39 වසරක් සපුරණ ජාතික නිවාස මෙහෙවර



1979 වසරේ ජාතික නිවාස සංවර්ධන අධිකාරී පනත මගින් ස්ථාපිත කෙරුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, අප්‍රේල් මස 01 දින සිය 39 වැනි සංවත්සරය සමරනු ලබයි.  


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත වීම  


ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජන කොටස්හි නිවාස අවශ්‍යතාව සපුරාලීම අරමුණු කොට අග්‍රාමාත්‍ය අාර්. ප්‍රේමදාස මැතිතුමන් නිවාස ඉදිකිරීම්, පළාත් පාලන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරනු ලැබූ අතර එයින් අපේක්ෂා කරනු ලැබූවේ එතෙක් ජාතික නිවාස දෙපාර්තමේන්තුව විසින් ඉටුකරන ලද නිවාස සංවර්ධන කාර්යය භාරය වඩාත් ඵලදායීව හා ව්‍යාප්තව සමාජගත කරලීමයි.  


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමට ප්‍රථම පැවැති ජාතික නිවාස දෙපාර්තමේන්තුව බොහෝ දුරට සිදුකරනු ලැබූවේ අඩු ආදායම්ලාභීන් හා මධ්‍ය ආදායම්ලාභී සීමිත ජනකොටසගේ නිවාස අවශ්‍යතාව පූර්ණ රාජ්‍ය දායකත්වයෙන් ඉටුකරලීමයි. මේ පිළිබඳ විශේ‍ෂ අවධානයක් යොමු කළ ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා එයට වඩා පුළුල් සමාජ මෙහෙවරක් ඉෂ්‍ඨ කිරීම උදෙසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරනු ලැබීය.  


යාපහුවේ ප්‍රථම උදාගම් උදාව  


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිළිබඳ මතක සටහනක් ප්‍රථමයෙන් සනිටුහන් වනුයේ නැති බැරි ජනකොටසක් වෙනුවෙන් යාපහුව බඩල්ගම උදාවූ ‘උද‌ාගම’ තුළිනි. එය සමස්ත ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් ලෙසින් සඳහන් කළ හැකිවේ. දුගී දුප්පතුන් සඳහා මෙතෙක් නිශ්‍චිතව නොපැවැත්වූ වඩාත් ඵලදායී හා ප්‍රායෝගික නිවාස සංවර්ධන වැඩසටහනක් මෙම උදාගම්මාන වැඩපිළිවෙළ තුළින් ආරම්භ විය. පසුකලක දිවයින පුරා නිවාස ලක්ෂයක් ඉදිකරලීමේ ජාතික නිවාස වැඩපිළිවෙළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දීපව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලැබුවේ එදා යාපහුවේ උදාගම තුළින් ලැබූ අත්දැකීම් පදනම්කොටය.  


ලක්ෂය වැඩසටහනින් නිවාස 1,53,000 ක්   


1983 වසරේ අවසන් කාලපරිච්ඡේදය වනතෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ‘නිවාස ලක්ෂය’ සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ අතර එහි සාර්ථකත්වය හේතුවෙන් ඉදිවූ නිවාස ප්‍රමාණය ඉලක්කය ද අබිබවමින් නිවාස එක් ලක්ෂ පනස් තුන්දහස දක්වා දිව ගියේය.  


මෙම ක්‍රියාදාමය තුළින් හුදෙක් නිවාස සංවර්ධනය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පමණක් සීමා නොකොට ගමේ සංවර්ධනය සාමූහික ප්‍රයත්නයක සාර්ථක ප්‍රතිඵලයක් බවට පත්කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකත්වය නිවාසකරණයට දායකවන, සෙසු රාජ්‍ය ආයතන සමාජ සංවිධාන වැනි සියල්ලේ උපරිම සහභාගිත්වය මෙම නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ සාර්ථකත්වය සඳහා හිමිවිය.  


පවුල් දස ලක්ෂයකට නිවහන්  


1984 වසරත් සමගින් විවිධ කරුණු කාරණා හේතුවෙන් රට තුළ පැවැති මූල්‍ය අභියෝගය නිවාස සංවර්ධන වැඩසටහන සඳහා ද කිසියම් වූ බලපෑමක් සිදුකරනු ලැබීය. එම අවස්ථාව වනවිටත් අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් පවුල් දස ලක්ෂයක් සඳහා නිවාස පහසුකම් සැපයීමේ ජාතික වැඩසටහනක් පිළිබඳ අදහසක් ජනතාවට ප්‍රකාශ කිරීම මෙම මූල්‍ය අභියෝගය තුළින් එවන් වූ ඉලක්කයකට ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුවිය.  


