සියයට පනහ පන්නන්න දෙපැත්තම මෙ​ෙහයුමක


පාෙවන ඡන්ද ගන්න සටනක්

(අජන්ත කුමාර අගලකඩ) 

ජනාධිපතිවරණයේ දී ලබාගත යුතු සියයට පනහේ ඡන්ද ප්‍රතිශත ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ මෙහෙයුමක ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම යෙදී සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 


මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීමත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර දැඩි තරගයක් පැවැතීමත් මේ තත්ත්වයට බලපා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.  

ඒ අනුව පාවෙන ඡන්ද සිය ජයග්‍රහණය සඳහා ලබාගැනීමට ඔවුන් දෙදෙනාම දැඩි උත්සාහයක යෙදී සිටින බව ද දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. 


2015 ජනවාරි පැවැති ජනාධිපතිවරණයේ දී ඡන්ද 62,17,162 ක් ලබාගත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 51.28 ක ප්‍රතිශතයක් හිමිවූ අතර ඡන්ද 57,68,090 ක් ලබාගත් මහින්ද රාජපක්ෂ මහතාට සියයට 47.58 ක ප්‍රතිශතයක් හිමිවිය. 


එම වසරේ ඡන්දය දීමට 1,50,44,490 දෙනකු සුදුසුකම් ලබා සිටි අතර ඉන් 1,22,64,377 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. ඉන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1,21,23,452ක් විය. 
මෙවර ජනාධිපතිවරණයට ඡන්දය දීම සඳහා පුද්ගලයෝ 1,59,92,096 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. එය 2015ට සාපේක්ෂව ඡන්දදායකයන් 9,47,606 දෙනකුගේ වැඩිවීමකි. 
ගියවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 19 දෙනකු තරග වැදුන අතර මෙවර අපේක්ෂකයෝ 35 දෙනෙක් තරග වැද සිටිති. 


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් 13 දෙනකු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහාය දැක්වීමේ සූදානමක සිටින බව මැතිවරණ කොමිෂන් සභාව ද ගිය සතියේ ප්‍රකාශ කර තිබිණි.