සත විසිපහේ බද්දට සීනි ටොන් හාර ලක්ෂයක් ගෙනත්


(මහින්ද නිශ්ශංක)  

ශත 25 දක්වා අඩු කළ බදු යටතේ ඉකුත් ඔක්තෝබර් 14 වැනිදා සිට මෙම මස 26 වැනි දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 440,000 ක තොගයක් මෙරට ආනයනය කර ඇතැයි ආනයනකරුවන්ගේ ආරංචිමාර්ග සඳහන් කරයි.  
මෙම සීනි තොගය ගෙන්වීමෙන් මෙම මස 26 දිනට රජයට අහිමි වී ඇති මුළු බදු ආදායම රුපියල් කෝටි 2187 ක් බව වාර්තා වෙයි. 

 
අඩු කළ බදු යටතේ සීනි ගෙන්වීම තවමත් පාලනය​ නොකිරීම නිසා මෙම වසරේ පෙබරවාරි 20 සිට මාර්තු 26 දක්වා කාලය තුළ පමණක් සීනි මෙට්‍රික් ටොන් 1,20,000 ක තොගයක් ගෙන්වා ඇති බවත් එමගින් රජයට රුපියල් කෝටි 597ක බදු ආදායමක් අහිමි වී ඇති බවත් අනාවරණය වෙයි.  

ගිය ඔක්තෝබර් 14 දා සිට පෙබරවාරි 20 දක්වා සීනි මෙ.ටො. 3,20,000ක තොගයක් ගෙන්වීමේ දී රුපියල් කෝටි 1590ක මුදලක් රජයට අහිමි වූ බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ඔක්තෝබර් 14 සිට මාර්තු 26 දක්වා සීනි මෙ.ටො. 440,000 ක තොගයක් ගෙන්වා ඇති බවත් ආනයනකරුවෝ පවසති.  


අඩු කළ බදු යටතේ මෙරටට සීනි ගෙන්වීම තවදුරටත් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් ගෙන්වූ සීනි මෙ.ටො. 445000 ක තොගය සඳහා ඩොලර් මිලියන 200ක පමණ විදේශ විනිමයක් වැය වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී ඇත.  


මේ අතර රුපියල් 50 ක බදු සහනාධාරය මත දුප්පත් ජනතාවට රුපියල් 85ක සහනාධාර යටතේ ලංකා ස.තො.ස. හරහා සීනි අලෙවි කළේ නම් රජයට අහිමි වෙන්නේ ​ඩොලර් මිලියන 110 ක් බව ද දැන ගන්නට ඇති අතර සීනි, ගෙන්වීම පාලනය කළේ නම් ​ඩොලර් මිලියන 100 ක පමණ මුදලක් රජයට ඉතිරි කර ගත හැකි වෙන බව ඔවුහු පෙන්වා දෙති.