71 කැරැල්ලේදී ජවිපෙ ‘‘ආණ්ඩුවක්’’ හැදූ දෙවැනි නායකය​ාගේ කතාව


 ලාංකීය සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස් කළ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස 1971 අප්‍රේල් කැරැල්ල හැඳින්වේ. ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ලේ දෙවන නායකයා වූයේ සනත් ය. ගාලු දිස්ත්‍රික්කය ඇතුළු දකුණු පළාතේ සටන් මෙහෙයවීම සනත් යටතේ සිදුවූ අතර අවසානයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඔහු 1971 අප්‍රේල් 23 ඝාතනයට පත්විය. සනත්ගේ බිරිඳ ඇලිස් කොඩිතුවක්කු 2018 ඔක්තෝබර් 6 දිවියෙන් සමුගත් අතර අවසන් කටයුතු 11 බදාදා හික්කඩුව පන්විලදී සිදුවිය. මෙම ලේඛකයා සනත්ගේ බිරිඳ, දූ දරුවන් සහ එවකට ගාලු දිස්ත්‍රික්කයේ 71 කැරැල්ලේ ක්‍රියාකාරීන් සමඟ මාස කිහිපයකට පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් සනත් පිළිබඳව මෙම ලිපිය සකස් වේ.

ගෝනපීනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටිය උපන්නේ 1934 ජුලි 14 වැනිදාය. ඒ ගාල්ලේ අඟුලුගහ ග්‍රාමයේය. ව්‍යාපාරිකයකු වූ පියා ලැන්ටි සිල්වාය. ඔහුට දූ දරුවන් 5 කි. තෙවැනියා වූයේ සනත්ය. කුඩා කාලයේම සනත්ගේ මව මියගිය අතර සුළු මවගේ රැකවරණය යටතේ හැදී වැඩිණි. පසුව දොඩන්දූව වලමුල්ලට පදිංචියට පැමිණියහ. සනත් අධ්‍යාපනය ලැබුවේ දොඩන්දූව හෙන්නතොට විද්‍යාලයෙන් සහ තිරාණගම විද්‍යාලයෙනි.


පසුව ගුරු විදුහලට ප්‍රවේශ වීමේ විභාගයෙන් සමත් වූ සනත් බලපිටිය ගුරු විද්‍යාලයට ඇතුළු විය. එහිදී ඔහු දිරිගැන්වූයේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල බෝගහවත්තේ පදිංචි තිරාණගම විද්‍යාතිලක විදුහලේ දෙටු උපගුරු වඩුගේ පියසේන සහ ඔහුගේ බිරිඳ ඇන්ටි නෝනාය. ගුරු පුහුණුව අවසන් වීමෙන් පසු 1958 දී සනත්ගේ මුල්ම පත්වීම ලැබුණේ මාතලේ පාසලකටය. එහෙත් පසුව විද්‍යාතිලක විදුහලට මාරුවක් ගැනීමට සනත්ට හැකි වූයේ වඩුගේ ගුරුතුමාගේ මැදිහත් වීමෙනි.


හික්කඩුව විදුහලක ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කළ ඇලිස් කොඩිතුවක්කු සමඟ ඔහු විවාහ වූයේ 1960 නොවැම්බර් 14 වැනිදාය. එය දැන හඳුනා ගැනීමෙන් පසු සිදුවූ විවාහයකි. තිරාණගම පන්විල උපන් ඇලිස්ගේ පියා ව්‍යාපාරිකයකු වූ රොයිස් අප්පුහාමිය. මව සේරා පණ්ඩිතය. විවාහයෙන් වසර 11කට පසු සනත් ඝාතනය වනවිට ඇලිස් සිව්දරු මවකි. ලොකු පුතා ශාන්ත උපන්නේ 1962 දීය. ඉන් වසරකට පසු ජයන්තා ද වසර 1966 දී අජන්තා ද උපන්නේය. කනිටු දියණිය සමන්තාට මාස 11ව සිටියදී සනත්ට දිවියෙන් සමුගැනීමට සිදුවිය. දරුවන් සියලු දෙනාම අධ්‍යාපනය ලැබුවේ හික්කඩුව මධ්‍ය මහා විදුහලෙනි. සනත් අද සිටියේ නම් මුණුබුරු මිනිබිරියන් 9 දෙනකුගේ සීයා කෙනෙකි.


