2017 ගෙවුණු හැටි


තවත් වසරක් අදින් නිමාවිය. බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගත් 2018 නව වසර හෙටින් උද‌ා වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි.   


දින, සති, මාස ගෙවී ගිය 2017 වසර විවිධ වූ හැලහැප්පීම් මත ගතව ගිය අතර ගෙවී ගිය මතකය පිළිබඳ කළ විමසීමකි මේ.   


2017 වසර ආරම්භ වූයේම ජනීජනයාට මහත් වූ ව්‍යසන, කරදර බාධක මෙන්ම කාලගුණික ප්‍රශ්න ගණනාවක්ද ඇතිකරමිනි. වසර ආරම්භයේම රිය අනතුරු, මනුෂ්‍ය ඝාතන රැසක්ම වාර්තා විය.   
ආර්ථික, සමාජයීය, දේශපාලනික ප්‍රශ්න සමුද‌ායක් එක පෙළට ගොඩ ගැසෙද්දී මැයි මාසයේ දිවයිනේ දිස්ත්‍රික්ක 15කට ආසන්න ප්‍රමාණයකට ඇති වූ ගංවතුර, නායයෑම්, සැඩ සුළං හේතුවෙන් ලක්ෂ 6ක් පමණ අවතැන් වූ අතර විශාල සංඛ්‍යාවකට සිය ජීවිතද අහිමි විය. සුනාමියට නොදෙවෙනි ඛේදනීය මහා ව්‍යසනයෙන් රටම ගිලගත් ඒ සිදුවීම කිසිවකුටවත් අමතක කළ නොහැක.   
නිරිත දිග මෝසම සක්‍රීයවීමෙන් ඇදහැළුණු වර්ෂාවෙන් සහ සුළි සුළඟින් 2003 වසරින් පසු දකුණට ඇති වුණු දරුණුතම ගංවතුර ඇති වූ වසර ලෙසටද 2017 වසර ඉතිහාසයට එක්විය.   


එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක නායයෑම් මගින් පොළවට මිහිදන් වුණ මරණ සංඛ්‍යාව හා අතුරුදන් වූ සංඛ්‍යාව 150 ඉක්මන අතර අහස පොළව නුහුලන සොබාදහමේ වියරු වැටීම පෙර වසරවලට වඩා 2017 වසරේ සීඝ්‍ර වැඩිවීමකින් සිදුව ඇත.   


එක් පැත්තකින් ඇද හැලුණු මහා වර්ෂාවෙන් ජනී ජනයා පීඩාවට පත් වූ අතර තවත් මාසවලදී පොළව ඉරිතලා ගොස් බීමට දිය පොදක් නොමැති තරමට ඇති වුණ නියඟයෙන් අපේම මිනිසුන් පීඩා වින්දහ.   එමෙන්ම මෙරට සිදුවූ තවත් ඛේදජනකම සිදුවීමක් ලෙස කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නාය යාමෙන් විශාල ලෙස ජීවිත හානි හා දේපළ හානිද සිදු වූ මෙම ව්‍යසනය ඉතිහාසට එක් වූයේ තවත් ඛේදනීය ඉරණමක් ලෙසය.   


තවද වෙනත් වර්ෂවලට වඩා රටේ ක්‍රිකඩ් ක්‍රීඩාවේ ද විශාල පසුබෑමක් මෙම වසර තුළ දිස් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැඩිම වාර ගණනක් පරාජයට පත්වූ වසර ලෙස ද 2017 ඉතිහාසට එක්විය. රටේ දේශපාලනික වශයෙන්ද විවිධ වූ වෙනස්කම් රැසක් සිදු වූ වසරක් ලෙසද 2017 නම් කළ හැක. 2016 වසරට සාපේක්ෂව නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රබල වීම් තිබුණ ද වසර මුලදී මාර්ග අනතුරු අවම වුනිද වසර අවසානය වනවිට 2016 වසරට වඩා 2017 වසරේ රිය අනතුරු, සොරකම්, මිනිමැරුම්, පහරදීම් සීඝ්‍ර ලෙස වැඩවීමක් දක්නට හැකිවිය.   


