ශ්‍රීලනිප-පොදුජන පෙරමුණ සාකච්ඡා පොහොට්ටු ලකුණේ හිරවෙයි


සති අන්තයේ තීරණාත්මක සාකච්ඡා

 

(අජන්ත කුමාර අගලකඩ)  

පුළුල් ජාතික පෙරමුණක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාවල දී ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති නමුත් ලකුණ සම්බන්ධයෙන් පෙරේද‌ා (6) වන විටත් එකඟතාවකට පැමිණ නැති බව වාර්තා වේ.  

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ පොහොට්ටුව ලකුණ ජනප්‍රිය වී ඇති බැවින් ඉදිරියට ද පොහොට්ටුව ලකුණින් තරග කිරීම වැදගත් බව පොදුජන පෙරමුණේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇති අතර, දෙපාර්ශවය එක්ව කටයුතු කරන නිසා පොහොට්ටුව හැර පුටුව හෝ වෙනත් ලකුණක් යොදා ගැනීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පෙන්වී දී ඇත.


 ඒ සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශවය අතර තීරණාත්මක හමුවීම් දෙකක් පෙරේද‌ා (6) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පෙරේද‌ා ප.ව. 2.30ට ද ශ්‍රීලනිප නියෝජිත පිරිස හා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පෙරේද‌ා ප.ව. 4.00ට ද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.  


 ශ්‍රීලනිප නියෝජිත පිරිස මෙම සාකච්ඡාවලට සහභාගි වීමට පෙර පෙරේද‌ා දහවල් 12.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන් තම නිවසට කැඳවා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත.  


 සිකුරාද‌ා පැවැති එම තීරණාත්මක සාකච්ඡාවල ප්‍රතිඵලය අනුව දෙපාර්ශ්වය අතර පොදු එකඟතාවය ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි දෙපාර්ශවයේම ආරංචිමාර්ග සඳහන් කරයි.