දරුවන් හිංසනයෙන් ආරක්ෂා කරන්නේ කෙසේද ?


දෙමාපියන් ලෙස, අප සියලු දෙනා දරුවන්ට එරෙහිව සිදුවන හිංසන හා අපයෝජනවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා බැරෑරුම් ප්‍රයත්නයක් දරමින් සිටිමු. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අප​ට වර්තමානයේ නිරන්තර බියක් හා කනස්සල්ලක් පවතී. පවුල තුළ දරුවා කොතරම් ආරක්ෂා කළද, දරුවා උදෑසන පාසල් යන්නට ගෙදරින් පිටවූ අවස්ථාවේ සිට හවස ගෙදර එනතෙක් දෙමාපියෝ ඔවුන් පිළිබඳ නිරන්තර​ෙයන් සිතමින් කටයුතු සිදු කරති. තම දරුවා කුමන අවදානම් තත්ත්වවලට මුහුණදීමේ අවදානමක පසුවේදැයි යන සිතිවිල්ල දෙමාපියන් තුළ ඇති වේ.


එසේ නම්, අප අපගේ දරුවන් හිංසනවලින් ආරක්ෂා කරගන්නේ කෙසේද? දෙමාපියන්ට තම දරුවන්ගේ රැකවරණය සම්පූර්ණයෙන්ම තහවුරු කළ හැකිද?


ලිංගික අපයෝජනයන් බොහෝ විට සිදුවන්නේ දරුවා සහ පවුල සමග සමීපව කටයුතු කරන පුද්ගලයන් මඟිනි. වාර්තාගත දත්තවලට අනුව අපයෝජනයට ලක්වන දරුවන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අපයෝජනයට පත්වී ඇත්තේ ළමයාත්, පවුලත්, වඩාත්ම විශ්වාස කරන පුද්ගලයින් මගිනි. එසේම ළමුන්ට එරෙහිව සිදුවන හිංසනයන් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ ළමුන් නිතර ගැවසෙන ගෙදරදොර, පාසල වැනි පරිසරවලදීය. සාමාන්‍යයෙන් ළමා අපයෝජනවලදී එම පුද්ගලයින් ක්‍රමවත් උපායශීලී ප්‍රවේශයන් භාවිත කරමින් දරුවා වෙත ළඟාවන බව අප මතක තබාගත යුතුවේ. අපයෝජනයක් සිදු කිරීමට ප්‍රථම, අපයෝජකයා දරුවා සමග වෙනදාටත් වඩා කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගන්නා අතර, එතුළින් දරුවාගේ විශ්වාසය දිනාගනිමින්, ක්‍රම ක්‍රමයෙන් දරුවාව අපයෝජනයට පොළඹවා ගැනීමට හෝ හසුකර ගැනීමට කටයුතු කරනු ඇත.


එනිසා ළමා ලිංගික අපයෝජන වළකා ගැනීමට නම්, මෙවැනි අවදානම් තත්ත්වයන් ඇතිවීම වළක්වාගත යුතුයි. නමුත් මෙවැනි පුද්ගලයින්, තත්ත්වයන් හෝ ක්‍රියාවලින් දරුවන් හා දෙමාපියන් හඳුනාගන්නේ කෙසේද?


දෙමාපියන්ට මේ සඳහා ඇති ඵලදායීම මඟවන්නේ තම දරුවන් සමඟ විවෘත හා විශ්වාසවන්ත සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමයි. මෙවැනි සම්බන්ධතාවක් තුළින් ඔබට ඔබ දරුවා සමග තමා ආරක්ෂා වී සිටින්නේ කෙසේද යන්න ගැන විවෘතව සාකච්ඡා කිරීමට හැකි වේ. එසේ නම් මෙවැනි දේ ගැන සාකච්ඡා කිරීම සඳහා දරුවා සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නේ කෙසේද?