දියුණු තාක්ෂණික මෙවලම් අනිසි ලෙස භාවිතයෙන් (ඉයර්​ෙෆා්න්, සෙල්ෆි) සිදුවන මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ප්‍රමාණයකින් ගෙවුණු වසරේදී වැඩි වී තිබුණේ මිනිස් ජීවිතවල වටිනාකම් තඹයකට මායිම් නොවුනක් සේය.   එමෙන්ම ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 2017 වසරේදී වාර්තා වූ අතර ලෙඩරෝග, අනතුරු, හදිසි විපත්, විෂවීම්, සියදිවි හානිකර ගැනීම්, මිනීමැරුම් ආදිය අඩුවක් නොමැතිව සිදුවූ වසරක් ලෙසට ගෙවුණු වසර හඳුන්වා දිය හැක. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මහා කෝලාහල, වැඩවර්ජන, උපවාස ද ඉතා බහුල ලෙස සිදුවුණු අතර අධ්‍යාපනික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් මහපාරේ ගෙවුණු වසරක් ලෙස ද මෙම වසර ඉතිහාසයට එක්විය. රටේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ ස්ථානවල විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළද සමස්තයක් ලෙස ගත් කල ජන ජීවිතයට එතරම් සුභද‌ායී නොවනා වසරක් ලෙසට 2017 වසර ගෙවී ගියේය. ආර්ථික වශයෙන් ජනීජනයා මහත් පීඩාවට පත් වූ වසරක් ලෙස ගෙවීගිය වසර ශ්‍රී ලංකා වාසීන්ට පාරිභෝගික අංශයෙන් සුබපල ගෙනනොදුන් වසරකි. 

 

 

 

ජනවාරි 

 
ජනවාරි 11   


මෙරට වාරි කර්මාන්තයේ නව පිටුවක් පෙරළමින් ඉදි වූ මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුද‌ාහැරීම   


ජනවාරි 21 

 
ලෝකයේ දැනට සිටින ප්‍රබලම නායකයා බව සනාථ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම.   


ජනවාරි 24   


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් දරුවකු පැවිදි දිවියට ඇතුළත් වීම   


ජනවාරි 29   


එතෙර මෙතෙර වෛද්‍යවරුන්ගේ විස්මිත සැත්කමින් හිස්කබල් දෙකක් මෙන්ම නාසයක් නොතිබූ දරුවකුට සැත්කමකින් යථාතත්ත්වයට පත්කිරීමේ ශල්‍යකර්මය ප්‍රථම වරට මෙරටදී සිදු කිරීම   

 


පෙබරවාරි   


පෙබරවාරි 1   


මාලබේ පෞද්ගලික වෛද්‍ය විදුහලේ සයිටම් එම්.බී.බී.එස් උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කිරීමට නියම කරමින් අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කිරීම.   


පෙබරවාරි 3   


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පුරවැසිභාවය පිළිබඳ ලිපි ලබාදීම.   


පෙබරවාරි 3   


ශ්‍රී ලංකාවේ පළාත් රැසකට පිවිසුම වේගවත් කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ ඇරඹීමට සමරුඵලකය නිරාවරණය කිරීම. (මීරිගම සිට කුරුණෑගල පොතුහැර දක්වා) 

 
පෙබරවාරි 14 

 
ඕස්ටේලියානු සරසවියකින් අගමැතිවරයාට ආචාර්ය උපාධියක් පිරිනැමීම.   


පෙබරවාරි 15   


වයඹ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් 300ක් හා ප්‍රධාන වැව් 8ක් ජලයෙන් පුරවා ගොවි බිම් හෙක්ටයාර 12,000 ක් අස්වැද්දීමට වයඹ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම   


පෙබරවාරි 15   


තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස දිව්රැම් දීමට නියමිතව සිටි ශෂිකලා නටරාජන් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට වරදකාරිය කරමින් සිව්වසරක සිරදඬුවමක් නියම කිරීම.   