වසර 1960 ජනවාරි ගුරු මාරුවක් ලැබ අනුරාධපුරයට ගිය සනත් නුවරවැව මහින්ද විදුහලේ ද, පසුව තලාව බී.ටී.එස්. විදුහලේ ද, කැකිරාව බැප්ටිස් විදුහලේ සිංහල අංශයේ ද, කැලැත්තෑව විදුහලේ ද, කරුවලගස් හන්දියේ පලාඩියම්කුලම් විදුහලේ විදුහල්පති ලෙස ද සේවය කළේය. පසුව උඩුගම විදුහලට 1969 පත්වීමක් ලැබ දෙසතියක් එහි සේවය කිරීමෙන් පසු රත්ගම සිරිසුමන විදුහලට මාරු කළේය.


සනත් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූයේ තිරාණගම විද්‍යාතිලක විද්‍යාලයේ වඩුගේ පියසේනගේ මඟ පෙන්වීමෙනි. කොමියුනිස්ට් පක්ෂය පසුව සංශෝධන සහ විප්ලවකාරී වශයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙසින් ඛණ්ඩනය වීමේදී ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂයට එක්වූ සනත් එහි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් විය. සනත් සහ රෝහණ විජේවීර අතර දේශපාලන සබඳකම් ගොඩනැගෙන්නේ එහිදීය. ඒ 1964 මැයි මසය. පසුව ෂන්ගේ පක්ෂයේ සිටියදීම අනුරාධපුර කැලැත්තෑවේ සනත්ගේ නිවෙසට 1965 පෙබරවාරි ඩබ්ලිව්.ටී. කරුණාරත්නත් සමඟ ගිය විජේවීර මිහින්තලේදී සනත් සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු විජේවීරගේ අලුතින් ගොඩනඟන නව කණ්ඩායමට සනත් එක්විය. විජේවීර සමඟ ගොඩඋඩ විදුහලේ එකට ඉගෙන ගත් අනුරාධපුර යාපනය හන්දියේ වීරසිරි ස්ටෝර්ස්හි හිමිකරුගේ සොහොයුරා පවුලේ මෝටර් රථය සනත් හමුවීමට යෑමට විජේවීරට ලබා දී තිබිණි. අවසානයේ විජේවීර සමඟ ජවිපෙ ඉහළම නායකයන් 4 දෙනා වූයේ සනත්, ඩබ්ලිව්.ටී. කරුණාරත්න සහ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලය.


අනුරාධපුරයේ සනත් සිටි කාලයේදී පොසොන් පොහොයට මිහින්තලේ දන්සලක් පැවැත්වීය. පොසොන් උත්සවයට මාස කිහිපයකට කලින් සහල් පුරවන හිස් බෑග් පුර්ණකාලීන්ට සහ හිතවතුන්ට ලබාදී පොසොන්වලට දෙසතියකට පමණ පෙර ඒවා එකතුකර ගැනිණි. දන්සලට අවශ්‍ය සහල් ටික යවා ඉතිරිය විකුණා ගත් මුදල් ව්‍යාපාරයට යෙදවිණි. කිරින්දේ ගොවිපොළ සහ කතරගම තේ කඩයෙන් එකතු වූ මුදල් ද ව්‍යාපාරයට වෙන් විය. කිරින්දේ ගොවිපොළට ගොස් තිස්සමහාරාමයට පැමිණි නමුත් යෑමට අවශ්‍ය මුදල් නොතිබීම නිසා විජේවීර සමඟ දෙවරක්ම බඩු මලු මුට්ට කර ගසා මුදල් සොයා ගැනීමට සනත්ට සිදුවිය. බස් නැවතුමේ සිට වෙළෙඳපොළ දක්වා ලොකු ගෝනියක් ගෙනයෑමට ශත 50ක් ද, පොඩි ගෝනියක් ගෙනයෑමට ශත 25ක් ද ඔවුන්ට ලැබිණි.


ගාල්ල, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පන්ති පැවැත්වීම සඳහා සනත් නොගිය ප්‍රදේශයක් නැති තරම්ය. බස්රථයෙන්, පාපැදියෙන් සහ පා ගමනින් දුෂ්කර ගම්මානවලට ගොස් ඔහු සාකච්ඡාවල නිරත විය. මිහින්තලයේ ගල්කුලම සහ පොළොන්නරුවේ ගොවිපොළවල් පිහිටුවීමට ද මුල් විය. අනුරාධපුර කැලැත්තෑවේදී 1967 දෙසැම්බර් ඓතිහාසික වැදගත්කමකින් යුත් තෙදින සාකච්ඡාව සූදානම් කිරීමට ඔහු ප්‍රමුඛයකු විය. මාක්ස්වාදී පක්ෂයක අවශ්‍යතාව අවධාරණය කර එවැනි පක්ෂයක් බිහිකිරීම සඳහා මතවාදී අරගලයක් දියත් කිරීමට තිරණය වූයේ එහිදීය. ජනප්‍රිය පන්ති 5 මගින් අධ්‍යාපනය ලබාදීම එහි එක් ප්‍රතිඵලයකි.
පසු කලෙක ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් අනුව 1970 අප්‍රේල් 3 ගුරු වෘත්තියෙන් සමුගත් සනත් පූර්ණකාලීනයකු විය. පසුව එම තීරණයටම අනුව යමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ දේශපාලන මණ්ඩල සභික ඩබ්ලිව්.ටී. කරුණාරත්න ද රැකියාව අතහැර 1970 නොවැම්බර් 4 සිට පූර්ණකාලීනයකු විය.

 


අප්‍රේල් 5 ප්‍රහාරය සඳහා තීන්දුව ගත්තේ 1971 අප්‍රේල් 2 ගංගොඩවිල විදුදය සරසවියේ සංඝාරාමයේදීය. ඒ වනවිට මාර්තු 13 අම්පාරේදී අත්අඩංගුවට ගත් විජේවීර යාපනයේ බන්ධනාගාරයේය. රැස්වීම පියතිලක විසින් කැඳවූ අතර 9 දෙනකුගෙන් යුත් එම නායක මණ්ඩලයේ මුලසුන දැරුවේ ද පියතිලකය. හැඳල ටී.ඩී. සිල්වාගේ නිවෙසේ සිට ලොකු අතුල සහ කරුණාරත්න සමඟින් සනත් පැමිණ තිබිණි. අප්‍රේල් 5 රාත්‍රී 11.30ට පොලිස් ස්ථානවලට පහරදීමට තීරණය කෙරිණි. මෙම තීරණයට පෙර තවත් කණ්ඩායමක් වෙනම රැස් වී තීරණයක් ගෙන තිබිණි. එබැවින් සහභාගී වූ අයට පහරදීමේ තීරණය හැර වෙන විකල්පයක් නොතිබිණි. වැල්ලවාය පොලිසියට කලින් පහර දෙන්නේ වැරදි පණිවිඩයකින් නොව අලුතින් ගත් තීරණය ඔවුනට සන්නිවේදනය නොවීමෙනි.


අප්‍රේල් කැරැල්ලේදී ඇතැම් නායකයන් පසුබසිද්දී ගාලු දිස්ත්‍රික්කයේ සටන් මෙහෙය වූයේ සනත්ගේ නායකත්වයෙනි. ජවිපෙ ගාලු දිසා ලේකම් කරන්දෙණියේ සිරිපාල හෙවත් ජගත් සහ යටගල මහා විදුහලේ විදුහල්පති ඇල්පිටියේ ධර්මදාස ජයසිංහ එහි නියමුවෝ වූහ. ඌරගහ පොලිසිය ලංකාවෙන්ම යටත් කරගත් පොලිසි 5න් එකක් විය. එයට එක්වූයේ ඔහු සමඟින් ඕ.කේ. ජයවර්ධන, ලෙස්ලි ජයසිංහ, තිලක් වික්‍රමසිංහ, ආරියපාල, රසේන්ද්‍ර, රොබට් වික‍්‍රමසිංහ සහ සෝමසිරි ඇතුළු පිරිසක් විය. රටේම පාලනයට යටත් වූ ජවිපෙ කැරලිකරුවන්ගේ පොලිස් බලප්‍රදේශ 35 අතර ඌරගහ, ඇල්පිටිය, මීටියාගොඩ සහ පිටිගල විය. එම ප්‍රදේශවල බලය කැරලිකරුවන් විසින් 1971 අප්‍රේල් 5 සිට 21 දක්වා දින 17ක් පවත්වාගෙන ගිය අතර ඇතැමුන් එම දින 17 පාලනය හැඳින්වූයේ ‘කොටන් ආණ්ඩුව’ ලෙසිනි.


කැරැල්ලේ පරාජයෙන් පසු ගාල්ලේ කැරැලිකරුවන් සිංහරාජයට පසුබැස්සේය. එහිදී යට්ටපාත හරහා නෙළුව කන්ද අසල හිතවංශගේ බාප්පාගේ නිවෙසට යෑමේදී සනත් ඇතුළු තිදෙනෙක් බටුවන්ගලදී ගම්වැසියන් විසින් අල්ලාගෙන උඩුගම පොලිසියට භාරදෙන ලදී. පසුව ඔවුන්ටම කියා වළක් කපා වෙඩි තබා ඝාතනය කර එම වළටම දැමූ බව කියති. ඒ 1971 අප්‍රේල් 23 ය. අප්‍රේල් කැරැල්ලේදී මියගිය ජවිපෙ ඉහළම නායකයා ඔහු විය. එවකට සනත් පදිංචිව සිටි බද්දේගම පතන හන්දියේ නිවෙස ද ගිනිබත් කරන ලදී.


සනත් 71 අප්‍රේල් 5 උදෑසන නිවෙසට පැමිණි අතර එන විදිහට ජීවිතයට මුහුණ දෙන ලෙසත් කිසිවකු හෙළිදරව් නොකරන ලෙසත් බිරිඳට දන්වා තිබුණි. කරන්දෙණියේ කුරුඳු වාඩිවල සහ ඥාති හිතවතුන්ගේ නිවෙස්වල සැඟව සිටි සනත්ගේ බිරිඳ සහ දරුවෝ ජීවිතය බේරාගැනීමට සමත් වූහ. සනත්ගේ බිරිඳ ඇලිස් හෙවත් කොඩි අක්කා දරුවන් සිව්දෙනා සමඟ සියලු අභියෝගවලට දශක කිහිපයක් මුහුණ දුන්නාය. සනත්ගේ දරුවන් එම අභියෝග මැදින් ජීවිතය ජයගැනීමට වර්තමානයේ සමත්ව ඇත. සමුගන්නට මත්තෙන් තාත්තා ගැන කිව හැක්කේ කුමක්දැයි ඔවුනගෙන් ඇසුවෙමු. ‘තාත්තා ගැන අපට ආඩම්බරයි’ ඔවුහු එක හඬින් පැවැසූහ.


ජවිපෙ හිස් අවකාශයක හෝ ඕපපාතිකව පහළ වූවක් නොවේ. එය විජේවීරගේ නායකත්වයෙන් උපත ලැබුණේත්, වර්ධනය වූයේත් ඓතිහාසික තත්ත්වයන් තුළ සනත්ලා වැනි මිනිසුන් කළ කැපකීරීම්වලින් බව අවිවාදිතය.