● දරුවාට ඇහුම්කන් දෙන්න. ඔහු/ඇය කිය දේ පිළිබඳ ඔබගේ පූර්ණ අවධානය යොමු කරන්න. ඔවුන්ගේ වචනය විශ්වාස කරන්න. ඔහු හෝ ඇයගේ වචනය සැක නොකරන්න. එයට පූර්ණ වටිනාකමක් ලබාදෙන්න. මෙතුළින් ඔබේ දරුවාට හැඟෙන්නේ ඔබ ඔහු හෝ ඇය කියන දේ බැරෑරුම් ලෙස සලකා බලන බවයි. මෙය ඔබ හා ඔබේ දරුවා අතර හොඳ විශ්වාසයක් ගොඩනැගීමට උපකාර වේ.


● වැඩිහිටියන්ට ගෞරවය දැක්වීමට දරුවාට ඔබ උගන්වන අතරේදී ඔබත් ඔබේ දරුවාට එලෙසම ගෞරවයෙන් සලකන්න. ඔබේ දරුවාගේ ආරක්ෂාව හා පෞරුෂය වර්ධනය සඳහා, ගෞරවයෙන් සැලකීම අන්‍යොන්‍ය කටයුත්තක් බව ඔබේ දරුවා දැනගත යුතුය.


දරුවා සමඟ කාලය ගත කරන්න. ඔබේ දරුවා කරන්නට කැමැති දේවල් දැන ගන්න. ඒ දේවලට කාලය යොදන්න. මෙතුළින් ඔබත් ඔබේ දරුවාත් අතර කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැගෙයි.


● දරුවාට තම ජීවිතයේ පවතින ඕනෑම ගැටලුවක්, අභියෝගයක් මෙන්ම ඔවුන් අතින් සිදුවන අඩුපාඩුවක් වුවත් විශ්වාසවන්ත ලෙස ඔබට පැවසීමට හැකි බව තහවුරු කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් මෙවන් අවස්ථාවලදී දරුවන් වැරැදිකරුවන් ලෙස නොසැලකීමෙන් එය සිදුකළ හැක.


● සෑම දරුවකුටම පෞද්ගලිකත්වයට නිදහස තිබිය යුතුයි. මෙයින් අදහස් කරන්නේ දරුවා පිළිබඳව කිසිම ආකාරයක සොයා බැලීමක් සිදු නොකිරීම නොවේ. අපි අප දරුවන් සමඟ ඉතාමත් සමීපව සිටිය යුතුය. නමුත් දෙමාපියන් ලෙස, දරුවාගේ සියලු දේ පිළිබඳව සෑම වෙලාවකම හාර අවුස්සා බැලීමට තැත් කිරීමෙන් දරුවාට හැඟෙන්නේ තම දෙමාපියන්ට, තමන්ගේ නිවැරැදි තීරණ ගැනීමට හා නිවැරැදි දේ කිරීමට ඇති හැකියාව පිළිබඳ කිසිම විශ්වාසයක් නොමැති බවයි. විශ්වාසය හා අන්‍යොන්‍ය ගෞරවය මත පදනම් වූ දෙමාපිය දරු සම්බන්ධතාවක් ඇත්නම් මෙම නිදහස ඔබේ දරුවා අනිසි ලෙස පාවිච්චි නොකරනු ඇත.


● මෙලෙස ගොඩනඟාගත් එකිනෙකාට ඇති ගෞරවය හා විශ්වාසය මත පදනම්වූ සම්බන්ධතාවක් තුළින් ඔබේ දරුවාට විවෘතව හා අවංකව ඔබ සමග ඔහුගේ/ඇයගේ අදහස් බෙදා ගැනීමට අවකාශ්‍ සාදාදෙන්න. ඒ සඳහා ඔබ දරුවාව දිරිගන්වන්න.


මේ ආකාරයට ඔබ ඔබේ දරුවා සමඟ ගොඩනඟාගත් සමීප සබඳතාව තුළින්, ඔබේ දරුවාට කිසියම් ආකාරයක කරදරයක්, බියක්, බලවත් අපහසුතාවක් හෝ තම ආරක්ෂාවට තර්ජනයක් ඇතිවුන අවස්ථාවකදී හෝ එවැනි දෙයක ලක්ෂණ ඇඟවීමක් ඇතිවුන අවස්ථාවකදී, ඒ පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමට අවශ්‍ය අවකාශය හා හැකියාව ඔබ සලසා දී ඇත.


මීට අමතරව ඔබේ දරුවාගේ ගමන් බිමන්, දරුවා සමඟ සිටින යහළුවන්, පුද්ගලයන් හා කරන දේවල් ගැන දැනුම්වත්ව සිටීම ඉතා වැදගත් වේ. ඔබ සහ දරුවා අතර හොඳ සම්බන්ධතාවක් තිබේ නම් මෙම තොරතුරු දරුවාට ඔබත් සමඟ පහසුවෙන් හුවමාරු කර ගැනීමට හැකිවේ.


ළමා අපයෝජනකාරී තත්ත්වයක් දරුවා හඳුනා ගන්නේ කෙසේද?


දරුවාට වයස අවුරුදු 3 වැනි ළාබාල අවදියේ සිටම තමන් ආරක්ෂාවී සිටිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව දැනුම්වත් කළ හැක. නමුත් බොහෝ දෙමාපියන්ට මෙම සාකච්ඡාව කෙසේ කරන්නද යන්න ගැටලුවකි. ඔබට ඔබගේ දරුවා සමඟ මේ පිළිබඳව ඉතා පහසුවෙන් පහත කරුණු එකතු කර ගනිමින් සාකච්ඡා කළ හැකිය.


● කවුරු හරි කෙනෙක් අපි අකැමති විදිහට අපිව ඇල්ලුවොත් අපිට තරහක්, වේදනාවක්, පිළිකුලක් හෝ බයක් දැනෙන්න පුළුවන්.


● අපේ ඇඟේ සමහර තැන් පෞද්ගලික තැන් කියලා අපි දන්නවා. අපි මෙහෙම පෞද්ගලික තැන් කියල කියන්නේ යට ඇඳුම්වලින් එහෙමත් නැත්තන් නාන ඇඳුම්වලින් වැහෙන කොටස්වලටයි.


● ඔබේ ඇඟ අයිති ඔබට පමණයි. ඔබේ ඇඟ ආරක්ෂා කර ගැනීමට ඔබට අයිතියක් තියනවා. ඒ වගේම කිසිම කෙනෙකුට ඔබේ ඇඟේ පෞද්ගලික තැන් අල්ලන්න කිසිම අයිතියක් නැහැ. කිසිම කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තැන් ඔබට අල්ලන්නට කියන්න අයිතියකුත් නැහැ.


● ඒ නිසා ඕනෑම කෙනෙක් ඔබේ ඇඟේ පෞද්ගලික තැන් අල්ලන්නට තැත් කළොත් එයාට එපා! කියන්න ඔබට පුළුවන්. එපා කිව්වට පස්සෙත් එයා නැවැත්තුවේ නැත්නම් යටිගිරියෙන් කෑ ගහන්න, එතනින් පැනලා දුවන්න. පුළුවන් ඉක්මනින් ඔබ විශ්වාස කරන වැඩිහිටියෙකුට කියන්න.


● ඔබට ඕනෑම අවස්ථාවකදී තරහක්, වේදනාවක්, පිළිකුලක් හෝ බයක් දැනෙන දෙයක් සිදුවුණොත් හෝ වැරැදි දෙයක් ගැන කවුරු හරි ඔබට රහසක් කිව්වොත් එය රහසක් හැටියට තියාගන්න එපා. ඒ ගැන විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක කතා කරන්න. ඒකෙන් ඔබට උදව්වක් මිසක හානියක් වෙන්න නැහැ. ඒ දෙමවුපියෙක්, ගුරුවරයෙක්, නෑදෑයෙක්, මිතුරෙක් වෙන්න පුළුවන්. ඔබට දුරකථන අංක 1929 ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා දුරකථන සේවයටත්, අංක 119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් සේවයටත් කතා කරන්න පුළුවන්.


ඔන්න මේ දේවල් මතක තියාගන්න. ඔබ විශේෂ කෙනෙක්. ඔබගේ ශරීරය අයිති ඔබටයි. ඔබව ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්.


මෙවැනි අයුරින් දරුවන්ට තමන් ආරක්ෂාවී සිටින්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම හා අවබෝධයක් ලබාදීමට ඔබට හැකිය. අවබෝධය සමගම, මෙවැනි අවස්ථාවලට මුහුණදීමට දරුවන්ට ඇති හැකියාව හෝ කුසලතාව වර්ධනය කරන්නටත්, දෙමාපියන් ලෙස ඔබට හැකිය. ඒ කෙසේද?


ප්‍රථමයෙන්ම, ඔබ දරුවා තුළ ආත්ම ශක්තිය සහ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය සඳහා කටයුතු කළ යුතුය. හොඳ ආත්ම ශක්තියක් ඇති දරුවකුට ඍජු තීරණ ගැනීමට හා අභියෝගවලට මුහුණදීමට පහසුය. මෙය සිදුකළ හැකිවන්නේ දරුවන්ට ඔවුන්ගේ ජීවිතයට එදිනෙදා බලපාන දේ පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම හා නිදහස ලබාදීම තුළිනි. එමගින් ඔවුන්ගේ ආත්ම ශක්තියත්, යම්කිසි අවස්ථාවක් පාලනය කර ගැනීමට අවශ්‍ය ශක්තියත්, කුසලතාවත් වර්ධනය වේ.


භය ගැන්වීම්, වාචික නින්දාවන් හා ශාරීරික දඬුවම් භාවිත කරමින් විනය සැකසිය හැකි යැයි යන මතයෙන් හා එවැනි ක්‍රියාවලින් ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න. මෙවැනි ක්‍රියා තුළින් ඔබේ දරුවාට අහිතකර බලපෑම් ඇතිවිය හැකි අතර, දරුවන්ට එ​ෙරහිව හිංසනකාරී අවස්ථාවන් ඇතිවිය හැකි අවදානම වැඩි කරයි. ධනාත්මක හා දයානුකම්පිත විනය කටයුතු තුළින් දරුවාට වැඩිහිටියන් මත ඇති විශ්වාසය වර්ධනය වන අතර ඒ තුළින් දරුවා, තම ආරක්ෂාවට තර්ජනයක් ඇතිවූ අවස්ථාවකදී වැඩිහිටියකු වෙත ප්‍රවේශවීමේ සම්භාවිතාව/ඉඩකඩ වැඩි වේ.


ඔබේ දරුවා යම්කිසි ආකාරයකින් වෙනත් කෙනකු අතින් හිංසනයට භාජනය වෙනවා නම්, ඔබ එය වැළැක්වීමට පියවර ගත යුතුය. දරුවන්ගේ ආරක්ෂාව මූලික වශයෙන් දෙමාපියන් මත රඳා පවතින අතර මෙම වැදගත් කාර්යභාරය අප උපරිම ලෙස ඉටු කළ යුතුය. දෙමාපියන් ලෙස ඔබගේ පළමු වගකීම, පවතින තත්ත්වයට දරුවාට මුහුණදීමට අවශ්‍ය ආදරය, සෙනෙහස හා මඟපෙන්වීම ලබාදීමයි. මේ තුළින් ඔබ තම දරුවාගේ ආරක්ෂාව මෙන්ම දරුවාගේ ශාරීරික හා මානසික අභිවෘද්ධිය හා සුබසිද්ධිය වර්ධනය කිරීමට ඍජුවම දායක වේ.

 

 

 

 

බුද්ධිනී විතාන M.Sc. (Edinburgh)
ළමා ආරක්ෂාව පිළිබඳ විශේෂඥ (ස්වාධීන)
buddhini.withana@gmail.com