මෙයට විසඳුමක් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අවම රාජ්‍ය මැදිහත්වීමක් යටතේ අඩු රාජ්‍ය මූල්‍ය දායකත්වයකින් උපරිම ප්‍රතිලාභ ක්‍රියාත්මක කළ හැකි සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ හඳුන්වාදිය හැකි විය. එය අප රටට මෙන්ම ජාත්‍යන්තරයට ද නව අත්දැකීමක් විය.  


15 ලක්ෂයේ නිවාස වැඩසටහන  


නිවාස දසලක්ෂයේ වැඩපිළිවෙළ තුළින් ශ්‍රී ලාංකික ජන සමාජයේ නිවාසකරණයේ නියුතු සියලු පාර්ශ්‍වයන්ගේ උනන්දුව උද්​​​යෝගය සහ අවධානය වැඩි වැඩියෙන් යොමුවීම හේතුවෙන් නිවාසකරණයේ නියුතු සියලු ආයතනික පාර්ශ්‍වයන් ඒකාබද්ධ ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළකට යොමුවීමේ අවශ්‍යතාව පැන නැගිනි. එය පවුල් ලක්ෂ 15කට නිවාස පහසුකම් සැපයීමේ ජාතික නිවාස වැඩපිළිවෙළේ ආරම්භයයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරුණු නිවාස පහළොස් ලක්ෂයේ වැඩපිළිවෙළ තුළින් නිවාස සංවර්ධනයේ නියුතු ක්ෂේ‍ත්‍රයේ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ වඩාත් ඵලදායී අයුරින් ක්‍රියාවට නැංවීම සිදු කරනු ලැබීය.  

 

 

ප්‍රාදේශීය ගම්උදාව  


මෙවන් අංගසම්පූර්ණ ජනාවාස සංවර්ධන තුළින් ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ තවත් ඉදිරියට ගෙනයමින් කිසියම් ප්‍රාදේශිකයක් තුළ පවත්නා සංවර්ධන කාර්යයන් නිවාස අරමුණු කොට ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාත්මක කරලීමේ ‘ප්‍රාදේශීය ගම්උදා’ වැඩපිළිවෙළ හඳුන්වාදීමත් එය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීමත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉටු කළ තවත් වැදගත් සංවර්ධන කාර්යයකි. ඒ හේතුවෙන් නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ නිවස මුල්කොටගත් ප්‍රාදේශීකයට සියලු සංවර්ධන කාර්යයන් හඳුනාගනිමින් එයට දායක වන ආයතන හා සංවිධානයන්හි උපරිම දායකත්වය ඒකාබද්ධව ලබාගනිමින් මෙම කාර්යය සාර්ථකව දියත් කරනු ලැබීය.  


සැමගේ අවධානය යොමුවූ ගම්උදාව ප්‍රදර්ශනය  


ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ශ්‍රී ලාංකීය ජන සමාජය හඳුනාගනු ලැබූ උදාගම් ව්‍යාපාරය වඩාත් ජනාදරයට සමීප වූ සිදුවීමක් ලෙසින් වාර්ෂික ‘ගම්උදාව ප්‍රදර්ශනය’ හඳුන්වාදිය හැකිවේ. වරෙක සීමිත පාර්ශ්‍වයක් විසින් මෙය හුදු රාජ්‍ය අරමුදල් නාස්තියක් ලෙස හඳුන්වාදෙනු ලැබුවද ගම්උදාව ප්‍රදර්ශනය තුළින් සිදුකරනු ලැබුවේ නිවාස සංවර්ධනය අැතුළු රට තුළ සිදු කෙරෙන විවිධ වූ ජාතික මට්ටමේ සංවර්ධන කාර්යයන් පිළිබඳ ඈත පිටිසර දුෂ්‍කර දිවිපෙවතක් ගතකරන ජනතාවට ප්‍රදර්ශනාත්මකව දැකබලා ගැනීමට අවස්ථාව සලසාදීමයි. එයටත් වඩා මෙහිදී අගය කළ යුත්තේ එදා ජාත්‍යන්තර ලෝකයේ නව තාක්ෂණ ජයග්‍රහණ ප්‍රදර්ශනාත්මකව ගම්උදාව ප්‍රදර්ශනය තුළින් නරඹන්නන් හට දැක බලාගැනීමට අවස්ථාව සලසාදීමයි.  


