හවුල් ආණ්ඩුව දිගටම


(අජන්ත කුමාර අගලකඩ)  
හවුල් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා එක්වන්නැයි තමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම විවෘත ආරාධනයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (06) ප්‍රකාශ කළේය.  


ආණ්ඩුව ශක්තිමත් කිරීමට ඕනෑම අයකුට එකතු විය හැකි බවත් ඒ එකතු වන පිරිස සමඟ ආණ්ඩුව ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බවත් ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පෙරේදා පැවැති සාකච්ඡාවේදී පැවැසීය.  


පාර්ලිමේන්තුවේ කුමන අර්බුද තිබුණද තමා ජනාධිපතිවරයා වශයෙන් රජය ශක්තිමත් කළ යුතු බව කී ජනාධිපති සිරිසේන මහතා තමාට කිසිවකු පිළිබඳ ප්‍රශ්නයක් නැති බව කීවේය.  

තමාට සහාය දෙන අයගේ සහයෝගය ලබාගන්නා බව කී ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහායෙන් රජය ශක්තිමත්ව පවත්වාගෙන යන බව සඳහන් කළේය.  


පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය අනුව එකතු වීමෙන් මිස තනි ආණ්ඩු හැදිය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ 106ක් හිමි එක්සත් ජාතික පෙරමුණටද තනි ආණ්ඩුවක් ගෙන ගිය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවැසීය.  


ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් තමා අගමැතිවරයා සමඟ පෙරේදා (05) රාත්‍රියේ සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා කීවේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ ඉදිරියේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (09) දිනයේ රැස්වී තීන්දුවක් ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

  
පළාත් පාලන ආයතනවල දැනට ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කරන බව ද ජනාධිපති සිරිසේන මහතා පැවැසීය.  


මැතිවරණයේදී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂවලට එම ආයතනවල බලය ලබා ගැනීමට නොහැකි තරමට මෙය අවුල් සහගත වී ඇති බව කී ජනපතිවරයා මැතිවරණයෙන් ජය ගන්නා දේශපාලන පක්ෂයට එහි බලය පිහිටුවීමට හැකිවන සේ එය වෙනස් කළ යුතු බව සඳහන් කළේය.  


පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් වැඩිවීම රටට ඉසිලිය හැකි බරක් නොවන බවත් දැනට සිටින 8000ක් පමණ වන සභිකයින් ගණන 4000කට අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවැසීය.