රට ගිහින් වසර තිහක් වීසා නැතිව සිටි කාන්තාවකගේ කතාව


වර්තමානයේ කාන්තාවන් ඇතුළු මෙරට ශ්‍රමිකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, සෞදිය, ඕමානය, බහරේන් ආදී මැදපෙරදිග රටවල් බලා යන්නේ සිය පවුල් ජීවිතයේ අවසානයේ කර කියා ගන්නට කිසිවක්ම නැති වූ විටය. දරුවන්ට ඉගැන්වීම, ගෙයක් දොරක් හදා ගැනීම, පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම ආදී වූ පවුලේ ආර්ථික කටයුතු වෙනුවෙන් උරදීමට විදේශගත වන අයගේ ජීවිත හිතූ තරම් සොඳුරු නැත. නන්නාඳුනන රටක හුදකලා වන ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට හැකි වන්නේ ඒ තත්ත්වයට මුහුණ දුන් අයකුට පමණි. විදේශයකදී ලබන තනිකම පාළුව නිසාම ඇතැම් අය අමාරුවේ වැටෙති. ජීවිත සාර්ථක කරගන්නට කියා යන ඇතැමෙක් අසාර්ථක වෙති. මැදපෙරදිග දී තම ජීවිතය සාර්ථක කර ගත් අය නැතිවාම නොවේ.


අප සැරැසෙන්නේ දශක තුනකට පෙර රන් කහවුනු සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වූ ශ්‍රී ලංකාවේ රෝහිණී සහ ඉන්දියාවේ කේරළයේ උපන් මධුසුදානන් යන අපූරු යුවළ සහ ඔවුන්ගේ දරු තිදෙනාගේ අසුන්දර වූ ජීවිත ගමන කීමටයි. රටක් සහ ලෝකයක් ලෙස අප දැන ගන්නේ එමීරයේ ජනප්‍රිය පුවත්පතක් වන කලීජ් ටයිම්ස් පුවත්පත සහ ඉන්දීය ප්‍රාදේශීය පුවත්පත් වෙබ් අඩවි හරහා පළ වූ වාර්තාවන් ගෙනි. දශක තුනකට අධික කාලයක් තිස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිත්‍යානුකූල ලිපි ලේඛන නොමැතිව ජීවත් වූ ඉන්දු-ලාංකික යුවළගේ කතාව බොලිවුඩ් සිනමා කතාවක් වැනිය.


එමීරයේ සාජා පළාතේ ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වූ හත්දෙනෙකුගෙන් යුත් එම පවුලේ ගෘහමූලිකයා මධුසුදනන් වන අතර ඔහුට දාව රෝහිණීට දූවරුන් හතර දෙනෙක්ද එක පුතෙක්ද සිටිති. වැඩිමහල් දියණිය වන ආශ්වතී ගේ වයස අවුරුදු 29 ක් ද, දෙවැනි දියණිය සංගීතාට අවුරුදු 25 ක් ද, තෙවැනි දියණිය ශාන්තීට අවුරුදු 23 ක් වන අතර බාලම පුතණුවන්ව අවුරුදු 21 ක් වන අතර ඔහු රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙකි. එම දරුවන් කිසිවෙකු කිසිම දිනක පාසල් ගොස් නැත. ඔවුන් සතුව ගුවන් ගමන් බලපත්‍රයක් වත්, වෙනත් කිසිම නීතිමය ලියවිල්ලක්වත් නැති අතර එම දරුවන් ඉන්දීය හෝ ලාංකික පුරවැසිභාවයකට හිමිකම් කියන්නේද නොමැත.


මවගේ ලාංකික ගුවන් ගමන් බලපත්‍රයද අවලංගු වී වසර 15 කට වඩා වැඩිය. නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ලියකියවිලිද ඇය සතුව නොතිබිණි. ඇත්තෙන්ම ඔවුන් පසුගිය වසර 29 කාලය තුළ එක්සත් අරාබි එමීරයේ ජීවත්වූයේ පුරවැසිභාවයක් නැති අහසින් වැටුණු පිරිසක් ලෙසිනි.


