අනියම් ඇසුරකින් තවත් මිනීමැරුමක්


රන්මුතුගල ව්‍යාපාරිකයා ඝාතනයට බිරිය හා අනියම් සැමියා අත්අඩංගුවේ

 

කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ රණවන ලියනගේ අජිත් පුෂ්ප කුමාර මහතා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ලක්ෂ 20ක පමණ මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී හමාරය. අජිත් පුෂ්ප කුමාර මහතාව ඝාතනය කිරීමට තරුණයන් දෙදෙනකුට කොන්ත්‍රාත්තුව බාර දුන් බවට සැලකෙන ඔහුගේ කලින් විවාහයේ බිරිඳ සහ ඇය​ගේ අනියම් සැමියා බව කියන අවිවාහක පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට පත්වී ති​බේ.   


මේ හතර දෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසිනි. එපමණක් ​ෙනාව කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයන් දෙදෙනා ද ​පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙයින් එක් අයෙක් කාන්තා පොලිස් සැරයන්වරියකගේ පුතෙකි. ඝාතනය සඳහා යොදාගත් බවට සැලකෙන ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද ඝාතකයන් ගිය බව කියන යතුරුපැදිය ද පොලිසිය සොයා ගෙන තිබේ.   


 කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය කිරීමෙන් පසු ලක්ෂ 20ක මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇතත් අවසානයේ සැකකාර තරුණයන් දෙදෙනාට ලැබී ඇත්තේ රුපියල් 20,000ක පමණ මුදලකි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් දෙදෙනාම තදින්ම හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෝය.  ඝාතකයන් දෙදෙනා පොලිසියට කොටුවන්නේ විදේශගත වීමට ගමන් බලපත්‍ර සකස් කරගෙන සිංගප්පූරුවට පලායාමට සියලු කටයුතු සූදානම් කරගෙන සිටියදීය.   


අජිත් පුෂ්ප කුමාර මහතා රුපියල් ලක්ෂ ගණනින් මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක් කාලයක තිස්සේ කරගෙන යන දෙදරු පියෙකි. බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයුම් යටතේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.   


කෝටිපති ව්‍යාපාරිකයා​ෙග් ඝාතන සිද්ධිය රූපවාහිනී නාළිකාවලින් විකාශයට පත්වීමෙන් පසු බියට පත් සැකකරුවන් දෙදෙනා ප්‍රදේශය අත හැර දමා පලා ගොස් සැඟව සිට සිංගප්පූරුවට හොර රහසේ පැන යාමට සියලු කටයුතු සූදානම් කරගෙන සිටි බව පොලිසිය කීය.   


අජිත් පුෂ්ප කුමාර සහ බිරිය අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම නිසා ඇය ඔහු අතහැර ඇයගේ මහ ගෙදරට ගොස් ඇත. ඒ ගැටුමට මුල්වී ඇත්තේ අජිත් පුෂ්ප කුමාර රාත්‍රී සමාජ ශාලාවක කැරොකේ නැටුම් ශිල්පිනියක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමය.   


ඇය දරු දෙදෙනා සමඟ නිවසින් යන්නේ පොලිසියේ පැමිණිල්ලක් ද දමාය. ඒ වෙන කිසිවක් නිසා නොව සැමියාගෙන් නිතර සිදුවන හිරිහැර කරදර ඉවසා සිටීමට නොහැකි නිසාමය. සැමියාගෙන් නඩත්තු ඉල්ලා ඇය පවරන නඩුවෙන් පසු ඔහුට බිරිඳට හා දරු දෙදෙනාට නඩත්තු ගෙවීමට ද සිදුව ඇත. රන්මුතුගල ප්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටි ඔහු අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන කැරොකේ නර්තන ශිල්පිනිය ගෙදරටම ගෙනවිත් තබා ගන්නේ බිරිඳ මහ ගෙදරට ගොස් ටික කාලයකට පසුවය.   


ඒ ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙනි.   


ඇය විවාහ කර ගැනීමට බාධාවක් වී තිබුණේ විවාහක බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වී නොසිටීම නිසාය. අධිකරණයේ ඔහු දික්කසාද නඩුවක් පවරන්නේ බිරිඳගෙන් වෙන්වීමේ බලාපොරොත්තුව ඇතිවය.   


මේ නඩුවේ තීන්දුව ජනවාරි 24 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී ඔහු ඝාතනය කරන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 30 වැනිදා රාත්‍රී කාලයේය. යතුරුපැදියකින් තරුණයන් දෙදෙනකු පුෂ්පකුමාර මහතා සොයා ඔහුගේ රන්මුතුගල ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණෙන්නේ යතුරුපැදිය උකස් කර මුදල් ලබාගැනීමට බව කියමිනි.   

 

 

වෙඩිකරුවන්ට හොරා කෙනෙක් මේ සිද්ධිය ගැන ඇස ගසාගෙන සිටියේය. ඒ බවක් ඝාතකයන් කිසිසේත් දැන සිටියේ නැත. ඝාතකයන් දෙදෙනා ගැන ඇස ගසාගෙන සිටියේ නිවසේ රහසිගත ස්ථානයක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවකි. සී.සී.ටී.වී. කැමරාවේ රූප රාමු පරීක්ෂා කර බැලීමේදී සිද්ධිය මුල සිට අගටම රූගත වී අැති ආකාරය පොලිසියට දැක ගැනීමට ලැබී ඇත.   