පෙබරවාරි 26 

 
බේරුවල සාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සාම්ප්‍රදායික ලෙස පැවැත්වෙන බෝට්ටු පෙරහැරට සහභාගී වූ බහුදින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවකට මරු කැඳවීමේ ඛේදවාචකය   


පෙබරවාරි 27   


පාතාල නායකයකු වන සමයං ඇතුළු සිරකරුවන් 5 දෙනෙකු ගමන් ගත් බන්ධනාගාර බස් රථයකට තවත් පාතාල කල්ලියක් විසින් වෙඩි තබා ඝාතනය කෙරුණු අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්විය.   

 


මාර්තු


මාර්තු 2 

 
1818 ඌව වෙල්ලස්ස අරගලයේ විරුවන් දේශප්‍රේමින් ලෙස නම් කර ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තැබීම.   


මාර්තු 12   


වසර ගණනාවක් මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරේ ගමන් කළ ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියට අයත් ඒකදන්ත හස්තියා මියයාම   


මාර්තු 12   


හිටපු සෞඛ්‍ය ඇමතිනියක සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක වූ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් රණවීර මහත්මිය අභාවප්‍රාප්ත වීම.   


මාර්තු 16   


දකුණු කොරියා විදේශ අමාත්‍ය යුන් බියන්ග් සෙ මහතා ලංකාවට පැමිණීම.   


මාර්තු 21   


උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ජාතික සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයකුට හිමිකර ගතහැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සුරීන්ට පිරිනැමීම.   


මාර්තු 26

   
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබීම සිදුවිය.   

 


අප්‍රේල්


​අප්‍රේල් 4   


මෙරට සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකළ මහතෙර නමක වූ සංස්කෘතික භාෂා විශාරද, අග්ගමහා පණ්ඩිත, දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර ශ්‍රී නාහිමියන්ගේ සමුගැනීම.   


අප්‍රේල් 5   


ඩොලර් මිලියන 50 වියදමකින් ප්‍රතිසංවර්ධනය කරන ලද කටුනායකක බණ්ඩානායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ධාවන පථයේ වැඩ නිමකිරීම.   


අප්‍රේල් 5   


ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී මාධ්‍යවේදියකු ලෙස සැලකෙන එස්. පියසේන මහතා අභාවප්‍රාප්ත විය.   


අප්‍රේල් 7   


විවියන් ද සිල්වා බොරලැස්ස නම් වූ ජ්‍යෙෂ්ඨ ගායිකාව අභාවප්‍රාප්ත වීම.   


අප්‍රේල් 8   


සයිටම් සිසුන්ට වෛද්‍ය සභා විභාගයන් සහ රජයේ රෝහල්වල සායනික පුහුණුව මෙන්ම වෛද්‍ය අධ්‍යාපන අවම ප්‍රමිතිය ගැසට් කිරීම. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කිරීම සිදුවිය.   


අප්‍රේල් 8   


සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා සම්මානනීය චිත්‍රපට තිරකතා රචකයකු වූ වසන්ත ​ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වීම   


අප්‍රේල් 14   


කොළොන්නාව මීතොටුමුල්ල කුණු කන්දේ කොටසක් නාය ගොස් එය අසල සිටි ගම්වැසියන් විශාල පිරිසක් මරණයට පත්විය. ජීවිත හානි සහ අතුරුදන් වූවන්ද වාර්තා විය.   


අප්‍රේල් 18   


ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම.   


අප්‍රේල් 19   


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන මහතා අභාවප්‍රාප්ත වීම.   


අප්‍රේල් 20   


මාලබේ සයිටම් අායතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසිකර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත්කිරීම. 

 


මැයි  


මැයි 9   


ලොව විශාලතම කිලෝග්‍රෑම් 13ක් බරින් වැඩි ඉබ්බෙකු ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙන් හමුවීම   


මැයි 12   


කොළඹ මරද‌ානේ නොරිස් කැනල් පාරේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා මූලස්ථානයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම.   


මැයි 14   


එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් සැමරුම් උත්සවයේ සමාප්ති උළෙලේදී ජනාධිපති විසින් නේපාල ජනාධිපතිනියට සමරු තිළිණයක් ප්‍රදානය කිරීම.   


මැයි 23   


නව කැබිනට් අමාත්‍යවරු නව දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිව්රුම් දීම සිදුවිය.   


මැයි 30   


මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් විවාහක රූ රැජිණ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ජනප්‍රිය ටෙලි නිළි ඕෂධී හේවාමද්දුව විවාහක රූ රැජින ලෙස කිරුළු දැරීම සිදුවිය.   


මැයි 31   


දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු මහ වැස්සෙන් දිස්ත්‍රික්ක 15ක ලක්ෂ 6කට ආසන්න පිරිසකට පීඩා විඳීමට සිදුවිය. මරණ 200 පමණ වාර්තා විය.   

 


ජූනි


ජුනි 2   


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට බන්ධනාගාරයේ රඳවා සිටි කොළඹ පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප ලැබීම.   


ජුනි 7   


ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සාගර සම්පත් සමුළුව ඇමතීම.   


ජුනි 13   


පාකිස්තාන නාවික හමුද‌ාපති අද්මිරාල් මොහොමඩ් ශකාපුල්ලා මහතා ලංකාවට පැමිණීම   


ජුනි 23   


ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ විලසින් නොදන්වා හදිසියේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක් අඛණ්ඩව කිරීම.   


ජුනි 21   


විශ්වවිද්‍යාල සිසුන් සයිටම් ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී අලාභහානි කරමින් කලහකාරී කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් දේපළ හානි සිදු කිරීම. 

 


ජූලි  


ජුලි 6   


මාධ්‍යවේදිනියක වන මෙල්ගුණසේකර මෙනවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඝාතනකරුට මරණදඬුවම නියම වීම.   


ජුලි 11   


මෙරට සිදු වූ ප්‍රථම හදවත් සැත්කම මහනුවර මහරෝහලේදී සිදුවිය.   


ජුලි 12   


සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වීම.   


ජුලි 18   


මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට භාරදීම සඳහා අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ගිවිසුම අත්සන් කිරීම. 

 


අ​ෙගා්ස්තු

  

අගෝස්තු 4   


විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 32කගේ අත්සනකින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.   


අගෝස්තු 11   


විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම   


අගෝස්තු 21

   
රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිව්වැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වී වසර 21 සපිරීම   


අගෝස්තු 19   


ශ්‍රී ලංකා නාවික හමුද‌ාවේ 21 වැනි නාවික හමුද‌ාපතිවරයා වශයෙන් වයිස් අද්මිරාල් ට්‍රැවින් සින්නයියා මහතා පත්වීම   


අගෝස්තු 24   


අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ජනාධිපති නීතිඥ විජයද‌ාස රාජපක්ෂ මහතා ජනාධිපති විසින් එම අමාත්‍යධුරවලින් ඉවත් කිරීම   


අගෝස්තු 26   


අධිකරණ අමාත්‍යවරියක ලෙස තලතා අතුකෝරළ මහත්මිය දිව්රුම් දීම   


අගෝස්තු 26   


බුද්ධ ශාසන නව අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම මහතා දිව්රුම් දීම   


අගෝස්තු 30   


සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීම   

 


සැප්තැම්බර්


සැප්තැම්බර් 8   


2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම නවකතාව ලෙස කීර්ති වැලිසරගේ ‘ගරුඬ මුහුර්තය’ සම්මානයෙන් පිදුම් ලැබීය.   


සැප්තැම්බර් 12   


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමට කැඳවීම 

 
සැප්තැම්බර් 12   


සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කිරීම.   


සැප්තැම්බර් 17 

 
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කිරීම සිදුවිය.   


සැප්තැම්බර් 19   


ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීය.   


සැප්තැම්බර් 28   


රටක් ආන්දෝලනයට පත්කළ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරුවන් පෝරකයට නියම වීම.  

 


ඔක්තෝබර් 


ඔක්තෝබර් 2   


ඉතිහාස​ෙය් විශාලතම අල්ලස ලබාගත් රේගු අධිකාරිවරුන් සිව් දෙනෙකුට නඩු පැවරීම   


ඔක්තෝබර් 6   


ප්‍රවීණ ගායන ශිල්පිනි නන්ද‌ා මාලනීට දර්ශනසූරී උපාධිය පිරිනැමීම   


ඔක්තෝබර් 9   


නිව්යෝර්ක් නුවර පිහිටි සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී තායිවානයේ බැංකුවකින් ඩොලර් මිලියන 2,104 ක් වංචා කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සභාපති අත්අඩංගුවට පත්වීම.   


ඔක්තෝබර් 23   


ජනප්‍රිය නළුවෙකු වූ සෝමසිරි අලකොළංග මහතා පැවදි දිවියට ඇතුළත් වීම   


ඔක්තෝබර් 30   


මාලබේ සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීම   

 


​ෙනාවැම්බර්


නොවැම්බර් 2   


ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම   


නොවැම්බර් 3   


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීන් නුවරදී පැවැත් වූ ලෝක ආසියානු සිනමා උළෙලේදී ‘දැවෙන විහඟුන්’ රඟපෑ නිළි අනෝමා ජිනාදරිට හොඳම නිළිය සම්මානය ලැබීම.   


නොවැම්බර් 6   


ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්ද‌ාපැනි ඇල්ලේ දිය නෑමට ගිය අටදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීම. මෙම ඛේදවාචකයෙන් රටම කම්පාවට පත්විය.   


නොවැම්බර් 9   


යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි   


නොවැම්බර් 10   


ගාල්ල දිස්ත්‍රික් (එ.ජ.නි.ස) නව මන්ත්‍රීවරයකු ලෙස පියසේන ගමගේ දිව්රුම් දීම   


නොවැම්බර් 8   


මෙරටට පැමිණීමට නියමිතව තිබූ තෙල් නැවක් ප්‍රමාද වීම හේතුවෙන් රටේ විශාල ලෙස තෙල් හිඟයක් ඇති වීම.   


නොවැම්බර් 15   


බුදුරුව සහිත පච්චයක් තිබීම හේතුවෙන් මෙරටින් නෙරපූ බ්‍රිතාන්‍ය කතට ලක්ෂ පහක වන්දියක් ලබාදීමට නියම කිරීම.   


නොවැම්බර් 28   


ජනාධිපතිවරයාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය   

 


දෙසැම්බර්


දෙසැම්බර් 1   


දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇති වූ මහවැසි සහ දැඩි සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවුල් 18,781කට පීඩා විදීමට සිදුවිය.   


දෙසැම්බර් 4   


රජයට අයත් කොළඹ හිල්ටන් හෝටලය හා ග්‍රෑන්ඩ් හයිට් ​ෙහා්ටලය රජයෙන් පරිබාහිර වෙනත් පාර්ශ්වයන්ට විකිණීම.   


දෙසැම්බර් 4   


ඇත්දළ ලබා ගැනීම සඳහා ජාවාරම්කරුවන් විසින් වයඹ උරුමය නමින් හැඳින්වූ දළ පූට්ටුවා වෙඩි තබා ඝාතනය කිරීම.   

 

දෙසැම්බර් 8   


දුම්රිය සේවකයන් අඛණ්ඩව දින හතක් එකදිගට වර්ජනය කිරීම 

 
දෙසැම්බර් 13   


ප්‍රවීණ ගී පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි හා ප්‍රවීණ රංගන ශිල්පිණි අයිරාංගනී සේරසිංහ මහත්මිය කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම.   


දෙසැම්බර් 15   


රුසියානු සමූහ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන තේ තාවකාලිකව තහනම් කිරීමට තීරණය කිරීම.   


දෙසැම්බර් 16   


ඒකාබද්ධයේ සාමාජිකාවක් ලෙස සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට රාජ්‍ය ඇමති පදවියක් පිරිනැමීම.   


දෙසැම්බර් 18   


නියෝජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම   


දෙසැම්බර් 18   


චීන ජාතික මනාල මනාලියන් යුවල 50ක් ශ්‍රී ලංකා සිරිත් විරිත් අනුව කොළඹ දී විවාහ දිවියට පත්වීම.   


දෙසැම්බර් 19 

 
මැලේසියා අග්‍රාමාත්‍ය තජීබ් රසාක් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන 
නදීශා අතුකෝරළ