ඔවුන් ගේ මේ අපූරු කතාව ඇරඹෙන්නේ අදින් වසර තිහකට පෙර සිටය. සිය පවුල්වල ආශාවන් යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අරමුණෙන් රෝහිණී නම් ලාංකික යුවතිය එමීරයට පැමිණෙන්නේ 1988 වසරේදීය. ඒ එමීරයේ ඡායාරූප ශාලාවක සාප්පු සේවිකාවක ලෙසිනි. ඒ වනවිටත් විසිපස් හැවිරිදි තරුණ වියේ පසු වූ රෝහිණී ඉතාම කාර්යසූර ලෙසින් සිය සේවා ආයතනය වෙනුවෙන් සේවය ලබා දුන්නාය. එවකට ඇයගේ නවාතැන්පොළ වූයේ එමීර්යේ අල් අයින් ප්‍රදේශයයි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී පාළුව තනිකම දෝත දරන් සිටිනා මොහොතකදී රෝහීණී ගේ හිත අපේ රටට අල්ලපු රටේ කේරළ තරුණයෙකු වෙත ඇඳී යන්නේ නිතැතිනි. නමින් මධුසුදානන් වූ මේ තරුණයා 1979 දී එරට සේවයට පැමිණි අයෙකු වේ. ඔහු එමීරයේ තරමක් පිළිගත් එනම් මධ්‍යම ගණයේ රැකියාවක නියුතු වූ තරුණයෙකු වීම රෝහිණී ගේ ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂ්‍යක් බවට පත් විය.


එබැවින් දෙවරක් නොසිතාම සුන්දරත්වයෙන් යුතු ප්‍රේම සිතිවිලි සමඟින් අලුත් ජීවිතයක් සැලසුම් කරමින් මේ අපූරු යුවළ ගැන තවදුරටත් දෙදෙනෙකු ලෙස දෙපැත්තට වී සිටිනවාට වඩා විවාහ වී දරු මල්ලන් සදා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් 1988 දී විවාහ වූයේය. සිය නිවෙස් හී කැමැත්ත අකැමැත්ත නොතකා විවාහ පත් වූ මේ යුවළ ටිකෙන් ටික ආර්ථික අමාරුකම් දැනෙන්නට වූයේ පවුලේ සාමාජිකයින් එක්කෙනා දෙන්නා වනවිටය.


මේ අතර විවාහ වී වසර තුනක් ගතවන විට මධූසුදානන් ගේ රැකියාවද හිටිහැටියේ අහිමිව යන්නේ ඔහු නොකළ වරදකටය. එම රැකියාවෙන් ඉවත් වූ පසුව ඔහු මානසිකව ඇද වැටුණේය. ඔහුට සිය බිරිඳ සමඟ එරට නිත්‍යනුකූල ලෙසින් රැඳී සිටීමේ අවස්ථාවද ගිලිහී ගිය විට මධූසුදානන් සමාජයෙන් කොන් වී සිටින්නට තීරණය කරන්නේය. ඒ ඔවුන් අත්අඩංගුවට ගැනීම හා පිටුවහල් කිරීම ගැන ඇති වූ අනියත බියක් නිසාවෙනි. ඒ වෙන විටත් ඔවුන්ගේ පළමු දරුවා වූ ආශ්වතී උපත ලබා සිටියාය. නැවත වරක් වෙනත් රැකියාවක් සොයා ගන්නා මධූසුදානන් තවදුරටත් සමාජයෙන් කොන් වී තම පවුල රැකගෙන යෑමට කටයුතු කළේය.


පවුල් කුටුම්භය තුළ කොතරම් ගැටලු තිබුණද සිය නිසි රැකියා බලපත්‍රයක් නොමැතිව රැකියාව කෙසේ හෝ කරගෙන ගිය රෝහිණීට නොසිතූ ලෙස එම රැකියාව අහිමිවන්නේ 1992 වසරේදීය. ඒ වනවිටත් රෝහිණී සිය දෙවැනි දියණිය බිහි කිරීමට සූදානමින් සිටියාය. රෝහිණී පසුකාලීනව තවත් දරුවන් දෙදෙනෙකු වැදූ අතර ඔවුන් දෙපළ ගේ මෙම දරුවන් සිව්දෙනාට එමීරයේ රැඳී සිටීමට වලංගුවන කිසිදු නිත්‍යනුකූල ලිපි ලේඛන ලබා ගැනීමට මෙම යුවළ කටයුතු නොකිරීමද ඉතාම ඛේදජනක සිද්ධියක් බව එරට පළ වන කලීජ් ටයිම්ස් පුවත්පත පවා සඳහන් කර තිබිණි.


සිය දරුවන් තමන් රැඳී සිටින දුගී පැල්පතේදීම හදා වඩා ගන්නා අතරේ ඔවුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව සිටියදී තරමක් හොඳ අධ්‍යාපනයක් ලැබූ රෝහිණී තම දරුවන් ගේ නැණස පෑදීමට කටයුතු කර තිබෙන්නීය.


සිය ළමුන් සිව් දෙනා තුරුණු වියට පැමිණියද ඔවුන්ගේ අගහිඟකම් වැඩි වූයේ මිස අඩු වූයේ නැත. මන්ද දරුවන් ලොකු මහත් වුවද ඔවුන් රට තොට ගැන කිසිවක් දැන නොසිටි නිසාවෙනි. ඒ නිසාම මහලු වියට පත් මධුසුදනන් ඉකුත් වසර වන තෙක්ම ඩිරාම් 4000ක වැටුපකට බර වාහන රියැදුරෙකු වශයෙන් සේවය කළ අතර මේ වන විට ඔහු එම සේවයෙන් ඉවත් වී ඇත්තේ සිය කායික දුබලතාව හේතුවෙනි. ඔවුන්ගේ ජීවන අරගලය තව තවත් දරුණු වන්නට පටන් ගන්නේද මධුසුදනන් ගේ විරැකියාවයි. මේ නිසාම පසුගිය මාස අට පුරා ඔවුන්ගේ නවාතැන්පොළ වෙනුවෙන් ගෙවන මාසික කුලිය පවා ගෙවීමට නොහැකි වී ඇත.


ඉන්දු ‐ ලංකා සුසංයෝගය ඇති මේ අපූරු පවුල ගැන එරට මාධ්‍යයෙන් වැඩි වැඩියෙන් කතා වන අවස්ථාවකදී ඉකුත්දා එමීරයෙන් පිටව ලංකාව බලා යෑමට හෝ එසේත් නැතිනම් තම වීසා බලපත් නීතිගත කරගෙන මේ රටෙහිම තවදුරටත් සේවය කිරීමේ අරමුණෙන් මෙතෙක් කලක් නීතිවිරෝධීව එක්සත් අරාබි එමීරයේ ජීවත් වු ලාංකිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට පොදු සමා කාලයක් එරට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 01 වැනිදාය. අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත්, ඩුබායි සහ උතුරු එමීරය සඳහා වන ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයත් එම සහන සේවා ලබා ගැනීමට පැමිණෙන ලාංකිකයින් හට සිය සහාය උපරිමයෙන් ලබා දුන්නේය. මෙම කටයුතු සඳහා පැමිණෙන අපේ ශ්‍රමිකයින් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සමාජ සත්කාර කටයුතු සැපයීම වෙනුවෙන් පිහිට වූ “සහන” සමාජ සේවා සංවිධානයේ සාමාජිකයෙකු වන එරට විද්වත් වෘත්තියෙකු ලෙස කටයුතු කරන ජොර්ජ් හෙට්ටිආරච්චි මහතාට මේ අපූරු පවුල ගැන දැන ගැනීමට ලැබුණි.


ඒ සම්බන්ධයෙන් ජොර්ජ් හෙට්ටිආරච්චි මහතා සිය මුහුණ පොත (ෆේස් බුක්) ඔස්සේ කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.


“නොයෙකුත් ආකාරයේ ලාංකික පොදු සමාලාභීන් පසුගිය දිනවල අපට මුණ ගැසුණ අතර ඔවුන්ගෙන් සමහර දෙනෙක් තමන්ගේ නොදැනුම්වත්කම නිසා ඔවුන් සිතාමතා නොකළ වරදකට දඬුවම් ලබපු අයය. තවත් අයෙකු නීති විරෝධීව මෙහි සේවය කිරීමේ බරපතළකම හොඳින් දන්නාමුත් ඉක්මන් මුදල් උපයා ගැනීමේ අරමුණෙන් නීතිවිරෝධීව වසර ගණනක් මෙහි සේවය කළ අයය. අපට මුණ ගැසුණ එවැනි එක් පවුලක ඛේදනීය කථාව ඇත්තෙන්ම ඉන්දීය සිනමා කථාවක් බඳුය.


හත් දෙනෙකුගෙන් යුත් එම පවුලේ ගෘහමුලිකයා ඉන්දීය ජාතිකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ශ්‍රී ලාංකිකයෙකි. ඔවුන්ට දුවරුන් හතර දෙනෙක්ද එක පුතෙකුද සිටිති. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 29 ක් වන අතර බාලම පුතණුවන් අවුරුදු 21 ක රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙකි. එම දරුවන් කිසිවෙකු කිසිම දිනක පාසල් ගොස් නැත. ඔවුන් සතුව ගුවන් ගමන් බලපත්‍රයක් වත් වෙනත් කිසිම නීතිමය ලියවිල්ලක්වත් නැති අතර එම දරුවන් ඉන්දීය හෝ ශ්‍රී ලාංකික පුරවැසිභාවයකට හිමිකම් කියන්නේද නොමැත. මවගේ ලාංකික ගුවන් ගමන් බලපත්‍රයද අවලංගු වී වසර 15 කට වඩා වැඩිය. නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ලියකියවිලිද ඇය සතුව නොතිබිණි. ඇත්තෙන්ම ඔවුන් පසුගිය වසර 29 කාලය තුළ එක්සත් අරාබි එමීරයේ ජීවත් වූ පුරවැසිභාවයක් නැති සංක්‍රමණිකයන්ය.


පසුගිය වසර 29 තුළ එසේත් නැතිනම් වසර 30 තුළ එම පියාගේ රැකියාව විටින්විට අහිමි වීම නිසා එම පවුලට බොහෝ විට ස්ථීර ආදායමක් නොලැබුණි. ඔවුන් මෙතෙක් කලක් ජීවත්වුණේ කාරුණික හදවත් ඇති අයගේ උදව් උපකාරවලිනි. කුසට ආහාරයක් නොමැතිව ඔවුන් ගත කළ දින ගණනද අපමණය. එවැනි කනගාටුදායක කතාවක් මා මෙහි ගත කළ කාලය තුළ කිසි දිනක අසා නැත.


එම දරුවන් පස්දෙනාගේ අනාගතය අඳුරු කිරීමේ වරද එම දෙමාපියන්ගේ බව මෙම කෙටි ලිපිය කියවන ඔබ උපකල්පනය කරනු ඇත, නමුදු යම්කිසි ප්‍රශ්නයන්ට නොසිතු මොහොතක මුහුණ දීමට සිදුවූවිට කෙනෙකු ගන්නා තීරණ එම ප්‍රශ්නයට මුහුණ නොදුන්, එම ප්‍රශ්නය දෙස පිටින් බලා සිටින අනෙකුත් අය හොඳම විසඳුම එය නොවේ යැයි සිතු වූවද, ප්‍රශ්නයට ඇත්තෙන්ම මුහුණ දුන් කෙනාගේ පැත්තෙන් ඔවුන් ගත් විසඳුම සාධාරණ විය හැක. එබැවින් එම දෙමාපියන් දැන හෝ නොදැන කළ වරදට අප ඔවුන්ට මනුෂ්‍යත්වයේ නාමයෙන් සමාව ලබා දිය යුතුයි.


එම පවුල “සහන” සංවිධානය වෙත යොමු කළේ කාරුණික හදවත් ඇති සාර්ජා ඉන්දීය සංවිධානයේ නිලධාරීන් විසින්ය. ඔවුන් අපගෙන් ඉල්ලු එකම උපකාරය නම් මවට ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් පොදු සමා කාලය තුළදී ලබාදීමට උපකාර කරන ලෙසය. එම උපකාරය කරදීමට අපට තිබු එකම බාධකය ඇයගේ උප්පැන්න සහතිකය ඇය සතුව නොමැතිකමය. ඇයගේ දෙමාපියන් මීට දශක දෙකට පමණ පෙර මියගොස් ඇති අතර ඇයගේ සොහොයුරා සහ සොහොයුරිය ජීවත්වන්නේ කොහේදැයි ඇය දැන සිටියේද නැත. තම පවුලේ අයත් සමග තිබූ සම්බන්ධතා සියල්ල සම්පූර්ණයෙන්ම අත්හැර බොහෝ කලක් ගත වී ඇත.


එක් කාරුණික “සහන” ස්වෙච්ඡා සේවකයෙකුගේ අප්‍රතිහත උත්සාහය නිසා ශ්‍රී ලංකා රජයේ කාර්යාලයකින් ඇයගේ උප්පැන්න සහතිකය සොයා ගැනීමට අපට හැකි වූ අතර නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයැදුම් පතක් පසුගියදා ඇය ඩුබායි කොන්සියුලර් කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබුවාය. තව නොබෝ දිනකින් ඇයගේ නව ගුවන් ගමන් බලපත්‍රය ඇයට ලැබෙනු ඇත. ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරීහුද එම දරුවන්ට ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයන්ද, ඉන්දීය පුරවැසිභාවයද ලබාදීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටිති. සාර්ජා ඉන්දීය සංවිධානයේ නිලධාරීන් මෙම පවුලේ ප්‍රශ්නය විසඳීම සඳහා ලබා දෙන සහය ඇත්තෙන්ම ඉතාමත්ම ප්‍රශංසනීය බව කිව යුතුමය. එමෙන්ම ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් චරිත යට්ටොගොඩ මහතා චතුර වීරසේකර මහතා ඇතුළු කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සියලුම නිලධාරීන් ලබාදුන් සේවයද අප ඉතා අගය කොට සලකමු.

 

ශ්‍රී ලාංකික රෝහිණී සිය සැමියා වන ඉන්දියාවේ කේරළ වැසියෙකු වූ මධුසුදානන් සමග

 


තම ජීවිතයේ නොයෙකුත් බාධක කම්කටොලුවලට මුහුණදුන් මෙම පවුලේ අයගේ ඉතාමත් කටුක ජීවිතය දශක තුනකට පසුව හෝ තරමක් දුරට අපට හැකි ලෙස අර්ථවත් කිරීම සඳහා අවශ්‍ය නිසි පහසුකම් සාර්ජා ඉන්දීය සංවිධානයේද, එමීරයේ වෙසෙන කාරුණික ලාංකික ප්‍රජාවගේද, ඩුබායිහි කොන්සල් ජනරාල් තුමා ඇතුළු එහි සෙසු නිලධාරීන්ගේද සහය ඇතුව ලබාදීම “සහන” සංවිධානයේ අපගේ එකම බලාපොරොත්තුවයි.
පසුගිය දිනක ඔවුන් වාසය කරන නිවසට යෑමට මටත් “සහන” සංවිධානයේ තවත් ස්වෙච්ඡා සේවකයන් කිහිප දෙනෙකුටත් අවකාශ ලැබිණි. කිසිම පහසුකමක් නැති ඉතාමත් කුඩා නිවසක ජීවත්වන ඔවුන්ට ඇති එකම විනෝදාංශය ඔවුන්ගේ නිවසේ ඔවුන් සමග ජීවත්වන බළලුන් හුරතල් කිරීම පමණකි. ඩුබායි වැනි තාක්ෂණයෙන් ඉතා දියුණු රටක වාසය කළද ඔවුන්ගේ නිවසේ එවැනි පහසුකම් නැත. පරිගණකයක් ගෙදර එක් මුල්ලක තබා තිබුණද එය අවසන් වරට භාවිත කර ඇත්තේ කවරෙක්දැයි අප බොහෝ දෙනෙකු අසා දැන නොතිබූ වකවානුවක විය යුතුය, එය එතරම්ම පරණය. මුහුණු පොත ඔවුන් නිවසේ ඇති එකම කන්නාඩියෙන් එදිනෙදා දකින ඔවුන්ගේම මුහුණු පමණක්ය.


පසුගිය දශක තුන තුළ ඔවුන් නිවසින් පිටව කොහේ හෝ ගොස් ඇත්නම් ඒ වරක් හෝ දෙවරක් පමණි. කිසි දිනක පාසල් නොගියද මෙම දරුවන් සියලු දෙනාටම කියවීමේ හැකියාව ඇත. ඔවුන් ඔවුනට ලැබෙන ඕනෑම පොතක් කියවයි. ඉතිහාස පොත් ද, විද්‍යා විෂයන්ට අයත් පොත් ද, ගණිත පොත් ද, නවකථා පොත් ද ඒ අතර වෙයි. කෙතරම් ප්‍රශ්නවලට ජීවිතයේ මුහුණ දුන්නද ඒ දරුවන් සියල්ලන්ම ඉතාමත් ප්‍රියමනාප, වැඩිහිටියන්ට ගරුකරන ගතිගුණවලින් හෙබි අය වීම ඇත්තෙන්ම ඉතා සතුටට කරුණකි. නිවසින් අප පිටවන තෙක්ම ඔවුන් සියලුදෙනාම සිටියේ ඉතා සිනාමුසු මුහුණෙනි. එතරම් ප්‍රශ්න තිබුණද, නිතරම සිනාමුසු මුහණින් සිටි ඔවුන් දුටු මට හිතුණේ ඇත්තෙන්ම ඔවුනට වඩා ප්‍රශ්න ඇත්තේ අපටදැයි කියාය.


ඔවුනට අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි නීතීමය ලෙස ලබාදෙන අතරම ඔවුන්ගේ ජීවිතය නැවතත් යහමගට ගැනීමේ අරමුණෙන් කාරුණික හදවත් ඇති එක්සත් අරාබි එමීරයේ ලාංකික ප්‍රජාවගේද සහය ඇතිව වැඩ පිළිවෙළක් “සහන” අප ආරම්භ කර ඇත.


එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ඔබ සැමගේ සහය අපි කාරුණිකව බලාපොරොත්තු වෙමු. ඔවුනට උපකාරයක් කිරීමට ඔබත් කැමතිනම් අපට දන්වන්න. විශේෂයෙන්ම ඔබගේ දුව හෝ පුතා භාවිත කළ ඉංග්‍රීසි පොත්පත් ඔබ ළඟ ඇත්නම් එම පොත්පත් එම දරුවන්ට ලබාදෙන්න. විශේෂයෙන්ම ඇඳුම් මැසීම, කේක් නිර්මාණ ආදී අත්කම් නිර්මාණ කුසලතා තුළින් දරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට නොයෙකුත් දක්ෂතා ඇති ඔබගේ සහය ලබා දෙන්නැයි සහන සංවිධානය ලෙස අපි ඉල්ලා සිටිමු.


එරට රජයේ අනුමැති ලත් සමාජ සේවා සංවිධානයක් ලෙසින් ලියාපදිංචි වී සිටින සහන සංවිධානය සියලු ලාංකික ශ්‍රමිකයින්ට හැකි උපරිමයෙන් සමාජ සත්කාර සේවා ලබා දීම අරමුණ කොට “සහන” සමාජ සේවා සංවිධානය පිළිබඳ වැඩිදුර තොරතුරු info@sahanauae.com විද්‍යුත් තැපෑල හෝ https://www.facebook.com/sahanauae යන ෆේස්බුක් ලිපිනය ඔස්සේ ලබා ගත හැකිය.

 

 

සටහන - තිළිණි ද සිල්වා