හම්බන්තොට වරායට නියෝජ්‍ය ඇමැති සටනක්


 

(දයාසීලි ලියනගේ)
හම්බන්තොට වරාය චීනයට බදුදීමේ ගිවිසුම පිළිබඳව තීරණයක් ගැනීමට පෙර අමාත්‍යංශ ගණනාවකින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව සළකා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැති මණ්ඩලයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ආරක්ෂක, විදේශ, මුදල්, වරාය හා නාවික අමාත්‍යංශවලින් අවධානයට ලක් කරන ලද කරුණු ගැඹුරින් සොයා බලා ගිවිසුම පිළිබඳව තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත.


මේ අතර ඉකුත් සතියේ පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට සහභාගිවූ වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාද හම්බන්තොට වරාය ගිවිසුම රටට හානිකර බව සඳහන් කරමින් කැබිනට් මණ්ඩලයට සටහනක් ඉදිරිපත් කර ඇත. 


විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා ඉදිරිපත් කළ මෙම හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම පිළිබඳව සළකා බැලීමේදී රජය මුහුණ පා ඇති විදේශ මූල්‍ය ගැටලු, අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නිර්දේශ, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නොයෙක් බලධාරින් චීන බලධාරින් සමග සිදුකර ඇති සාකච්ඡා හා එකඟතා යන කරුණු සිත්හි තබාගෙන ක්‍රියා කළ යුතු බවද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර තිබූ සංදේශයේ සඳහන් කර ඇත.


වරාය හා නාවික ඇමැතිවරයා මෙම ගිවිසුමට එකඟතාවයෙන් තොර කරුණු දක්වා තිබෙන බවද එහි සඳහන් කර ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සියලු සේවක වැටුප් හා වියදම් දැරීමෙන් පසු ගිය වසරේදී බිලියන 11ක ලාභයක් උපයා ඇති බවත් හම්බන්තොට වරායද ලාභ උපයන තත්ත්වයට පත්වෙමින් පවතින බවත් පෙන්වා දුන් බව නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිවරයා “ඉරිදා ලංකාදීප”යට කීය.
මෙම සටහන ඉදිරිපත් නොකරන ලෙසට ප්‍රධාන පෙළේ ඇමැතිවරු තිදෙනෙක් තමන්ට බලපෑම් කළත් එය නොසළකා තමන් එම සටහන ඉදිරිපත් කළ බවද ඔහු කීය.