සජිත්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්


මහ ඡන්දයට සැරසෙති 

  • සන්ධානය මෙහෙයවන්න නායකත්ව මණ්ඩලයක් 
  • රිෂාද් බදියුදීන් වෙනම තරග කරයි   

 

 

(අජන්ත කුමාර අගලකඩ) 

ඉදිරි මහ මැතිවරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල සැලසුම්කර ඇතැයි වාර්තාවේ.   

සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන්ගේ ද සහභාගිත්වයෙන් එම නව සන්ධානය පිහිටුවීමට නියමිත අතර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස එම සන්ධානය පිහිටුවීමට යෝජනාවී ඇති බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.   


නව සන්ධානය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නායකත්ව මණ්ඩලයක් ද පිහිටුවීමට නියමිත අතර අර්ජුන රණතුංග, දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, රාවුෆ් හකීම් යන මහත්වරුන් ද එම නායකත්ව මණ්ඩලයට ඇතුළත් වනු ඇතැයි පැවැසේ.   


හිටපු ඇමැති රිෂාද් බදියුදීන් මහතා එම සන්ධානයට ඇතුළත් නොවී වෙනම තරග කිරීමේ සූදානමක සිටින බව ද දැන ගන්නට ඇත.   


නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා විමසීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් පළාත් පාලන මැතිවරණයට එජාපයෙන් තරග කළ අපේක්ෂකයන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට අද (26) දිනයේ කැඳවා ඇත.   


නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර එහි මහලේකම් ධුරයට හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත්ව ඇතැයි පැවැසේ.