සංචරණය සීමාකිරීම ඇතුළුව ඉදිරි සතියේ තීරණාත්මක තීන්දු කීපයක්?


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් 
වෛද්‍ය නවීන් ද සොයිසා   

(දයාසීලි ලියනගේ)   

රටපුරා පැතිරෙමින් පවතින කොරෝනා වසංගතයට අදාළව ලැබීමට නියමිත මූලික වාර්තා දෙකක ප්‍රතිඵල මත මේ සතියේ සිට රට බෙහෙවින් තීරණාත්මක තත්ත්වයකට පත්වෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.   

මේ වාර්තා මත සංචරණය සීමා කිරීම ඇතුළුව ජනතාවට බෙහෙවින් බලපාන තීරණ ගණනාවකට එළඹීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.   
කොරෝනා වයිරසයේ අලුත්ම ප්‍රභේදය හා වයිරසය පැතිරීමේ මූලාරම්භය පිළිබඳව ඉදිරි දින දෙක ඇතුළත දී පැහැදිලි තීරණ අනාවරණය වීමත් සමඟ රටක් වශයෙන් වැදගත් තීරණ ගණනාවකට එළඹීමට සිදුවනු ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා කීය.   


මෙතෙක් පැවැති වයිරසයට වඩා මෙවර වයිරසයේ ප්‍රබලතාව වැඩි බවක් පෙන්නුම් කරනු ලබන අතර එමගින් බෝවීමේ සීග්‍රතාව ඉහළ මට්ටමක පවතින බවක් පෙන්නුම් කරන්නේ යැයි ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.   


පුවත්පත සමඟ මෙම සාකච්ඡාව පවත්වන අවස්ථාව වන විටත් රෝගය මෙවර ප්‍රචලිතවීමේ මූලාරම්භය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලැබී නැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළත දී යම් අදහසක් ලබා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ද ඒ මහතා සඳහන් කළේය. 

 
මීට අමතරව මෙවර කොවිඩ් පොකුර විශාල වී ඇති නිසා රට ඉතාම බරපතළ ලෙසින් අනතුරකට ලක්විය හැකි බවට ද ඔහු සැක පහළ කරයි.   


රටේ කොරෝනා වසංගතය පිළිබඳව අවධානය අඩුවීම මත යළි කොරෝනා පොකුරක් බිහිවීමට හේතුවී ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා කීය.