එමෙන්ම ගම්උදාව ප්‍රදර්ශනය හුදෙක් ප්‍රදර්ශනාත්මක කාර්යයකට සීමානොකොට එය නිවාස සංවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක කිරීමේ වගකීම එදා පැවැරුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියටය. ඒ අනුව ගම්උදාව ප්‍රදර්ශනය පවත්වන දිස්ත්‍රික්කයේ සහ එයට ආසන්න දිස්ත්‍රික්කය තුළ නිවාස සංවර්ධනය මුල්කොටගත් යටිතල පහසුකම් සංවර්ධනය පුරා වසරක කාලයක් තුළ කිසියම් ඒකාබද්ධ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාත්මක කිරීම සිදුවිය.  


යළි උදාවූ උදාගම් ව්‍යාපාරය  


2015 වසරත් සමගින් ප්‍රතිනිර්මාණය වෙමින් යළි උදාවූ උදාගම් ව්‍යාපාරය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ පුරෝගාමිත්වයෙන් වඩාත් ප්‍රායෝගිකව හා ඵලදායී ජනාවාස සංවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක විය. ඒ හේතුවෙන් ජාතික නිවාස වැඩසටහනට ජයග්‍රහණ රැසක් එක්කරලීමටත් හැකියාව ලැබුණි. මෙතෙක් මෙම ජනාවාස සංවර්ධන වැඩසටහන හුදෙක් ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් සීමාව පැවතියද පසුගිය දෙවසරකට ආසන්න කාලයක් තුළදී උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ අවතැන්වූ ජනතාවට සිය නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම සඳහා වඩාත් සාර්ථක ප්‍රායෝගික සංවර්ධන වැඩසටහනක් බවට පත්විය.  


ආදර්ශ ගම්මානයට නව අර්ථකථනයක්

  
හුදෙක් නිවාස සංවර්ධනය පමණක් මුල්කොට මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු මෙම ජාතික නිවාස වැඩසටහනට වැඩි ආර්ථික හා සමාජීය වටිනාකමක් ලබාදෙමින් එය ශක්තිමත් කරලීම උදෙසා විවිධ වැඩසටහන් එක්කරමින් ප්‍රතිලාභී ජනකොටස් මෙන්ම මෙම සංවර්ධන කාර්යය සඳහා දායක විය හැකි සියලු පාර්ශ්වයන් එක්කරමින් උදාගම් ව්‍යාපාරය වඩාත් ශක්තිමත් සංවර්ධන කාර්යයක් බවට පත්කරනු ලැබීය.  
ඒ අනුව නිවසකට අත්‍යවශ්‍ය වූ ගෙවත්ත විධිමත් අයුරින් සකස් කරගැනීමත් නිවසේ ජීවත්වන නිවාසලාභී පවුලේ ආර්ථිකය ශක්තිමත් කරලීම උදෙසා විවිධ ක්‍රියාකාරකම් ඉටුකරලීමත් සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් උදෙසා නිවාසලාභීන් යොමුකිරීමත් මෙහිදී සිදුවිය.  


උදාගම් ශක්තිමත් කළ ග්‍රාමශක්ති  


ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අදහසක් පෙරදැරිකොට ක්‍රියාත්මක කළ ග්‍රාමශක්ති සංකල්පය යටතේ ගමේ ආර්ථිකය හා සමාජයීය මට්ටම වර්ධනය කිරීම උදෙසා විවිධ වූ වැඩසටහන් මෙම ආදර්ශ ගම්මාන ආශ්‍රිතව ක්‍රියාවට නැ​ංවේ.  


නව ආදර්ශ ගම්මාන 600ක්  


මේ සියලු ක්‍රියාකාරකම් තුළින් 2015 වසරේ සිට වර්තමානය දක්වා ආදර්ශ ගම්මාන 600ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ ඇති අතර ඒ තුළින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ මූලිකත්වයෙන් නිවාසලාභීන්ගේ අයිතියට පත්කරනු ලැබූ ආදර්ශ ගම්මාන ප්‍රමාණය 50කි.  


මධ්‍ය ආදායම්ලාභීන්ට දැරිය හැකි මිලකට නිවසක්  


මධ්‍ය ආදායම්ලාභී ජනතාව නිරන්තරයෙන්ම නිවාස ගැටලුවට මුහුණපා සිටී. ඔවුන්ගේ සමාජ මට්ටමට ගැලපෙන නිවහනක් තම ආර්ථික ශක්තිය තුළින් සපුරාගැනීම ඔවුන් මුහුණපාන ප්‍රමුඛතම අභියෝගයක් වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සංකල්පයකට අනුකූලව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක රාජ්‍ය හා පෞද්ගලික ආදායම්ලාභී නිවාස සංවර්ධන වැඩසටහන මෑතකදී හඳුන්වාදුන් අතර එය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක තවත් එක් සාර්ථක වැඩපිළිවෙළකි.  

 

 

 

 

ලක්විජය සාගර පලන්සුරිය 
සභාපති
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය