හිටපු ජනපති මහින්ද පොහොට්ටුවේ නායකත්වයට


 

 

  • ලබන ඉරිදා පොහොට්ටු සම්මේලනයේදී පත් කරයි   
  • ජනපති අපේක්ෂකත්වයට ගෝඨාභය නම් කිරීම එදාම  මහින්ද අතින්   

 

 

 

 

(අජන්ත කුමාර අගලකඩ)   

හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ලබන ඉරිදා (11) පත්කර ගැනේ.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සම්මේලනය ලබන ඉරිදා පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී පළමු කාර්යය ලෙස මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයට පත්කර ගැනෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.   
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරෙනු ඇති බව පැවැසේ.   


පක්ෂයේ නායකයා පත්කර ගැනීම හැර නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමක් එහිදී සිදු නොවන බවද එම ප්‍රකාශකයා කීවේය.   


මෙම සම්මේලනයට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින්ද සහභාගිවනු ඇත.   


මීට අමතරව ඒකාබද්ධ විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරන සෙසු දේශපාලන පක්ෂවල නායකයන්ටද ආරාධනය කර ඇතැයි එම ප්‍රකාශකයා කීවේය.