දන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් ඇත්තටම කාන්තාව වඳ භාවයට පත්වෙනවද?  
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානි චන්දිම ජීවන්දර මහතාගෙන් මෙවර විමසා සිටියේ එන්නත සම්බන්ධයෙන් පැතිරී ඇති ජනතා මතය පිළිබඳවය.  
‘මේ වෙනකොට කොරෝනා, වෛරසයට කෝටි ගණනාවක් බිලිවෙලා ඉවරයි. මේ වෛරසයෙන් බේරෙන්න නම් විසඳුම් දෙකයි අපට තියෙන්නේ. එකක් තමයි මේක ලෝකයට හැදිලා හොඳ වෙන්න දෙන එක. ගොඩක් මිනිස්සු ඒකෙන් මැරෙන්න පුළුවන්. අනිත් එක තමයි වෛරසය හැදෙන්න කලින් අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබාදෙන එක. ප්‍රතිශක්තිය ලබා දෙන්න පුළුවන් නූතන ක්‍රමවේදය තමයි වැක්සින් එක ගහන එක. දැනට ලෝකයේ මේ වෛරසයට අද‌ාළ වැක්සින් පිළිබඳ සායනික අත්හද‌ා බැලීම්වල දී එන්නත් වර්ග හතරක් තියෙනවා.  


Whole Virus, Protein Subunit, Viral Vector සහ Nucleic Acid (Rna සහ Dna) මේවා යොද‌ා ගෙන තමයි ප්‍රධාන වශයෙන් මේ වැක්සින් එක නිර්මාණය වන්නේ.  
 මුලින්ම ලංකාවට ගෙනා මේ ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක අපි ඉහත කී කාණ්ඩවලින් වෛරල් වෙක්ට (Viral Vector) විදිහට තමයි හඳුන්වන්නේ.  
 දැනට මේ එන්නත ලෝකයේ අවුරුදු දහඅටට වැඩි අයට ලබා දීමට හැකියාව තිබුණත් ලංකාවේ තීරණය කරලා තියෙන්නේ අවුරුදු 30 වැඩි අයට ලබා දීම සුදුසුයි කියලා. දැනට මේ එන්නතේ ලබා දෙන්නේ මාත්‍රා 2ක් පමණයි. සමහර විට මාත්‍රාව වෙනස් වැක්සින් වර්ගයක් ආවොත් ඉදිරියේ දී වෙනස් වෙන්න පුළුවන්.  
ඒ වගේම තමයි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමේදී පොදු ජනතාවට ගැටලු රාශියක් මේ වෙනකොට මතුවෙලා තියෙනවා.  


එකක් තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ගත් අයට දෙවන මාත්‍රාව අලුත් එකක් වුණොත් මොකද වෙන්නේ?  
මෙතනදී කියන්න ඕන දැනට තියෙන දත්තවල හැටියට එක වැක්සින් එකක් ගහලා දෙවැනි මාත්‍රාවට වෙනත් වැක්සින් එකක් එන්නත් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම අවසරයකුත් නැහැ. ඇස්ට්‍රාසෙනිකා එන්නත නම් මාත්‍රා දෙකම ලබා දිය යුත්තේ එම එන්නතෙන් පමණයි. ඒක වෙනස් වෙන්නේ නැහැ.  
දෙවන මාත්‍රාවට වෙනත් වැක්සින් එකක් ලබා දුන්නොත් ප්‍රතිශක්තිය වැඩි වෙනවද කියලා දැනට ලෝකය පුරා පරික්ෂණ කිරීම සිදුවෙනවා. ඒ පරික්ෂණ වාර්තා අනුව මාර්තු අවසානයේ අප්‍රේල් වෙනකොට අපේ රටෙත් එන්නත සම්බන්ධව ඇති මාර්ගඋපදේශන වෙනස් වෙන්න පුළුවන්.  
 පොදු ජනතාවට තව තියෙන ගැටලුවක් තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් පසුව වෙනත් රෝග සඳහා එන්නතක් ලබා ගන්න පුළුවන් ද කියන එක?  


ඒක බොහොම වැදගත් දෙයක්. මේ ඇස්ට්‍රාසෙනිකා එන්න ලබාගෙන වෙනත් එන්නත් ලබා ගන්න නම් දින ද‌ාහතරක්වත් කල් ගතවිය යුතු වෙනවා.  
සාමාන්‍ය එන්නත් දෙකක් අතර පරතරය දින ද‌ාහතරක් තිබිය යුතුමයි. විදේශගත වෙන අයට තාම මේ එන්නත අනිවාර්ය වෙලා නැහැ. ඉදිරි මාස 3 ඇතුළත ලංකාවෙන් පිටවන අයට එන්නත ලබා ගැනීම අනිවාර්ය වෙන්න පුළුවන්. ඒත් එක් එක් රට අනුව මේ වැක්සින් වෙනස් වීමට බොහෝ ඉඩකඩ තියෙනවා.  
මේ එන්නත ලබාගත් පසු විවිධ අතුරු ආබාධ ඇති වෙනවද කියලා පොදු ජනතාව තුළ අනිසි බියක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා එන්නත සම්බන්ධයෙන්?  
ඇත්තටම ප්‍රධාන වශයෙන් කෙනෙකුට ඇඟපත වේදනාව, උණ, එන්නත ලබා දුන් අතේ වේදනාව, හිස කැක්කුම ඇතිවෙන්න පුළුවන්. මේවා වැක්සින් එකක් ගැහැව්වම එන සාමාන්‍ය අතුරු ආබාධ විදිහට තමයි අපි සලකන්නේ.  

 


ඕනෑම වැඩිහිටියෙකුට අත්දැකීම් තියෙනවා පොඩි දරුවෙකුට, මාස ගණනක දරුවෙකුට වැක්සින් එකක් දුන්නම එන සාමාන්‍ය තත්ත්වය. ඒ නිසා මේ වගේ වැක්සින් එකකින් උණ ගැනීම සාමාන්‍ය දෙයක්. එන්නත ලබාගත් අය අතපය රිදෙන්නේ නැති වුණත් වෛද්‍යවරයා ළඟට දුවගෙන යනවා. මොකද මට අතුරු ආබාධ නැත්තේ කියලා. ඒක සාමාන්‍ය දෙයක්. එයට බිය විය යුතු වන්නේ නැහැ. පැය 48 ඇතුළත ඒ අතුරු ආබාධ යථා තත්ත්වයට පත්වෙනවා.  
 තව එකක් තමයි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත්තම වඳභාවය ඇතිවෙනවා කියලා විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා. ඒ වගේ කතාවක් කොහෙන්ද ආවේ කියලා හිතාගන්නවත් බැහැ. මොකද ඒකේ කිසිම සත්‍යතාවක් නැහැ. මෙහෙම මිත්‍යාවක් පතුරවන්නේ බොහෝ දෙනාට එන්නත පිළිබඳ හරි අවබෝධයක් නැති නිසා. මෙවැනි බියවැද්දීම් සිදුකරන්නේ එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් කියලයි අපට හැඟෙන්නේ. විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මේ එන්නත ලබා ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. වඳ භාවය සහ මේ වැක්සින් එක සමග සබඳතාවයක් නැහැ.  


 අපි මේ එන්නත ප්‍රමුඛව ලබා දෙන්නේ හෘද රෝග, දියවැඩියාව ඇදුම රෝග තියෙන අයට. මොකද මේ එන්නතෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ කොවිඩ් වැළඳුණු කෙනෙක් මිය යන එක නතර කරන එක. ඒ නිසා දියවැඩියාව, ඇදුම රෝග, හෘද රෝග, අධිරුධිර පීඩනය තියෙන අය මේ එන්නත ලබා දෙන්න ලැයිස්තුවේ ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. එවැනි අයට අපි කියන්නේ අනිවාර්යෙන්ම මේ එන්නත ලබා ගන්න කියලා.  
මේ අතර ගැබිනි මවුවරුන්ට එන්නත නොදෙන්නේ එන්නත හොඳ නැති නිසා නෙමෙයි. ඒ සම්බන්ධව තාම පර්යේෂණ සිදුකරලා නැති නිසා. ඒ වගේම කිරි දෙන මව්වරුන්ට අවද‌ානම් රෝග ති​බේ නම් එන්නත් ලබා ගන්න පුළුවන්. ඒත් මේ කාණ්ඩවල තාම පර්යේෂණ සිදුවෙලා නැහැ.  
කොරෝනා හැදුන අයට එන්නත ලබා දෙනවද?  


ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට කොරෝනා වෛරසය වැළඳුණු බවට PCR පරික්ෂණයෙන් තහවුරු කරලා තියෙන අයට මාස 6 මේ එන්නත ප්‍රමාද කිරීමේ හැකියාව තියෙනවා.  
ලංකාවෙන් සොයාගත් පළමු කොරෝනා රෝගියා, ජයන්ත මහතාගෙන් අපි සාම්පල අරගෙන පරික්ෂණය කළා. එතුමාට කොරෝනා හැදිලා අවුරුද්දකට පස්සේ ස්වභාවිකව ප්‍රතිදේහ ඒ ආකාරයෙන්ම රැඳිලා තියෙනවා. ඒක ඉතාම සුබද‌ායී තත්ත්වයක්.  
 හැබැයි කෙනෙක් උණ රෝගයෙන් පෙළෙන අතර කොරෝනා වෛරසයට යැයි සැක කළ හැකි ලක්ෂණ තියෙනවා නම් මේ වැක්සින් එක ලබා ගැනීම සුදුසු වන්නේ නැහැ.  
කෙසේ නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ලැබීමත් සමඟ වෛරසය පාලනය කර ගැනීමට හැකිවේ යැයි ප්‍රාර්ථනා කළ සිහිනය යථාර්ථයක් වන්නට තිබිය දී කොවිඩ් 19 වෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හමුවී යැයි තවත් හෙණයක් හිස මතට කඩා පාත් විය. B.1.1.7 ලෙස හඳුනා ගෙන ඇති නව කොවිඩ් 19 වෛරසයේ බලපෑම මේ වන විට ශ්‍රී ලංකාවට ද තදින්ම එල්ල වී ඇත. බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් පහකට පමණ ව්‍යාප්ත වී ඇති මෙම වෛරස් ප්‍රභේදය සොයාගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අංශය විසිනි.  
 එංගලන්ත නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ දිගුව ශ්‍රී ලංකාව තුළින් හඳුනා ගත් විද්‍යාඥ කණ්ඩායමේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේදවල නවතම පර්යේෂණ තොරතුරු අපි විමසුවෙමු.  


 ‘එංගලන්ත වෛරස් ප්‍රභේදය අපිට කොළඹ, මීගමුව, අවිස්සාවේල්ල, බියගම, වත්තල, ඉංගිරිය, මතුගම, මන්නාරම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු නියැදිවලින් තහවුරු කරගැනීමට හැකියාව ලැබුණා. එම ප්‍රභේදය වන්නේ එංගලන්තයේ හඳුනා ගත්ත B.1.1.7 කියන කාණ්ඩයයි. ලංකාවේ දැනට ප්‍රධාන වශයෙන් තියෙන කොරෝනා ප්‍රභේදය තමයි B.1.411 කියන ප්‍රභේදය. ඊට අමතරව රට තුළ තියෙන වෛරස් ප්‍රභේද රටට පිටින් ඇතුළු වී ව්‍යාප්ත වූ ඒවා. පිටින් ලංකාවට ආපු ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථානවලින් එළියට ගියේ නැහැ. අපි හැම ප්‍රදේශයකින්ම නියෝජනය වන පරිදි නියැදි කිහිපයක් තෝරාගෙන පර්යේෂණ කළා. එතැනදී බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 ක් පමණ අපට හමුවෙලා තියෙනවා. මේ වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිරී යාමේ හැකියාව වැඩියි. රටේ කොරෝනා​ වෛරසය සීඝ්‍ර වැඩි වීමක් පසුගිය දිනවල දකින්නට ලැබුණේ මේ නව වෛරස් ප්‍රභේදය නිසා විය හැකියි කියලා හිතන්න පුළුවන්.  
 අපි දැනට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා එන්නත දුන් දවසේ ඉඳලම අවශ්‍යම කරන දත්ත ලබාගෙන අපේ ජනතාවගේ ප්‍රතිශක්ති කොහොමද කියලා අධ්‍යයනය කරන්න පටන් ගත්තා.  
මේ ප්‍රතිශක්තිය ගොඩ නගන්නේ ක්‍රම දෙකකට. එකක් තමයි අපේ ඇඟේ සුදු රුධිරාණු හරහා ටී ෂෙල්ස් A ආශ්‍රිතව ප්‍රතිදේහ හදනවා. මේ ප්‍රතිදේහ හැදෙන්නේ කොහොමද කියලා 2000 කට අධික පුද්ගලයන්ගේ නියැදි තෝරාගෙන පර්යේෂණ සිදුකරගෙන යනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල තාමත් පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව කරගෙන යනවා එංගලන්ත ප්‍රභේදය තවත් බාහිර සමාජයේ තියෙනවද කියලා. අපි ඒ වෛරස පිළිබඳ පරික්ෂණ සිදුකරගෙන යනවා.  


 දැනට අපට ලැබිලා තියෙන වාර්තා අනුව වෛරස ආසාධනය වන රෝගීන්ගේ අඩුවක් තියෙනවා. කොළඹ නියැදිවලින් ගත්තම කලින් පොසිටිව් වීමේ ප්‍රතිශතය 50% ක් තිබුණා. දැන් ඒක ටිකෙන් ටික අඩුවෙලා තියෙනවා. මේ වන විට කොරෝනා පැතිරීමේ පැහැදිලි අඩුවීමක් පෙන්වා තියෙනවා. මේ එන්නත තවමත් ලංකාවේ අඩු ප්‍රතිශතයක් තමයි ලබා දී තියෙන්නේ. ඉදිරියේ දී එන්නත සමඟ කොරෝනා වෛරසය ගොඩාක්ම අඩුකර ගැනීමේ හැකියාවක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා.  
 ඒ වගේම මාරාන්තික ආසාත්මිකතා තියෙන අයට පවා මේ එන්නත ලබා දීලා අප පරික්ෂණ කරලා තියෙනවා. ඒ පරික්ෂණ අනුව විශාල අසාත්මිකතා තාම ඇතිවෙලා නැහැ කියන එකත් ජනතාව දැනුවත් කළ යුතුයි.  


මේ එන්නත වෛරස් දෛශික මත පදනම් වූ එන්නතක්. මේවා සාම්ප්‍රද‌ායික එන්නත්වලට වඩා වෙනස් වෙන්නේ ඒවායේ ඇත්ත වශයෙන්ම ප්‍රතිදේහජනක අඩංගු නොවන නමුත් ඒවා නිපදවීමට ශරීරයේ සෛල භාවිතා කිරීම නිසා. ඔවුන් කරන්නේ ප්‍රතිදේහ ජනක සඳහා ජානමය කේතයක් ලබා දීම සඳහා නවීකරණය කරන ලද වෛරසයක් (දෛශිකව) භාවිතා කිරීම. ටී සෛල මගින් ශක්තිමත් සෛලීය ප්‍රතිශක්තිකරණය ප්‍රතිචාරයක් මෙන්ම බී සෛල මගින් ප්‍රතිදේශ නිපදවීමේ වාසිය මේ එන්නතේ තියෙනවා. මෙවැනි වෛරස් දෛනික එන්නතකට උද‌ාහරණයක් විදිහට ඉබෝලාවට එරෙහි Rusv - ZEBOV එන්නත හඳුන්වන්න පුළුවන්.  
 ඒ නිසා මේ එන්නත ලබා ගන්න කිසිම කෙනෙක් අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. පිළිකා අතිවෙනවා, වඳ වෙනවා කියන ඒවා විද්‍යාත්මක පදනමක් නැති ප්‍රකාශ. ඒවාට රැවටෙන්න එපා. මේ රෝගයෙන් බේරී ඉන්න නම් මේ වෙලාවේ දී කළ යුතු එකම දේ ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීම පමණයි.  

 

 

 

සටහන - නදීශා අතුකෝරළ