2020 ජනවාරි මාසය මිහිතලයේ උණුසුම්ම ජනවාරියයි


 

 

සියලු ශාක වියැළී මැලවී ගොසිනි. හරිත වර්ණය අඩු වී ශාක පත්‍ර දුහුවිල්ලෙන් වැසී ගොසිනි. පොළොව තැන තැන ඉරිතළා ගොස් ඇත. මාස ගණනකින් වැහි පොදක් නොදුටු පරිසරය වියැළී ඇති අතර සත්තු ජලය සොයා යති. මිනිසාට ද තව දින කිහිපයකින් ම ජල හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇත.   


මේ ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ වත්මන් තත්ත්වය නොව නිරිත දිග තෙත් කලාපය, කඳුකර ප්‍රදේශය ඇතුළු සමස්ත ශ්‍රී ලංකා දිවයිනේ ම පරිසරයට අද අත්ව ඇති ඉරණමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මැයි මාසයේ වැසි ලැබෙන තුරු රට පුරාම වියළි කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවීමට සිදුවන බවකි.   


එය භයානක අනතුරු ඇඟවීමක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාව ද එයින් දැඩි පීඩාවකට පත්ව සිටින බව සක්සුදක් සේ පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවිනි. එපමණක් නොව වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝග පීඩාවන්ගේ වැඩිවීමක් ද සිදුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.   


කෙසේ වෙතත් මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනක් ලෙස පිහිටි අපේ රටට පමණක් නොවේ. සමස්ත ලෝකයම මිහිතලය උණුසුම්වීමේ පීඩාව අත්විඳිමින් සිටියි.   


නිල වශයෙන් කාලගුණික හා දේශගුණික වාර්තා තබාගැනීම ආරම්භ වූයේ 1880 වර්ෂයේ දී ය. එතැන් පටන් ගත වූ වසර 140ක කාලයේ දී පෘථිවියේ වඩාත් උණුසුම්ම ජනවාරි මාසය 2020 ජනවාරි මාසය බව පාරිසරික තොරතුරු සඳහා වූ සාගරික සහ වායුගෝලීය පරිපාලනයේ National Oceanic and Atmospheric Administration පාරිසරික තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය National Centers for Environmental Information පවසයි. එමෙන්ම 2020 ජනවාරි මාසය යනු ගෝලීය සාගර උණුසුම වැඩිම දෙවැනි ස්ථානය ගත් මාසය බව ද එම වාර්තාවේ දැක්වේ.   


මෙතෙක් ලෝකයේ වාර්තා වී ඇති උෂ්ණත්වය වැඩිම මාස අතරින් 2020 ජනවාරි මාසය 04 වැනි තැනට පත්ව ඇත. පසුගිය ජනවාරියට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වූ මාස ලෙස හඳුනාගෙන ඇත්තේ 2016 මාර්තු, 2016 පෙබරවාරි සහ 2015 දෙසැම්බර් යන මාස තුනයි.   


පර්‌​ෙ‌ය්ෂකයන් පවසන්නේ වසර 140 ඉතිහාසය පුරා ජනවාරි මාස පමණක් සැලකූ විට අඛණ්ඩව උණුසුම ඉහළ ගිය 44 වැනි ජනවාරි මාසය මෙය බවයි. එමෙන් ම අඛණ්ඩව උණුසුම ඉහළ ගිය 421 වැනි මාසය ද 2020 ජනවාරි මාසයයි. එයින් පැහැදිලි වන්නේ මිහිතලයේ උණුසුම දිනෙන් දින අඛණ්ඩව වැඩි වෙමින් පවතින බවයි.   

 

 


ජනවාරි මාස සැලකූ විට 2016 සිට උණුසුම්ම ජනවාරි මාස 04 වාර්තා වී ඇති අතර 2002 සිට උණුසුම්ම ජනවාරි මාස 10 වාර්තා වී තිබේ.   


ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා විශ්වවිද්‍යාලය විසින් චන්ද්‍රිකාවල දුරස්ථ සංවේදන පද්ධති භාවිත කරමින් වායුගෝලයේ පහළම කිලෝමීටර අටක උෂ්ණත්වය මැන බලා ඇත. ඒ අනුව 2020 ජනවාරි මාසයේ දී වාර්තා වී ඇති උෂ්ණත්වය පසුගිය වසර 42 ක කාලයේ දී වායුගෝලයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සටහන් වූ මාස අතරින් දෙවැනි තැන ගන්නා බව එම විශ්වවිද්‍යාලයේ පර්‌​ෙ‌ය්ෂකයෝ සඳහන් කරති.   


මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. මිහිතලය උණුසුම්වීම යනු තවමත් අප රටට එතරම් දරුණුවට නොදැනුණන ද මහා විනාශයක ආරම්භයයි. පර්‌​ෙ‌ය්ෂකයන් පවසන්නේ මෙවර ජනවාරි මාසයේ මෙතරම් උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ එල්නිනෝ තත්ත්වයක් පවා නොමැතිව බවයි. අප පසුගිය සියවසක කාලයේ දී සිටි සූර්යයාගේ ක්‍රියාකාරීත්වයට වඩා පහළ ක්‍රියාකාරී මට්ටමක දැන් සිටින බැවින් මේ කාලයේ පෘථිවියට සූර්යයාගෙන් එල්ලවන බලශක්තිය සාපේක්ෂව අඩුවී ඇත. එයින් පැහැදිලි වන්නේ වර්තමානයේ ගෝලීය උණුසුම වැඩිවෙමින් පවතින්නේ එල්නියාකාරකම් හේතුවෙන් ඇතිවන ගෝලීය උණුසුම වැඩිවීමකින් බවයි. 

 
2020 ජනවාරියේ දී ස්කැන්ඩිනේවියාව, ආසියාව, ඉන්දියන් සාගරය, මධ්‍යම හා බටහිර ශාන්තිකර සාගරය, අත්ලාන්තික් සාගරය, මධ්‍යම හා දකුණු ඇමෙරිකාව යන ප්‍රදේශවලින් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත. ඉකුත් ජනවාරි මාසයේ දී කිසිම ප්‍රදේශයකින් ගොඩබිම හෝ සාගර වල ශීත තත්ත්වයක් වාර්තා නොවීම ද කැපී පෙනේ.   


ආක්ටික් මුහුදේ අයිස් පැතිරී ඇති ප්‍රදේශය 1981 සිට 2010 ජනවාරි මාසය දක්වා වූ ප්‍රමාණයට වඩා සියයට 5.3කින් අඩු අගයක් ගන්නා ලදී. එමෙන්ම උත්තර අර්ධගෝලයේ හිම ආවරණය 1981-2010 කාලයේ තිබූ සාමාන්‍යයට වඩා අඩු අගයක් ගෙන තිබිණි.   


මිහිතලය උණුසුම්වීමේ ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත ලෙස ස්වභාවික ව්‍යසන සිදුවන බව පරිසරවේදීහු පෙන්වාදෙති. 2020 ජනවාරි මාසයේ දී සිදුවූ ස්වභාවික ව්‍යසන හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට වඩා පාඩුවක් ඒ ඒ රටවලට සිදුව ඇතැයි 2020 ජනවාරි විපත්ති වාර්තාව පෙන්වාදෙයි.   


එක්සත් ජනදයේ දරුණු කාලගුණ පැතිරීම   


අමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල පසුගිය ජනවාරි 10 වැනි දා සිට 12 වැනිදා දක්වා ඇතිවූ දැවැන්ත ශීත කුණාටුවක් හේතුවෙන් 12 දෙනකු මරණයට පත්වූ අතර ඇමෙරිකා ඩොලර් බිලියන 1.2ක දේපළ හානියක් සිදුවිය. එම දින කිහිපයේ දී ප්‍රදේශ ගණනාවක පැවැති අයහපත් කාලගුණික තත්ත්වය අතරතුර ටොනාඩෝ නමයක් ඇතිවූ බව ද කාලගුණ විද්‍යා අංශ පවසයි.   


ඕස්ට්‍රේලියාවේ සිදුවූ ළැව්ගිනි


ජනවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැති දැඩි උණුසුම් තත්ත්වයත් නියඟයත් හේතුවෙන් හටගත් ලැව් ගිනි දින ගණනාවක් පුරා බිලියන ගණනක් දේපළ විනාශ කරමින් පැතිරගියේය. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වර්ග සැතපුම් 72,000ක් විනාශ වූ අතර 33 දෙනකු මියගොස් ඇත. විනාශ වූ ඉදිකිරීම් සංඛ්‍යාව 6,000කට ආසන්නය. ගින්නෙන් විනාශ වූ ප්‍රදේශය සිරියාව තරම් විශාලය.   


ආක්ටික් මුහුදේ අයිස් දියවීම   


සූර්යයාගේ තාප කිරණ වැඩිවීමෙන් ඇතිවන එල්නිනෝ හෝ ලානිනා තත්ත්වයක් නොමැතිව ම ආක්ටික් මුහුදු අයිස් වේගයෙන් අඩුවීම මෙවර දැකිය හැකි විය. ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානය දක්වන්නේ චන්ද්‍රිකා දත්ත උපයෝගීකරගෙන විශ්ලේෂණය කළ විට එය ආක්ටික් අයිස් දියවීමේ වපසරිය අට වැනි විශාලතම තත්ත්වය බවයි.  

 

 

 

සජීව විජේවීර