ඝාතකයන් දෙදෙනාගෙන් එක් අයෙක් හඳුනා ගැනීමට හැකි මට්ටමක් තිබෙන බව පොලිසියට පෙනී ගියේ රූප රාමු එකිනෙක පරීක්ෂා කර බැලීමේදීය. බස්නාහිර පළාත උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මේ කෝටිපතියාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බාර දුන්නේ ඔහුගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින බස්නාහිර පළාත උතුරු දිසා අපරාධ විමර්ශන ඒකකය වෙතය.   


එම අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් උපපොලිස් පරීක්ෂක පියසිරි මහතා සමඟ ගොස් කොටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට පැමිණි එක් අයෙකු අල්ලාගෙන ඔහුගෙන් හෙළි කරගත් තොරතුරු මත අනෙකා ද අල්ලා ගෙන ඇත. පොලිස් සැරයන්වරියගේ පුතා මේ දෙදෙනාගෙන් එක් අයෙකි.   
බස්නාහිර උතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මහේෂ් බණ්ඩාර මහතාගේ උපදෙස් මත අල්ලාගත් දෙදෙනාගෙන් එම කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර ඇත්තේ මෙම ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමටය. අජිත් පුෂ්ප කුමාරගේ විවාහක බිරිඳ හා ඇය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඒ සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.   


ඒ දෙදෙනා අපි සුදර්ශනී හා අරුණ යැයි කියමු. මේ නම් දෙකම ව්‍යාජ ඒවාය. අරුණ කාලයක් කොරියාවේ රැකියාවක් කර මෙරටට පැමිණ මුදල් පොලියට ලබාදීම කරගෙන යාමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. අරුණ පදිංචිව සිටියේ ද සුදර්ශනීගේ නිවසට නුදුරිනි.   


ණය මුදල් ඉල්ලා ගැනීමට ගිය අවස්ථාවක දැන හඳුනාගෙන ටික කාලයක් ගිය පසු දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් පටන්ගෙන ඇත.   


මේ සම්බන්ධය පටන්ගෙන ඇත්තේ සැමියාගෙන් වෙන්වී ඇයගේ මහ ගෙදරට පැමිණ ටික කාලයකට පස්සේය. අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔවුන් මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.   


“අරුණ අයියාව මම හඳුනා ගන්නේ අලුත්ගම හෝටලයකදී පැවැති වෙඩින් එකකදී. ඉන් පස්සේ අපි දෙන්නා අතර මිත්‍රකමක් ගොඩනැගුණා. ඔහු මට මේ ඝාතන කොන්ත්‍රාත්තුව බාර දුන්නා. ලක්ෂ 20ක මුදලක් ඝාතනයෙන් පස්සේ ලබාදෙන බව කිව්වා. ටී. 56 අවියක් ගෙනවිත් දුන්නා. ව්‍යාජ නම්බර් ප්ලේට් දෙකක් ද ගෙනවිත් දුන්නා. අරුණ අයියා සහ සුදර්ශනී ඇවිත් තමා මේවා අපට බාර දුන්නේ. ඒ හොර නම්බර් ප්ලේට් යතුරුපැදියේ ගසාගෙන තමා වෙඩි තියන්න ගියේ. වෙඩි තැබීමට ගියේ මගේ මිතුරෙක් ද සමඟයි.   


‘සල්ලි හිර වෙලා තියෙන්නේ, දැන්ම ලක්ෂ 20ක් දෙන්න බැහැ’ කියා ඝාතනයෙන් පස්සේ රුපියල් 10,000ක් මුලින් දුන්නා. ඊට පස්සේ ආයෙත් රුපියල් 15,000ක් දුන්නා ඉතිරි සල්ලි ටික අපිට දුන්නේ නැහැ. අපි දෙන්නා කුඩු ගහනවා. ලැබුණු මුදල්වලින් කොටසක් මත්කුඩු ගහන්න වියදම් කළා.   


 මේ ඝාතන සිද්ධියට අපි දෙන්නා මාට්ටු වෙයි කියා බය හිතිලා සිංගප්පූරුවට යන්න පාස්පෝට් ද හදාගත්තා. අරුණ අයියාගේ කීමට තමා මෙහෙම දෙයක් කළේ. වෙඩි තියන්න යන්න කලින් අජිත්ගේ ​​ෙෆාටෝ එකක් පෙන්නුවා. ඔහුගේ ගෙදර ළඟට එක්කගෙන ගිහින් පෙන්නුවා. මීට කලින් කිසිම දවසක වෙපන් එකක් අතින් අල්ලලාවත් නැහැ. ඉන්ටර්නෙට් එකේ වෙඩි තියන ආකාරය ඇතුළත් ඡායාරූප වගයක් පෙන්වා ‘මේ විදිහට වෙඩි තියන්න’ කියා අරුණ අයියා කියා දුන්නා.” යැයි ද එම සැකකරු පොලිසියට පවසා ඇති බව කියති.   


බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මහේෂ් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. පියසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන සුජීව (15343), නන්දන (48949), අනිල් (69598), චමින්ද (70133), විජේසිංහ (36968), කුමාර (73132) සහ සුපුන් (3270) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.   


ඝාතනයට ලක්වූ අජිත් පුෂ්ප කුමාර, ඔහුගේ සහෝදරියක්, මාමා කෙනෙක් හා පාතාල සාමාජිකයන් ලෙස සැලකෙන කඩුවෙල රොෂාන් නමැත්තා 2009 වසරේ දී පුද්ගලයකු ඝාතනය කර සිරුර පිලිස්සීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප ලබා පැමිණ ඇති බවට පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.   


පසු කාලයක මොවුන් සියලු දෙනා මෙම නඩුවෙන් නිදහස ලබා ඇත.   

 

 

 

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය